තිස්සෙ ම මහත් වෙර ඇති යතිවරු විසුව
වෙස්සගිරිය නමදිමු සැදැහෙන් යුතුව

සිරිලක පුරා රහතන් වහන්සේලාගේ පා පහසින් සුපූජිත වූ පින්බිම් කරා සැදැහැ සිතින් ගොස් ඇසිදිසි තොරතුරු ඔබ වෙත ගෙන ආ පුණ්‍ය චාරිකා ලිපි පෙළේ මුල් කොටස කලකට පෙර මහාමේඝ පාඨක ඔබ වෙත තිළිණ කරන්නට වාසනාව ලැබීමි.

ඉන් විරාමයක් ලබා කෙටි කලක් නිහඬ ව සිටිය දී වරින්වර මහාමේඝ පාඨකයන්ගෙන් ලද බලවත් ඇරයුම යළිදු සිරිලක පුරා කාලයේ වැලිතලාවට යටින් සටහන් වුණු සුන්දර වූත්, පූජනීය වූත් අතීත අසිරිය සොයා පියමන් කරන්නටත් – මහාමේඝ පත් ඉරු අතරින් යළිදු ඔබ ව ඒ වෙත කැඳවාගෙන යන්නටත් පෙළඹවීමක් මා තුළ ඇති කරන්නට සමත් විය.

නිකෙලෙස් රහතන් වහන්සේලාගේ පා පහසින් සුපූජිත වූ පින්බිමක අසිරිය සොයා උදෑසන කොළඹින් පිටත් වූ අප රාජධානි පිවිසුමෙන් ඇතුල් වී දළදාගම, අඹන්පොල, ගල්ගමුව, තලාව පසුකරමින් අනුරාධපුර රාජධානියට පිවිසෙන විට හිරු මුදුන් වීමට ආසන්න වී තිබුණි.

හිරු ගිනියම් වූ මධ්‍යහ්නය බොහෝ උණුසුම් ය. තිසාවැවේ වැව්තලය පිස එන මඳ පවන් රැලි අකීකරු තුරුලිය සොලවා පරිසරයේ දාහය නිවාලන්නට අසාර්ථක වෑයමක යෙදී සිටි.
හිරු මැදියමේ වියළි පස් පොළව පවා දෙපා පුළුස්සා දමන කල කාලවර්ණ ශෛල තලාවන්ගේ තත්ත්වය කියනු ම කවරේ ද…

එවන් මැදියමක මා පිය මනින්නේ අනුරපුර ශුද්ධ භූමියේ බටහිර කෙළවරට ආසන්නයේ ගුවන්ගැබ අරා තේජාන්විත ව නැගී සිටින විසල් ගල් පර්වත සමූහයකින් සුසැදි ඉස්සරසමණාරාමය වෙත ය.

දාහයෙන් පීඩිත කය මොහොතක් නිවා සනහාගෙන, දැවිලි දෙන දෙපා සිහිලැල් බිම් කඩක් මත තබන්නට ඇත්නම්… විමසුම් දෑස සෙවණ සහිත බිම් කඩක් සොයා වෙහෙසෙයි.

නැගෙනහිරින් වලාකුළු රහිත නිල්වන් ගුවන අරා නැගී සිටින කාලවර්ණ යෝධ පක්ෂියෙකු සිහිකරවන විසල් ගල් කුලක් වෙතට වැටී ඇති අඩි පාරකි. අඩි පාර කෙළවර ඇත්තේ පර්වතය මතට නැග යා හැකි පඩි සහිත ගල් තලාවකි. ගල් තලාවේ මුදුන් පියස්ස මත දක්නට ඇති කටාරම් සලකුණ කියාපාන්නේ එයට යටින් සෙවණ සහිත ගිරි ගුහාවක් පවතින බව ය.

සුඛෝපභෝගී නවාතැන් නොවුණ ද මේ ගිරි ලෙන් තුළට වැද කෙලෙස් දාහය සන්සිඳවාගත් පිනැතියන් මොනතරම් නම් සහනයක්, සැනසීමක් ලබන්නට ඇත්ද… සිත ඒ අතීත අසිරිය කරා දිව යයි.

