අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ සංසාරයේ ආරම්භක කෙළවරක් සෙවිය නොහැකියි කියලා. මේ ගමනේ අපට නිරයේ උපදින්න වෙනවා. පෙරේතයෝ වෙලා උපදින්න වෙනවා. තිරිසන් සත්තු වෙලා උපදින්න වෙනවා. මිනිසුන් වෙලා උපදින්න වෙනවා. ඒ විතරක් ද? දෙවිවරුන් වෙලා උපදින්නත් වෙනවා. කෙනෙක් මිනිස් ආත්මයක් ලබා ගන්නවා කියන එකයි, දිව්‍ය ලෝකේ උපදිනවා කියන එකයි ඉතාමත් ම කලාතුරකින් සිදුවන ඒවා කියලයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් මේ සත්වයා කොහේ උපදී ද? සත්වයාට අපාය මහ ගෙදර වගේ කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. මේ වගේ අපායට වැටි වැටී සසරේ අතරමං වෙන්න වුණේ චතුරාර්ය සත්‍ය ධර්මය හරි හැටි අවබෝධ කරගත්තු නැති නිසයි.

මේ සත්වයා තෘෂ්ණාවෙන් බැඳිලා අවිද්‍යාවෙන් වෙලිලා සිත, කය, වචනය යන තිදොර ම යොදවලා අකුසල් රැස් කර ගන්නවා. මීට කලින් අපි කොහේ ඉපදිලා ඉන්නට ඇද්ද? අපේ තිබුණ මහා පිනකට තමයි අපිට දැන් මේ මනුෂ්‍ය ජීවිතය ලැබුණේ. එහෙම ලැබිච්ච මේ මනුෂ්‍ය ජීවිතය කාලකන්නි කර ගන්න මිනිසුන් නැද්ද අද සමාජේ? දැන් අපට මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලැබුණා. මේ මනුෂ්‍ය ජීවිතය ලැබුනේ කල්ප ගාණකින් වෙන්න පුළුවන්. මෙච්චරක් කියලා කියන්න බැරි තරම් අති දීර්ඝ කාලයක් සසරේ අතරමං වෙලා පුදුම දුකක් විඳලා වෙන්න ඇති මේ මනුෂ්‍ය ජීවිතය ලබා ගන්නට ඇත්තේ. දැන් අපිට ඒ දුක අමතක වීමයි වෙලා තියෙන්නේ. ඒත් මේ ලැබුණු වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ කීයෙන් කී දෙනා ද?

මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතය සාර්ථක කර ගන්න නම් ශ්‍රී සද්ධර්මය ඇසෙන්න ම ඕන. ඒ ශ්‍රී සද්ධර්මයත් නිකන් ලැබෙන්නේ නෑ. කල්‍යාණමිත්‍ර ඇසුරක් තිබුණොත් තමයි ශ්‍රී සද්ධර්මය ඇසෙන්නේ. කලණමිතුරෙකුගේ ඇසුරක් ලැබුණොත් ඒ ජීවිතය සාර්ථක වෙන්න පටන් ගන්නවා.

අසත්පුරුෂයා තමන්ගේ මිතුරා අකුසල් කරද්දී ඒක නතර කරන්න උත්සහ දරන්නේ නෑ. අසත්පුරුෂයෝ කවදාවත් කියන්නේ නෑ “හා හා ඕක කරන්න එපා. ඔයා කරන්නේ වැරදි වැඩක්. ඕක කළොත් පව් සිද්ධ වෙනවා.” කියලා. ඒ වෙනුවට මොකක්ද කියන්නේ? “කරන්න කරන්න. ඕක තමයි හරි දේ” කියලා. උදව් ගන්න නමට විතරක් ඉන්න අයට මෙහෙම කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මෙන්න මේ හේතුව නිසා භාග්‍යවතුන් වහන්සේ අසත්පුරුෂයන්ගෙන් ඈත්වෙලා සත්පුරුෂ කල්‍යාණමිත්‍රයන් ඇසුරු කිරීම මංගල කරුණක් ලෙසත් දැක්වුවා.

භාග්‍යවතුන් වහන්සේ අංගුත්තර නිකායේ, මිත්ත සූත්‍රයේ දී සැබෑ ම මිතුරන් කරන කැපකිරීම් ගැන වදාරනවා. ඒ මිතුරා ‘දීමට දුෂ්කර දෙය දෙනවා, මිතුරා වෙනුවෙන් කිරීමට අපහසු දෙය කරනවා, මිතුරුකම වෙනුවෙන් ඉවසිය නොහැකි දුක්ඛිත වචන පවා ඉවසනවා, තමන්ගේ රහස් මිතුරාට කියනවා, මිතුරාගේ රහස් රකිනවා, විපතේ දී මිතුරා ව අත් නොහැර සිටිනවා, මිතුරාගේ වස්තුව ක්ෂය වීම ගැන අවමන් නොකරනවා’ කියලා. මෙන්න මේ කරුණු සතෙන් සමන්විත මිතුරන් ඇසුරු කරන්න කියලයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. මොකද මේ වටිනා මනුෂ්‍ය ජීවිතය සාර්ථක කර ගන්නට ඒ සත්පුරුෂ කලණමිතුරු ඇසුර ඒ තරම් ම අපේ ජීවිතයට වැදගත්.

