ශ්‍රී ලංකාවේ වයඹ හා උතුරු ප්‍රදේශය හෙවත් නුවර කලාවිය, ක්ෂත්‍රීය ජන පරම්පරාවක වාසභූමිය වීම ආරම්භ වූයේ ව්‍යවහාර වර්ෂ පූර්ව හයවැනි සියවසේ දී සිට ය. ඉන්දියාවේ වයඹ ප්‍රදේශයෙනුත්, ඊසාන දිග ප්‍රදේශයෙනුත් තම්බපණ්ණියට හෙවත් සිංහල දේශයට පැමිණි මුල් ඉන්දු ආර්යයෝ වී ගොවිතැන ගැන දැන සිටියහ. බුදුරජාණන් වහන්සේට නෑයන් වූ ශාක්‍ය වංශිකයෝ කෘෂකයෝ වූහ. රජුන්, බමුණන් පවා නගුල් ගෙන සී සෑ අයුරු ත්‍රිපිටක ග්‍රන්ථයන්හි සඳහන් වෙයි. ලක්දිවට ගොඩබට මුල් ආර්යයන් ජනාවාස පිහිටුවා ගත්තේ පහසුවෙන් ජලය ලබා ගත හැකි ගම්බිම්වල ය. දැනට හඳුනාගෙන ඇති පුරාණතම ජනපද පිහිටි අරුවි ආරු ගඟේ දකුණු ඉවුරේ තම්බපණ්ණිය ද මල්වතු ඔය අසල අනුරාධග්‍රාමය ද කනදරා ඔය අසල උපතිස්ස ග්‍රාමය ද කලාඔයේ මුවදොර අසල උරුවේල ග්‍රාමය ද මහවැලි ගඟට නුදුරින් විජිත ග්‍රාමය ද ගල්ඔය දීඝවාපිය හා කිරින්ද මහා ග්‍රාමය ද යන ප්‍රදේශයන්හි වැව් අමුණු තනවා ගොවිතැන් කළ ආර්ය ජනතාව නව ශිෂ්ටාචාරයක් ලක්දිව ගොඩ නැගූහ.

වී ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කොටගත්, වැවෙන් උපන් සිංහල සංස්කෘතියක ආරම්භය ලංකාද්වීපයෙහි පාදූර්භූත වූයේ එතැන් සිට ය. ඒ පිළිබඳව දිගුකාලීන මානව විද්‍යාත්මක අධ්‍යයනයක යෙදුණු මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සිය ජීවිතයේ පරිණත වෘද්ධ අවධියේ දී ලියූ ‘මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය’ නම් ග්‍රන්ථයෙහි ලා දැක්වූ විවරණය, සෑම ලාංකික රටවැසියෙකුගේ ම අවධානයට හසුවිය යුත්තකැයි සිතමි. අප රට ජනකායගේ මූලය පිළිබඳ ඒ සා මහරු ප්‍රකාශයක් එතෙක් මෙතෙක් කිසිදු වියතකු අතින් ලියවී නැතැයි සිතමි. වික්‍රමසිංහයන්ගේ කියුම මේ ය:

‘ස්වාධීන සිංහල සංස්කෘතියක පටන් ගැන්මට හේතු වුණු මුල් බිජුවට ලංකාවේ සිටුවන ලද්දේ විජය විසින් නොව පළමුවන වැව කැණවූ පණ්ඩුකාභය රජු විසිනි. සිංහලයා පොදු ජනකායක් නොහොත් එක ම අදහසකින් බඳිනු ලැබූ ජනකායක් ලෙස පළමුව සැදුණේ වැව් කැණීමත් වී ගොවිතැනත් නිසා ය. සිංහලයන්ගේ ස්වාධීනත්වයටත් ශක්තියටත් දෙස් කියන කර්මාන්තයන් අතර වැව් හා වී ගොවිතැන පළමුවන තැන ගනී- වැව් කැණිය හැක්කේ ——————- යම් කිසි පොදු හැඟීමකින් හා අපේක්ෂාවකින් එකට බැඳුණ ජනකායක් විසිනි.’

(මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය – 79 පිටුව)

එක ම අදහසකින් වෙලනු ලැබු ජනකායක් ලෙස නැඟී සිටින්නට අවශ්‍ය මඟ පෙන්වීම හා පූර්වාදර්ශය ලබා දීමට පුරෝගාමී වූ පණ්ඩුකාභය රජතුමා අභය වැව කැණවීමත්, පුරවරයක් ලෙස අනුරාධපුර නගරය විධිමත් පරිදි ගොඩ නැංවීමත් ශ්‍රී ලංකාවේ වාපි සංස්කෘතියේ ප්‍රබෝධයට හේතු වී ය. එතැන් සිට පොලොන්නරු යුගය දක්වා ම අවුරුදු දහසකට අධික කාලයක් ගාමිණීන් හෙවත් ගම් නායකයන් වූ රජුන්ගේ අනුග්‍රහය ලැබ වැඩී දියුණු වී ගිය වාරි තාක්ෂණය, ලක්දිවට පැමිණි අපරදිග ජාතීන්ගේ මවිතයටත් පැසසුමටත් ලක් වූ අයුරු පුරාවිද්‍යාඥ එච්. සී. පී. බෙල්, ඇමර්සන්ට් ටෙනන්ට්, බ්‍රෝහියර්, හෙන්රි පාකර් ආදීන් තැබූ සටහන්වලින් පැහැදිලි වෙයි.

මෙසේ විශ්ව කීර්ති යශෝරාව රැව්දුන්, වැව මූලික කොට ගත් වාරි කර්මාන්තය නිසා ජනකායක් වශයෙන් සිංහල ජාතිය ඒකරාශී වූවා පමණක් නොව ඔවුන්ගේ ගෘහ නිර්මාණ, කලා ශිල්ප, සාහිත්‍ය කලා ආදිය ලක්දිවට ආවේණික ස්වාධීන සම්ප්‍රදායක් ඔස්සේ වැඩී ගියේ ය. වැවෙන් උපන් සභ්‍යත්වයක් වශයෙන් සිංහලය හැඳින්වීම ඊට හිමි අභිධානය පිරිනැමීමක් වෙයි.

සිංහල ජාතියේ ඉතිහාසය සමඟ ම බැඳී පවත්නා වැව කෙරෙහි වැව් ගම්පත්තුවල ජනතාව තුළ ඇත්තේ අප්‍රමාණ ගෞරවාදරයකි. වැව ඔවුන්ගේ ජීවනාලිය වූ නිසා ම පුරාතන කාලයේ මෙන්ම මෑත අතීතයේ ද වැව් හා සම්බන්ධ ජන වහර ද ජන සාහිත්‍යය ද පෝෂණය වෙමින් වැඩිණ. වැව් හා ආශ්‍රිත ගම්තුලානවල ජීවත් වූ ගැමි කවියන් කියූ ජනකවිවල දැවටී පවත්නේ වැව් කෙරෙහි ඔවුන් දැක්වූ අප්‍රමාණ ඇල්ම හා ගෞරව පූර්වක සැලකිල්ල යි.

ඔබත් මොබත් ඔබ සොරබොර වැවාණෝ
අඬා දිය ගලන මහවැලි ගඟාණෝ
දිය නොසිඳෙයි ඔබ මහවැලි ගඟාණෝ
නිල්මල් බිසව් දිය කෙළිනා වැවාණෝ

මහියංගන ජනපදවාසී ජන කවියකු කියූ එම කවිය තුළ ගැබ්ව පවත්නේ සොරබොර වැව පිළිබඳව ගැමියන් තුළ ඇති අප්‍රමාණ ගෞරවාදරය යි. බැලු බැලු හැම අතම කවියාට පෙනෙන්නේ මහවැලි ගඟ හා සොරබොර වැව යි. ‘වැවාණෝ, ගඟාණෝ, නිල්මල් බිසව්’ යන යෙදුම් නඟන ධ්වනිතාර්ථ පළ කරන්නේ දියවර කෙරෙහි ගැමියන් දක්වන බැතිපෙම යි.

