ලෝකයේ සෑම ආගමක ම තමන්ගේ ආගමික ශාස්තෘවරයා වෙනුවෙන් නොයෙකුත් පුද පූජා පැවැත්වීම, මානන පූජන කිරීම සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන දෙයකි. සමහර ආගම්වල තමන් ව මැව්වා යැයි සලකන, කිසිදා නොදුටු දෙවියන් ව සතුටු කිරීමට පුද පූජා පවත්වන්නේ එළුවෙකුගේ හෝ බැටළුවෙකුගේ බෙල්ල කපා එම ලේවලිනි. පසුගිය කාලයේ නේපාලයේ හරකුන් දෙලක්ෂ පනස් දහසක් මරා බිලි පූජාවක් කෙරිණ. අතීතයේ දී ඉන්දියාවේ බමුණු ආගම තුළ සති පූජාව වැනි පූජාවන් ද තිබුණි. මෙවැනි සතුන් මරා කරන පුද පූජාවන් එම ආගම්වලින් සම්මත කොට තිබේ. මෙවැනි පුදපූජාවන් පවා එම ආගම්වල අනුගාමිකයන් කිසිදා විවේචනය කරන්නේ නැත.

නමුත් බුදු දහම යනු සියලු සතුන්ට හිතානුකම්පිත දහමකි. කිසිදු පාපකාරී ක්‍රියාවක් අනුමත නොකරයි. සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වූ, තුන්ලෝකයට ම අග්‍ර වූ, සියලුම දෙවි බඹුන්ගේ අග්‍ර වූ පුද පූජාවන්ට යෝග්‍ය වූ බුදුරජාණන් වහන්සේ උදෙසා කරන යහපත් වූ පුද පූජාවන් මෑත කාලයේ පටන් සමහර නාමික බෞද්ධයන් විසින් ම විවේචනය කරනු දකින්නට තිබේ. වෙහෙර විහාරවලට ගරහමින්, ධාතූන් වහන්සේලාට ද ගරහමින් කට වාචාලකමින් දොඩවන අය තමන්ගේ විකෘති අදහස් ෆේස්බුක්, යූටියුබ් ආදියෙන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරති. එබැවින් ධර්මය නොදන්නා බොහෝ පිරිසක් අධර්මවාදීන්ගේ අදහස් අනුමත කරමින් බොහෝ පව් රැස්කර ගන්නා බව පෙනී යයි. පුද පූජා කිරීමේ ආනිසංසත්, ඒවාට ගැරහීමේ විපාකත්, මෙලෙස ගැරහීමට හේතුත් පිළිබඳ ව බුද්ධ දේශනා ඇසුරෙන් කරුණු ගෙනහැර දැක්වීමට අපි මෙම ලිපියේ දී බලාපොරොත්තු වන්නෙමු.

සැබැවින් ම අග්‍ර වූ පූජාවන් ලැබීමට සුදුසු කවුරුන් ද?

සාමාන්‍යයෙන් අප ව හදාවඩා ගත් දෙමාපියන්ට, අධ්‍යාපනය දුන් ගුරුවරුන්ට අපි වන්දනාමාන පුදසත්කාර කරන්නෙමු. ඒ ඔවුන් අපට කළ උපකාරවලට කෙළෙහිගුණ දැක්වීමක් වශයෙනි. නමුත් ඔවුන්ට අප ව මේ දුක්ඛිත භයානක සසරින් එතෙර කළ නොහැක. සසරින් එතෙර වන සැබෑ ම දහම කියා දෙන බුදුරජුන් උදෙසා සැදැහැවත් මිනිසුන් පුද සත්කාර කරන්නේ සසරින් එතෙර වනු පිණිස පින් රැස්කර ගැනීමට ය. ඒවා බලෙන් කරවගන්නා පුද සත්කාර නොව මෙලොව පරලොව යහපත උදා කර ගැනීමට යහපත් සිතින් සිදු කරන පුද පූජාවන් ය. බුදුරජුන් උදෙසා පුද පූජා කිරීමෙන් සිදුවන යහපත පිළිබඳ වටිනා විස්තරයක් ධම්මපදයේ බුද්ධ වග්ගයෙන් අපට හමු වේ.

