මේ මහා භද්‍ර කල්පයට කල්ප ලක්ෂයකට කලින් ‘පදුමුත්තර’ නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණා. පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් වැඩ වාසය කළේ දඹදිව හංසවතී නම් නුවර ඇසුරු කරගෙනයි.

ඉතින් එක දවසක් ඒ හංසවතී නුවර බොහොම ධනවත් පවුලක තරුණයෙක් බණ අහන්න කියලා හිතාගෙන විහාරයට ගියා. ඒ වෙලාවෙ පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක සැදැහැති උපාසකයෙකුට තමන් වහන්සේගේ ශාසනයේ ‘ධර්මකථික උපසකවරුන් අතරින් අග තනතුර’ පිරිනැමුවා. එහි රැස්ව සිටි සිව්වනක් පිරිස අතරින් මේ සිදුවීම දිහා බොහොම සතුටින් බලාගෙන හිටිය මේ තරුණයාගේ සිතේ ‘අනේ, මේ වගේ ම අනාගතයේ ලොව පහළවන සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකගේ ශාසනයක දී මටත් ‘ධර්මකථික උපාසකවරුන් අතරින් අග්‍රස්ථානය’ ලබා ගන්නට ඇත්නම්, ඒක මොන තරම් නම් භාග්‍යයක් ද!!!’ කියලා සිතිවිල්ලක් ඇති වුණා.

අනතුරුව මේ සිතිවිල්ල ම පෙරදැරි කරගෙන පහුවදා ඉඳලා එක දිගට ම දවස් හතක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන්පැන් පූජා කළා. හත්වෙනි දවසෙ පදුමුත්තර සම්බුදුරජාණන් වහන්සේ ඉදිරියේ “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මා රැස් කළ මේ පුණ්‍යානුභාව බලයෙන් අනාගතයේ ලොව පහළ වන සම්බුදු සසුනක දී මටත්, ‘ධර්මකථික උපාසකවරුන් අතරින් අග තනතුර’ ලැබේවා!!!” කියලා සොඳුරු පැතුමක් පැතුවා.

එතැන් පටන් දිවි ඇති තෙක් ම මේ තරුණයා දානාදී බොහෝ පින්කම් කළා. ජීවිතයට ගොඩක් පින් රැස්කරගෙන මරණින් මතු දෙවියන් අතර ඉපදුණා.

“ඉධ නන්දති පෙච්ච නන්දති – කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති
පුඤ්ඤං මේ කතන්ති නන්දති – භීය්‍යෝ නන්දති සුග්ගතිං ගතෝ”

“හොඳට පින්-දහම් කරගත්ත කෙනා තමයි මෙලොව දී සතුටු වෙන්නෙ. පරලොව දී සතුටු වෙන්නෙත් ඔහු ම යි. දෙලොවදී ම ඔහු සතුටු වෙනවා. ‘මං පින් කර ගත්තා’ කියලා සුගතියෙ ඉපදුණාට පස්සෙ ගොඩක් සතුටු වෙනවා.”

(ධම්ම පදය – යමක වර්ගය)

මේ විදිහට කල්ප ලක්ෂයක් දෙවි මිනිසුන් අතර සැරිසරලා, මොහු අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නට පෙර, මේ මහා භද්‍ර කල්පයේ ම තුන්වනුව ලොව පහළ වූ කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ලොව පවතින කාලයේ දී, දඹදිව එක්තරා මුවන් මරා ජීවත් වෙන වැදි පවුලක උපන්නා. කාලය ගත වීමත් සමග තරුණ වියට පත් වූ මේ වැදි තරුණයා තනියම දඩයම් කරන්න පුරුදු වුණා.

ඉතින් දවසක් මහා වැස්සක් වහින උදෑසන කාලයක මොහු මුවන් දඩයම් කරන්න දුනු ඊතලත් අරගෙන කැලේට ගියා. මුවෙක් සොයමින් විපරම් කරමින් යනකොට ගල් ගුහාවක හිස පටන් පොරවාගෙන භාවනා කරන තෙරුන් වහන්සේනමක් දකින්න ලැබුණා. ‘අනේ, මේ එක ආර්යයන් වහන්සේනමක් තනියම මේ කැලේ මැදට වෙලා මහණදම් පුරනවා. තවම දානෙ වළඳලත් නැතුව ඇති. මට මුන් වහන්සේට දානෙ ටිකක් පූජා කරගන්න ඇත්නම්…’ කියලා ඔහුට පහන් සිතක් ඇති වුණා.