මහවැලි ගඟ අඬාගෙන ගලා ගිය ද සොරබොර වැව යෝධයකු සේ නිසල ව දියබෙරලිය මලින් සැරසී උදම් වෙයි. රජකු නැත ද බිසොවුන් වැවට අරක්ගත්තා වැන්න.

දම්බරා බැද්ද මහ හිමය මැද යමු
කඩා පලු වීර කාලා වතුර බොමු
හඬන ළමයි මඟ සිටුවා කිරි පොවමු
සොරබොර වැවට වැඳලා අපි යන්න යමු

සොරබොර වැවෙන් පෝෂණය වූ වන පියස පසුකර යන වන්දනාකරුවන්ට අවශ්‍ය කෑම බීම හා නවාතැන් පරිසරය තුළින් ම සැපයේ. වන පලවැල නොබුදිය හැකි දරුවන්ට මඟ නැවතී කිරි පොවාගෙන නැවත ගමනේ යෙදිය හැකි ය. ඈත ප්‍රදේශයක සිට පා ගමනින් මහියංගනය වැඳීමට ගිය අයකු කියූ එම කවිය තම සා පවස හා වෙහෙස නිවා ගැනීමට පිළිසරණ වූ සොරබොර වැවට දැක්වූ ගෞරවය පිළිබිඹු කරන්නකි.

වැව් ගම්වල ජීවත් වන ජනතාවගේ සියලුම ජල අවශ්‍යතා පිරිමසාලන්නේ වැව් ය. ඒ බව ඔවුන් ආගන්තුකව පැමිණෙන සියලු ම දෙනාට පැහැදිලි කර දෙන්නේ වැවට දක්වන කෘතගුණ සැලකීමක් වශයෙනි.

බීමට හොඳ වතුර දෙන්නේ වැවෙන් සකි
කුඹුරට ගමට දිය දෙන්නේ වැවෙන් සකි
නෑමට පිරි වතුර දෙන්නේ වැවෙන් සකි
එසෙව් වැවට වැඳපන් පින් දිදී සකි

වැව් දියවර නිසා ජනකායක් ලබන අප්‍රමාණ සතුට හා ප්‍රබෝධය ධ්වනිත කරන ජන කවියකි. ‘වැවට පින් දී වඳින්න’ යයි පැවසීම වැවක් උදෙසා පිරිනමන ගෞරවය මෙන්ම බැතිපෙම ද පළ කිරීමකි.

යාන වාහන නොතිබූ පැරණි කාලයේ වන්දනා ගමන් හා වෙනත් අවශ්‍යතාවන් සඳහා පා ගමනින් දුර බැහැර සිට යන එන ජනතාවට ද වැව් දිය ලබා දෙන්නේ ඉමහත් අස්වැසුමකි. වැව් ගම්වල ජීවත්වන ගොවි ගෙවිලියන් ද ආගන්තුක සත්කාරයට ඉතසිතින් කැමැත්ත පළ කරමින් තම වැවෙන් ප්‍රයෝජන ලබාගන්නා ලෙස ආගන්තුක පිරිස් වෙත ඇරයුම් කරන්නේ නිස්සරණාධ්‍යාශයෙනි.

අපේ ගමේ වැව් බැම්මෙන් ඇවිදිල්ලා
හොඳ නෙළුම් බටු තෝරා කාපල්ලා
දෝත පුරා පැන් අරගෙන බීපල්ලා
අපේ වැවට පින් දීගෙන පලයල්ලා

මේ කවියේ දැක්වෙන ‘අපේ ගමේ’, ‘අපේ වැවට’ යන යෙදුම්, ගමේ ජීවත්වන වැසියන්ගේ මෙන් ම වැවේ ද අභිමානය පළකිරීමක් වෙයි. වැවේ ම හටගත් පෝෂ්‍යදායී ආහාරයක් වන නෙළුම් බටු නෙළාගෙන කා වැව් දියෙන් ම පිපාසය සංසිඳුවා ගන්නා ලෙසට ගම්මු අමුත්තන්ට ඇරයුම් කරති. ‘දෝත පුරා පැන්’ යන යෙදුම වැවේ මහිමය කියන්නකි. ගමන් පහසුවත්, ආහාරපාන පහසුවත් සලසා දුන් වැවට පින් දීගෙන යන ලෙස පැවසීම ස්වාර්ථය නොතකන ගැමියන්ගේ අපිස්වත පිළිබිඹු කිරීමක් වැන්න.

