භික්ෂු සංඝයා උදෙසා දන් පැන් පිළිගැන්වීමේදී ‘භාග්‍යවතුන් වහන්සේගේ ආර්ය සංඝරත්නය උදෙසා පූජා වේවා!’ කියන උතුම් පුණ්‍ය චේතනාව අප පහළ කර ගන්නවා. එහිදී අරමුණු කරන්නේ ප්‍රඥාවෙන් අග්‍ර වූ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ, ඍද්ධි බලයෙන් අග්‍ර වූ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ප්‍රමුඛ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා මූලික කර ගත් මගඵලලාභී අෂ්ටාර්ය පුද්ගල ශ්‍රාවක සංඝරත්නය යි. ගණනින් සීමාවක් කළ නො හැකි ගුණයෙන් සීමාවක් කළ නො හැකි තුන්කල්වාසී ශ්‍රාවක සංඝරත්නය අරමුණු කොටගෙන එසේ දන්පැන් පිදීමෙන් මහත් ඵල මහානිශංස ගෙන දෙන අප්‍රමාණ පුණ්‍යස්කන්ධයක් රැස්කර ගත හැකියි.

එලෙසින් ම සිල් මෑණිවරුන්ට සහ අනගාරිකා මෑණිවරුන්ට දානය පූජා කිරීමේ දී ඛේමා, උත්පලවණ්ණා  අග්‍රශ්‍රාවිකාවන් ප්‍රමුඛ භාග්‍යවතුන් වහන්සේගේ මගඵලලාභී ශ්‍රාවිකා භික්ෂුණීන්ගේ ගුණ සිහි කොට පූජා කිරීම මහත් ඵල ගෙන දෙනවා.