පොදුවේ ගත්තම, මිනිස් ජීවිත ගෙවී යන්නේ ඒකාකාරී ස්වභාවයකින්. ඉපදෙනවා, ලොකු මහත් වෙනවා, ඉගෙන ගන්නවා, රස්සා  කරනවා, විවාහ වෙනවා, ගේ දොර හදා ගන්නවා, යානවාහන ගන්නවා, දරු මල්ලෝ හදනවා, විශ්‍රාම යනවා, දරු මුණුපුරෝ රැක බලා ගන්නවා, මැරෙනවා. සාමාන්‍යයෙන් අප වටා දකින්නට ලැබෙන පොදු ජීවිත කාලසටහන තමයි ඒ. ඔය අතරේ ලෙඩරෝග හැදෙනවා, ජීවිතයට හිතා ගන්න බැරි තරමේ දුෂ්කරතා එළඹෙනවා, ආදරය කරන අය දාලා යනවා, බොරුවලට අහු වෙනවා, තමනුත් යටිකූට්ටු වැඩ කරනවා. සංවර්ධනය වෙමින් පවතින අප වගේ රටවල පමණක් නොවෙයි; සංවර්ධිත යැයි කියන රටවලත් මිනිසුන්ගේ පොදු කථාව තමයි ඒ.

මේ මිනිස්සු හැමෝම කැමතියි දැනඋගත් වෙන්න, රූපවත් වෙන්න, ධනවත් වෙන්න, ශක්තිමත් වෙන්න… ඒ ඉලක්ක හඹා යමින් සිදු කරන කටයුතුවලිනුයි ඔවුන්ගේ ජීවිත කාර්යබහුල වෙන්නේ. එසේ අවිවේකී වෙමින් ඒ කවුරුත් හොයන්නේ පිළිගත් මට්ටමේ උසස් බවකින් යුතු ජීවිත තත්ත්වයක්. බොහෝ දෙනා මුළුමහත් ජීවිතය ම කැප කරන්නේ ඒ වෙනුවෙන්. මරණයේ දී නිසැකයෙන් ම සහමුලින් ම අහිමි වන සහ ඊට පෙර මේ ජීවිතයේ දී ම පවා මතක සැමරුම් අතරට එක් වෙමින් ටිකෙන් ටික අහිමි වී යන – කාලයේ පහර කෑමෙන් දෙදරා යන ස්වභාව ඇති දේ නේ ද මේ විදිහට පොදි බඳිමින් රැස් කරන්නේ කියා සිතන්නේ ඉතාමත් ම කලාතුරකින් කෙනෙක්…

ඉස්තරම් ම දේවල් කාලා බීලා, ඉස්තරම් ම විදිහට පෝෂණය කරලා දුටු දුටුවන් වසඟ වන අභිරූපී කයක් සකසා ගන්නට බැරිකමක් මේ ලෝකයේ නැහැ. රූපවත් බව උපදවාලන අධික මිලැති ඖෂධ, නොයෙක් සැත්කම්, රූපලාවන්‍ය ද්‍රව්‍ය ලෝකයේ තිබෙනවා. හැබැයි, ලෝකයේ ලස්සන ම කෙනා වුණත් වයසට යනවා ම යි. ඉතින් හම රැලි වැටෙන්න පටන් ගන්නවා. කෙස් පැහෙන්න පටන් ගන්නවා. මුහුණේ ලප හැදෙනවා. අත්පාවල ලප හැදෙනවා. ඇත්තට ම අවුරුදු හතළිහක් විතර වෙනකොට මේ ලෝකයේ සුරූපී – විරූපී කියන ස්වභාවයන් අතර අප දකින මහා පරතරය නැති වෙන්න පටන් ගන්නවා. අවුරුදු හැට හැත්තෑව අසූව වෙද්දි එහෙම වෙනසක් නැතිව යනවා. ඔන්න කාලයෙන් පහර කන රූපයේ ස්වභාවය…

කාය ශක්තිය ගැනත් තිබෙන්නේ ඔය වගේ ම කතාවක්. මාංශපේශි වර්ධනය කර ගන්නට, කාය ශක්තිය වැඩිදියුණු කර ගන්නට නොයෙක් ශිල්පීය ක්‍රම, ඖෂධ ලෝකයේ තිබෙනවා. ඒ සියල්ලත් උපයෝගී කොටගෙන මනාව කවා පොවා සතපවා පෝෂණය කරවා ගොඩනගා ගන්නා ශක්තිමත් ම ශරීරය වුණත් අවුරුදු හතළිහ පනිද්දි දුර්වල වෙන්න පටන් ගන්නවා. යම් කාලයක් එනවා, ‘ඒ කාලයේ කඳු පෙරළන්න තරම් හයිය තිබුණා  වුනත්- කැපී පෙනෙන තරම් හයියක් කයේ නොතිබුණා වුණත්’ ඒ දෙකේ ම වෙනසක් නැති…

