ලෝකයේ එක්තරා රන් පියස්සක් තිබෙනවා. එ් පියස්සෙන් ආවරණය වෙන්නේ සුදු මුදු රැසින් වැසී ගත්ත, අනන්ත අප‍්‍රමාණ ආශ්චර්යයන්ගෙන් පිරී ගත්ත, කිසිම දිනෙක අසත්‍ය වචනයක හෝ පරුෂ වචනයක හෝ කේළමක හෝ හිස් වචනයක පහසක් නො ලදපු දන්තයන් හතළිහකින් එකක්…! එ් රන් පියස්ස යට රන් කරඬුවක් තුළ සුවසේ වැඩ සිටින්නේ මේ මහා භද්‍ර කල්පයේ සිව්වනුව ලොව පහළ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දළදා වහන්සේ. සුන්දර සෙංකඩගල සුදිලෙන රන් පියස යට වැඩ වෙසෙන එ් උත්තම දන්ත ධාතූන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

සෑම කල්හි ම උතුම් වූ, සත්‍ය වූ, යහපත් වූ, අර්ථවත් වූ වචනයෙන් ම ලොවට හිත සුව දන් දුන් එ් සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුව මඬලින් ගලා ආ පාරිශුද්ධ සම්බුද්ධ භාෂිතයන්ගේ නිර්මල ස්පර්ශයෙන් සුපූජනීයත්වයට පත් වූ එ් සම සතළිස් දන්ත ධාතූන් වහන්සේලා අතුරින් දෙනමක් ම වැඩ සිටින්නේ අප උපන් මේ බිමේ. සෙංකඩගල දළදා මැදුරේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ වෙසෙන අතරේ සෝමාවතී මහා සෑයේ සුවඳ ගර්භය දකුණු දළදා වහන්සේට සුගන්ධ කුටිය බවට පත් වුණේ අපේ ම භාග්‍යයකට. තවත් දන්ත ධාතූන් වහන්සේනමක් තව්තිසා දෙව්ලොව දෙව් බඹුන්ගේ වන්දනාමාන ලබමින් වැඩ වාසය කරනවා. සතරක් වූ රදනක දන්තයන්ගෙන් අනෙක් දළදා වහන්සේ ගන්ධාරයේ අප‍්‍රකට පුදබිමක වැඩ වෙසෙන බවයි ශාසනික ඉතිහාසය පෙන්වා දෙන්නේ.

දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහා නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දියරින් හෙබි උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාවේ පළමු පහසින් අනුත්තරීය වූ එ් සුගත තථාගත දළදා වහන්සේලාට අප මෙසේ නමස්කාර කරමු.

සතර දළදා නමස්කාරය

දන්ත කුමරු හා හේමා කුමරිය සිරසින් ගෙන වඩිනා
රාජසුපූජිත දළදා මැදුරේ සුවසේ වැඩ සිටිනා
රන් විමනක රන් කරඬුව තුළ හිඳ සුදු බුදු රැස් දිලෙනා
මම් නමදිම් වම් දළදා සමිඳුන් දොහොත් නගා බැතිනා

සෝමවතිය හා ගිරි අබා කුමරු මහානාග වෙහෙර කරනා
නාග ලොවින් වැඩ සෑ ගැබ තුළ මිණි කරඬුුව තුළ දිලෙනා
දේව බඹුන්ගේ වන්දනාව මැද සුදු බුදුරැස් දිලෙනා
මම් නමදිම් දකුණත් දළදා හිමි දොහොත් නගා බැතිනා

තව්තිසාවෙ සක්දෙව් විමනේ මැද පරසතු මල් පිදෙනා
සිළුමිණි වෙහෙරේ මිණි කරඬුව මැද සුවසේ වැඩ හිඳිනා
ලෝකනාථ මුනි ගුණ බලයෙන් නිති සුදු බුදුරැස් දිලෙනා
මම් නමදිම් සිරි දළදා සමිඳුන් දෙව්ලොව වැඩ සිටිනා

දඹදිව් තලයේ කඳුහෙල් අතරේ නො පෙනී වැඩ සිටිනා
දෙව්බඹ පිරිසේ රැකවල් ලැබ පින්සාර ගුණෙන් දිලෙනා
ගන්ධාරපුරේ වැඩ සිටින උතුම් දළදා හිමි සිහි වෙමිනා
මම් නමදිම් සිරි දළදා සමිඳුන් දොහොත් නගා බැතිනා

සාදු! සාදු!! සාදු!!!

මහාමේඝ 2015 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත ‘පින් මතුවෙන වන්දනා’ ග‍්‍රන්ථය ඇසුරිනි.