වැව් හා බැඳී පවත්නා ආචාර සමාචාර විධි, ඇවතුම් පැවතුම් ගැන ද ජනකවිවල සඳහන් වීම සංස්කෘතික අගයකින් යුතු වෙයි. පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන්නෝ වැව් ගම්වල පවත්නා චාරිත්‍ර වාරිත්‍ර නොදනිති. ඔවුන්ට ඒ පිළිබඳව සිහිපත් කර දීම සඳහා ගැමියන් පැවසූ ජනකවිවල ඇති කෞතුක වටිනාකම පමණ කළ නොහැකි ය.

සුම්බරේ බැඳන් හක්මන් වැවේ නැති
පච්චවඩම් බැඳ වෑ කඳු මත නොයති
හරක් රංචු වෑකන්දෙන් නොදක්කති
නොඑන ගමනවත් වෑකන්දෙන් නොයති

සිංහල ජාතියත්, බුදුදහමත්, ගොවි කර්මාන්තයත් සිරිලක් දිවයින තුළ වැඩී ගියේ එකිනෙකින් පෝෂණය ලබමිනි. එම සභ්‍යත්වයේ පැවැත්මට අවශ්‍ය ජීවගුණය ලබා දුන්නේ වැව යි. එහෙයින් වැව පාරිශුද්ධ වස්තුවක් සේ සලකා ගැමියන් කෙසේ ගරු බුහුමන් දැක්වූවා ද යන්න ඉහත දැක්වූ කවියෙන් ප්‍රකාශිත ය. ජටා, හිස් වැසුම් පැලඳගෙන වැව වටේ ඇවිදීම වැවට කරන අගෞරවයකි. පච්චවඩම් නැතහොත් රතුපාට ඉණ හැඳ ඇඳ පැලඳගෙන තොවිල්, ශාන්තිකර්ම, දේවපූජා පවත්වමින් වැව් බැම්ම මතින් ගමන් කිරීම නොකටයුත්තකි. පුණ්‍ය චේතනාවෙන් ආශීර්වාද ලද වැව් දියවර වෙනත් දෘෂ්ටිවාද හා ඇදහිලිවලින් කිලිටි විය යුතු නැත. ගව රංචු වෑකන්ද මතින් ගමන් කරවීම වැව් බැම්ම බිඳී යාමට හේතු වෙයි. නොඑන ගමන් යාම හෙවත් මළමිනි වැව් බැම්ම මතින් රැගෙන යාම වැවට කරන අගෞරවයකි. වැව් ගම් දනව් වැසියන් වැවට කොතරම් ගෞරවයක් පිදුවේ ද යන්න වටහා ගැනීමට මේ ජනකවිය ම ප්‍රමාණවත් ය.

වැව් පසුබිම් කොට ගෙන පබැඳුණු ජනකවිවලින් නිරූපණය වන ගැමි තරුණ තරුණියන්ගේ ආදරය, සෙනෙහස වැනි මානව හැඟුම් සමුදායන් පළ කරන ජනකවි ද අපූර්වත්වයෙන් අනූන ය.

වැවෙන් උපන් සභ්‍යත්වයක පහස ලැබූ ජනකායක් වහරන බසේ අරුමය විදහා පාන ඇතැම් ජනකවියක් වැව් දිය මත විහිද යන කෝමල දියරැලි මාලාවක් වැන්න.