ඊට පස්සෙ මේ වැදි තරුණයා ඉක්මනට ආපහු ගෙදරට ඇවිදින් කලින් දවසෙ ගෙනා මස් එක්ක බතක් උයවා ගත්තා. ආපහු කැලේට යන්න හදනකොට, තවත් පිණ්ඩපාතෙ වඩින භික්ෂූන් වහන්සේලා ව දැක්කා. ඒ තෙරුන් වහන්සේලාගෙන් පාත්‍රා ඉල්ලාගෙන, උන්වහන්සේලා ව වඩා හිඳවලා දන්-පැන් පූජා කළා. ඉතිරි කටයුතු කරන්න වෙනත් අයෙකුට පවරලා මේ වැදි තරුණයා බත් හා මස් ව්‍යංජනය වෙන වෙන ම පොදිවල බැඳගෙන ඉක්මනට කැලේට ගියා. කැලේ යන අතරමග දී එක එක පාටින් ලස්සනට මල් පිපිලා තියෙනවා දැකලා, ඒ මල් කඩාගෙන පොදියක් විදිහට ගොටුවක තියාගෙන තෙරුන් වහන්සේ වැඩ ඉන්න තැනට ගියා.

“අනේ ස්වාමීනි, මට අනුකම්පා කරනු මැනව” කියලා ඒ තෙරුන් වහන්සේගෙන් පාත්‍රය ඉල්ලාගෙන, බත් හා මස් ව්‍යංජනයෙන් ඒ පාත්‍රය පුරවලා සතුටු සිතින් පූජා කළා. අතරමග දී කඩාගෙන ආපු, එකට මුසු වුණු නොයෙකුත් වර්ගයේ විසිතුරු මල්වලිනුත් තෙරුන් වහන්සේව පිදුවා.

“ තඤ්ච කම්මං කතං සාධු – යං කත්වා නානුතප්පති
යස්ස පතීතෝ සුමනෝ – විපාකං පටිසේවති”

“යම් දෙයක් කළාට පස්සෙ, ඒ ගැන පසුතැවිල්ලක් ඇති වෙන්නෙ නැත්නම්, ඒ පුණ්‍ය විපාකය විඳින්ට තියෙන්නෙ ප්‍රීතියෙන් පිනා ගිය සතුටු සිතකින් නම්, එවැනි පින් කර ගන්න එක කොයි තරම් හොඳ දෙයක් ද.”

(ධම්ම පදය – බාල වර්ගය)

මේ විදිහට පහන් සිතින් තෙරුන් වහන්සේව පිදූ මේ වැදි තරුණයා “ස්වාමීනි, මේ රසවත් පිණ්ඩපාතය සමග විසිතුරු මල් පූජාව ඔබ වහන්සේගේ සිත යම් ආකාරයකින් සතුටු කෙරුව ද ඒ වගේ ම මාත් උපනුපන් තැනේ දී පඬුරු දහස් ගණන් පැමිණේවා! පස්වනක් මල් වැසි ද වසිත්වා!” කියලා ප්‍රාර්ථනාවක් කළා.

තෙරුන් වහන්සේත් ඔහුගේ උපනිශ්‍රය දැකලා දෙතිස් ආකාර අසුභ භාවනාව කියලා දුන්නා. එතැන් පටන් ඔහු දඩයම් කිරීමෙන් වැළකිලා දිවි ඇති තාක් ම බොහෝ පින්දහම් කරලා, මරණින් මතු දෙවියන් අතර උපන්නා. ඔහු උපන් වේලෙහි, දණක් පමණ උසට දිව්‍යමය මල් වරුසාවක් වැස්සා. ඒ වගේ ම අනෙකුත් දෙවිවරුන්ට වඩා මනස්කාන්ත දිව්‍යමය රූපයකිනුත් යුතු වුණා.

