1997 වර්ෂයේ ලෝක සිනමා ක්ෂේත්‍රයේ සුවිශේෂී හැරවීම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් විසින් තිර රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය හා සංස්කරණය කරන ලද ‘ටයිටැනික්’ චිත්‍රපටය තිරගත වුණා. ලොව පුරා අතිශය ජනාදරයට පත්, ලෝ ප්‍රකට සිනමා සම්මාන උළෙලවල දී බොහෝ සෙයින් සම්මානයට පාත්‍ර වූ මේ චිත්‍රපටය නිසයි ටයිටැනික් නෞකාව ගැන බොහෝ දෙනෙක් සොයන්නට පෙළඹුනේ…

මංගල ගමනේ ගිලුනු ටයිටැනික්

ආර්. එම්. එස්. ටයිටැනික් ලෙස නම් කෙරුණු සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව 1912 අප්‍රේල් 10 වැනිදා එක්සත් රාජධානියේ සවුත්හැම්ප්ටන් සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් දක්වා ස්වකීය මංගල ගමන දියත් කළේ මගීන් 2224 දෙනෙකු සමඟ සහ එවකට ගමනාගමනයේ යෙදුණු විශාලතම නෞකාව වීමේ ගෞරවය තමන් සතු කර ගනිමින්. නමුත්, උතුරු අත්ලාන්තික් සාගර ප්‍රදේශයේ වූ අයිස්පරයක ගැටීමෙන් 1912 අප්‍රේල් 15 වැනිදා ‘ටයිටැනික්’ මුහුදුබත් වුණා. ලෝක ඉතිහාසයේ මහා ඛේදවාචකයක් බවට පත් වූ මේ සිදුවීමේ පුද්ගල මරණ සංඛ්‍යාව 1500ට වැඩි බවයි කියැවෙන්නේ.

සත්‍ය වූ ම මේ සිදුවීමත්, කල්පිත ආදර වෘතාන්තයකුත් එක් කරමිනුයි ජේම්ස් කැමරන් සිනමාවේදියා ‘ටයිටැනික් සිනමාපටය’ නිර්මාණය කරන ලද්දේ.

මොකක්ද මේ ටයිටන්…?

මුහුදු පත්ල ගවේෂණය කෙරෙහි ඇලුණු සිත් ඇතියවුන් ටයිටැනික්හි අවශේෂ දකින්නට උත්සුක වෙමින් වරින්වර එහි ස්ථානීය පරීක්ෂණවල යෙදුණා. ඒ ගැන විශාල සමාජ කතිකාවතක් ගොඩනැගුණේ පසුගිය ජූනි 18 වන දා ටයිටැනික් වෙත ගමනේ යෙදුණු ටයිටන් සබ්මර්සිබලය උතුරු අත්ලාන්තික් සාගර පත්ලේ දී අනතුරට පත් වීමත් සමඟයි…

ඇමෙරිකානු සංචාරක හා ගවේෂණ සමාගමක් වන ඕෂන්ගේට්හි ප්‍රධාන විධායක නිලධාරිවරයා ඇතුළු පස් දෙනෙකු ටයිටැනික් නටබුන් නැරඹීම පිණිස ගිය ගමනේ දී සබ්මර්සිබලයේ කිමිදීම ඇරඹී පැයකුත් මිනිත්තු 45ක් ගත වෙද්දී ප්‍රධාන නෞකාව හා පැවති සියලු සම්බන්ධතා බිඳී ගියා. පැය 80ක් පුරා අඛණ්ඩ ව සිදු කෙරුණු සොයා බැලීමේ මෙහෙයුම් අවසානයේ ටයිටන් සබ්මර්සිබලය ගැඹුරු මුහුදු පත්ලේ දී බිඳ වැටීමකට ලක් වුණු බවත්, එහි ගමන් ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත් වුණු බවත් තහවුරු කෙරුණේ ටයිටැනික්හි නටබුන්වලට මීටර් පන්සියයක් පමණ නුදුරේ තිබී එහි අවශේෂ කොටස් හමුවීමෙන් පසුවයි.

පස් දෙනෙකුගේ ඉරණම

ඕෂන්ගේට්හි ප්‍රධාන විධායක නිලධාරි ස්ටොක්ටන් රෂ් ප්‍රකට මුහුදු ගවේෂකයෙක් ලෙස කීර්ති නාමයක් ලැබූවෙක්. ඔහු සමඟ මෙම සබ්මර්සිබලයේ සහායක නියමුවරයා ලෙස ගමනට එක් වුණු පෝල් හෙන්රි ටයිටැනික් නටබුන් සොයා කිමිදුම් වාර 35ක් මුහුදු ගමනේ යෙදුණු පළපුරුදු මුහුදු ගවේෂකයෙක්. මේ දෙදෙනාට අමතර ව ඇමෙරිකානු ඩොලර් දෙලක්ෂ පනස්දහසක මුදලකට ටිකට්පත් රැගෙන තවත් තිදෙනෙකු මේ නිරීක්ෂණ චාරිකාවට එක් වුණා.

