අතිශය ඛේදනීය විපත්ති සමුදායකට මුළු මහත් ලෝකය ම මුහුණපාන වර්ෂයක් ලෙස සැලකුණු 2012 නිමා කරමින් 2013ට පියනැගීමට තව ඇත්තේ දින කිහිපයකි.

අන් වර්ෂාවසානයන්හි දක්නට ලැබුණ අන්දමේ මහා කලඑළියක් 13 එළිපත්තේ සිටින ලෝකයේ ඇති වී නැත. ‘12’ ඔවුන් තුළ ජනිත කළ සන්ත‍්‍රාසය නිසා අවසන් තප්පරය පවා ගෙවීයන තුරු ඔවුන් ඒ දෙස ම ඇස ගසා ගෙන සිටින හැටියකි.

අන්තරා රහිත ව හෝ සිදුවන අන්තරාවෙන් තම ජීවිතයට හානියක් රහිතව 12 ගෙවී ගොස් 13ට පියනගන්නට යමෙකු සමත් වුවහොත් මෙවන් මරණ බියක් තුළ තම තමන් ජීවත් වූ බව පමණක් නො ව ජීවිත නිරන්තරයෙන් ඒ බිය ම උරුමකරගෙන පවතින බව ද ඔවුන්ට අමතක වී යන බව නිසැක ය. එපමණක් නො ව පෙර පරිද්දෙන් ම අලූත් අවුරුද්දක අලූත් වෙනසක් අත්දකින්නට සකලවිධ ආටෝප සාටෝපයන්ගෙන් පිරී ගත් උත්සව සැණකෙළි ශී‍්‍රයෙන් 2013 ද ඇළලී යන බව නිසැක ය.

මරණය දැන් දැන්වුව එළඹිය හැකි බව දැන දැනත් මිනිසුන් නටා ගයා පී‍්‍රති වන්නේ කිසිදින නො මැරෙන්නවුන් පරිද්දෙනි. මායාවරුන්ගේ දින දසුනෙන් මතු කළ ආන්දෝලනයක් වූ මේ දින කිහිපය අවසන එයින් මිදී ගත්තෝ ස්වකීය මායාවන් තුළ කම්සැපයෙන් මුසපත්ව නො වෙනස් සැපතක් ලූහුබැඳ යනු ඇත. එහෙත් හිටිහැටියේ මරණයට පත්වීමේ ඉඩ ප‍්‍රස්තාව ඇත්තේ 2012 අවසානයේ පමණක් ද?

කිසිසේත් නැත. අප මෙලොවට බිහි වූයේ යම් දිනක ද එදින පටන් ම ජීවිතවලට තිබුණේ එක ම ඛේදනීය ඉරණමකි. අප කිසිදු මොහොතක මරණයෙන් නිදහස් ව සිටියේ නැත. ව්‍යාධි, ජරා, මරණ ඉක්මවා නො ගිය ලෝකය ඒ දුක්ඛිත ඛේදාන්තය තම තමන්ගෙන් වසන් කර ගත්තේ කා, බී, ඇඳ පැළඳ සතුටුවන පී‍්‍රතිමත් බවේ වෙස්මුහුණ තුළ යථාර්ථය සඟවමිනි. එහෙත් හඬනා හඬ වසා නැගෙන්නා වූ මෙවන් මායාරූපී සිනහවන්ගෙන් කවර සැනසීමක් ද?

‘‘කෝනුභාසෝකිමා’නන්දෝ
නිච්චංපජ්ජලිතේසති
අන්ධකාරේන ඕනද්ධා
පදීපං න ගවෙස්සථ”

මේ ජීවිතය ආසාවෙන්, තරහින්, මෝඩකමින්, වයසට යෑමෙන්, රෝගවලින්, මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙළීමෙන් හැම තිස්සෙ ම ගිනි ඇවිලෙද්දි මොන හිනා ද? මොන සතුටක් ද? අනවබෝධය නමැති ඝන අඳුරේ ගිලී ඉන්න ඔබ පහනක් නො සොයන්නේ ඇයි?
(ධම්මපදය – ජරා වර්ගය)

ප‍්‍රමාදී වූවන්ගේ හිත මිතුරා වන පවිටු මරුගේ ග‍්‍රහණයෙන් නිදහස් වන්නට 2012 ගෙවීයන තුරු ප‍්‍රවේශම් වීමෙන් ඵලක් නැත. අලූත් අවුරුද්දක අලූත් වෙනසක් අත්දකින්නට කල් මැරීමෙන් ද ඵලක් නැත. මවාගත් පී‍්‍රතිමත් බවකින් පැටැලී ගත් ජීවිත වෙළී ඇති අවිඳු අඳුර දුරලන්නට ආලෝකයක් සෙවිය යුතු ම ය. එය කළ යුත්තේ 2013 වසරේ හෝ ඉන්පසු හෝ 2012 අවසන් මොහොත තුළ හෝ නොවේ; මේ මොහොතේ ම ය; දැන් දැන් ම ය.

තුන් ලොව එකලූ කළ ගෞතම නම් වූ භගවත් හිරු මඬලාණෝ විහිද වූ සදහම් ආලෝකය තවමත් නො සිඳී පවත්නේ ය.