“චිරප්පවාසිං පුරිසං – දූරතෝ සොත්ථිමාගතං
ඤාතිමිත්තා සුහජ්ජා ච – අභිනන්දන්ති ආගතං”

“බොහෝ කලක් පිටරටක හිටපු කෙනෙක් දුරුකතර ගෙවාගෙන සුවසේ ආපසු එන විට, ඔහුගෙ නෑදෑයින්, හිත මිතුරන් කවුරුත් ඔහුගෙ පැමිණීම සාදරයෙන් පිළිගන්නවා.”

“තථේව කතපුඤ්ඤම්පි – අස්මා ලෝකා පරං ගතං පුඤ්ඤානි පතිගණ්හන්ති – පියං ඤාතීව ආගතං”

“පින් කර ගත්තහමත් එහෙම තමයි. මෙලොව අත්හැරලා පරලොව යනකොට, තමන් කරපු පින විසින් තමා ව පිළිගන්නෙ දුරු රටක ඉඳන් එන ප්‍රියාදර කෙනෙක් ව ඥාතීන් විසින් පිළිගන්නවා වගේ.”

(ධම්ම පදය – ප්‍රිය වර්ගය)

මේ විදිහට කාශ්‍යප බුද්ධ ශාසනයෙන් පසුව ගෞතම බුද්ධ ශාසනය තෙක් එක් බුද්ධාන්තරයක කාලයක් දෙවි මිනිසුන් අතර ඉපදිලා, මොහු අපගේ ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ දඹදිව මගධ රට මච්ඡිකාසණ්ඩ නම් වූ නුවර ප්‍රධාන සිටු පවුලේ උපන්නා.

ඔහුගේ සොඳුරු පැතුමට අනුව, ඔහු ඉපදුණු වේලෙහි, මුළු නුවර ම දණක් පමණ වූ සීමාවෙන් පස් වනක් මල් වැසි ඇද හැළුණා. ඒ නිසා ම ඔහුගේ දෙමාපියන් බොහෝ ම සතුටට පත්වෙලා, “අපේ පුතා තමන් ම තමන්ගේ නම අරගෙන ආවා” කියලා, ‘ඔහු උපන් දවසෙ මුළු නුවර ම පස්වනක් මල්වලින් විසිතුරු වුණ හින්දා’ මේ සොඳුරු පින්වන්තයාට ‘චිත්ත කුමාර’ කියලා නම තිබ්බා.

මේ පින්වන්ත දරුවා බොහෝ සැප සම්පත් මධ්‍යයේ ඉතා ම සුවසේ හැදී වැඩුණා. වැඩිමහල් වියට පත්වෙලා තම පියාගෙ ඇවෑමෙන් ඒ මච්ඡිකාසණ්ඩ නුවර සිටු තනතුරට පත් වුණා. එතැන් පටන් ඔහු ‘චිත්ත ගෘහපති’ නමින් ප්‍රසිද්ධ වුණා.

එක දවසක් ඒ මච්ඡිකාසණ්ඩ නගරයේ පස්වග භික්ෂූන් වහන්සේලාගෙන් එකනමක් වන ‘මහානාම මහරහතන් වහන්සේ’ චාරිකාවේ යන අතරතුර පිණ්ඩපාතෙ වැඩියා. චිත්ත ගෘහපතිතුමා ඉතා ම ශාන්ත විලාසයෙන් පිඬුසිඟා වඩින තෙරුන් වහන්සේව දැකලා, උන්වහන්සේගෙ ප්‍රසන්න ඉඳුරන් ගැන හා ශාන්ත ඉරියව් පැවැත්ම පිළිබඳව බොහෝ ම පැහැදුණා. මහානාම මහරහතන් වහන්සේගේ ඉදිරියට ගිය චිත්ත ගෘහපතිතුමා, ඉතාම ගෞරවයෙන් උන්වහන්සේට වන්දනා කරලා, තමන්ගෙ නිවසට වඩමවලා දන්පැන් පූජා කළා.