හිටපු ගුවන් නියමුවෙකු සහ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වූ හමීෂ් හාර්ඩින්, තවත් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වූ ශෙහ්සාඩා දාවුඩ් සහ ඔහුගේ පුතු වූ සුලේමාන් දාවුඩ් තමයි ඒ තිදෙනා. අතිශය කලාතුරකින් මිස කෙනෙකුට හිමි නොවන මේ විරල අත්දැකීමේ කොටස්කරුවන් වන්නට ඔවුන් තුළ බලාපොරොත්තු ගොන්නක් තිබෙන්නට ඇති බවට සැක නැහැ.

ඒ කිසිවෙකුගේ සලකුණක්වත් ඉතිරි නොකොටයි ටයිටන් සබ්මර්සිබලය අනතුරට ලක් වුණේ. ගැඹුරු මුහුදු පත්ලේ දී සබ්මර්සිබලයේ බඳ මත යෙදුණු සම්පීඩක බල දරා ගැනීමට නොහැකි වීමෙන් මිලි තප්පර ගණනාවක් තුළ යානය ඇතුළට බිඳ වැටී විනාශ වන්නට ඇති බවටයි මේ සම්බන්ධයෙන් භෞතික විද්‍යා සිද්ධාන්ත පැහැදිලි කරන පිරිස් පවසන්නේ. ඒ විනාශයේ වේගවත් බව නිසා ම; මේ පස් දෙනාගෙන් කිසිවෙකුට හෝ තමන් විපතට පත් වූ බව සිතන්නටවත් ඉඩක් නොතබා ම ජීවිත අහිමි වන්නට ඇති බවයි ඔවුන්ගේ නිගමනය.

මුදල් ගෙවා මරණය මිල දී ගැනීමක්?

ගමනේ යෙදුණේ අතිශය ප්‍රකට සහ ධනවත් පිරිසක් වීම නිසාත්, ඔවුන් අනතුරට පත් වීමෙන් පසු ක්‍රියාත්මක කෙරුණු පෙර නොවූ විරූ අන්දමේ ගලවා ගැනීමේ මෙහෙයුම් නිසාත් ටයිටන් ඛේදවාචකය ලොව පුරා මාධ්‍යවල අඛණ්ඩව, විශාල ඉඩක් වෙන් කර ගත්තා. ඒ ගැන නොයෙක් මතයන් ද ඉදිරිපත් වුණා. ‘සල්ලිවලින් මීට වඩා වැදගත් දෙයක් කරන්න බැරි ද? මෙච්චර උගත්, ධනවත් උදවිය මෙච්චර ජීවිත අවදානමක් ගත්තේ ඇයි? මොන මෝඩකමක් ද? අපරාදේ ජීවිත…’ මෙවැනි අදහසුත් ඒ අතරේ බොහෝසෙයින් තිබුණා. බැලූ බැල්මට මේ ගැන කියන්නට තිබුණේ ගැඹුරු මුහුදු පත්ල සොහොන් බිම කරගන්නට විශාල වියදමක් සහ අනවශ්‍ය අවදානමක් දරා ගිය ගමනක් කියලයි…

පැවැත්මේ බීජය

එහෙත්… ඇත්තටම ලෝකයේ තාක්ෂණය දියුණු වූයේ ම පෙර නොවූ විරූ අවදානමක් රැගෙන, විශාල වියදමක් දරාගෙන මෙවැනි ගවේෂණයන්හි මිනිසුන් යෙදුණු නිසයි. අභ්‍යවකාශය දක්වාමත්, මුහුදු පත්ල දක්වාමත් මිනිසුන් ස්වකීය ගවේෂණ චාරිකාවන් දියත් කළේ පළමු වතාවේ දී ම ලද සාර්ථකත්වයන් සමඟ නොවෙයි. ඒ සියලු අවස්ථාවල දී මිනිස් ජීවිත ගණනාවකට සහ විශාල ධනස්කන්ධයකට හානි පැමිණුනා. ඒවා ඵල රහිත වෑයම් කියා කිසිසේත් ම කිව නොහැක්කේ ඒ ගමන් මඟේ අවසානය සාර්ථක විද්‍යා නිර්මාණයක් බවට පත් කරන්නට ඔවුන් සමත් වූ නිසයි.

ඒ නිර්මාණයන් ඔස්සේ තමයි නූතන තාක්ෂණය බිහි වුණේ. ඒ ඔස්සේ ම යි නූතන මිනිසුන්ගේ ජීවිත භෞතික ව සුවපහසු බවට පත් වූයේ. මිනිසා මෙවන් කාරණාවන්හිලා නිරන්තර ගවේෂකයෙකු බවට පත් වීමේ හේතුවෙන් ඔවුනගේ පැවැත්ම පෝෂණය වූ බව අප පිළිගත යුතුයි.

අනේ මෙහෙම ආසාවක්…!

පැවැත්ම පෝෂණය කරන සිතට එකක් පසුපස එකක් වශයෙන් අත්පත් කරගැනීම් පමණයි තිබෙන්නේ. මූලික අවශ්‍යතා සම්පූර්ණ කරගත් පසු ඒ සිත ස්වයං අභිමානය උපදවාලන අත්පත් කරගැනීම් සොයමින් වෙහෙසෙනවා. එය ලෝකයේ සර්වකාලික සත්‍යයක්.

