හෙළ රජ පරපුරේ ශ්‍රේෂ්ඨ නරපතියෙකු වූ ධාර්මික බුද්ධදාස රජතුමා දිනක් ඇතුපිට නැගී වීදි සංචාරයේ යෙදී සිටිය දී දිළිඳු කුඩා දරුවෙකු තමා වෙත කැඳවා සැප දුක් කෙසේදැයි විමසී ය. සිඟිති දරුවා මනරම් කවි පබැදුමකින් මෙසේ පිළිතුරු දුනි.

මා වැනි බිළින්දා
වර වර ළඟට කැන්දා
දුක් සැප කුමන්දා
අසන නිරිදෝ වෙන කොයින්දා….

ජාතික ඉතිහාසයේ නිරිදෙකු සහ බිළිඳෙකු අතර සිදු වූ රමණීය සංවාදයක් ඉස්මතු කිරීමට සිත් වූයේ වත්මන් දරු පරපුරේ අතිශය සංවේදී ඛේදජනක ඉරණමක් හමුවේ සත්පුරුෂ හදවත් ආමන්ත්‍රණය කිරීම පිණිස ය.

2019 අප්‍රේල් 21 එල්ල වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් සංචාරක කර්මාන්තය ඇතුළු ආර්ථික මර්මස්ථානයන්ට ද මරු පහරක් එල්ල විය. ගහෙන් වැටුණු මිනිසාට ගොනාත් ඇන්නා සේ ඉන්පසු එළඹි කොරෝනා වසංගත තත්ත්වයෙන් ආර්ථිකයේ කොඳු නාරටි බිඳ දැමුනේ අනපේක්ෂිත ලෙසිනි. ලෝක ආර්ථිකය ද කඩා වැටෙද්දී රුසියන් යුක්රේන් යුද ගිනි ද ඇවිළ ගියේය. මේ සියලු සංසිද්ධීන්ගේ අතුරු විපාක ලෙස ද 75 වසරක අවිචාරවත් දේශපාලනයේ ඍජු විපාක ලෙස ද පෙර නොවූ විරූ ආර්ථික – සමාජ අර්බුද ගණනාවකින් අප මාතෘ භුමිය වෙලා ගති. මේ වන විට යම් දේශපාලනික ස්ථාවරත්වයක් ඇතිවී, තෙල්-ගෑස් පෝලිම් අවසන් වුව ද සමාජ – ආර්ථික අර්බුදයේ අඳුරු සෙවණැලි තවමත් රට ම වසාගෙන සිටී.

ඉදිකිරීම් අංශයේ ද ප්‍රවාහන ක්ෂේත්‍රයේ ද කම්කරු තලයේ ද බොහෝ දෙනාට ආදායම් අහිමි වූ අතර සමහරුන්ට සිය රැකියා ද අහිමි විය. ඒත් සමගින් ම ඔවුන්ගෙන් යැපුණු අය ද බලවත් දුෂ්කරතාවයන්ට පත් වූහ. පහත සඳහන් වනුයේ ඒ හා සබැඳි සත්‍ය සිදුවීම් පෙළකි.

පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදී…

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, තබලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගල්මැටියාව දකුණ ගමේ විසූ 37 හැවිරිදි වසන්ත තිදරු පියෙකි. ගල්වළවල වැඩ සහ කුලී වැඩ කොට දිවි ගෙවූ වසන්තටත් ආදායම් මාර්ගය ඇන හිටියේ ය. මාසයක් හමාරක් මාළු බෑම ආදියෙන් සිය බිරිඳගේත්, සිඟිති දරුවන්ගේත් කුස පිරවූ වසන්ත අවසානයේ කරකියා ගත හැකි කිසිවක් නැතිව ලනුවකුත් ගෙන ගම අසල මහා කැළයට වැදුනේ ය. ඒ ඉරූ පරාලයක් රැගෙනවිත් විකුණනු පිණිස ය. කිලෝ 80ක් බර, අඩි 12ක් දිග පරාලයක් රැගෙන කිලෝමීටර් 4-5 ක් පැමිණි ඔහු වන අලියෙකුගේ දරුණු ප්‍රහාරයකට ලක්ව සදහට ම දෑස් පියා ගත්තේ ය. දිවියෙක් අඩක් කා දැමු වසන්තගේ මළසිරුර දින 3කට පසුව ගැමියන්ට හමු විය. ඔහුගෙන් යැපුන බිරිඳගෙත්, සිඟිති දරුවන් තිදෙනාගේත් අනාගත ඉරණම කුමක් වේවි ද?

********************

මේ කන්තලේ ගන්තලාව මහා විද්‍යාලයේ දැරියකගේ සත්‍ය කතාවකි.

“…සැප්තැම්බර් මස 13 දින මාගේ පාසල් විදුහල්පති කාර්යාලයට 7 ශ්‍රේණියේ දියණියක සමග පැමිණි ගුරුතුමියක් එම දියණියට 7 ඒ පන්තියේ යෙහෙළියක් නොමැති බැවින් 7 බී හෝ 7 සී පන්තියකට යොමු කරන ලෙස ඉල්ලා සිටින බව පැවසීය.