“පූජාරහේ පූජයතෝ – බුද්ධේ යදි ව සාවකේ
පපඤ්චසමතික්කන්තේ – තිණ්ණසෝකපරිද්දවේ”

“කෙලෙස් පටලැවිලි ඉක්මවා ගිය, ශෝක වැළපීම්වලින් එතෙර වුණ බුදුරජාණන් වහන්සේට හෝ බුද්ධ ශ්‍රාවකයින්ට හෝ එබඳු පූජනීය උතුමන්ට යමෙක් දන්-පැන් පුදනව නම්,”

“තේ තාදිසේ පූජයතෝ – නිබ්බුතේ අකුතෝභයේ
න සක්කා පුඤ්ඤං සංඛාතුං – ඉමෙත්තමපි කේනචි”

“කිසි ලෙසකිනුත් බිය-තැතිගැනීම් නැති, නිවුණු සිත් ඇති, එබඳු උතුමන්ට පූජා-සත්කාර කරන කෙනාගෙ ඒ පින මෙච්චරයි කියලා, මැනලා කියන්නට කාටවත් පුළුවන්කමක් නෑ.”

(ධම්ම පදය – බුද්ධ වර්ගය)

දන්පැන් වළඳා අවසන් වූ මහානාම මහරහතන් වහන්සේ චිත්ත ගෘහපතිතුමාට පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය දේශනා කළා. මනාව සවන් යොමා සිටි චිත්ත ගෘහපතිතුමා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජනයන් ගෙවා දමා උතුම් සෝවාන් ඵලයට පත්ව, සතර අපායට වැටෙන ස්වභාවයෙන් සදහට ම නිදහස් වුණා.

“පථව්‍යා ඒකරජ්ජේන – සග්ගස්ස ගමනේන වා සබ්බලෝකාධිපච්චේන – සෝතාපත්තිඵලං වරං”

“මුළු පෘථිවිය ම ජයගෙන, චක්‍රවර්ති රජකෙනෙක් වෙනවාටත් වඩා, දෙව්ලොව උපදිනවාටත් වඩා, සකල ලෝකයට ම අධිපති වෙනවාටත් වඩා, සෝවාන් ඵලයට පත් වීම ම යි උතුම්.”

(ධම්ම පදය – ලෝක වර්ගය)

ඉතින් ඒ විදිහට සෝවාන් ඵලයට පත් වෙලා, තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවන්තයෙක් බවට පත් වුණු චිත්ත ගෘහපතිතුමා දම් දෙසුම අවසානයේ දී තමා සතුව තිබුණු ඉතා ම මනරම් ‘අම්බාටක’ නම් වූ වන උද්‍යානය සංඝාරාමයක් කිරීමට කැමැත්තෙන් මහානාම මහරහතන් වහන්සේට අතපැන් වත් කර පූජා කළා.

ඊට පස්සෙ චිත්ත ගෘහපතිතුමා තෙරුන් වහන්සේට “ස්වාමීනි, මම ඔබවහන්සේට චීවර, පිණ්ඩපාත, සේනාසන, බෙහෙත් ගිලන්පස ආදී සිව්පසයෙන් ම උපස්ථාන කරන්නම්. ඔබවහන්සේ කැමති තාක් මෙහි ම වැඩ සිටින සේක්වා!” කියලා ආරාධනා කළා. මහානාම මහරහතන් වහන්සේත් ඒ ඇරයුම නිශ්ශබ්දව පිළිගත්තා.

චිත්ත ගෘහපතිතුමා ඒ අම්බාටක වන උද්‍යානයේ ඉතා ම මනරම් ආකාරයෙන් කුටි සෙනසුන්, දාන ශාලා, සක්මන් මළු, රැස්වීම් ශාලා ආදියෙන් සමන්විත මහා විහාරයක් කරවලා සිව්දිගින් වඩින්නා වූ මහා සංඝරත්නය උදෙසා පූජා කළා.