අවුරුදු පනහක් විතර වෙද්දි එතෙක් වැදගත් වුණ තවත් වෙනසක්, තවදුරටත් වෙනසක් සේ දැකීම දුෂ්කර වෙනවා. ඒ තමයි උපයන දේ… දැන ඉගෙනගෙන ආචාර්ය මහාචාර්ය ධුරයන්ට පත් වූවනුත්, යන්තමින් ඉගෙනගෙන නමුත් වීරියෙන් මහන්සියෙන් ජීවිතය ගොඩ නගා ගත්තවුනුත් වත්කම් අතින් සමාන වෙන අවස්ථා අපට ඕනෑ තරම් හමු වෙනවා. අද කාලයේ නම් බොහෝ විට ප්‍රමුඛව පෙනෙන්නේ ඉහළට උගත් පිරිස පරයා එතරම් උගත්තේ නැති පිරිස ආදායම් අතින් ඉහළ තැනක ඉන්න බවක්. එතැනදී, උගත් – නූගත් බව ගැන පුරසාරම් කියන්නට දෙයක් නැති වෙනවා.

අවුරුදු හැට වෙද්දි ආයතනයේ ලොකු මහත්තයයි, සුළු සේවකයයි අතර වෙනස නැති වෙනවා. මොකද දෙදෙනාම විශ්‍රාම ගැන්වෙන නිසා. ඒ සියලු තරාතිරම් ආයතනයට පමණයි. අප වගේ රටවල ජීවන සංස්කෘතිය තුළ උසස් නිලධාරීන්ට දක්වන ගෞරවය තවමත් යම් තරමකින් තිබෙනවා වුණත් එන්න එන්න ම ඒ ස්වභාවයන් අපෙනුත් ඈත් වෙමිනුයි පවතින්නේ.

අවුරුදු හැත්තෑව විතර වෙද්දි මහල් කිහිපයකට හදපු නිවස ඵලක් නැතිව යනවා. උඩුමහලට නැගගන්නට බැරි තරමට හන්දි අමාරුකම් ඇති වෙනවා. අසූව වෙනකොට යානවාහනත් ඵලක් නැති වෙනවා. දැන් වාහනයක නැගී පදවාගෙන යන්නට පුළුවන්කමක් නෑ. එක දිගට වාහනයක හිඳගෙන යන්නට පුළුවන්කමකුත් නෑ. මේ වෙද්දි ආශාවෙන් රැස් කරපු ඇඳුම් පැලඳුම්, ආභරණ, ඇඳ පුටු පවා ඉතාම සීමා සහිතවයි කාට වුණත් පරිහරණය කරන්නට සිද්ධ වෙන්නේ. තව ටික කාලයක් හිටියොත් රෑ දවල් පවා වෙනසක් නැතිව යනවා. කිසිවක් කර කියා ගත නොහැකි තරමට දුබල ව එක්තැන් වෙද්දි ඒ තාක් අප වටා තිබුණු වටිනාකම් එහෙම පිටින් ම අපට අහිමි වෙනවා. ඒවා හුදු මතකයන්, සැමරුම් බවට පත් වෙනවා.

ආර්ථික ප්‍රශ්න අඩු, සමාජයීය ප්‍රශ්න අඩු, දේශපාලනික ප්‍රශ්න අඩු, ප්‍රශස්ත ජීවන තත්ත්වයක් සහිත නිදහස් සාමකාමී රටවල මිනිසුන්ටත් දුගී දුප්පත් රටවල මිනිසුන්ටත් ඒ කාරණය පොදුයි. සසරේ රැස් කළ පින් පව්වල ස්වභාවයන් අනුව අප මේ ජීවිතයේ සැපදුක් විඳිනා ස්වභාවයන් තීරණය වනවා. ඒ කර්ම දායාදය සහිතව ඉපිද ගෙවන ජීවිතය තුළයි අපට අහිමි සම්පත් කෙරෙහි දුක, ඊර්ෂ්‍යාව, මසුරු බව, ගැටීම, තරහව, ක්‍රෝධය, වෛරය උපදින්නේ. ඒ ජීවිතය තුළයි අප අහිමි වස්තුව ගැන හූල්ලමින් සිටින්නේ. හිමි කර ගත්තවුන් ඒවා රැක ගැනීම පිණිසත්, හිමි නොවූවන් ඒවා හිමි කර ගැනීම පිණිසත් යෙදෙන අනවරත අරගලයකටයි අප ‘ජීවත් වනවා’ කියා කියන්නේ…