සප්ත රත්නයන්ගෙන් ද සතර ඍද්ධියකින් ද යුතු වූ, අසංඛ්‍යෙයක් වර්ෂ ආයුෂයෙන් යුතු වූ, සත්රුවන් වැසි වැස්සවීමෙහි සමත් වූ මන්ධාතු සක්විති රජුගේ සිතෙහි – වසර අසූහාරදහසක් කුමාර ක්‍රීඩාවෙහි ද වසර අසූහාරදහසක් සක්විති රජකමෙහි ද නියැළුණාට පසු අතෘප්තිමත් භාවයක් උපන්නා. ‘මාගේ පින් බලයේ හැටියට මේ රාජ්‍යය සුළු ය’ කියා සිතූ එතුමා ඊටත් වඩා පින් ඵල උපදනා තැනක් ලෙස ගත් චාතුම්මහාරාජිකය වෙත එළඹ දීර්ඝ කාලයක් එහි ද රාජ්‍යය විචාළා. එයිනුත් අතෘප්තිමත් ව තව්තිසා දෙව්ලොව කරා ද එළඹුණා.

දෙදෙව්ලොවට අධිපති වූ සක් දෙවිඳුන් මන්ධාතු රජුට දේව රාජ්‍යයෙන් අඩක් භාර දුන්නා. මන්ධාතු රජු එසේ රජකම් කරද්දී ම අවුරුදු තුන්කෝටි හැටලක්ෂයක් පමණක් ආයුෂ ලද ඒ සක් දෙවිඳු චුත වුණා. දෙවැනි සක් දෙවි කෙනෙකු ද පහළ වුණා. මේ ආකාරයෙන් සක් දෙවිවරුන් තිස් හත් දෙනෙකුගේ ආයුෂ ගෙවී යන තුරුමත් මන්ධාතු සක්විති රජු තව්තිසාවේ සම පාලකයා බවට පත් වුණා. එවිට මන්ධාතු රජුට සිත් වුණා, ‘මින් අඩක් පාලනය කර කුමට ද? මේ ශක්‍රයා මරා මුළු තව්තිසාව ම පාලනය කරමි.’ කියා. ඒ අධික ලෝභය නිසා ඔහුගේ ශරීරය දිරා ගියා. මරණය ළං වුණා. ඍද්ධියෙන් පිරිහුණා. මනුලොවට පැමිණුනා. මරණ මංචකයේ වැතිර ගත් මන්ධාතු රජු අනාගත ලෝකයාට පවසන්නට කියා මේ අවසන් වචන පැවසුවා.

“මන්ධාතු රජතුමා දෙදහසක් කොදෙව් ඇති සතර මහාද්වීපයන්හි සක්විති රජකම් කොට, චාතුම්මහාරාජිකයෙහි ද රාජ්‍යය කොට, ශක්‍රයන් තිස්හත් දෙනෙකු නික්මෙන තුරු තව්තිසා දෙව්ලොව ද රජ සැප විඳ තෘෂ්ණාව සම්පූර්ණ කළ නොහැකිව ම කළුරිය කළේ ය.’

ඒ තමයි සත්‍යය. වස්තුව අත්පත් කරගැනීමෙහිලා කිසිවෙක් කිසිදිනක තෘප්තියට පැමිණෙන්නේ නෑ. එයින් ම යි සසර පැවැත්ම සැකසෙන්නේ.

නවතිමු…!

අනන්ත සසරේ අපේ කථාව අපට පෙනෙන්නේ නැහැ. කොතරම් වාර ගණනින් අප ස්වයං අභිමානය වෙනුවෙන් ජීවිතය අහිමි කර ගත්තා ද කියා අප දකින්නේ නැහැ. නමුත්, සම්බුදු නෙතින් දුටු ඒ සසර කථාවට අනුව නම් ගණන් කළ නොහැකි තරම් වාර ගණනකට එය ම තමයි අපේත් ඉරණම…

ඒ පැවැත්ම වෙනුවට, නැවැත්ම තෝරා ගත් ශ්‍රේෂ්ඨ මිනිසුන් මේ සසර ගමනේ පරතෙර දුටුවා. ඔවුන් තණ්හා හූය සිඳ දැමුවා. කෙලෙස් රෝගයන්ගෙන් නිදහස් වුණා. දහමේ පිහිටා අම නිවන් වැඩියා.

දුර්ලභ මිනිස් ජීවිතයත්, අති දුර්ලභ සම්බුද්ධ ශාසනයත් මුණගැසුණු – ක්ෂණ සම්පත්තියෙන් අබිසෙස් ලැබුණු මේ ජීවිතය තුළත් අප පැවැත්ම ම පෝෂණය කරනවා ද? ටයිටැනික්, ටයිටන් හා පැවැත්ම යා කරන චක්‍රයේ ම ගමනේ යෙදෙනවා ද? නැති නම්… නවතිනවා ද…!

මේ අපට සිතන්නට සුදුසු ම කාලය යි…!

සටහන – උදුලා පද්මාවතී.