ඉතින් චිත්ත ගෘහපතිතුමා තම නුවර භික්ෂූන් වහන්සේලාට වැඩ සිටීමට අවස්ථාව සැලසීම නිසා, මච්ඡිකාසණ්ඩ නුවරවාසී බොහෝ දෙනෙකුට තෙරුවන් සරණ ගිහින් මගඵල නිවන් අවබෝධ කර ගන්න මහා භාග්‍යයක් උදා වුණා. ඒ වගේ ම බණ අහන්න, සිල් රකින්න, සංඝයාට ඇප උපස්ථාන කරන්න, දන්-පැන් පූජා කරගෙන මහත්ඵල මහානිශංස පින් රැස්කර ගන්න අවස්ථාව උදා වුණා.

මේ නිසා ම චිත්ත ගෘහපතිතුමා මච්ඡිකාසණ්ඩ ප්‍රදේශයේ සියලුම දෙනාගේ මහත් සම්භාවනාවට පාත්‍ර වුණා. මේ විදිහට මුළු මච්ඡිකාසණ්ඩ නුවරට ම මහත් ආලෝකයක් වූ චිත්ත ගෘහපතිතුමාගේ කල්‍යාණ කීර්ති රාවයත් කාලය ගත වීමත් සමග දසත පැතිරී ගියා.

“න පුප්ඵගන්ධෝ පටිවාතමේති – න චන්දනං තගරමල්ලිකා වා
සතඤ්ච ගන්ධෝ පටිවාතමේති – සබ්බා දිසා සප්පුරිසෝ පවාති”

“මල් සුවඳ උඩු සුළඟෙ හමා යන්නෙ නෑ. සඳුන්, තුවරලා, සීනිද්ද, බෝලිද්ද කොච්චර සුවඳ වුණත්, උඩු සුළඟෙ හමන්නෙ නෑ. නමුත්, සත්පුරුෂයින්ගෙ ගුණ සුවඳ උඩු සුළඟෙ පවා හමනවා. සත්පුරුෂයා හැම දිසාවක් ම සුවඳවත් කරනවා.”

(ධම්ම පදය – පුප්ඵ වර්ගය)

චිත්ත ගෘහපතිතුමාගේ යහපත් ගතිගුණ නිසා ම භික්ෂූන් වහන්සේලා අතරත් ලොකු පැහැදීමක් ඇති වුණා. භික්ෂු සංඝයාටත් නිතරම එතුමා පිළිබඳව ගුණ වර්ණනා අසන්නට ලැබුණා. මේ විදිහට චිත්ත ගෘහපතිතුමා ගැන අසන්නට ලැබුණු අග්‍රශ්‍රාවක සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාටත් මේ නිසා ම මච්ඡිකාසණ්ඩ නුවරට වඩින්න කැමැත්තක් ඇති වුණා.

දිනක් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම තවත් භික්ෂූන් වහන්සේලා දහස්නමක් සමගින් චිත්ත ගෘහපතිතුමාට අනුග්‍රහ කිරීමට මච්ඡිකාසණ්ඩය බලා පිටත් වුණා. ඒ බව දැනගත් චිත්ත ගෘහපතිතුමා බොහෝ ම සතුටට පත් වෙලා, අඩයොදුනක් පමණ පෙර ගමන් ගිහිල්ලා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම ප්‍රධාන භික්ෂු සංඝයාව ඉතා ම ගෞරවයෙන් යුතුව පිළිඅරගෙන අම්බාටකාරාම විහාරයට වඩමවාගෙන ආවා.

ආගන්තුක වතාවත් මැනවින් කළ චිත්ත ගෘහපතිතුමා, “ස්වාමීනි, ඔබවහන්සේගෙන් ධර්මය අසා දැනගන්න මම හරි කැමතියි. ඒ හින්දා මං ගැන අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන සේක්වා!” කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඉල්ලා සිටියා.

ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේට ගමන් විඩාව තිබුණත් චිත්ත ගෘහපතිතුමාගේ තියෙන ශ්‍රද්ධාව නිසා ම ස්කන්ධ, ධාතු, ආයතන පිළිබඳව විදර්ශනා භාවනාවෙන් යුතු ගැඹුරු ධර්මයක් දේශනා කළා. ඒ ධර්ම දේශනයට මනා කොට සවන් යොමු කරමින්, නුවණින් අරුත් විමසමින් සිටි චිත්ත ගෘහපතිතුමා පංච ඕරම්භාගීය සංයෝජනයන් ගෙවා දමා උතුම් අනාගාමී ඵලයට පත් වුණා. නැවත කිසිදා මරණින් මතු මේ කාම ලෝකයට හැරී නො එන, සුද්ධාවාස බඹලොවක ඉපිද පිරිනිවන් පා, සසර දුකින් සදහට ම නිදහස් වෙන කෙනෙක් බවට පත් වුණා.

“මුහුත්තමපි චේ විඤ්ඤූ – පණ්ඩිතං පයිරුපාසති
ඛිප්පං ධම්මං විජානාති – ජීව්හා සූපරසං යථා”

“බුද්ධිමත් පුද්ගලයා සුළු මොහොතකට හරි, නුවණැති මුනිවරයෙක් ව ඇසුරු කළොත්, ඔහු ඉතා ඉක්මනින් ධර්මය අවබෝධ කර ගන්නවා, හොද්දක රසය වහා ම දැනගන්න දිවක් වගේ.”

(ධම්ම පදය – බාල වර්ගය)

ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධර්ම දේශනයෙන් අනතුරුව චිත්ත ගෘහපතිතුමා හරිම සතුටින් අගසව් දෙනම වහන්සේලාට වන්දනා කරලා, දහසක් වූ අනෙකුත් භික්ෂූන් වහන්සේලා ද සමගින් පසුදින තම නිවසේ දානයට වඩින ලෙසට ආරාධනා කළා. ඊට පස්සෙ බොහෝ කාලයක ඉඳලා අම්බාටකාරාමෙ නේවාසිකව ඉන්න ‘සුධම්ම’ නම් වූ තෙරුන් වහන්සේටත් දානෙට ආරාධනා කරන්න ගියා.

ඉතින් මේ සුධම්ම තෙරුන් වහන්සේ බොහෝ කාලයක් එකම තැන ඉඳලා පරණ වීම හේතු කොටගෙන පළමුවෙන් ම වැඳුම්-පිදුම්, ගරු-බුහුමන් ලබන්න වඩාත් සුදුසු තමන් කියලයි හිතාගෙන හිටියෙ. ඒ හින්දම අග්‍රශ්‍රාවකයන් වහන්සේලා තමන් වැඩඉන්න විහාරයට වඩින බව දැනගත්තත් හිතේ සතුටක් ඇති වුණේ නෑ. අඩු ගණනේ ආගන්තුක උපස්ථානයක්වත් කළේ නෑ. පැත්තකට වෙලා ඉරිසියාවෙන් මූණ නරක් කරගෙන හිටියා.

චිත්ත ගෘහපතිතුමා ගිහින් දානෙට ආරාධනා කළා. ඒත් සුධම්ම තෙරුන් වහන්සේට ඒක හිතට ඇල්ලුවෙ නෑ. තමන්ට ආරාධනා කළේ පස්සෙ කියලා, ඒ ඇරයුම ප්‍රතික්ෂේප කළා. “මම මේ ස්ථානෙට ඇවිල්ලා දැන් අවුරුදු ගාණක් වුණා. මාව ප්‍රධාන කරගෙන මේවා කරන්න තිබ්බෙ. ඔහේගෙ මේ අමුතුම තාලෙ වැඩවලට මම කැමති නෑ” කියලා නැවත නැවත කළ ආරාධනාව පිළිගත්තෙ නෑ. ඉතින් චිත්ත ගෘහපතිතුමා “ස්වාමීනි, ඔබවහන්සේට ම වැටහෙත්වා!” කියලා නිවසට ගිහින් මහා දානයකට අවශ්‍ය කටයුතු සංවිධානය කළා.

එදා ඉතින් සුධම්ම තෙරුන් වහන්සේට නින්දක් නෑ. තරහෙන් පුපුර පුපුරා හිටියා. ‘මේ ගෘහපතියා හෙට අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට කොයි විදිහකට සත්කාර කරයි ද දන්නෙ නෑ. හෙට උදෙන් ම ගිහිල්ලා බලන්න ඕනෙ.’ කියලා හිතමින් නොනිදා ම රැය පහන් කළා.