දිනක් බුදුරජාණන් වහන්සේ තෝදෙය්‍ය නම් බමුණු ගමට පිඩු සිඟා වැඩි අවස්ථාවක කාශ්‍යප බුදුරජුන්ගේ ධාතු චෛත්‍යය තිබූ පැරණි ස්ථානයට එක්තරා බ්‍රාහ්මණයෙක් වන්දනා කරනු දැක මෙසේ වදාළහ.
“බ්‍රාහ්මණය, බොහෝම හොඳයි. මෙම ස්ථානයට වන්දනා කිරීමෙන් යහපත් දෙයක් කර ගත්තේ. මෙබඳු වූ පුද පූජාවන්ට සුදුසු වූ උත්තමයන් හට පුද පූජා පැවැත්වීම යුතුකමක්.”
ඉන් පසු ස්ථූප සාදා වන්දනාමාන පුදසත්කාර කළ යුතු බුදු, පසේබුදු, අරහත්, සක්විති රජ ආදී ථූපාර්හ පුද්ගලයන් ගැනත් ශාරීරික, පාරිභෝගික හා උද්දේසික චෛත්‍යයන් ගැනත් විස්තර කළ බුදුරජාණන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

පූජාරහේ පූජයතෝ – බුද්ධේ යදිව සාවකේ
පපඤ්ච සමතික්කන්තේ – තිණ්ණසෝකපරිද්දවේ

කෙලෙස් පැටලිලි ඉක්මවා ගිය, ශෝක වැළපීම්වලින් එතෙර වුණ බුදුරජාණන් වහන්සේට හෝ බුද්ධ ශ්‍රාවකයන්ට හෝ එබඳු පූජනීය උතුමන්ට දන් පැන් පුදනවා නම්,
තේ තාදිසේ පූජයතෝ – නිබ්බුතේ අකුතෝ භයේ
න සක්කා පුඤ්ඤං සංඛාතුං – ඉමෙත්තමිති කේනචි

කිසි ලෙසකිනුත් බිය තැතිගැනීම් නැති, නිවුණු සිත් ඇති එබඳු උතුමන්ට පූජා සත්කාර කරන කෙනාගේ ඒ පින් මෙච්චරයි කියලා මැනලා කියන්නට කාටවත් පුළුවන්කමක් නෑ.

මේ අයුරින් බුදුරජාණන් වහන්සේ කෙලෙසුන්ගෙන් දුරු වූ උතුමන්ට කරන පුදසත්කාර වර්ණනා කොට තිබේ. පිදිය යුතු උතුමන් පිදීම මංගල කාරණාවකි. අග්ගප්පසාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකයේ අපා දෙපා සිවුපා බොහෝ පා ඇති, රූපී – අරූපී සියලු සත්වයන් අතර බුදුරජුන් අග්‍ර වන බවත්, අග්‍ර වූ බුදුරජුන් කෙරෙහි ඇතිවන චිත්ත ප්‍රසාදය අග්‍ර විපාක ලබා දෙන බවත් ය. එබඳු ගුණයෙන් අග්‍ර වූ බුදුරජුන්ට පුද සත්කාර නොකොට වෙන කවරෙකුට නම් පුදසත්කාර කරන්ට ද?

අපගේ මහබෝසතාණන් වහන්සේ සම්බුදු බව වෙනුවෙන් පාරමී පුරා ආ සසර ගමනේ දී අහසේ තරු පරයා ඇස් දන් දී තිබේ. මුහුදේ ජලය පරයා ලේ දන් දී තිබේ. මහ පොළොවේ පස්වලට වඩා හිස් මස් දන් දී තිබේ. දාන මාන ගෙවල් දොරවල් ඉඩකඩම් ඇඳුම් පැලඳුම් ආදිය දන් දීම ගැන කවර කථා ද? සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර බෝසතාණන් වහන්සේ නියත විවරණ ලබන ජීවිතයේ දී දීපංකර බුද්ධ ශාසනයේ අරහත්වයට පත්ව සසරින් නිදහස් වීමට තරම් පින් බලයක් තිබුණි. එනමුදු ජරා මරණ දුකෙන් පෙළෙන ලෝක සත්වයා ඉන් මුදවා ගැනීම සඳහා ලෝසතුන් කෙරෙහි වූ අපමණ කරුණාවෙන් අතට පත් නිවන ද අතහැර උතුම් සම්බුදු බව පතා නැවතත් සසරට වැටුණේ ය. මේ අයුරින් අපගේ බුදුරජාණන් වහන්සේ අනන්ත කැප කිරීම් කරමින්, පාරමිතා පුරමින් රැස් කළ පුණ්‍යානුභාවයෙන් බුදුරජුන් ජීවමාන කාලයේ දී මෙන් ම පිරිනිවන් පෑ පසුව ද උන්වහන්සේට අග්‍ර වූ පුදසත්කාර ලැබෙන්නේ ය. එය බුදුරජාණන් වහන්සේ රැස් කළ පුණ්‍යානුභාවයෙන් ලැබෙන දෙයකි. මෙසේ බුදුරජුන්ට ලැබෙන ලාභය ඉවසා ගත නොහැකි අන්ධ බාල හිස් පුද්ගලයෝ ඒ පුද සත්කාරවලට ගරහමින් බොහෝ පවි කර ගනිති.

