දුවේ පුතේ, ඔබ ‘ගංගාවේ ගීතය’ ගැන අහලා තියෙනවා ද? රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කවි පොතක මේ කවි සටහන තිබෙනවා.

“ගංගාවක් වී ගලන්න උල්පත පසු කර
වැවක් වෙලා නතර වෙන්න නෙළුම් මලක් යට”

පටන් ගත් තැනින් ඉදිරියට යන්නත්, රටට ලොවට සුවදායී පරිසරයක් නිර්මාණය කරන්නත් දිරි වඩන මේ පද පෙළ සිහි කරද්දී, හෙට ලෝකය දිනන්නට අකුරු කරමින් වෙහෙසෙන දූ පුතුන්ට ආදරණීය ආමන්ත්‍රණයකට සුදුසු කාලය මෙය යි කියලා අපට හිතුණා.

හෙට දවස ඔබගේ ය…

දුවේ පුතේ, උල්පතේ ගුණය නොනසමින්… ඒ ගුණය ම ලෝකයට වඩාත් තීව්‍ර ව බෙදා දෙමින්… මුළුමහත් ලෝකයට ම සුවය, සම්පත ගෙන එන්න අද අපට ලැබුණු මහා වස්තුව තමයි ඔබ. ඔබේ අම්මාට, තාත්තාට පමණක් නෙවෙයි, මේ මිනිස් ලෝකයේ උපන්න අප සියලු දෙනාට ඔබ වටිනා වස්තුවක්.

අද අප විසින් පසු කරගෙන යනු ලබන කඩඉම් සියල්ල හෙට ඉක්මවන්නේ ඔබ. අද අපට ලෝකය වෙත දායාද කරන්නට බැරි වුණ යහපත හෙට ලෝකය තුළ උපද්දවන්න ඉන්නේ ඔබ. උපදවා ගන්නා ගුණයන්ගෙන් ලෝකය සුරකින්නට, ලෝකය වෙනස් කරන්නට අපට අද ක්‍රමයෙන් අහිමි වී යන ජවය, හැකියාව, ශක්තිය හෙට ලබන්නේ ඔබ. ඔබ තමයි අපේ පරපුරට යා වුණ ජීවනාලිය. දුවේ පුතේ, ඔබ ලබන සෑම ජයග්‍රහණයක් ම නිසැක ව ම අප සියල්ලන්ගේ ම ජයග්‍රහණයක්. පරාජයන් ගැනත් කිව යුත්තේ එය ම යි…

එදා අප සහ අද ඔබ…

මීට දශකයකටත් එපිට අතීතයේ දී අපේ පාසල් ජීවිතය නිමාවට පත් වුණා. පාසලේ දී ඇති වුණු හිතමිතුරුකම් බොහෝමයක් අදටත් අප ළඟ තිබෙනවා. ඒ වගේ ම පාසලේ දී සමීප වුණ ගුරු මාපියන් සමඟත් අදටත් අපට ඇසුරක් තිබෙනවා. අපේ පාසල් කාලය තුළත් හොඳට ඉගෙන ගන්න, හොඳට විභාග සමත් වෙන්න, විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන්න, ක්‍රීඩා සහ විෂය බාහිර ක්‍රියාකාරකම් තුළ ජයග්‍රහණ ලබන්න කියලා අප ව යොමු කෙරුණු, අපට අවධාරණය කෙරුනු ඉලක්ක තිබුණා. අද පවතින අධ්‍යාපන සංස්කෘතියට වඩා අප අත්විඳි අධ්‍යාපන සංස්කෘතියේ ලොකු ම වෙනස වුණේ නවීන තාක්ෂණික මෙවලම් සමඟ ප්‍රබල මුහු වීමක් අපට නොතිබීම විය හැකියි.

