පුංචි දුවේ පුතේ,

වර්තමාන සමාජයේ ඉගෙන ගන්න දරුවන් වගේ ම වැඩිහිටි අයත් නිතර ම කරන මැසිවිල්ලක් තමයි “කිසිම දෙයක් මතක හිටින්නෙ නැහැ” යි කියන කාරණය. කලින් ඉගෙන ගත්ත දේවල් වගේ ම දැන් ඉගෙන ගන්න දේවලුත් මතක හිටින්නෙ නැති වීමට හේතු වන කරුණු කීපයක් අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරල තියෙනවා. මම අද ඔයාලට ඒ කරුණු කිහිපය කියල දෙන්නම්. හොඳට අහල හිතට ගන්න ඕන. හොඳ ද?

ඉතින් දරුවනේ, සංගාරව කියන බ්‍රාහ්මණයෙකුටත් ඔය පාඩම් හිටින්නෙ නැති ප්‍රශ්නය තිබුණා. දවසක් මේ බමුණා බුදුරජාණන් වහන්සේ ළගට ඇවිත් මෙන්න මෙහෙම අහනවා. “ස්වාමීනී, අපි ඉගෙන ගන්න වේද මන්තර කොච්චර පාඩම් කළත් මතක හිටින්නේ නෑනෙ. ඒකට හේතුව මොකක්ද?” ඒ වෙලාවෙ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, “බ්‍රාහ්මණය, ඉගෙන ගන්න දේවල් මතක හිටින්නෙ නැති වීමට හේතු කීපයක් ම තියෙනවා.” කියා. පළමුවෙනි කාරණය තමයි කාම අරමුණුවලට ඇති ආශාව. ඒ කියන්නෙ දැකපු රූප, අහන ශබ්ද, ගඳ සුවඳ, රස, පහස කියන දේවලට ආශාවෙන් ඒවට ම හිත යොදවනවා නම් බොහෝ කාලයක් ඉගෙන ගත්ත දේවල් වගේ ම දැන් පාඩම් කරන දේවලුත් අමතක වෙලා යනවා. ඒකෙන් තමාගේ යහපත තේරෙන්නෙත් නෑ, අනුන්ගේ යහපත තේරෙන්නෙත් නෑ කියල දේශනා කළා. බලන්න, දුවලා පුතාලත් රූපවාහිනිය බලන්න ම කැමති වෙනවා නම්, ගී සින්දු අහන්න ම කාලය ගෙවනවා නම්, කන කෑම වර්ගවලට කෑදර නම්, නිතර ඒ දේවල් ගැන ම හිත හිතා ඉන්නවා නම් පාඩම් හිටින්නෙ නෑ. කරපු පාඩමත් අමතක වෙලා යනවා. බුදුපියාණන් වහන්සේ මේ ගැන තවත් පැහැදිලි කරන්න උපමාවකුත් දේශනා කළා. ඔන්න එක එක පාට වර්ග කලවම් කරපු වතුර භාජනයක් තියෙනවා. ඒ වතුර එකෙන් මූණ බලන්න පුළුවන් ද ඇහුවා. බැහැ නේ ද? අන්න ඒ වගේ එක එක ආශාවන්ට හිත යොදවගෙන ම හිටියොත් පාඩම් හිටින්නෙ නැතුව යනව කියල දේශනා කළා.

ඉතින් දරුවනේ, ඊ ළඟ කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කළා හිතේ තිබෙන තරහ. නිතර ම තරහෙන් කේන්තියෙන් ඉන්නවා නම් ඒ අයටත් පාඩම් හිටින්නේ නෑ. කියල දේශනා කළා. නිතර ම රණ්ඩු වෙවී තරහෙන් ම හිටියොත් ඔයාලටත් වෙන්නෙ ඒ දේ ම තමයි. ඒකටත් උපමාවක් දේශනා කළා. හොඳටම රත් වුණ උතුරන වතුර භාජනයකින් මුහුණ බලන්න බැහැ නේ ද? ඒ වගේ තරහෙන් පුපුර පුපුර ඉන්න අයටත් කරපු පාඩම් මතක නැති වෙනවා. පාඩම් හිටින්නෙත් නැතුව යනවා කියල දේශනා කළා.

ඊ ළඟ කාරණය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනෙකුට නිදිමතක්, කම්මැලිකමක් තිබුණොත් ඒත් පාඩම් හිටින්නේ නෑ – කරපු පාඩමත් අමතක වෙලා යනවා කියල. ඉතින් දුවලා පුතාලත් ඒ විදිහට නින්දට ම ආසා කළොත්, කම්මැලිව කාලය ගත කළොත් ඉගෙන ගන්න දේත්, ඉගෙන ගත්ත දේත් අමතක වෙලා යනවා. ඒකට බුදුපියාණන් වහන්සේ දේශනා කළ උපමාව තමයි, දිය සෙවෙලින් පිරිල තියන වතුර භාජනයකින් මූණ බලන්න බැරි වෙනවා වගේ, නිදිමත අලසකමින් ම කාලය ගත කළොත් පාඩම් කරපු හැමදේ ම අමතක වෙලා යනවා කියන එක.