පලතුරු පූජාවට ගරහන්නේ ඇයි?

මෑත කාලයේ දී අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ලලාට ධාතූන් වහන්සේ වැඩ සිටින සෙ-්රුවිල මංගල මහා සෑයට අග්‍ර වූ ඵලවැල පූජාවක් සැද-ැහැවත් බෞද්ධයන් විසින් කරනු අපි ද දැක ගතිමු. පූර්ව දැනුම් දීමකට අනුව ලක්ෂ සංඛ්‍යාත සැදැහැවත් බෞද්ධ ජනතාව තමන්ගේ නිවෙස්වල ගෙවතුවල හැදුණු අලුත් ම පලතුරු පහන් සිතින් රැගෙන විත් මංගල මහාසෑ රදුන් අබියස බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කොට අපමණ පින් රැස්කර ගත්හ. එලෙස පලතුරු රාශියක් එක්රැස් වූයේ බුදුපුදට ආශාවෙන් බොහෝ පිරිසක් පැමිණුන නිසාවෙන් විනා කන්ටේනර්වලින් මුදල්වලට වෙළඳසැල්වල විකිණීමට තිබූ පළතුරු ගෙනැවිත් සෑය වටා ගොඩ ගැසීමෙන් නොවේ. මෙබඳු අසදෘශ පූජාවක් ගැන ජීවිතයට අසා නැති, දැක නැති බෞද්ධ වෙස් ගත් අසත්පුරුෂයෝ අදටත් අන්තර්ජාලය හරහා එම පූජාවට ගරහමින් ඇතිපදම් පව් රැස්කර ගනිති. ඔවුන්ට දුප්පතුන් වෙනුවෙන් ගෙවල් සාදා දීමට, දුප්පතුන්ට උදව් කිරීමට මතක් වන්නේ එවැනි පූජාවක් දකින විට ය.

බුදුරජුන් උදෙසා අග්‍ර වූ පූජා පැවැත්වීමෙන් මිනිසුන් දුප්පත් වේ ද?

ලෝකය පරිපූර්ණ ව අවබෝධ කළ සම්බුදුරජුන් වදාළේ සියලු සත්වයන් කර්මය තම දායාදය කරගෙන සසර ගමනක යන බවයි. පෙර ආත්මභාවවල දන් දුන් අය මේ ජීවිතයේදී පොහොසතුන් බවට පත්වේ. පෙර ජීවිතවල දන් නොදී මසුරු සිතින් වාසය කළ අය මේ ජීවිතයේදී දුප්පතුන් අසරණයන් බවට පත්වේ.

අපගේ භාග්‍යවතුන් වහන්සේ එක්තරා දුර්භික්ෂ කාලයක දී නාලන්දාවේ මහත් වූ භික්ෂු සංඝයා සමඟ චාරිකාවේ වැඩම කළහ. මෙය බුදුරජුන්ට ගැරහීමට අවස්ථාවක් කර ගත් පරම අවිහිංසාවාදී නිඝණ්ඨනාථපුත්ත තම ශ්‍රාවකයෙක් වූ අසිබන්ධකපුත්ත ගාමිණී උසිගන්වා වාදයට කරුණු උගන්වා බුදුරජුන් වෙත යැවී ය. හේ බුදුරජුන්ගෙන් මෙසේ ප්‍රශ්න කළේ ය.
“මිනිසුන්ට කන්න බොන්න නැති මෙවැනි දුර්භික්ෂ කාලයක මහත් වූ භික්ෂු පිරිසක් සමඟ අසවල් කාරණයකට නම් පිඬුසිඟා වඩිනවා ද? ඔබවහන්සේ දායක පවුල් විනාශ වීම පිණිසයි කටයුතු කරන්නේ.”
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “ගාමිණී, මම දැන් අනූඑක් කල්පයක් ආපස්සට සිහිකරමි. මේ සා දිගු කාලයක් තුළ පවා පිසින ලද ආහාරයක් දන් දුන් පමණින් කිසි දායක පවුලක් වැනසී ගිය බවක් මා දකින්නේ නෑ. ඒ වගේ ම ගාමිණී, යම් පවුලක් මහා ධන ධාන්‍ය ඇතිව ඉන්නවා නම් ඒ සියලු සැප සම්පත් දානයේ විපාකයෙනුයි හටගෙන තියෙන්නේ.” (අසිබන්ධකපුත්ත සූත්‍රය – සං. නි. 4)