ජංගම දුරකථන, ලැප්ටොප් ආදිය අපට භාවිත කරන්න සිදු වුණේ ඉතා ම කලාතුරකින්. ඒ නිසා ම අපට ඉතිරි වුණ වෙලාවත් අද දුවලා, පුතාලට ඉතිරි වෙන වෙලාවට වඩා වැඩි අගයක් ගත්තා. ඒ නිසා ම අපට අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ එක්ක කථාබහ කරන්නත්, ගහවැලේ මල් පිපෙන හැටි, ගෙඩි මෝරන හැටි දැකබලා ගන්නත්, සතා සිව්පාවුන්ගේ කුරුලු කොබෙයියන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරමින් පරිසරයට මුහු වෙන්නත් වෙලාව තිබුණා. අද දුවලා පුතාලට ගෙම්බාගේ ජීවන චක්‍රය ඉගෙන ගන්න ලැබෙන්නේ පුංචි ම පුංචි පන්තිවලදි ම පොතේ දැනුමක් විදිහට. ගෙඹි බිත්තර වතුර වළවල ජෙලි වගේ තියෙන හැටි, ඒවායෙන් බිහි වන දිගැටි වලිග තියෙන ඉහිගෙඩියන් මාළුවන් වගේ වතුරේ පීනලා යන හැටි, ටිකෙන් ටික ඒ හැඩරුව වෙනස් වෙලා ගෙම්බන් වන හැටි අපි ඉගෙන ගත්තේ දියකඩිතිවලින්. අදත් දියකඩිතිවල ගෙම්බාගේ ජීවන චක්‍රය දැකගන්න බැරිකමක් නැහැ, ප්‍රශ්නය අද දුවලා පුතාලට එදා අපට තිබුණා වගේ නිදහස් වෙලාවක් නැති එක යි.

ඔබේ නිදහස අහිමි නැති ද?

එදා අපට තිබුණු නිදහස් වෙලාව අද දුවලා පුතාලගෙන් උදුරගෙන තියෙන්නේ මොන මොන දේවලින් ද? තරඟකාරී අධ්‍යාපනික අවශ්‍යතා වෙනුවෙන් හැම දවසක ම වගේ ඔබට උපකාරක පන්තිවලට සහභාගී වීම පුරුද්දකට ගිහින්. එහෙම නේ ද? එක පන්තියකින් තවත් පන්තියකට යන්න වෙන තරමට ඔබ ඒ කටයුතුවල දී කාර්යබහුල යි. සමහර විට කෑම ටික කන්නේ පවා ගමනේ බිමනේ යෙදෙන අතරේ. කන්නේ මොනවාද කියාවත් නො දැන ඉක්මනින් එය ගිල දැමීමේ අවශ්‍යතාවය ප්‍රමුඛ වෙලා.

මේක සමස්ත සමාජය තුළ ම මුල් බැසගෙන තිබෙන රටාව බවට පත් වෙලා තිබෙන නිසා එය වෙනස් කරන්නට කියා ඔබට කියන්නට පුළුවන්කමක් අපට නැහැ. (නමුත් අපට දෙමව්පියන්ට මේ පණිවිඩය දෙන්නට පුළුවනි… මේ ගමන ඔබේ දරුවාට කොතරම් ඔරොත්තු දෙනවා ද? ඔවුන්ගේ කටයුතු මෙතරම් සංකීර්ණ නොවන අයුරින් වෙනස් කර ගත හැක්කේ කොහොම ද? කියලා අම්මලා, තාත්තලා නිතර හිතා බලනවා නම් තමයි හොඳ…!) ඒ දේවලට වෙන් කෙරෙන කාලය හැර යම්තාක් කාලයක් ඉතිරි වෙනවා ද රූපවාහිනිය, දුරකථනය, පරිගණකය, සමාජ මාධ්‍ය ඔබෙන් ඒ කාලය පැහැරගෙන.