ඇත්තටම අපට ලැබෙන මිතුරන් ඒ කැපකිරීම් කරනවා ද? තථාගතයන් වහන්සේ දීඝ නිකායේ සිඟාලක සූත්‍රයේ දී අපට නිතර හමුවන අසත්පුරුෂයන් කීප දෙනෙක් ම පෙන්වා දෙනවා. සිඟාලක සූත්‍රයේ දැක්වෙන විදිහට අසත්පුරුෂයන් ගැනයි සත්පුරුෂයන් ගැනයි පැහැදිලි කරද්දී ඔබ ස්වයං අධ්‍යයනයක් කරන්න ඔබ ළඟ වැඩිපුර ඉන්නේ මේ මොන මිතුරන් ද කියලා.

එක්කෙනෙක් තමයි හොඳට වර්ණනා කරලා යමක් රැගෙන යන, පොඩි දෙයක් දීලා ගොඩක් දේවල් රැගෙන යන, තමන්ගේ ප්‍රයෝජනය ගැන පමණක් ම සිතන කෙනා. අන්න එයාට කියනවා ‘අඤ්ඤදත්ථුහර’ කියලා.

අනිත් කෙනා තමයි ‘වචී පරම’. මෙයාගෙන් උදව්වක් ඉල්ලුවහම “කලින් කිව්වා නම් කරනවා, පස්සේ කරන්නම්” කියලා හිස් වචනවලින් පමණක් සලකනවා. දැන් බලන්න අපි අතර ඉන්න සමහර අයගෙන් හදිස්සියකට දෙයක් ඉල්ලුවහම කියනවා “අයියෝ මේ දැන් ඉවර උනේ” කියලා. නැත්නම් “මේ දැන් අනිත් කෙනාට දුන්නේ” කියලා මඟ අරිනවා. ඒ වචී පරමගේ හැටි.

හොඳ නරක දෙක ම අනුමත කරන, ඉන්න තැන දී හොඳ කියලා නැති තැන දී බණින කෙනාට ‘අනුප්පියභාණී’ කියලා කිව්වා. ඉන්න තැන එක විදිහක්, නැති තැන තව විදිහක්. ඉන්න තැනදි හොඳ කියපු ගමන් අපි හිතන්නේ එයා තමයි හොඳ ම මිතුරා කියලා. ඒක නිසා අපි රැවටෙනවා. අද සමාජයේ වැඩිපුර ම ඉන්නවා කියලා හිතෙන්නේ මේ අය.

සුරාව, සූදුව අනුමත කරන, නොකල්හි මහමඟ හැසිරීමට, නැටුම් ගැයුම් ආදිය දැකීමට නිතර නිතර යන, ඒ දේවල් හැම වෙලාවෙ ම කරන්න කැමති කෙනා ව හැඳින්වූයේ ‘අපායසහය’ කියලා. මේ අය අපායට යන පාර වගේ. මෙවැනි දේවල් නිතර නිතර කරන කෙනෙක් ජීවිතයකට එකතු වුණහම එයා හරි අපූරුවට තමන්ගේ මිතුරාවත් ඒ දේවලට එකතු කර ගන්නවා.

එක් අවස්ථාවක අජාසත්ත රජතුමා ධර්මය ශ්‍රවණය කරලා බුදුරජුන්ට වැඳ පිටවී යනවා. පසුව භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ප්‍රකාශ කරනවා “පින්වත් මහණෙනි, පියා මරා ආනන්තරීය පාප කර්මය කරගෙන නො සිටියා නම් රජු මෙතනින් නැගිටින්නේ සෝවාන් වෙලා” කියලා. බලන්න ඒ උතුම් අවස්ථාව අජාසත්ත රජතුමා හට නොලැබුණේ දේවදත්ත නැමති අසත්පුරුෂයා නිසා නේ ද?

ඒ නිසයි මෙන්න මේ ලක්ෂණ තියන අසත්පුරුෂයන් ඇසුරු කරන්නේ නැතුව දුරින් ම දුරු කරන්න ඕන කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේ ම ඇසුරු කරන්න සුදුසු යහපත් කල්‍යාණ මිත්‍රයන් සතර දෙනෙකු පිළිබඳවත් මෙසේ දේශනා කරනවා.

උදව්වක් ඉල්ලුවහම දෙගුණයක් උදව් කරන, බියක් විපතක් පැමිණි විට මිතුරා අත් නොහැර යන කෙනා ‘උපකාරක’ මිත්‍රයා නම් වෙනවා.

තමන්ගේ රහස් මිතුරාට කියන, මිතුරාගේ රහස් පිටට නොකියන, විපතක් වූ විට අත් නොහැර යන, දිවි පුදා වුවත් මිතුරා ආරක්ෂා කර ගන්නවා නම් එයා ‘සමාන සුඛදුක්ඛ’ මිතුරා වෙනවා.