කෝසල මහරජු කෝටි දාහතරක ධනස්කන්ධයක් වියදම් කොට බුද්ධ ශාසනයක දෙන එක ම මහා අසදෘශ දානය බුද්ධප්‍රමුඛ මහා සංඝයාට පූජා කළේ ය. ඒ පූජාව ද ඉවසාගන්නට බැරි වූ, අනුමෝදන් වෙන්නට බැරි වූ ඇමතියෙක් එදත් සිටියේ ය. එදා එම දානයේ අනුමෝදනාව එක ගාථාවකින් පමණක් වදාරා බුදුරජුන් වෙහෙරට වැඩි සෙ-්ක. කොසොල් රජුට පසුව බුදුරජාණන් වහන්සේ වදාළේ එම දානයේ ආනිශංස විස්තර වශයෙන් දේශනා කළේ නම් අර ඇමතියාගේ හිස එතැනදී ම සත්කඩකට පැලෙනා බවයි. රජු එදා ම ඇමතියා ව රටින් පිටුවහල් කළේ ය. ඒ දානයට හිත අපහදවා ගැනීමේ දිට්ඨධම්ම වේදනීය විපාකය යි. එදා දානය ගැන හිත පහදවා ගත් ඇමතියෙකුත් සිටියේ ය. ඔහු එවේලෙහි බුදුරජාණන් වහන්සේ දෙසූ දහම් අසා සෝවාන් ඵලයට පත් විය.

බඩුමුට්ටු බෙදා දීමෙන් මිනිසුන්ගේ දුප්පත්කම නැති වෙයි ද?

බුදුරජාණන් වහන්සේ මෙන් ම රහතන් වහන්සේලා ද සැබෑ ලෙසින් ම දිළිඳු අයට පිහිට වූ සේක. ඒ බඩු මුට්ටු බෙදා දීමෙන් නො වේ. දුප්පතුන්ට අග්‍ර වූ පිනක් කරගන්නට අවස්ථාව සලසා දීම මඟිනි. මෙයින් අදහස් කරන්නේ දුප්පත් අසරණයන්ට පිහිට වන්න එපා කියා නොවේ. බුදු සසුන වෙනුවෙන් නොමසුරුව ධනය වියදම් කරන්නෝ අසරණයෙකු දුටුවිට අහක බලාගන්නෝ යැයි කිව හැක්කේ කාටද? සැ-බෑවට ම දුප්පත් ව උපදින්නේ සසරේ දන් පැන් නොදුන් නිසා ය. පින් දහම් පුද සත්කාර නොකළ නිසා ය. එනිසා බොහෝ රහතන් වහන්සේලා දුප්පතුන් සොයා පිඬු සිඟා වැඩි සේක. එවිට ඒ දුප්පත් අහිංසක මිනිස්සු තමන්ට හැකි පමණින් දාන මාන පූජා කොට මහත් ඵල පින් රැස්කර ගත්තෝ ය. නිරයේ යන්නට සිටි අය සුගතියේ උපත ලැබූහ. මෙකල ද භික්ෂූන් වහන්සේලා මෙන්ම සැදැහැති ගිහි පිරිස් ද අසරණ වූ මිනිසුන් වෙනුවෙන් ධර්මයෙන් මෙන්ම ආමිෂයෙන් ද බොහෝ උදව් උපකාර කරන අයුරු ඕනෑතරම් දැකගන්නට ලැබේ.

දානයේ ආනිශංස දන්නවා ද?

