මෙහි දී අප ධර්මාවබෝධය කරා යන ශ්‍රාවකයන්ගේ විවිධත්වය තේරුම් ගෙන තිබීම වැදගත් ය. මාතෘකා වශයෙන් ධර්මය දේශනා කරද්දී නුවණින් විමසා ධර්මාවබෝධ කරන තියුණු ප්‍රඥාවකින් යුතු ශ්‍රාවකයන් “උග්ඝටිතඤ්ඤූ” ශ්‍රාවකයන් වශයෙන් ය භාග්‍යවතුන් වහන්සේ හඳුන්වා දී ඇත්තේ. ධර්මය බෙදා විස්තර කරද්දී යෝනිසෝ මනසිකාරයේ යෙදී ධර්මාවබෝධ කරන ශ්‍රාවකයන් “විපඤ්චිතඤ්ඤූ” වශයෙන් හැඳින්වෙනවා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් නැවත නැවත ධර්මය ශ්‍රවණය කරමින් බොහෝ කලක් උත්සාහයෙන් වීර්යයෙන් ධර්මය පුරුදු කරමින් අවබෝධය කරා යන ශ්‍රාවකයන් “නෙය්‍ය” ගණයට ඇතුළත් වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ මාතෘකා වශයෙන්, කෙටියෙන් ධර්මය දේශනා කරන්නේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් තියුණු, ප්‍රඥාව බලවත් ශ්‍රාවකයන්ගේ අවබෝධය පිණිස බව සාරිපුත්ත මහරහතන් වහන්සේත්, මහා කච්චාන මහරහතන් වහන්සේත් ඉතා පැහැදිලි ව පෙන්වා දී තිබෙනවා. එම නිසා ධාතු මනසිකාර භාවනාව වැඩීමේ දී ප්‍රඥාව අඩු අද වන් යුගයක, සාමාන්‍ය ශ්‍රාවකයන් වන අප විස්තර වශයෙන් මෙනෙහි කිරීම ඉතාමත් ම උපකාරියි. මහා හත්ථිපදෝපම සූත්‍රයේ සඳහන් ආකාරයට එක් එක් ධාතුවලට අයත් කොටස් වෙන වෙන ම විස්තර වශයෙන් නුවණින් මෙනෙහි කිරීමයි අප කළ යුතු වන්නේ.