එහෙම එකේ… වෙන රටවලට ලැබුණු – අපට නොලැබුණු, වෙන මිනිසුන්ට ලැබුණු – අපට නොලැබුණු සෞභාග්‍යවත් ජීවිත පැවැත්ම ගැන හිත හිතා වෙහෙසෙනවාට වඩා සෙසු ලෝකයාට අහිමි වුණු – අපට හිමි වුණු යම් භාග්‍යයක් වේ ද ඒ තුළින් සසර ගමනට යහපතක් සලසා ගන්නේ කොහොමද කියන කාරණය ගැන උනන්දු වීම බොහොම වටිනවා. සැබැවින් ම, අප සෙසු ලෝකයාගෙන් වෙන් කොට යහපත උදා කරලන මහා භාග්‍යයක් මේ බිමේ උරුමයක් ව පවතිනවා. ඒ තමයි ජීවිත ශ්‍රේෂ්ඨත්වයට පමුණුවන උත්තම මාර්ගය; සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුව මඬලින් සුදේශිත දහම් මාවත…

මුළු ලෝකය ම පිරික්සා බැලුවත් මේ රට තරම් වටිනා පුණ්‍ය නිධානයක් මුණගැසෙන්නේ නෑ. කල්ප ගණනින් සුගති සැප සලසාලන විපාක සකස් කරලමින් සර්වඥයන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා උදෙසා පුදපූජා පවත්වන්නට මෙතරම් පහසුවෙන් අවස්ථාව සැලසෙන අන් පින්බිමක් ලොව තිබෙන්නේ කොතැන ද…! නොවිසිරුණු සප්ත ධාතූන් වහන්සේලා සත්නම අතර වූ ශ්‍රී සර්වඥ ලලාට ධාතූන් වහන්සේ වැඩ වෙසෙන, දකුණු අකු ධාතූන් වහන්සේ වැඩ වෙසෙන, වාම ශ්‍රී දළදා වහන්සේ සහ දකුණු ශ්‍රී දළදා වහන්සේ වැඩ වෙසෙන සුවඳ ගර්භය තමයි අප උපන් මේ රට… ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා දෙතිස් මහා පුරිස් ලකුණින් සුශෝභිත සම්බුදු රුව මවා පා වැඩ වෙසෙන මහා සෑය පිහිටි පින්බිම තමයි මේ රට… ජීවමාන අභිනීල කේශධාතූන් වහන්සේලා, ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ, නඛ ධාතූන් වහන්සේලා ආදී උත්තම සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ වෙසෙන ධාතු කරඬුව තමයි මේ රට…

සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධාභිෂේකය ලැබූ මොහොතේ සෙවණ සලසාලූ පස් පැහැ විදුනා අභිනීල සම්බුදු නේත්‍ර යුග්මය සතියක් නොසෙල්වී පුද දෙනු ලැබූ සහජාත වස්තූන් වහන්සේ වන විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මුල් තවමත් දරා සිටින පින්බිම තමයි මේ රට. සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ, ජලසාටිකා ධාතූන් වහන්සේ, පටී ධාතූන් වහන්සේ ආදී පාරිභෝගික ධාතූන් වහන්සේලාට සුගන්ධ කුටිය වුණේ මේ රට. සසරේ රැස් කළ පින් මහිමයෙන් සම සේ පොළොව මත පිහිටි, ස්පර්ශයෙන් මිහිමඬල කම්පා කළ උත්තම සිරිපා සටහන් දෙව්මිනිසුන් විසින් පිනිපා කරලනු පිණිස පිහිටුවනු ලැබූ ගිරිකුල දරා ගත් පින්බිම තමයි මේ රට…