යම් හදිසි කාර්යයක නිරතව සිටි මා ඊළඟ කාල පරිච්ඡේදය අවසානයේ ඇය ව හමුවිය හැකි බව පවසා ගුරුතුමිය සමග යළි ඇය ව ඇය පෙර සිටි පන්තියට ම යැවීමි. නියමිත වෙලාවටත් ටික වේලාවකට පෙර එම දියණිය තනිවම කාර්යාලයට පැමිණි අතර, ඇය ඉදිරිපස අසුනේ අසුන්ගන්වා ගතිමි. මට පෙර කතාව ඇරඹූ ඇය,

“ප්‍රින්සිපල් සර් 7 සී පන්තියට මට යන්න ඉඩ නෑ… 7 බී පන්තියට ගියාට මගේ ප්‍රශ්නේ විසඳෙන්නෙ නෑ..”

“ඇයි පුතේ එහෙම කියන්නේ?”

“සර් මගේ ප්‍රශ්නේ තියෙන්නේ ගෙදර, ඒකට උත්තරයක් පන්තියේ තිබුණා. මගේ පන්තියේ මට හොඳ යාළුවෙක් හිටියා. මට ගොඩක් දවස්වලට ඉස්කෝලේ එන්න බැරි වුණ නිසා එයාගේ තනියට එයා වෙන යාළුවෙක් හොයාගෙන, මම දැන් තනි වෙලා ඉන්නේ..”

“ඔයා කොහොමද තනි වෙන්නේ පන්තියේ යාළුවෝ ගොඩක් ඉන්නවනේ?”

“එයාලා මගේ ප්‍රශ්නේ දන්නේ නෑනේ.”

“පුතාට ගෙදර තියන ප්‍රශ්නේ මට කියන්න, මම උත්තරයක් හොයා දෙන්නම්..”

මඳ වේලාවක් නිහඬව බිම බලා සිටි ඇය මෙසේ පැවසුවා ය.

“සර් අපේ තාත්තට රස්සාවක් නෑ. කුලී වැඩකට ගිහිල්ලා සල්ලි හොයාගන්නේ. දැන් කුලී වැඩත් නෑ. අම්මට රස්සාවක් නෑ. උදේට කෑම නැති දවස්වලට අම්මා මාව ඉස්කෝලේ එවන්නේ නෑ කලන්තේ හැදෙයි කියලා. ටීචර්ලා ආවේ නැත්තේ ඇයි අහනකොට මම කියන්නේ අසනීප වෙනවා කියලා. 11 පන්තියේ ඉන්න මගේ අක්කා විභාගේ ලියන්න ඕනේ කියලා බඩගින්නේ ඉස්කෝලේ එනවා. එයා විවේක වෙලාවේ යාළුවන්ගෙන් කෑම කනවලු. මටත් ඉස්සර යාළුවාගේ කෑම එකෙන් ටිකක් දුන්නා.. ඒත් දැන් එයා කන්නේ අලුත් යාළුවා එක්ක. ඒ නිසා මට කෑම නෑ. කෑම නැති නිසා මම ඉස්කෝලේ එන්නෙ නැත්තේ. ගිය සතියේ දවස් තුනක් අපිට බත් නැතුව හිටියා. චූටි මල්ලි බඩගිනී කියලා අඬනවා. එතකොට අම්මත් අඬනවා. අක්කා රෑ අසනීප වුණා. 1990 ඇවිත් අක්කා ව ඉස්පිරිතාලේ අරන් ගියා. අම්මා කිව්වා අක්කගෙ ඇඟේ ලේ අඩුවෙලා කියලා හොඳට කන්න බොන්න දෙන්න කියලා දොස්තර මහත්තයා කිව්වා කියලා. ඊයේ අපේ තාත්තා ගඟේ වැලි ගොඩ දාන්න ගිහිල්ලා හවස රුපියල් 1000/=ක් අරන් ආවා. කඩෙන් බඩු ගෙනත් බත් උයලා රෑට කෑවා. අද උදේ උයලා අම්මා බත් එකක් බැඳලා දුන්නා. උදේට නොකා දවල්ට කන්න ඒක අරන් ආවා. ඒක කාලා තමයි දැන් ආවේ.

සර් අද තාත්තට කුලී වැඩක් හම්බුනේ නැති වුණොත් හෙට කෑම නැති නිසා මම ඉස්කෝලේ එන්නේ නෑ. මට බණින්න එපා කියලා ටීචර්ලට කියන්න.”

ඇයගේ දිගු කතාව එසේ නිමා විය.

“පුතේ ගෙදර කෑම නැති දවසටත් ඔයා ඉස්කෝලේ එන්න. උදේම ඇවිත් මට කියන්න. මම ඔයාට කෑම එකක් දෙන්නම්.”