කෙමෙන් පියගැට නැග ගල් තලාව තරණය කර ලෙන තුළට නෙත් යොමු කළෙමි. ඒ තුළ පළඟක් බැඳ වාඩි වී ඍජු කයෙන් යුතුව නිසොල්මන් ව සිත දැහැන්ගත කර ගත් යතිවරයාණන් වහන්සේනමකි.

උන්වහවන්සේගේ දැහැනට බාධා නොවන ලෙස සීරුවෙන් පා තබා ගිරි ගුහාවේ අනෙක් පස වෙත පියවර ඔසවද්දී තවත් හිමිවරුන් සමූහයක් ම නිහඬ ව ම තැන තැන බැඳ ගත් පළඟින් යුතුව සමාධි සුවයෙන් වැඩ වෙසෙති..

අසිරියකි… හිරු මැදියමේ මා සෙවූ සිසිල ඇති තැනට මා දෙපා සැණෙකින් මා කැඳවාගෙන විත් ඇත. මේ ගිරි ගුහා සංකීර්ණය වායු සමනය කළ කලෙක මෙන් සිහිලැල් සුවයක් ගෙන දෙමින් සසර දාහය නිවාලන්නට වෙර වඩන හිමිවරුනට සුව සහනය සලසාලයි.

වම් පසින් ඇති විසල් ශෛලමය ශාලාව තුළ මහ තෙරුන් වහන්සේනමක් සමඟ දහම් පිළිසඳරෙහි යෙදී සිටින සාමණේරවරුන් සමූහය ඉතා කීකරු මුවපොව්වන් සේ සවන් යොමා අසා සිටිද්දී ගුරු හිමියන් අපූරුවට දහම් කරුණු ගෙනහැර දක්වති. ගුරු හිමියන්ගේ මුවින් පිටවන භාග්‍යවතුන් වහන්සේ වදාළ අවවාද ගල්ලෙන තුළ නින්නාද දෙමින් සිසු හිමිවරුන්ගේ සිත් පතුලට ම බැසගන්නා බවට උන්වහන්සේලා දක්වන අවධානය සාක්ෂි දරයි.

එම ශාලාව පසුකර පහළට ආ විට ආරාමයේ කෙළවරක දක්නට ලැබෙන්නේ දසත විහිදී ගිය අතුපතරින් නැවත නැවත පොළව වෙත ගලාහැලුන මුල් සිය ගණනක් අතරේ සැදුන සිහිලැල් නුග සෙවණ යට ඇති සිනිඳු සුදුමුදු වැලිතලාවේ නෙත් බිමට යොමු කරගෙන සක්මනෙහි යෙදන තවත් හිමිවරුන් පිරිසකි.

පර්වත මස්තකයේ සිට පහළට වැටී ඇති පියගැටපෙළ කෙළින් ම වැටී ඇත්තේ සිලි සිලි හඬ නගමින් නිල්වන් පත් ලෙලදෙන බෝ මළුවක් වෙත ය. බෝ මළුව අමදිමින් සිටින හිමිවරුන් පසුකොට පියගැටපෙළ නැග පර්වතය ඉහළට ම නගින්නට මසිත බල කරයි..

ශෛලමය පියගැටපෙළ නැග පර්වත මස්තකයට පැමිණෙන විට පෙනෙන දසුන දෙනුවන් වශීකෘත කරවයි.

වම්පස කෙළවරේ දිස් වන්නේ ගාමණීඅභය රජුගේ සධාතුක ජය කොන්තය දරා වැඩ සිටින මිරිසවැටිය මහ සෑ රජුන් ය. අහෝ… ඊට මඳක් දකුණුපසින් නිල්වන් ගුවනට පැන නැගී හංස රාජයෙකු සේ අර ඈත දිස්වන්නේ සම්බුදුරජුන්ගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා දරා වැඩ සිටින ස්වර්ණමාලී මහ සෑ රජුන් නො වේ ද! ඒ දසුනට දකුණු පසින් අහස සරසන්නේ ථූපාරාම සෑ රජුන් ය. ඊට දකුණු පසින් ඈත කෙළවරේ කිරි බුබුළක් සේ දිස්වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ දරා වැඩ සිටින මිහින්තලයේ සෑ රජුන් නො වේ ද!