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම දායාදය මුඛ පරම්පරාගත ව රැකගෙන පැමිණ ග්‍රන්ථාරූඪ කොට සත්වගට යහපත දන් දුන්නා වූ මහරහත් මුනි පරපුර වැඩ සිටි – දැනුදු ඒ නිර්මල සද්ධර්ම දායාදයෙන් දෙව්මිනිස් ලෝකයාට යහපත දන් දෙන්නා වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා වැඩ වෙසෙන පුණ්‍ය තීර්ථය තමයි අප උපන් මේ රට…

සසරේ කළ කම්හි කවර දොසක් තිබුණා වුණත්, සම්බුද්ධ ශාසනයක පින්දහම් රැස් කරන්නට භාග්‍යය උදා වන මහා පුණ්‍ය ලාභයක් අප කා හටත් තිබුණ නිසයි අප මේ බිමේ ඉපිද තෙරුවන සරණ ගියේ. උපදවා ගත් මේ ලාභය කාලයේ පහර කෑමෙන් නැසී වැනසී යන බලවත්කම් වැන්නක් නොවෙයි. යම් දිනක ද තෙරුවන් සරණ ගියේ, එදින පටන් පුණ්‍ය බීජය වැඩී විපුල බවට පත් වනවා. පැහැදුනු සිතින්, සත්පුරුෂ ඇසුරේ සත්පුරුෂ ධර්මය අසමින්, දරමින්, පුරුදු කරමින් ජීවිතයේ ගුණධර්ම දියුණු කරද්දී දවසින් දවස බලවත්ව පින වැඩී යනවා මිසක් එය නැසී වැනසී යන්නේ නෑ. කවර වයසකදීවත්, කවර අයෙකුටවත්, කවර දෙයකින්වත් හානි පමුණුවන්නට බැරි දෙයක් තමයි මේ රැස් කරන පින. සසරේ සැප සැලසෙන්නේ ඒ පිනෙන්. සසරින් නිදහස් වන්නට ඉඩ සැලසෙන්නේත් ඒ පිනෙන්. ඒ නිසයි, පිනට භය වන්න එපා කියා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ..

පින් රැස් කරන්නට බොහෝ ඉඩකඩ තිබෙන පින්බිමක ඉපිද සිටිය දී කාලික වටිනාකම්වලට ජීවිතයේ වැඩිම ඉඩ වෙන් කරන්නට එපා. ජීවිතය පවත්වා ගන්නට ඒවා උපකාරක වූවත් සසර ගමන ඉක්මවන්නට ඒවා වැදගත් වන්නේ නැහැ. මේ වසංගත රෝගය හමුවේ ලෝකයේ සිදුව තිබෙන බිඳවැටීම දෙස බැලූ පමණින් පවා, කාලයේ පැවැත්ම තුළ නැසී වැනසී යන දේවලින් ජීවිතයට රැකවරණයක් නැති බව තේරුම් ගන්නට පුළුවනි. එවැනි නිස්සාර දේ ජීවිතයේ ප්‍රමුඛ ඉලක්කය බවට පත් කර ගත්තොත් අපට කාලයෙන් පහර කා වැනසී යාම හැර ලැබෙන අර්ථයක් නම් නැහැ. පින වැඩී යන්නේ සත්පුරුෂයන් තුළයි. සත්පුරුෂ නොවී කුසල්දහම් දියුණු කරන්නට බැහැ. උපතේ සිට මරණය දක්වා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනින් ගෙවී ගියත් සත්පුරුෂභාවය හා අසත්පුරුෂභාවය අතර වෙනස නැසී යන්නේ නැහැ. සෙසු ලෝකයාගෙන් එසේ වෙනස් වුවහොත් තමයි අපට අපව රැක ගත්තා කියා කිව හැක්කේ… පිනට කැමති වෙන්න. සරණ සීලයේ රැකවරණයට කැමති වෙන්න. එතුළ ජීවිතය පවත්වන්නට උත්සුක වෙන්න. සත්පුරුෂ ජීවිතයක් උපදවා ගන්න. සිහිනෙන් සිතුවත් සෙත සලසාලන සම්බුදුරජාණන් වහන්සේ ශාස්තෘන් වහන්සේ කොට ගන්නට ලැබුණු මේ ජීවිතය පිනෙන් පුරවා ගත්තොත්, දහමෙන් රැක ගත්තොත් ඒ අමා නිවන් සුව අපට දුර වන්නේ නැහැ. ඔව්… අකාලික මුනි දහම හැර දුක් නිවාලන අන් මඟක් ලොව නැහැ…!

සටහන – උදුලා පද්මාවතී.