උදේ පාන්දර ම සුධම්ම තෙරුන් වහන්සේ පා සිවුරුත් අරගෙන චිත්ත ගෘහපතිතුමාගේ නිවසට වැඩම කළා. එතකොට චිත්ත ගෘහපතිතුමා “ස්වාමීනි, වැඩ ඉන්න” කියලා ආසනයක් පිළියෙල කළා.

“නෑ… නෑ… මට වාඩිවෙන්න උවමනාවක් නෑ. මම මේ පිණ්ඩපාතෙ වඩින ගමන් නිකං බලලා යන්න ආවෙ, කෝ බලන්න ඔහේ දන්පැන් පිළියෙල කරලා තියෙන හැටි.”

“ම්….. සෑහෙන්න ගරුසරු ඇති ව සංඝයාට දන්පැන් පිළියෙල කරල නම් තියෙනවා. හැබැයි ඒ වුණාට මට නම් ලොකු අඩුවක් පේනවා.”
“ස්වාමීනි, ඒ මොකක්ද?”

“ඇයි උපාසකය, මෙතන තල කැරලි නැහැ නෙව.” කියලා සුධම්ම තෙරුන් වහන්සේ අපහාස කරන අදහසින් චිත්ත ගෘහපතිතුමාට කිවුවා. චිත්ත ගෘහපතිතුමා ඒක එච්චර ගණන් ගත්තෙ නෑ කියලා දැක්ක සුධම්ම තෙරුන් වහන්සේට තවත් කේන්ති ගියා.

“මේ උපාසකය, මං මේ කියලා යන්නයි ආවෙ, ඔහේගෙ විහාරෙ ඔහේම තියාගන්න..” කියලා චිත්ත ගෘහපතිතුමා “ස්වාමීනි, වැඩ ඉන්න” කියලා දෙතුන් පාරක් ම වැළැක්වූ නමුත්, ඉන් නොනැවතී තිස් යොදුනක් පමණ දුර ගෙවාගෙන සැවැත්නුවරට ගිහින් භාග්‍යවතුන් වහන්සේට මේ සිදුවීම සැල කළා.

එවිට භාග්‍යවතුන් වහන්සේ “පින්වත් භික්ෂුව, මෙහි දී ඔබ ම යි වැරදි. වැරැද්ද ඔබේ ම යි. ශ්‍රද්ධාවෙන් පහන් සිතින් යුතු ඒ උපාසකයාට ගැරහුවේ ඔබ ම යි. ඒ හින්දා ඔබ ආපසු මච්ඡිකාසණ්ඩයේ අම්බාටක විහාරයට ම ගිහිල්ලා, චිත්ත ගෘහපතිතුමාව මුණගැහිලා පින්වත් ගෘහපතිය, මෙහි වැරැද්ද මගේ ම යි. ඒ නිසා මට සමාවනු මැනව කියලා සමාව ගන්න” කියලා පිටත් කළා.

සුධම්ම තෙරුන් වහන්සේ අම්බාටක විහාරයට ආපසු වැඩම කළත්, ලැජ්ජාවට සමාව ගන්න යන්නෙ නැතුව ඉඳලා, නැවතත් භාග්‍යවතුන් වහන්සේ ළඟට ම වැඩියා. එවිට භාග්‍යවතුන් වහන්සේ “පැවිදි වූ භික්ෂූන් වහන්සේලා මේක මගේ විහාරෙ, මේක මම හදාපු එක, මේ මම ඉන්න තැන, මේ මගේ දායකයා, මේ මගේ දායිකාව කියලා අයිතිවාසිකම් හදාගන්න හොඳ නෑ. මාන්නයත්, ඊර්ෂ්‍යාවත් ඇතිකර ගන්න හොඳ නෑ.” කියලා සුධම්ම තෙරුන් වහන්සේට අවවාද අනුශාසනා කරමින් මේ ගාථාවන් ද වදාළා.