ඔබේ ගෙවත්තේ ඉර පායන, හඳ පායන, මල් පිපෙන, ගස් වැල් වැඩෙන රටාව නො දන්න ඔබ රටේ ඕනෑම තැනක, ලෝකයේ ඕනෑම තැනක සිද්ධ වන දේවල් දැනගෙන… ඔබේ ගෙදර ම ඉන්න පිරිසට කතාබහ කරන්න වෙලාවක් නැති ඔබ, කිසිදිනක දැකලවත් නැති මිතුරන් ගණනාවක් එක්ක එසැණින් තොරතුරු හුවමාරු කර ගන්නවා… ඔබටත් නො දැනී ම ඔබ මේ දේවල යාවජීව සාමාජිකයෙක් බවට පත් වෙලා. මේ දේවලින් දුවට, පුතාට ලැබුණේ මොනවද කියලා අපි ඇහුවොත් මොන වගේ උත්තර ද ලැබෙන්නේ?

දුවේ පුතේ, ඒ දේවල් අති බහුතරයක් දුවට, පුතාට ඇස, කන පිනවන දේවල් නේ ද? ඒ වගේ ම අත්පත් කර ගන්න කැමැත්තක්, අත්හදා බලන්න ආශාවක් ඇති කරවන දේවල් නේ ද? ප්‍රතිරූප ගොඩනගමින් වීරත්වයක්, වික්‍රමාන්විත බවක් ඇති කළ දේවල් නේ ද? ඔබේ නිදහස, විවේකය පැහැර ගත් සමාජ මාධ්‍ය මත්පැන්, මත්ද්‍රව්‍ය සමඟ සතුටු වන්නවුන් ඔබට මුණගස්සවන්නේ එය ම අත්දකින්න කැමැත්ත උපදවමින්. අසභ්‍ය රූප රාමු, අසභ්‍ය වචන ඔබ වෙත ගෙන එන්නේ පහත් ගනයේ සතුටක් ඇති කරවමින්.

ගුණයෙන් ම රැකෙනු මිස…

සසරේ බොහෝ කාලයක් නොමඟ ගිය හිත්වලට තවම නැඹුරුව තියෙන්නේ ඒ පැත්තට ම නිසා පුංචි ම පුංචි අකුසලයටත් බොහොම ඉක්මනින් හිත යට කර ගන්න ඉඩ ලැබෙනවා. ඒ නිසයි අද බොහොම ඉක්මනින් ගැහැනු, පිරිමි කියා භේදයකුත් නැතිව මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයට වගේ ම අසභ්‍ය දේ අභිරුචියෙන් ඇසුරු කරන්නට බොහෝ දෙනා පෙළඹෙන්නේ.

දුවේ පුතේ, ඔබත් අපත් දවසින් දවස මොහොතින් මොහොත ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි යුගයෙන් ඈතටයි යන්නේ. එදා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටිය දී යම් ආකාරයකින් දෙව් මිනිසුන්ට ගුණයෙන් වැඩී යන්නට හැකි වුණා ද අද ඒ හැකියාව බොහොම අඩු වෙලා. අද ලෝකයට ගුණයක් උපදවා ගන්නවා කියන කාරණය බොහොම අමාරුයි. උපදවා ගත්ත ගුණයක් රැක ගන්නවා කියන කාරණය ඊටත් වඩා අමාරුයි. ඒ නිසා දුවේ පුතේ, මේ සමාජය බොහොම ගුණවත් වෙලා, ඒ ගුණවත් භාවයෙන් ඔබට පිහිට පිළිසරණ ආරක්ෂාව සැලසේවි කියා අපේක්ෂා සහිත වෙන්නට එපා. එය සිදු වන්නේ නැහැ. පිරිහෙන ලෝකයක අපට එවැන්නක් අපේක්ෂා කරන්නට බැහැ. තමන් තුළ උපදවා ගත්ත ගුණයකින් පිහිට, පිළිසරණ, ආරක්ෂාව සලසා ගැනීම තමයි දැන් කළ හැකි දෙය වගේ ම කළ යුතු දෙයත්.

