පුංචි දුවේ පුතේ,

අපේ රටේ හැම ප‍්‍රදේශයකට ම වාගේ පසුගිය කාලයේ වැසි ඇද හැළුනා. කුඩයක් ඉහළගෙනවත් යන්න අමාරු තරම් ලොකු වැහි පුංචි ඔයාලත් දකින්න ඇති. වැස්සත් එක්ක ම ඊ ළඟට එන ප‍්‍රශ්නය තමයි නොයෙක් ලෙඩ පැතිර යන එක. බලන්නකෝ, මේ වැහි කාලෙදි ඔයාලගේ පන්තිවල යාළුවෝ කී දෙනෙක් නම් අසනීප වුණා ද? උණ, හෙම්බිරිස්සාව, කැස්ස… සමහර විට ඔයත් ලෙඩ වෙන්න ඇති.

අසනීප හැදුණා ම අපිට අපේ වැඩ කටයුතු කර ගන්න අපහසු වෙනවා නේ ද? ගොඩක් වෙලාවට අම්මා හරි තාත්තා හරි අපි ළඟින් ම ඉඳගෙන උපකාර කරනවා. බෙහෙත් අරන් දෙනවා. කෑම ටික කවනවා. පිරිසිදු කරනවා.

නිදි වරාගෙන අපිව සනීප කර ගන්න මහන්සි වෙනවා. එ් තමයි අම්මගේ, තාත්තාගේ ආදරේ. එ් වගේ ම පුතේ අම්මා තාත්තා ගොඩාක් ආදරෙන් එ් සිදු කරන්නේ අපි කාටත් එක ම රැකවරණය, එක ම පිළිසරණ වුණ සම්බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීමක්. මොකද සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘‘යමෙක් මට උපස්ථාන කරන්නේ ද හේ ගිලනුන්ට උපස්ථාන කරන්නේ ය.” කියලයි…

බලන්න, අපි කාටත් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න අදටත් අවස්ථාව තියෙනවා නේ ද? අසනීප වෙලා ඉන්නේ ඔයාලගේ අම්මා, තාත්තා, ආච්චි, සීයා, සහෝදර සහෝදරියෝ හෝ යහළුවෝ වෙන්න පුළුවනි. පුංචි ඔයාලට කරන්න පුළුවන් හැම උපකාරයක් ම එ් අය වෙනුවෙන් කරන්න. කරුණාවෙන් සුව දුක් අහලා බලන්න. යහළුවන්ට අතපසු වෙන පාඩම් වැඩවලට උදව් කරන්න. මේ හැම දෙයින් ම සම්බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයන් වෙලා ගොඩාක් පින් කර ගන්න ඔයාලට පුළුවනි.

මේ ආකාරයට පින් කර ගන්න හැටි අපට කියා දුන්න සම්බුදුරජාණන් වහන්සේ ලෙඩ නො වී ඉන්න, ආබාධ අඩුව ඉන්න කළ යුතු දේත් මහා කරුණාවෙන් ම පෙන්වා වදාළා. අන් අයට හිංසා නො කර ඉන්නවා නම්, දඬු මුගුරු අත් හැරලා ඉන්නවා නම් අන්න එ් අය මනුස්ස ලෝකයේ ඉපදෙනකොට අල්පාබාධ සහිත වනවා. එ් නිසා දුවේ පුතේ, මේ ජීවිතයේ රෝගාබාධවලට ගොදුරු වුණ අයට උපකාර කරලා පින් කර ගන්න අතරේ ම නැවත සුගති උපතක් ලබද්දි ආබාධ අඩු වන්නට විපාක ගෙන දෙන යහපත් පුරුදු ඇතිව ජීවත් වෙන්නත් සිහි තබා ගන්න.

තෙරුවන් සරණයි!

මහාමේඝ 2015 ඉල් කලාපය
WWW.MAHAMEGHA.LK