“අසතං භාවනමිච්ඡෙය්‍ය – පුරෙක්ඛාරඤ්ච භික්ඛුසු ආවාසේසු ච ඉස්සරියං – පූජා පරකුලේසු ච”

“අඥාන භික්ෂුව ආස කරන්නෙ ගරු-බුහුමන් ලබන්න ම යි. භික්ෂූන් අතරත් මුල් පුටුව ගන්න ම යි කැමති වෙන්නෙ. ස්ථානවල අධිපති වෙන්න ම යි කැමති වෙන්නෙ. දායක පවුල්වලින් පුද පූජා ලබන්න ම යි කැමති වෙන්නෙ.”

“මමේව කත මඤ්ඤන්තු – ගිහී පබ්බජිතා උභෝ 
මමේව අතිවසා අස්සු – කිච්චාකිච්චේසු කිස්මිචි ඉති බාලස්ස සංකප්පෝ – ඉච්ඡා මානෝ ච වඩ්ඪති”

“මේ ගිහි-පැවිදි කවුරුත් හැම දෙයක් ගැන ම මගෙන් විතර ම යි අහන්න ඕන. ලොකු-කුඩා හැම කටයුත්තක දී ම මගෙන් විතර ම යි උපදෙස් ගන්න ඕනෙ කියලා හිතන එක තමයි බාලයාගේ සිතිවිල්ල. ඒකෙන් ම යි ඔහුගෙ පාපී ආසාවනුත්, මාන්නයත් වැඩෙන්නෙ.”

(ධම්ම පදය – බාල වර්ගය)

ඉතින් මේ විදිහට “ලාභ-සත්කාර, කීර්ති ප්‍රශංසා උපදවා ගන්න එක වෙනත් වැඩපිළිවෙළක්, නිවන් අවබෝධ කරන එක වෙනත් වැඩපිළිවෙළක්” කියලා භාග්‍යවතුන් වහන්සේ සුධම්ම තෙරුන් වහන්සේට අවවාද අනුශාසනා කරලා තවත් භික්ෂුවක් සමගින් ගිහිල්ලා චිත්ත ගෘහපතිතුමාව සමා කරවා ගන්නා ලෙස වදාළා.

ඊට පස්සෙ සුධම්ම තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වැඳ-නමස්කාර කරලා, ප්‍රදක්ෂිණා කරලා, තවත් භික්ෂුවක් සමගින් ආපසු අම්බාටක විහාරයට වැඩම කළා. චිත්ත ගෘහපතිතුමා මුණගැසී සමාව ගත්තා.

ඉතා ම ගුණයහපත්, සත්පුරුෂයෙකු වූ චිත්ත ගෘහපතිතුමාත් “අනේ ස්වාමීනි, මගෙනුත් ඔබවහන්සේට වරදක් වූවා නම්, මටත් සමාව දෙනු මැනව.” කියලා සුධම්ම තෙරුන් වහන්සේගෙන් සමාව ගත්තා.

ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ දුන් අවවාදයේ පිහිටා සුධම්ම තෙරුන් වහන්සේ අප්‍රමාදී ව ධර්මයේ හැසිරුණා. ඉතා ම කෙටි කාලයක දී, ඒ අම්බාටක විහාරයේ දී ම විදසුන් වඩා උතුම් අරහත්වයට පත් වුණා.

“නිධීනං’ව පවත්තාරං – යං පස්සේ වජ්ජදස්සිනං නිග්ගය්හවාදිං මේධාවිං – තාදිසං පණ්ඩිතං භජේ තදිසං භජමානස්ස – සෙය්‍යෝ හෝති න පාපියෝ”

“නිධානයක් තියෙන තැන පෙන්වා දෙන මිත්‍රයෙක් වගේ, නුවණැත්තා අඩුපාඩු දැක්කහම, කරුණාවෙන් අවවාද කරලා, වරදෙන් මිදෙන්ට උදව් කරනවා. එබඳු නුවණැති සත්පුරුෂයන්වයි ඇසුරු කළ යුත්තෙ. එබඳු උතුමන් ඇසුරු කිරීමෙන් යහපතක් ම යි සිදුවෙන්නෙ. අයහපතක් නම් නොවෙයි.”

(ධම්ම පදය – පණ්ඩිත වර්ගය)

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.