ඒ නිසා, රැකවරණය සලසන ගුණයන් උපදවා ගන්නේ කොහොමද කියන කාරණයටයි අප වැඩි වශයෙන් අවධානය යොමු කළ යුත්තේ. දුවේ පුතේ, ගුණධර්ම කියන්නේ වයසට ගිහින්, ලෙඩ ඇඳට වැටිලා, විශ්‍රාම ගියාට පස්සේ, ඉගෙනගෙන විභාග කළාට පස්සේ ආදි වශයෙන් කාලයක් ගිහින් දියුණු කරන දේවල් නෙවෙයි. අනිත් සියල්ල ම අතරේ උපදවා ගනිමින්, රැක ගනිමින් පෝෂණය කරන දෙයක් ඒ.

ගුණධර්ම කියූ සැණින් කෙනෙකුට හිතෙන්න පුළුවනි ධ්‍යාන උපදවා ගනිමින් ලබන සුවිශේෂී චිත්ත දියුණුවක් එයින් අපේක්ෂා කරනවා කියලා. එය සුවිශේෂයි තමයි. නමුත් දුවේ පුතේ, ගුණධර්ම පටන් ගන්නේ ඊට බොහොම කලින්. ඒ සුවිශේෂත්වය කරා යන්න උපකාර වෙන්නේ පුංචි ම තැන ඉඳන් දියුණු කරන ගුණධර්මයන් ම තමයි.

ගෙදරින් ම පටන් ගමු

ඔබට මෙය නිවසෙන් ම පටන් ගන්නට පුළුවනි. වැඩිහිටියන්ට ගරු කිරීම කෙනෙකු තුළ උපදින ගුණයක්. අම්මා, තාත්තා, සීයා, ආච්චි විතරක් නෙවෙයි පවුලේ වැඩිමහලු සහෝදර සහෝදරියන් අයිති වෙන්නෙත් වැඩිහිටි පාර්ශවයට. අපට වඩා වයසින් වැඩි කෙනෙකු පැමිණි විට අසුනින් නැගී සිටින පුරුද්දක් බාල වියේ අප තුළ තිබුණා. අප එසේ නොකෙරුවොත් මාපියන් තරවටු කරනු ලැබුවා. මාපියන්ට, වැඩිහිටියන්ට ගෞරව දැක්වීම මනා කොට තැන්පත් කරනු ලබන, සැපය සලසාලන පුණ්‍ය නිධානයන්ට අයත් බව සම්බුදුරජාණන් වහන්සේ නිධිකණ්ඩ නම් සූත්‍ර දේශනාවේ දී වදාළා. වයසින් වැඩී යද්දි අප විසින් මේ ගුණධර්ම නොසලකා හරිනු ලැබූ නිසා පින් රැස්කර ගන්නත්, ජීවිතයේ අපට වඩා යම් වයස් කාලයකින් පරිණත වූ ඒ වැඩිහිටියන්ගේ අත්දැකීම් තුළින් ලබා දෙන අවවාදයන්ගේ පිහිටා කටයුතු කරන්නත් තිබුණු ඉඩ අවම වෙලා. අද අද ම අපට හැකි නම් මේ ගුණයේත් පිහිටා සිටින්නට, අපේ ජීවිත කරා පුණ්‍ය ගංගාවක් ගලා එනවා වගේ ම කීකරු බවත්, කීකරු බව ඇති කරවන ගුණාංගත්, අවවාදයන් පිළිගන්නා ස්වභාවයත් කියන අතිශය යහපත් ගුණධර්මයන් වඩාත් දියුණු කර ගන්නට අපට අවස්ථාව ලැබෙනවා.