අනිත් කල්‍යාණ මිත්‍රයාට කියන්නේ ‘අත්ථක්ඛායි’ කියලා. මෙයා තමන්ගේ මිත්‍රයා ව පවින් වළකා යහපතෙහි පිහිටුවනවා. ගුණධර්ම පෙන්වා දෙනවා. මිතුරා නොදන්නා දේ කියා දෙනවා.

කෙනෙක් මිතුරාගේ අගුණ කියන විට එය නවතා ගුණ කියන, තමන්ගේ මිත්‍රයාගේ පිරිහීමට අකමැති, මිතුරාගේ දියුණුව පතන, නිතර ප්‍රශංසා කරන මිත්‍රයා ‘අනුකම්පක’ නම් වෙනවා.

මෙන්න මේ ලක්ෂණ තියන මිතුරන් මැනවින් ඇසුරු කරන්න කියල භාග්‍යවතුන් වහන්සේ සිඟාලක කියන තරුණයාට දේශනා කරන ගමන් මෙවන් කල්‍යාණමිත්‍රයින් නැති නම් තනි අඟක් තිබෙන කඟවේනෙකු වගේ හුදෙකලා වීම යහපත් වන බව වදාරනවා. ඒත් අවාසනාවකට වගේ අපි වටේ වැඩිපුර ම ඉන්නෙ ම අසත්පුරුෂ මිත්‍රයන් හතර දෙනා නේ ද?

කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලයේ අපේ ගෞතම බෝසතාණන් වහන්සේ ජෝතිපාල මානවකයා ලෙස ඉපදෙනවා. මේ ජෝතිපාල මානවකයාගේ මිත්‍රයා වුණේ ඝටීකාර කියන කුඹල්කරුවා. ජෝතිපාල මානවකයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ මුඩු මහණා කියලා. භාග්‍යවතුන් වහන්සේ දකින්න යෑමත් කීප වාරයක් ම ප්‍රතික්ෂේප කරනවා. ඒත් කල්‍යාණමිත්‍ර ඝටීකාර උපාසකතුමා හැකි සෑම උපක්‍රමයක් ම යොදලා ජෝතිපාල මානවකයා ව කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සමීපයට කැඳවාගෙන යනවා. බලන්න මේ කලණමිතුරු ඇසුර සැපතක් නො වෙයි ද කියලා.

තථාගතයන් වහන්සේ මේ විදිහේ කල්‍යාණමිත්‍රයින් ඇසුරු කිරීම මංගල කාරණයක් විදිහට දැක්වූයේ අසත්පුරුෂයන් නිසා ධර්මයවත් අවබෝධ කර ගන්න බැරි වෙන හින්දා. ධර්මය අවබෝධ කිරීම පැත්තකින් තියමුකෝ. අසත්පුරුෂයෙක් එක්ක පන්සලකටවත් යන්න පුළුවන් ද? “අද කවදාවත් නැතුව මේ වෙලාවෙ මොකද පන්සල් යන්නේ, වැස්සක් වගේත් එනවා, දැන් ගියොත් වැස්සට අහුවෙයි” කියලා කියනවා. එහෙම නැත්තන් “අද අර අහවල් වැඩසටහන යනවා රූපවාහිනියේ. අපරාදේ ඒක මග ඇරුනොත් ආයේ බලන්න වෙන්නේ නෑ” කියලා කියනවා. මේ වගේ එක එක කතා කියලා නවත්තනවා පන්සල් යන එක. අසත්පුරුෂයෙක් එක්ක පන්සලකටවත් යන්න බැරි නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යාම ගැන කවර කතා ද?

“ඉමිනා පුඤ්ඤකම්මේන – මා මේ බාලසමාගමෝ
සතං සමාගමෝ හෝතු – යාව නිබ්බානපත්තියා”

“මේ පුණ්‍ය කර්මයෙන් අමා නිවන් දකින තුරු මා හට අසත්පුරුෂ බාලයන් ඇසුරට නොලැබේවා! සත්පුරුෂ මිතුරන් ම ඇසුරට ලැබේවා!” කියලා උතුම් ප්‍රාර්ථනාවක් කරන්නේ, මේ කල්‍යාණමිත්‍රයා අපිට ඒ තරම් ම වටින හින්දා. බොහොම කාලෙකින් ලැබෙන මනුෂ්‍ය ජීවිතය සාර්ථක කර ගන්න පුළුවන් කල්‍යාණමිත්‍ර ඇසුරක් ජීවිතයට හමු උනාම විතර ම යි. ඒක නිසා අපේ ජීවිතයට පැමිණෙන අසත්පුරුෂයන්ගෙන් අපි ඈත්වෙලා අපේ ජීවිතය සත්පුරුෂයන් හට විවර කරන්නට ඕන. එහෙම වුණොත් විතරයි අපට සසර ජය ගන්නට පුළුවන්.

තෙරුවන් සරණයි!!!

සටහන – අචින්ත සමරකෝන්