විවාහ වන තුරු එකිනෙකා ලිංගික සම්බන්ධතා නොපැවැත්වීම ස්ත්‍රී පුරුෂ කාටත් තමා සම්බන්ධයෙන් තිබෙන ඉතා වැදගත් වගකීමක්. තරුණ පිරිමි දරුවෙකුගේ සැබෑ පෞර්ෂය ආරක්ෂා කරන ඒ ඉවසීමෙන් යුතු දමනයට කියන්නේ ‘කුමර බඹසර’ කියලයි.

ගැහැනු දරුවෙකුගේ නම් ‘කුමරි බඹසරයි’. මේ බඹසර කෙලෙසා නොගෙන විවාහ වනතුරු තම චරිතය රැකගත යුත්තේ, එසේ නොකොළොත් රැස්වන බරපතළ පාප කර්මය තමන්ගේ මේ ජීවිතයට ආශීර්වාදය ලබන්නට තිබෙන අවස්ථාව පවා නැතිකර දමන නිසයි. ඒ කියන්නේ කෙනෙක් විවාහයට පෙර අඩු ගණනේ විවාහ වීමට සිටින කෙනා සමඟ හෝ කාම සේවනයක යෙදී තිබෙනවා නම් පෝරුවේ නැග විවාහ වෙද්දී ඒ අකුසලය තමන්ට බලපානවා.

එතැනදී ජයමංගල අෂ්ටක ගායනා කරද්දී පෝරුවේ ඉන්නේ කුමර, කුමරි බඹසර ස්වකැමැත්තෙන් කෙලෙසාගත් පිළුණු වුණ යුවලක් නම් ඔවුන්ගේ ඉෂ්ට දෙවිවරු ඔවුන්ට ශාප කොට පිටත් වෙනවා. එවිට ඒ පවුල් ජීවිතයේ සතුට රඳාපවතින්න උපකාරවන ආශීර්වාදයක් නෑ. තමන්ගේ සිතත් තම වැරදිවලට චෝදනා කරනවා.

කෙසේ වෙතත් මොනයම් හේතුවකින් හෝ මෙවැනි වරදක් වූ කෙනෙක්, ඉදිරියට සතුටින් ජීවත් වීමට බලාපොරොත්තු වෙනවා නම්, සිදු වූ වරද තේරුම්ගෙන නැවත එවැන්නක් නොකිරීමට සංවර වෙන්න ඕනි. ඒ වගේ ම වැදගත් ම දේ නම් ඒ ගැන හිත හිතා පසුනොතැවී සිටීමයි. එබඳු කෙනෙකු කල්පනා කළයුතු ආකාරය භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා තිබෙනවා. ‘මා විසින් යම්තාක් කාමයෙහි වරදවා හැසිර ඇද්ද එය යහපත් දෙයක් නො වේ. හොඳ දෙයක් නො වේ. ඉදින් මම ඒ හේතුව නිසා චිත්ත පීඩාවකින් හිටියා කියලා මා විසින් ඒ පාප කර්මය නොකළා වෙන්නෙ නෑ. මේ විදිහට ඔහු නුවණින් විමසලා ඒ කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකී සිටිනවා. මේ ආකාරයෙන් ඒ පාපකර්මය ප්‍රහාණය වෙලා යනවා. මේ අයුරින් ඒ පාප කර්මය ඉක්මවා යනවා.’

(සංඛධම සූත්‍රය – සං. නි. 4)

ඒ නිසා වරද නිවැරදි කර ගැනීමයි උතුම්. ඒ වගේ ම ස්වර්ණමාලි මහා සෑ රජුන් වෙත ගොස් හදවතින් ම තෙරුවන් සරණ සමාදන් ව සිල් අධිෂ්ඨාන කොට භාග්‍යවතුන් වහන්සේට ජීවිතය පූජා කරන්න. ගුණවත් බිරිඳක් ලෙස නිවැරදි ජීවිතයක් පටන්ගන්න. නිතර තෙරුවන් මුල්කරගෙන පින්දහම් කරන විට පවෙහි සිත ඇලෙන ගතිය දුරුකර ගත හැකි යි.
(වැඩි විස්තර දැනගැනීමට කැමති කෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ ‘යොවුන් දහම් සක්මන 2017’ ධර්ම දේශනයට සවන් දිය හැකියි.)