අපගේ බුදුරජාණන් වහන්සේ දක්ඛිණා විභංග සූත්‍රය, වේලාම සූත්‍රය ආදී දේශනාවලින් දානයේ ආනිශංස මනා-කොට පෙන්වා දී තිබේ. තිරිසන්ගත සතෙකුට ආහාර දීමෙන් සිය ගුණයක ආනිශංස ලැබේ. දුස්සීල පෘථග්ජනයෙකුට දෙන දානයේ ආනිශංස දහස් ගුණයකි. පෘථග්ජන සිල්වත් කෙනෙකුට දෙන දානයෙන් ලක්ෂ ගුණයක අනුසස් ලැබේ. සසුනෙන් බැහැර කාමයන් කෙරෙහි වීතරාගී කෙනෙකුට දන් දීමෙන් කෝටි ලක්ෂ ගුණයක අනුසස් ලැබේ. සෝවාන් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයෙකුට දෙන දානයෙන් ලැබෙන ආනිශංස ගණනකින් කිව නොහැක. ප්‍රමාණයකින් කිව නොහැක. සෝවාන් ඵලයට පත් ශ්‍රාවකයෙකුට දෙන දානයෙ-න් ලැබෙන අනුසස් ගැන කවර කතාද? එතනින් ඉහළ මගඵල ලැබූ ශ්‍රාවකයන්ට දෙන දානයේ අනුසස් ගැන කවර කතා ද? බුදු පසේබුදු මහරහත් උතුමන් උදෙසා පිදූ දානයේ අනුසස් ගැන කවර කතාද? එබඳු අසංඛෙය්‍ය අප්‍රමාණ පුණ්‍යස්කන්ධයක් වෙනත් පුද්ගලයෙකුට හෝ පිරිසකට දීමෙන් ලැබෙන්නේය යැයි කියන්නෝ බුද්ධ වචනය කෙරෙහි අල්පමාත්‍ර වූ හෝ ශ්‍රද්ධාවක් නැත්තෝ වෙති.

පුද පූජාවන්ට ගැරහීමේ විපාක

බුදු කෙනෙක් උදෙසා කරන පුද පූජාවන්ට නින්දා කිරීමේ පව සුළුපටු නො වේ. බරපතළ අපායගාමී අකුසලයකි. ස්ථූප වන්දනාවට ගැරහීමේ විපාක වශයෙන් මිනිසුන් අසූහය දහසක් ප්‍රේතලෝකයේ ඉපිද අනන්ත දුක් විඳින විස්තරයක් ධාතු විවණ්ණක ප්‍රේත වස්තුවෙන් අපට හමු වේ. රහතන් වහන්සේනමකට එම ප්‍රේතයින් දැකගත හැකි විය. එම විස්තරය මෙසේ ය.

රහතන් වහන්සේ:
“ඔබ ඉන්නෙ ආකාසෙ, හරිම ගඳයි නෙව. කුණු ගඳ ගහනවා. ඔබේ මුඛයේ පණුවෝ පිරිලා කකා ඉන්නවා. ආයුධ ගත්තු පිරිසක් ඔබේ මුඛය සැත්වලින් කප කපා දමනවා. ලුණු වතුර ඉසිමින් ආයෙ ආයෙමත් කපනවා. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක් ද කර ගත්තේ?”

ප්‍රේතයා:
“මම හිටියේ රජගහනුවර ගිරිබ්බජ රාජධානියේ. මගේ බිරිඳත්, දියණියත්, ලේලියත් මහනෙල් මලුයි වටිනා සුවඳ වර්ගයි අරගෙන බුදුරජුන්ගේ ස්ථූපයට වන්දනා කරන්න පිටත් වෙනකොට මං ඒක වැළැක්වූවා. අසූහය දහසක් වගේ පිරිසක් වන අපි ස්ථූප පූජාවට නින්දා අපහාස කළා. දැන් වෙන වෙනම අපි දුක් විඳිනවා. ඝෝර දුක් තියන නිරය වැනි ප්‍රේත ලෝකෙ ඉපදිලයි අපි දුක් විඳින්නේ. අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ස්ථූපයට පූජා පවත්වන වෙලාවක කවුරු හරි කෙනෙක් ඒකට දොස් කියනවා නම් එයා බැහැර වෙන්නේ පිනෙන් බව තේරුම් ගන්න.”