පුන් පොහොය දිනවල සතර වරම් දෙව් රජවරුන් ද අනෙක් පොහොය දිනවල ඒ දිව්‍ය සේනාව ද මනුලොව සිසාරා ඇවිද යන බව අප අසා තිබෙනවා. ඒ දිව්‍ය පිරිස සොයා බලන කරුණු අතරේ මුලින් ම තිබෙනවා, ‘මේ මිනිස් ලොව බොහෝ දෙනා මවට සලකනවා ද? පියාට සලකනවා ද? වැඩිහිටියන්ට ගරු සත්කාර කරනවා ද?’ යනු කරුණු. මේ මිනිස් ලෝකයේ දියුණුවක්, අභිවෘද්ධියක් ඇති බව ඒ දෙවිවරු තීරණය කරන්නේ එසේ ගුණධර්ම තුළ පිහිටමින් බොහෝ පින් රැස්කර ගන්නා බව පෙනී යන විටයි. එහෙම නැති ව, නිදි වරාගෙන ටෙලිනාට්‍ය බලනවා ද චිත්‍රපට බලනවා ද වීඩියෝ සෙල්ලම් කරනවා ද අන්තර්ජාලය භාවිත කරනවා ද අත්නොහැර ෆේස්බුක් ගිණුම් යාවත්කාලීන කරමින් ක්‍රියාකාරී සාමාජීකයෙක් ව සිටිනවා ද කියා දෙවිවරු විමසන්නේ නැහැ. එසේ සිටීම දියුණුවක්, අභිවෘද්ධියක් කියා කියන්නේත්, සිතන්නේත් අප. නමුත්, ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් අපට වඩා උසස් වූ, යසසින් ආඪ්‍ය වූ දෙවිවරු පවා දියුණුව, අභිවෘද්ධිය ලෙස දකින්නේ ගුණධර්මයන්ගේ වැඩී යාම.

අප ඔබට කියන්නේ තාක්ෂණය භාවිත නොකළ යුතුයි කියා නෙවෙයි. එය ඔබගේ කටයුතු පහසු කරවන්නක් මිසක් ඔබගේ දියුණුව, සාර්ථකත්වය තහවුරු කරන නිර්ණායකයක් නොවන බව තේරුම් ගත යුතු ම වෙනවා.

සිප් සතර පහදන ගුරුවරුන් නමදිමු

දෙමව්පිය වැඩිහිටියන් වගේ ම පාසල් ජීවිතය තුළ අපට අකුරු කියා දෙන ගුරුවරුන් අප විසින් ගෞරවයෙන් පිදිය යුතු පිරිසක්. දුටු විට නැගිටිමින්, නැති තැන අපහාස උපහාසයන් කරද්දී ඒ ගෞරවය නිසි ලෙස ලබා දීමක් වන්නේ නැහැ. ගුරුවරු අපට කියා දෙන ශිල්පය මතු දවසක අපට සමාජයීය වශයෙන් ප්‍රයෝජනවත්, වැදගත් පුද්ගලයෙක් වන්නට උපකාරක වනවා. ගුරුවරුන් ශිල්ප කියා දෙන නිසයි අද අපට හෙට දවසේ අප කරන රැකියාවන් ගැනත්, අනාගතය ගැනත් යම් යම් සැලසුම් තිබෙන්නේ. ඇති තැනත්, නැති තැනත් වචනයෙන්, හැසිරීමෙන්, සිහි කිරීමෙන් පවා අපට ඒ ගුරු පිරිස විෂයෙහි මහත් ගෞරවයක්, භක්තියක්, සෙනෙහසක් තිබිය යුතු වනවා. ගුරුවරයා කෙරෙහි මේ ආකාරයෙන් මැනැවින් පිළිපැදීම අප තුළ ශිල්පය පිහිටන්නටත් උපකාරක වනවා. සොඳුරු මහනෙල් මල් පිබිදෙන්නේ දිය පිරි විලක මිස අසූචි වළක නෙවෙයි නේ ද…

