මේ ඉන්නේ සාලුමරද තිම්මක්කා. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ එක් කුඩා ගමක තමයි මැය ජීවත් වුනේ. හරි හමන් අධ්‍යාපනයක් නොමැති නිසා ඇය ගල්වලක කම්කරු සේවිකාවක ලෙස වැඩ කළා. තිම්මක්කා විවාහකයි. නමුත් විවාහයෙන් වසර විසිපහක් ගත වුනත් ඇයට දරු සුරතල් බලන්න වාසනාව ලැබුනේ නැහැ. ඒ නිසා ඇය දෙස ගම්මුන් බැලුවේ වඳ ගැහැණියක් ලෙසයි. මේ නිසා ම ඇයට සිය දිවි නසාගැනීමට පවා සිත යොමු වී තිබෙනවා.

නමුත් කාලය ගත වෙත්ම ඇයගේ සිතට අපූරු අදහසක් එනවා. දරුවෙකුට උපත දීමට නොහැකි වුනත් ඇය කර්ණාටකයේ දරුවන්ට හුස්ම දෙන වැඩක් පටන් ගත්තා. ඒ තමයි ඇය ජීවත් වුනු කර්කශ ගමේ නුග ගස් වවන්න පටන් ගත්ත තීරණය. ඇය තම ග්‍රාමය දිගේ දිවෙන ප්‍රධාන මාර්ගය දෙපස ගස් වවන්න පටන් ගත්තා. තනිවම නෙවෙයි, ඇගේ සැමියාත් ඇගේ මේ කටයුත්තට එකතු වුනා. අවාසනාවකට 1991 දී ඇගේ සැමියා මිය යනවා.

නමුත් තිම්මක්කා ඇගේ කටයුතු නතර කළේ නැහැ. මාස ගණනාවක් වතුර බිඳක්වත් නොලැබී තිබුණු කර්කශ පොළොව හා ගැටෙමින් ඇය පැළ සිටෙව්වා. වැස්ස නැති නිසා ඈත ඉඳන් වතුර ගෙනල්ලා ඒ කුඩා නුග පැළවලට වතුර දැම්මා. වන සතුන්ගෙන් පැළ බේරාගන්න ගොඩක් මහන්සි වුනා. දවසින් දවස ඒ ගස් ඇගේ සෙවණේ වැඩෙන්න පටන් ගත්තා. අවසානයේ ඒ කුඩා පැළ ප්‍රධාන පාර දෙපස සිසිල් සෙවන ගෙන දෙන වන අරණක් බවට පත්වුනා. තිම්මක්කා ඉන් නැවතුනේ නැහැ. මේ වනවිටත් ගස් 8000ටත් වඩා සිටුවා ඒවා රැකබලාගෙන තිබෙනවා. ඇය තමාගේ දිවියෙන් අවුරුදු 66ක් ම කළේ ගස් සිටුවන එකයි. ඇයට එදා අපහාස කළ අය අද ඇයට මහා ඉහලින් සලකනවා.

එම කටයුත්ත වෙනුවෙන් ඇය ඉන්දියාවේදී සම්මාන ගණනාවකින් පිදුම් ලැබුවා. ඉන්දියාවේ ජාතික පුරවැසි සම්මානය ද හිමිකරගත් ඇය මේ වසරේ පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබුවා. මැය කර්ණාටකයේ “ගස් අම්මා” ලෙස ද මේ වන විට විරුදාවලිය ලබා අවසන්. තිම්මක්කා දැන් පරිසරවේදිනියක්. ඇගෙන් ගුරුහරුකම් ගන්න බොහෝ අය පැමිණෙනවා. තිම්මක්කා නමින් ගම්මානයක් වගේම පරිසර පදනමකුත් බිහිවෙලයි දැන් තියෙන්නේ. ඒ වගේම මේ දිරිය කාන්තාවගේ කතාව ඉන්දියාවේ ජාතික විෂය මාලාවට ද ඇතුලත් කොට තිබෙනවා.

ඇගේ මේ කතාව ඔබේ දිවි මගට ද යම්කිසි ආදර්ශයක් සපයාවි කියා අපි විශ්වාස කරනවා.

සොයුරු.lk වෙබ් අඩවියෙනි.