පුංචි දුවේ/ පුතේ,

අම්මා, තාත්තා කියන්නේ මේ ලෝකේ අපිට තියෙන වටිනා ම සම්පතක්. අපි වෙනුවෙන් එ් අය මොන තරම් වෙහෙසෙනව ද? කැපවීම් කරනව ද? හොඳට හිතල බලන්න ඔයාලා උදේ ම නඟිටින කොට අම්මා නැඟිටල කෑම උයල හැම දේ ම කරල ඉවරයි. එ් වගේ ම පුංචි ඔයාලා රෑට නිදාගන්න යනකොටත් අම්මා වැඩ. ලෙඩක් දුකක් හැදුන ම අපි ළඟට ම වෙලා අපිව ආදරෙන් නිදි වරාගෙන බලාගන්නවා. එ් අම්මා වැරද්දකට පුංචි දඬුවමක් දුන්නම ඔයාලා අම්මා එක්ක තරහ වෙලා එයාලට බණින්න වුණත් සූදානම් වෙනවා. අන්න එ්ක නම් නරක පුරුද්දක්. අම්මාගේ කැපවීම මහන්සිය ආදරය තමයි ඔයාලව හොඳ මාර්ගයට යවන්න ගොඩාක් බලපාන්නේ.

එ් වගේ ම තාත්තා කොයි තරම් වෙහෙස වෙනව ද ඔයාලව පෝෂණය කරන්න. උදේ ම රැකියාවට ගිහින් මහන්සි වෙලා ගෙදරට අවශ්‍ය දේවල් අරගෙන තමයි තාත්තා ගෙදර එන්නේ. අම්මා වගේ ම ලෙඩක් දුකක් හැදුණ වෙලාවට තාත්තා ඔයා ගැන කොච්චර හොයල බලනව ද? එ්ත් තාත්තා වැරද්දකට දඬුවමක් දුන්නොත් ඔයාලා එයත් එක්ක තරහ වෙලා බැණලා කොච්චර දේ කියනව ද? එහෙම කරන එක වැරදියි නේ ද? ඔයාලා එ් විදිහට එ් අයට තරහ පෙන්නුවත් එ් අය ඔයාලත් එක්ක තරහ වෙන්නෙ නෑ නේ ද?

හොඳට කල්පනා කරල බලන්න. අපේ අම්මා තාත්තා මේ හැම දේ ම කරන්නේ අපිව හොඳ තැනකට ගේන්න නේ ද? කියලා. හොඳට ඉගෙන ගෙන හොඳ සිරිත් පුරුදු වෙලා එ් අය ආදරයෙන් බලා ගන්න ඔයාට පුළුවන් වුණොත් ඔයා සාර්ථක දරුවෙක් වෙනවා. බෝසත් දරුවෙක් වෙනවා. අද ඉඳන් අම්මා, තාත්තා ගැන වෙනදාට වඩා හිතල කටයුතු කරන්න පුරුදු වෙන්න. එ්ක පුංචි ඔබේ ජීවිතයට ආශීර්වාදයක් ම වේවි.

තෙරුවන් සරණයි!

ටනූෂා නැන්දා