මිතුරන්ට මිතුරු වෙමු

අපත් සමඟ සිටින පිරිස ඇසුරු කරන ආකාරය තුළ පවා දුවේ පුතේ අප සැලකිලිමත් විය යුත්තේ ගුණයන් උපදවා ගැනෙන ආකාරයටත්, ගුණයන් රැකෙන ආකාරයටත්, ගුණයන් දියුණු වන ආකාරයටත් හැසිරෙන්නයි. සාමාන්‍යයෙන් අම්මා, තාත්තා, වැඩිහිටියන්, වැඩිමහලු සහෝදර සහෝදරියන්, ගුරුවරුන් අතරේ සිටිනවාට වඩා යම් නිදහස් බවක් අපට හිතමිතුරන් අතරේ දැනෙනවා. ඒ නිසා ම, අප කියන වචනය ගැන එතරම් සැලකිලිමත් නැහැ. හැසිරීම ගැනත් එතරම් සැලකිලිමත් නැහැ. හිතමිතුරන් අතරේ අප වෙනස් ම පුද්ගල චරිත බවට පත්වෙනවා. ‘නිදහස’ කියා අප වරදවා වටහා ගන්නා ඔය ස්වභාවය නිසා දුවේ පුතේ, මාපිය, ගුරුවර, වැඩිහිටි පිරිස අතරේ අප විසින් ආරක්ෂා කරන සංවරය, හික්මීම අපට අහිමි වෙනවා. ඒ නිසා ම අපි කයින් අසංවර වෙනවා. වචනයෙන් බොහොම අසංවර වෙනවා. හැබැයි අපි එහෙම ‘අසංවර වුණේ යාළුවෝ අතරනේ’ කියලා, ඒ අසංවරව කටයුතු කිරීමේ ආදීනව අපට නො ලැබී යන්නේ නැහැ. විපාක නො දී ගෙවී යන්නේ නැහැ. ජීවිතයේ සියලු යහපත උදා කරලන ගුණධර්ම උපදවාගෙන වැඩි දියුණු කරන්නට අප කැමති නම් දුවේ පුතේ, යාළුවෝ අතරෙත් අප බොහොම පරිස්සමෙන් ඒ ගුණයන් රැකගත යුතු වෙනවා.

ප්‍රිය වචන, සමඟිය ආරක්ෂා වන වචන, අන් අය තුළ ඇති ගුණ දකිනා ස්වභාවය, ඒ ගුණයන් නොනසනා ස්වභාවය හා අගය කරන ස්වභාවය, ඇති තැනත් – නැති තැනත් මිතුරු බවින් ම පවතින ස්වභාවය, වරදින් වළක්වාලන ස්වභාවය, යහපත් ගුණධර්ම දියුණු කරන්නට උපකාරක වන ස්වභාවය අප තුළ පිහිටා තිබීම අපේ ආදරණීය යහළුවන්ටත්, අපටමත් සැබැවින් ම විශාල යහපතක් සලසාලනවා.

ඔබේ හිතමිතුරන් විසින් අනෙක් හිතමිතුරන් ව විශේෂයෙන් හඳුන්වන ආකාර ඔබ අසා තිබෙනවා. “එයා එක්ක හිටියොත් නම් හොඳට හිනා වෙන්න පුළුවන්. හරි ම ෆන්.”, “අරයා නම් රටේ ම විස්තර දන්නවා. ඕනේ දෙයක් දැන ගන්න එයාගෙන් ඇහුවා නම් ඇති.”, “මේ කෙනා එක්ක හිටියොත් විනෝද වෙන්න පුළුවන් අඩුවක් නැතිව ම.”, “අරයා හරි ඉක්මනට තරහා යන කෙනෙක්. පරිස්සමෙන් ආශ්‍රය කරන්න ඕනේ.”, “මෙයා කේළාම් කියනවා.” මේ ආදි වශයෙන් ගතිගුණ අනුව ඒ ඒ අයට විශේෂ වූ හැඳින්වීම් සිදු කෙරෙනවා. ඒ සියල්ල අතරේ ඔබ ගැන ඔබේ යහළුවන් කතා කරන්නේ, “එයා නම් පින් කරන කෙනෙක්. එයා එක්ක හිටියොත් දහම් කරුණක් හරි ඉගෙන ගන්න ලැබෙනවා.” කියල නම්, දුවේ පුතේ ඔබ ඇත්තටම සතුටු විය යුතුයි.