දීප්තිමත් වූ දෙනෙතින් මා දෙස බැලූ ඇය, “එහෙනම් හෙට ඉඳලා මට හැමදාම ඉස්කෝලේ ඉන්න පුළුවන් නේද සර්..” කියා අසුනෙන් නැගිට දණගසා මා හට වැඳ පන්තියට යාමට නික්ම ගියා ය.

පෙළෙනා විට දී කුසගින්නේ මල් කැකුළු
ඉවසා දරන්නේ කෙලෙස ද නෙත කඳුළු…

සමහර ප්‍රදේශවල පාසල් දරුවන් දහවල කෑම ලෙස ගෙනෙන්නේ ගැලවූ කුරුම්බා ලොඳ ය. සමහර පාසල්වල උසස්පෙළ දරුවන් සිය කෑම පාර්සලය අහාර නොමැති පොඩි පන්තිවල ළමයින්ට ලබා දී තමන් කුසගින්නේ සිටිති. පන්සලේ විහාර ගෙයි ද පාසලේ බුද්ධ මන්දිරයේ ද පූජා කොට තිබූ බුද්ධ පූජාවන් ආහාරයට ගත් අවස්ථා කිහිපයක් ද වාර්තා විය. සමහර පාසල්වල ගුරුවරුන් සිය වැටුපෙන් මුදල් එකතු කොට ආහාරපාන සපයා දී ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන අහිංසක දරුවන්ගේ කුසගිනි නිවීමට උත්සුක වී ඇත. බොහෝ පවුල් එක් වේලක් අත්හැර වේල් දෙකකින් දිවි ගෙවති. “ජිගච්ඡා පරමා රෝගා” යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදහළේ “බඩගින්න ලොකුම රෝග ය” ලෙසයි. මූලික ම මිනිස් අවශ්‍යතාවය වන ආහාර සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය එසේ නම් සෞඛ්‍යය, ඇඳුම් පැලඳුම්, අධ්‍යාපනික උපකරණ ආදී අනෙකුත් අවශ්‍යතා සපුරාගැනීම කොතෙක් දුෂ්කර වී ඇද්දැයි සිතා ගැනීමටවත් නොහැකි ය.

අඳුරට සාප නොකර එළිය විහිදෙන පහන් දල්වමු.

මේ තත්වය මනාකොට අවබෝධ කරගත් සේරුවිල මංගල රජමහා විහාරාධිපති තැන්පත් අතිපූජනීය අලුදෙණියේ සුබෝධි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආර්ථික දුෂ්කරතා වලින් බොහෝ පීඩාවට පත් දහසකට වැඩි අසරණ පවුල් වෙනුවෙන් දිනපතා අහාර වේලක් පිරිනැමීමේ උතුම් පින්කමක් මාස කිහිපයක් තිස්සේ සිදු කරනු ලබයි… එමෙන්ම සේරුවිල මහා විද්‍යාලය, කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලය, නීලපොල විද්‍යාලය, ගන්තලාව විද්‍යාලය යන පාසල් සඳහාත් සේරුවිල සහ කාවන්තිස්සපුර පෙරපාසල් සඳහා එම අධ්‍යයන ආයතනයන් හි සියළු දරුවන් වෙත සේරුවිල මංගල රජමහා විහාරස්ථානය මූලික කොටගෙන දිනපතා පාසල් දිනවල දී දිවා ආහාරය ලබාදෙනු ලැබේ.

මේ දුෂ්කර කාලයේ බොහෝ අපහසුතාවයනට පත්ව සිටින පිරිස් අප අසල ම සිටින බව නිසැක ය. ඇති හැකි පමණින් ඔවුනට පිළිසරණක් වීම උතුම් පුණ්‍යක්‍රියාවකි. එහෙයින්, තම තමන්ගේ ප්‍රදේශවල ආර්ථික දුෂ්කරතාවලින් අසරණ භාවයට පත් වූ අය ගැන සොයා බලා හැකි ආකාරයෙන් උපකාර කරන්නට ඔබත් උත්සාහ කරන්න. ආහාර-පාන, වියළි සලාක ආදිය පරිත්‍යාග කරන්න. පාසල් දූ දරුවන්ට පොත්පත්, පෑන්, පැන්සල් ආදිය ලබා දී උදවු කරන්න. රැකියා-ආදායම් මාර්ග නැති වුණ අයට කීයක් හෝ උපයා ගන්නට මාර්ග සොයා දෙන්නට අපට හැකි නම් එය මේ අර්බුදයට දිගුකාලීන විසඳුමක් ලබා දීමේ මූලාරම්භය වන්නට ද ඉඩ තිබේ.

අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ “දුබ්භික්ඛේ දානං දේති” යනුවෙන් වදාළේ දුර්භික්ෂයෙහි දන් දීම නුවණැති සත්පුරුෂයින් විසින් නිසි කාලයේ දෙන දානයක් බවයි. එම නිසා මේ අසීරු අවස්ථාවේදී හැකි අයුරින් අසරණ ජනතාවට, උපකාර අවැසි දූ පුතුන්ට සහයෝගය ලබා දී උතුම් පින් රැස් කරගන්නට ඔබ සැමට කාරුණික සිත් පහල වේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.