යායට දී අල්ලන්ට රන් බණ්ඩි
නෙළුම් සිනා පා යයි වැව් අම්මණ්ඩි
කවුද බොලේ අර වතුසුදු නෑනණ්ඩි
මුතූ නොවෙද කියහන් මගෙ මලයණ්ඩි

වැවක්, කුඹුරු යායක්, නවයොවුන් ජීවිතයක් එක ම සෞන්දර්යයකින් රංජනය කළ අපූර්ව අවස්ථාවක් මේ කවියෙන් නිර්මිත ය. නෙළුම් මල් පිසගෙන එන වැව් දිය, පෙණ නඟා ගලා විත් පෝෂණය වූ කුඹුරු යාය පීදී රන් බණ්ඩි නැඟෙන විට වැව් අම්මණ්ඩි සිනාසෙන්නා සේ ය. ‘නෙළුම් සිනා පා යයි’ යන අපූරු කාව්‍යෝක්තිය, ජන කවියාගේ නිසර්ග සිද්ධ කවි ප්‍රතිභාව බුබුලු නඟා මතු වූ අවස්ථාවකි. සියලු ජල අවශ්‍යතා සපුරා ගම්වාසී හැමට ජීවය ලබා දුන්නේ වැව යි. එහෙයින් ‘වැව් අම්මණ්ඩී’ යන ගෞරවනීය ඇමතුමෙන් වැව හැඳින්වීම කෘතගුණ දැක්වීමකි. ‘නෙළුම් සිනා පා’ යන වැව් අම්මණ්ඩී දැකීමෙන් ප්‍රබෝධයට පත් වී සිටින ගැමි තරුණයා හදිසියේ දකින්නේ වැව කරා පිය
නඟන තම නෑනණ්ඩිය යි. ඇය වතුසුදු මල් පඳුරක් වැන්න. විමතියට පත්වන ඔහු ‘කවුද බොලේ අර’ යනුවෙන් තම මලයා අමතයි. ‘මුතූ නොවෙද කියහන් මගෙ මලයණ්ඩි’ තරුණයාගේ සිත තුළ හටගත් නිම්හිම් නැති සතුට හා සෙනෙහස උතුරා ගලා ගිය අයුරු එම පද්‍ය පාදයෙන් හැඟවෙයි.

තම නෑනණ්ඩිය කුඩා අවදියේ සිට ම තමන් සමඟ ගත කළ කෙළිලොල් සොඳුරු අතීතය එකෙණෙහි ම ඔහුගේ මතකයට නැඟෙයි:

මම ආවම වැවට යන්න මඟට බසින මුතු
වැවට ගිහින් කුඹුක් ගහේ කොක්කු ගණින මුතු
ඕලු නෙළා මල් මාලා ගෙලේ බඳින මුතු
වැව් දිය මත මූණ බලා මුකුළු පාන මුතු

වැව් සංස්කෘතියෙහි රුව ගුණ සුවඳ උරාගෙන වැඩුණු නව යොවුන් දිවි පෙවෙතක චමත්කාරය කුළුගන්වන අතිශය සුන්දර අවස්ථාවක් මේ අපූරු කවි යුගලයෙන් මතු කෙරෙයි. එදවස ගැමි තරුණ තරුණියන් අතර මනා සංයමයකින් යුතුව පැවති සබඳතා මේ ජනකවිවලින් ඉදිරිපත් කෙරෙනුයේ ඔවුන්ගේ නිර්ව්‍යාජ හැසිරීම් රටාව ද කුළුගැන්වෙන පරිද්දෙනි. පරිසරයේ සෞන්දර්යය නව යොවුන් හැඟුම් සමඟ වෙලී ජීවිතයට චමත්කාරයක් පිවිසවන අයුරු මනරම් ය. එය කවි බසට නැගූ ජනකවියා අපූර්ව වස්තු නිර්මාණය පිළිබඳ සහජ කුසලතාවයෙන් පිරිපුන් තම ප්‍රතිභානය වැව් පරිසරය ඇසුරින් උරුම කොට ගත්තකු යයි හැඟේ.

සටහන – දයාපාල ජයනෙත්ති