මේ හඳුන්වා දීම අප සඳහන් කළ ආකාරයට ප්‍රශංසාත්මක නොවන්නත් පුළුවනි. පිරිහෙන සමාජයක ගුණධර්ම ප්‍රශංසා ලබනවා කියන කරුණු දුර්ලභ වනවා. ඇතැම් විට ඔබට ලැබෙන හැඳින්වීම, “අපෝ එයා නම් බණ එක්කනේ… සෝවාන් වෙන්න ළං වෙලා වගේ ඉන්නේ. සෝවාන් ද දන්නෙත් නෑ…” වගේ දෙයක් වෙන්නත් බැරිකමක් නෑ. බොහොම මැදහත් ව ඒ දේවල් දකින්න, විඳ ගන්න පුළුවන් සිතක් අපට ලැබෙන්නේ ද අප තුළ පිහිටන ගුණධර්ම නිසයි. ඒ ආකාරයෙන් අවඥා සහගත ව, උපහාසාත්මක ව කරුණු පැවසෙනවා වුණත් ඔබ දක්ෂ වෙන්න ඕනේ මෙලොවත්, පරලොවත් යහපත සලසන ගුණධර්මයන් තුළ ම පිහිටා සිටින්නට.

දියුණු කළ හැකි දෙයකි මේ…

දුවේ පුතේ, ගුණධර්මයන්ගේ දියුණුව අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ බොහෝ සෙයින් වර්ණනා කළා. එය නුවණැති සත්පුරුෂයන්ගේ නිබඳ ප්‍රශංසාවට පාත්‍ර වන කරුණක්. අම්මාට සලකන, තාත්තාට සලකන, ගුරුවර වැඩිහිටියන්ට සලකන, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ගරු සත්කාර දක්වන ගුණශෝභාවන් අප තුළ තිබුණොත් තමයි අප බුද්ධ රත්නයට ගරු කරනවා වන්නේ. අම්මාට, තාත්තාට ගරු නොකර තෙරුවනට ගරු කරනවා කියන කාරණය සිදු නොවන්නක්, අභව්‍ය වූ දෙයක්. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ව සරණ ගියා නම් උන්වහන්සේ විසින් ආදර්ශයෙන් ම පෙන්වා දුන් අයුරින් මාපියනට සැලකිලි දැක්වීම සිදු කරනවා ම යි. ගෙදරින් පටන් අරගෙන මුළු මහත් ජීවිත කාලය පුරා ම රටට ලෝකයට යහපත ම දන් දෙන්න පුළුවන් ගුණවත් භාවයක් උපදවා ගන්නා ආකාරය දුවට පුතාට කියලා දුන්න වෙන දැක්මක් ලෝකයේ තිබුණ ද? දුව පුතා අද ජීවිතයට සමීප කරගෙන තිබෙන කාටුන්, ටෙලිනාට්‍ය, චිත්‍රපට, අන්තර්ජාලය ආදි දේවල යම් තැනක දී එවැනි දැක්මක් සමීප වුණා නම් ඒත් බුදුරජාණන් වහන්සේ ලෝකයට දායාද කළ ධර්මය උපුටා ගැනීමක් මිසක් පුහුදුන් සිතක උපන් ආශ්චර්යවත් වූ දෙයක් නෙවෙයි.

සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ සිතක උපදින්නා වූ සියලු ගුණයන් පරිපූර්ණ වශයෙන් ම උපදවා ගත් උත්තමයාණන් වහන්සේ. උන්වහන්සේ ඒ ගුණයන් අප තුළත් උපදවා ගනිමින් සියලු යහපත සලසා ගැනීමටයි ධර්මය දේශනා කළේ. කුසල් දහම් කියන්නේ දියුණු කළ හැකි දෙයක් බවත්, ඒවා දියුණු කළ නො හැකි නම් “කුසල් දහම් දියුණු කළ හැකි යි. ඒවා දියුණු කරන්න.” කියා තමන් වහන්සේ නොපවසන බවත් සම්බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වගේ ම, කුසල් දහම් එක තැන තිබීම වුණත් තමන් වහන්සේ වර්ණනා නොකරන බවත් උන්වහන්සේ වදාළා.