මේ ආකාරයෙන් තමන් විසින් චේතනා පහළ කොට රැස්කරගත් පාප කර්ම විපාක නො දී අවසන් නොවේ. සම-හර විට මේ අසූහය දහසක් වූ පිරිස ඒ ධාතු පූජාවට නින්දා කරන විට ළාමක සතුටක් විඳින්නට ඇත. තමන් හරි කියා හිතාගෙන උජාරුවෙන් සිනහ වෙන්නට ඇත. මහලොකු වීර-කමක් කළා කියා මාන්නයෙන් මත් වන්නට ඇත. බුදුරජුන් වදාළේ තමන් කළ කර්මයේ විපාක කිරි මිදෙනවා වාගේ ඉක්මනින් නොලැබෙන බවයි. අළු යට ගිනි පුපුරු මෙන් තිබී නියම වෙලාවට සුදුසු පරිසරය සකස් වූ විට විපාක දෙන බවයි. අප මහා මුනිරජාණන් වහන්සේගේ විශාලතම ධාතූන් වහන්සේ වැඩ සිටින සේරුවිල මංගල ස්ථූපය අබියසදී කළ අසිරිමත් පලතුරු පූජාවට ගැරහූ අය වහ වහා සේරුවිල මහාසෑය වන්දනා කොට සමාව නොගතහොත්, රන්කොතේ වෙහෙරේ මහා පැන් පූජාවට ගැරහූ අය රන්කොත් වෙහෙර මහාසෑය වන්දනා කොට සමාව නොගතහොත් එම පාපයේ විපාක කෙසේ ගෙවන්නට සිදුවේදැයි සිතාගත නොහැක. ‘කරන කලට පව් මිහිරිය මී සේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ’ යනුවෙන් කව්පදයක් තිබේ. වපුරන්නේ යම් සේ ද අස්වැන්න ලැබෙන්නේ ඊට අනුවයි. එනිසා බුදුරජුන්ට, ධර්මයට, ශ්‍රාවක සංඝයාට ගරහන, පුද පූජාවන් විවේචනය කරන, ධර්මය විකෘති කරන, වෙහෙර විහාරවලට නින්දා කරන සියලු දෙනාගේ පරලොව ගතිය කෙසේ වේදැයි පෙර දැක්වූ ප්‍රේත වස්තුව අනුසාරයෙන් සිතාගත හැක.

ධාතූන් වහන්සේලාට නින්දා අපහාස නොකරත්වා…!

තිසරණය නැති සමහර අසත්පුරුෂ බාලයෝ අප මහා මුනිරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලාට කරන වැඳුම් පිදුම්වලට ද නින්දා කරති. “සිත් පිත් නැති ඇට කෑලිවලට වැඳලා පුදලා මොනවා ලබන්ට ද?” යනුවෙන් ධාතූන් වහන්සේලාට අපහාස කරති. ගඩොල් ගොඩකට පූජා පවත්වලා මොනවා ලබන්ට ද යනුවෙන් සෑ රජාණන් වහන්සේලාට ගර්හා කරති. එසේ නින්දා අපහාස කරමින් සමහරු මාර්ග ඵලලාභීන් ලෙස පෙනී සිටිති. අහිංසක මිනිස්සු ද මුළා කොට තමන් කරන පාපයන්ට ඔවුන්ව ද ඈඳා ගනිති. කිසිවක් නොදත් සමහර තරුණ පිරිස් අන්තර්ජාලය හරහා මේ නින්දා අපහාසවලට හවුල් වී බොහෝ පව් රැස්කර ගනිති. මේ අය මෙසේ පුද පූජා, වන්දනා මාන ආදී ආමිස පූජාවන්ට ගරහන්නේ ඔවුන් ප්‍රතිපත්ති පූජාව කරන බව ලෝකයට පෙන්වීමටයි. ගැරහීමෙන් පෙනෙන්නේ මොවුන්ට කිසිදු ප්‍රතිපත්තියක් නැති බවයි. මාර්ග ඵල තබා තිසරණ මාත්‍රයක් හෝ නැති බවයි. මොවුන්ට ඇත්තේ පුහු මාන්නයත්, උඩඟුකමත්, කට වාචාලකමත්, බොරුවට රඟපෑමත් පමණි.

දුර්ලභ මිනිසත් බවින් පව් කර ගන්නා මෝඩයෝ

අහෝ…! සමහරවිට කල්ප ගණනකට පසු අප සතර අපායෙන් නිදහස් වී යම් පිනක් නිසා මේ ජීවිතයේ දී මිනිසත් බව ලැබුවා විය නො හැකි ද? එසේ දුර්ලභ ව ලැබූ මිනිස් ජීවිතයේ දී මේ අයුරින් ලෝකයේ කලාතුරකින්, අති දුර්ලභ ව පහළ වන බුදු කෙනෙකුගේ නාමයෙන් කරන පුද පූජාවන්ට ගරහමින්… ධාතූන් වහන්සේලාට ගරහමින්… නැවතත් සතර අපායට ම වැටෙන පව් රැස්කරගන්නේ මන්ද? තමාගේ තරම නොදැන, මෙලොව පරලොව විශ්වාස නොකොට, කර්ම – කර්මඵල විශ්වාස නොකොට, බුදු කෙනෙකුගේ ආනුභාවය විශ්වාස නොකොට ඇති පදම් පව් රැස්කරගන්නේ මන්ද? යහපත අයහපත හඳුනාගැනීමට බැරි තරම් මේ හිස් පුද්ගලයන්ගේ මානසිකත්වය විකෘති වී ඇත්තේ ආර්යෝපවාද කිරීමේ දිට්ඨධම්ම වේදනීය විපාක ලෙස හෝ යම්කිසි අමනුෂ්‍ය ග්‍රහණයකට හසුවීම නිසා විය හැකිය.