ඒ වගේම දරුවනේ, පාඩම් මතක නොහිටින්න හේතු වන ඊ ළඟ කරුණ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිතර ම නොයෙකුත් දේවල් කල්පනා කර කර, කරපු නොකරපු දේවල් ගැන හිතමින් විසුරුණු සිතක් තියෙන පුද්ගලයාටත් පාඩම් හිටින්නෙ නෑ කියලයි. පාඩමට හිත නොයොදා එක එක දේවල් හිතමින් කරපු වැරදි වැඩ ගැන පසුතැවෙමින් සිටින හැමෝටම වෙන්නෙ ඔය විදිහට තමයි. ඒක හරියට තද සුළඟකින් කැළඹි කැළඹී තිබෙන වතුර භාජනයකින් මූණ බලා ගන්න බැරුව යනව වගේ කියල බුදුරජාණන් වහන්සේ උපමාවකුත් දේශනා කළා.

අවසාන වශයෙන් තවත් කරුණක් දේශනා කළා. ඒ තමයි සමහරු ඉන්නවා නිතර ම සැකයෙන් ඉන්නෙ. ‘මේක හරියයි ද? මේක වරදියි ද? මෙහෙම හොඳයි ද? නරකයි ද?’ කියලා නිතර අවිශ්වාසයෙන් සැක කරමින් ඉන්නෙ. ඉතින් එහෙම හිතන අයටත් කරපු පාඩමත් කරන පාඩමත් හැමදේම අමතක වෙලා යනවා කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඉතින් ඔය දරුවනුත් ඉගෙන ගන්න ගත්ත දේවල් ගැන හරි, ගුරුවරුන් ගැන හරි නිතර සැකයෙන් බලමින් අවිශ්වාසයෙන් ඒ ගැන ම හිත හිතා හිටියොත් වෙන්නෙ සංගාරව බමුණාට වුණ දේ ම තමයි. බුදුරජාණන් වහන්සේ ඒ කරුණටත් ලස්සන උපමාවක් දේශනා කළා. ඒක හරියට ඔන්න කළුවරේ වතුර භාජනයක් තියෙනවා. හොඳට ම බොර වෙලා කිලුටු වෙලා. ඒ වගේ වතුර භාජනයකිනුත් මූණ බලන්න බැහැ වගේ නිතර සැකයෙන් ඉන්න අයටත් පාඩම් මතක හිටින්නේ නැහැ කියල දේශනා කළා. ඉතින් ඔය විදිහට සංගාරව බ්‍රාහ්මණයාට දේශනා කළ මේ කරුණු පහ ඔහු හොඳින් ඉගෙන ගත්තා. ඒ ගැන සතුටට පත් වුණා. දැන් දුවලා පුතාලටත් ඒ කරුණු පහ මතකයි නේ ද? නොයෙකුත් ආශාවන් ගැන ම හිත හිතා ඉන්න හොඳ නැහැ. නිතර තරහෙන් ඉන්න එපා. නිදිමත අලස බව දුරුකර ගන්න. විසිරුණු පසුතැවිලි වන සිතක් ඇතිකර ගන්න හොඳ නෑ. නිතර සැකයෙන් ඉන්න හොඳ නෑ.

ඉතින් දරුවනේ, මේ කරුණු හොඳට දැනගෙන ඒවඳායින් වැළකිලා අධ්‍යාපන කටයුතු කළොත් ඔබගේ අනාගතය වාසනාවන්ත වේවි. බුදුපියාණන් වහන්සේ මේ දේශනා කළේ අපේ හිත්වල ඇතිවන අකුසල් පහක් ගැනයි. භාග්‍යවතුන් වහන්සේ මේවායින් මිදෙන්නත් ක්‍රමයක් දේශනා කළා. නිතර මෙත් සිත වඩන්න. බුදුගුණ භාවනාව වඩන්න. ඔබට පහසු භාවනාවක් නිතර වැඩීමෙන් පුරුදු වීමෙන් මේ අකුසල් සිතුවිලි දුරුකර ගන්න පුළුවන් බව භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය යි. ඉතින් පින්වත් දුවලා පුතාලත් ඒ විදිහට කටයුතු කළොත් කිසිදා වරදින්නේ නෑ. එයින් මෙලොව පරලොව දෙලොව ම ජය ගන්න ඔබ සැමට හැකි වේවි. එසේ ම වේවා…!

තෙරුවන් සරණයි!!!

සටහන – මානෙල් නැන්දා