ගුණයෙන් ලොව අග පැමිණි ඔබ අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ අගය කළේ, ප්‍රශංසා කළේ ගුණධර්මයන්ගේ වැඩී යාම ම යි. බොහෝ දෙනාගෙන් අපට අගය කිරීම්, ප්‍රශංසාවන් ලැබී තිබෙනවා නේ ද? දුවේ, පුතේ අප කවද්ද අප සරණ ගිය ශාස්තෘන් වහන්සේගෙන් ප්‍රශංසා ලබන්නේ? අප කවද්ද ශාස්තෘන් වහන්සේ ප්‍රශංසා කරන ආකාරයෙන් ගුණධර්මයන්ගෙන් වැඩී යන්නේ?

අසිරිමත් විප්ලවයක්…!

අද අද ම පටන්ගෙන බොහොම උනන්දුවෙන් පවත්වා ගත යුතු වැඩපිළිවෙළක් මේ. හැම දවසක ම නිවසින් පිටත් වෙද්දී දණ ගසා අම්මාට තාත්තාට වඳින්න පුරුදු වෙන්න, ඔබ තුළ වැඩෙන්නේ ගුණයක්. ගුරුවර, වැඩිහිටියන්ට අසුනින් නැගිට ගරු කිරීමේ පටන් බුහුමන් දැක්වීම් සිදු කරන්න, ඔබ තුළ වැඩෙන්නේ ගුණයක්. සම්බුද්ධ වන්දනාව සිදු කරන්න, ඔබ තුළ වැඩෙන්නේ ගුණයක්. සතුන්ට පවා කාරුණික වෙන්න, ඔබ තුළ වැඩෙන්නේ ගුණයක්. යහළුවන්ගේ යහපත කැමැත්තෙන් පිනට, කුසලයට ඔවුන් යොමු කරන කෙනෙක් වෙන්න, ඔබ තුළ වැඩෙන්නේ ගුණයක්. ගහට වැලට සතා සිව්පාවාට ආදරය කරන්න, ඔබ තුළ වැඩෙන්නේ ගුණයක්. සිල් සමාදන් ව රැක ගන්න, ඔබ තුළ වැඩෙන්නේ ගුණයක්. වචනය සංවර කරගෙන රැක ගන්න, ඔබ තුළ වැඩෙන්නේ ගුණයක්. ගේ ‍ෙදාර සතුටින් අමදින්න, පිරිසිදු කරන්න, ඔබ තුළ වැඩෙන්නේ ගුණයක්. අන් අයට උපකාර කරන්න, ඔබ තුළ වැඩෙන්නේ ගුණයක්… දුවේ පුතේ, ඔබ මේ දේවල් අනුව පිළිපදිද්දී අපට හෙට මුණගැසෙන්නේ ගුණදම් ආකරයක්. හෙට දවස යහපත් වේවා, සුවදායි වේවා කියා අප තුළ යම් අපේක්ෂාවක් පවතිනවා ද ඒ අපේක්ෂාව මල්ඵල ගන්වන අපේ වස්තුව බවට ඔබ පත් වනවා. මිනිස් උයන්තෙර සුපිපෙන සුවඳ මල තමයි ඔබ…! එය සැබැවින් ම අසිරිමත් චින්තන විප්ලවයක්.

දුවේ පුතේ, මේ තමයි මේ ලෝකයත්, පරලොවත්, සසරත් දිනන මඟ. පරිගණක විප්ලවයකින් කළ නො හැකි ඒ මහානීය වෙනස ඔබ තුළ උපදවාලන ගුණධර්මයන්ගේ පිහිටා කටයුතු කරමින් සියලු ලොවට සියලු යහපත දන් දෙන්නට ඔබට තෙරුවනේ ආශීර්වාදය වේවා!

සටහන – උදුලා පද්මාවතී