ඇයි මෙතරම් ගැරහිලි?

බොහෝ දෙනෙක් බුදුරජුන්ට කරන පුද පූජා විවේචනය කරන්නේ අග්‍ර වූ පින්කම් දැක ඒවා අනුමෝදන් වීමට බැරි දුර්වල මානසිකත්වය නිසා ය. තමාට නොලැබෙන ලාභ සත්කාර අන් අයට ලැබීම ඉවසන්නට බැරි නිසා ය. එලෙසම තමන් හැමදේ ම දන්නා පණ්ඩිත බහුශ්‍රැතයන් ලෙස පුහු මාන්නයෙන් රැවටී සිටින නිසා ආමිස පූජාවන්ට ගරහයි. මේ අය සතුටු වන්නේ අනුන් හෙලා දැකීමෙනි. මිනිසුන් මුළා කොට ප්‍රසිද්ධ වීමට ඇති කැමැත්තත්, ලාභ සත්කාර මඩ ගොහොරුවේ බැසගෙන සිටීමට ඇති කැමැත්තත් නිසා අනුන් හෙලා දැක තමන් ව හුවා දක්වයි. මේ සෑම දෙයක් ම කෙලෙස් බව නොදැන අවිද්‍යා මෝහ අන්ධකාරයේ ගිලීම නිසා මෙවැනි නින්දා අපහාස කරයි.

අනේපිඬු සිටුතුමාගේ මිණිපිරියකට පිටිවලින් සෑදූ බෝනික්කෙකු දී තිබුණි. ටික දිනකින් බෝනික්කා බිම වැටී කැඩුණි. දියණියගේ හැඬීම නතර කරන්නට නො හැකි විය. බෝනික්කා මිය ගොස් ඇති නිසා මිය ගිය බෝනික්කා වෙනුවෙන් දානයක් දීමට බුදුරජුන් ප්‍රමුඛ සංඝරත්නයට සෝතාපන්න ශ්‍රාවකයෙකු වූ අනේපිඬු සිටුතුමා ආරාධනා කළේ ය. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත් සේක. මේ කාරණය මුල් කරගෙන සිටුතුමා ද නුවරවැසියෝ ද කොසොල් රජු ද මාසයක් පුරාවට දන් දී අපමණ පින් රැස්කර ගත්හ. බුදුරජුන් වදාළේ නුවණ තියෙන කෙනා විවිධ කරුණු මුල් කරගෙන පින් රැස් කරනා බවයි. මෙකල පුද පූජාවන්ට ගරහන අය එකල සියේ නම් කුමකින් කුමක් සිදුවේවිද?

පුද පූජාවන්ගේ අනුසස්

තුන්ලොවට ම අග්‍ර වූ බුදු සමිඳුන් සිහිකොට සිත පහදවාගෙන යමෙක් වන්දනාමාන කළොත්, මලක් පහනක් පූජා කළොත් සැබැවින්ම එහි විපාකය අග්‍ර වන්නේ ය. දෙවියන් අතර ඉපදී සිටින සියලු දෙනාම පාහේ ඒ සුගති සැප ලබා ඇත්තේ බුද්ධ ශාසනයක වත් පිළිවෙත්, පුද පූජා කොට සීලාදී ගුණධර්ම පුරුදු කිරීම නිසා ය. විමාන වත්ථුවෙහි සඳහන් විස්තරවලින් පැහැදිලි වන්නේ බුදුරජුන් හෝ රහතන් වහන්සේලා උදෙසා පුද පූජා කිරීමෙන් රැස් කළ පින් බලයෙන් දෙවියන් අතර උපදින ආකාරය යි. විමාන වත්ථුවේ සඳහන් මේ අසිරිමත් විස්තර බලන්න.

“සුගතයන් වහන්සේගේ ස්ථූපයට පිළිවෙළක් නැතිව මල් පූජා කරලා තිබුණා. මං ඒවා ලස්සනට සකස් කළා. බුදු ගුණ මනසිකාරය සිතේ පිහිටුවා ගත්තා. මහා ඉර්ධි ඇතිව, මහා ආනුභාව ඇතිව දිව්‍ය වූ කාම ගුණයන්ගෙන් දැන් මම සතුටු වෙනවා.

අතීතයේ වැඩ සිටි සුමේධ නම් ශාස්තෘන් වහන්සේගේ ධාතු ස්ථූපයට පහන් සිතින් වන්දනා කළා. පූජා කිරීමට දෙයක් නො තිබූ නිසා අන් අය ව දානයේ සමාදන් කළා. පිදිය යුතු උතුමන්ගේ ධාතූන් වහන්සේලාට පූජා පවත්වන්න. එතකොට මෙලොවින් චුතව ස්වර්ගයේ උපදිනවා.”

(අනේකවණ්ණ විමාන වත්ථුව)

(දෙව්දුව) – “සක් දෙවිඳුනි, වැටකොළු නමින් වැල් ජාතියක් තියෙනවා. මං ඒ වැලෙන් මල් හතරක් කඩාගෙන බුදුරජුන්ගේ ස්ථූපය කරා ගියා. ශාස්තෘන් වහන්සේගේ උතුම් බුදු සිරුර ගැන හිතද්දී මට පුදුමාකාර සතුටක් ඇති වුණා. මං ඒ ස්ථූපය ගැන ම යි හිත හිතා හිටියේ. ඒ ගවදෙන එනවා මං දැක්කෙ නෑ. මට ස්ථූපයට ගිහින් මල් පූජාකර ගන්න බැරි වුණා. ගවදෙන ඇනලා මං මැරුණා. ඉතින් මට ඒ පිනත් කර ගත්තා නම් මීටත් වඩා උතුම් සැප ලැබෙනවා කියලයි මට හිතෙන්නේ.”

(සක්දෙවිඳු) “මාතලී, මේ පුණ්‍ය විපාකය දිහා බලන්න. හරි අසිරිමත් නේ ද? තථාගත බුදුරජාණන් වහන්සේ ගැන වේවා, තථාගත ශ්‍රාවකයන් ගැන වේවා, සිත පහදවාගෙන සුළු දෙයක් දුන්නත් ඒ දක්ෂිණාව අල්ප වෙන්නේ නෑ. මාතලී, එන්න, අපි බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වඩ වඩාත් පුදමු. පින් කිරීම ම යි සැපය කියන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටිද්දිත්, උන්වහන්සේ පිරිනිවන් පෑවාට පස්සෙත් සම සිතින් යම් පූජාවක් කරනවා නම් සම විපාක ලැබෙනවා.”

(පීත විමානවත්ථුව)

මේ අයුරින් බුදුරජුන් උදෙසා, තථාගත ශ්‍රාවකයන් උදෙසා පුද පූජා පවත්වා පින් රැස් කරගෙන දෙව්ලොව උපත ලැබූ බොහෝ දෙවිවරුන්ගේ විස්තර සූත්‍ර පිටකයට අයත් විමාන වත්ථුපාළි ග්‍රන්ථයෙහි සඳහන් වේ. දෙව්ලොවට ගරහන – පුද පූජාවන්ට ගරහන අය අඩුම තරමින් විමාන වත්ථු, ප්‍රේත වත්ථු පොතවත් කියවත්වා! අසත්පුරුෂ බාලයන් භාග්‍යවතුන් වහන්සේට ලැබෙන පුද සත්කාරවලට කොතරම් ගැරහුව ද නින්දා අපහාස කළ ද ඒවා නිකෙලෙස් හදමඬලක් දරාගෙන වැඩ සිටි, අටලෝ දහමින් කම්පා නොවන මහා කාරුණික අපගේ මුනිරජාණන් වහන්සේට අයිති නැත. පුද සත්කාර කරන සත්පුරුෂයන්ට ද අයිති නැත. පුද සත්කාර කරන අය පින් රැස්කර ගනිති. අන්ධ බාල නීච අසත්පුරුෂයෝ ඒවාට නින්දා කොට පව් රැස්කර ගනිති. සතර අපායේ වැටෙන ස්වභාවයෙන් සිටින මිනිසුන්ට මේ දුර්ලභ දිවියෙන් නියම ප්‍රයෝජනය ගැනීමට නම් ගැරහිලි පසෙකලා බුදුරජුන් සරණ යත්වා! ශ්‍රී සද්ධර්මය සරණ යත්වා! ආර්ය මහා සංඝරත්නය සරණ යත්වා! භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගනිත්වා! මාන්නය බැහැරකොට නිහතමානී වෙත්වා!

සටහන – එම්. ජී. එස්. හේවාවිස්ස