සක්මන් කරමින් මට ඉදිරියෙන් වඩින හිමිවරුන් දෑත නළලත තබා පර්වත මුදුනේ සිට ම සෑ රජාණන් වහන්සේලා වන්දනා කරන දෙස නෙත් යොමු කළෙමි..

අසිරියකි… මොහොතක් වන්දනා කළ උන්වහන්සේලා නළලත මත තැබූ දෙඅත සහිත ව ම සැණෙකින් මාගේ දසුනින් නොපෙනී ගියහ… අහෝ… එසේ නම් මේ ඍද්ධිමත් රහතන් වහන්සේලා ද? මම දෙනෙත පිස දමා නැවත දහම් ශාලාව දෙස බැලීමි.

ශෛලමය දහම් ශාලාව වෙත නෙත් යොමු කරද්දී එතැන දහම් පිළිසඳරේ යෙදී සිටි හිමිවරුන් ද නෙතු මානයෙන් මැකී ගොසිනි.. ගිරි ලෙන් තුළ සමවතින් වැඩ සිටි හිමිවරුන්ගේ දසුන ද සිතට මිස නෙතට අහිමිව ගොසිනි. නුග සෙවණේ සක්මනෙහි ද බෝ මළුවෙහි ද උන්වහන්සේලා දැන් නො පෙනේ…

“සමණා මයං මහාරාජ ධම්මරාජස්ස සාවකා”

“මහරජ, අපි ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වෙමු.”

මිස්සක පව්වේ දී එදා දේවානම්පියතිස්ස නිරිඳුන්ට අපගේ අනුබුදු වූ මිහිඳු මාහිමියන් එසේ තමන් වහන්සේලාව හඳුන්වා දී චූලහත්ථිපදෝපම සූත්‍රයෙන් භාග්‍යවතුන් වහන්සේව හඳුන්වා දුන් පසු දෙවියන්ට ප්‍රිය වූ තිස්ස රජතුමා තිසරණ ලාභය ලද්දේ ය.

සම්බුදු සසුනෙහි පැහැදුනු සිත් ඇතිව මහාමේඝ වනය සඟ සතු කොට අතපැන් වත්කරද්දී මිහිකත ද කම්පිත වී ඒ මහා ආරාම පූජාව පිළිගැනීමත් සමඟ ම ගෞතම බුදු සසුන මේ උතුම් ලක් පොළවේ පිහිටියේ ය.

දෙවනපෑතිස් රජුගේ නැගණියගේ පුත්‍ර රත්නය වූ අරිට්ඨ අමාත්‍යතුමා ගෞතම සසුනේ පැවිදි බව පතා කෙස් රැවුල් බා අවසන් වූ නිමේෂයෙහි සව් කෙලෙස් මුල් සිඳ නිකෙලෙස් බවට පත් වීමත් සමඟ ම උදා වූයේ අනුරපුරය කේන්ද්‍ර කොට මුළු මහත් හෙළදිව ම කසාවතින් බැබළුන ස්වර්ණමය යුගයකි.

එවක් පටන් සම්බුදු සසුනේ පිළිවෙතට පෙළගැසෙන ඒ බුදු පුතුන් විෂයෙහි දස දිග පිදුනු විහාරාරාම සංකීර්ණ පූජාවන් ප්‍රමාණ රහිත පිරිසකට නිවන් සැප සලසාලී ය.

මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට පළමු වසර තුළ දී දෙවන පෑතිස් රජු විසින් කරවා සඟ සතු කොට පූජා කරන ලද විහාරාරාම අතුරින් නව වනුවට කරවන ලද්දේ ‘ඉස්සරසමණාරමය’ හෙවත් ‘වෙස්සගිරිය’ යි.

එකල වෙළඳ කුලයෙන් පැමිණ පැවිදි වූ පන්සියයක් හිමිවරුන්ගේ මෙන් ම ඉන් අනතුරුව යුග යුග ගණනක් තිස්සේ බුදු සසුනෙහි කසාවත් දරූ අනන්ත උතුමන්ගේ සසර සරතැස නිවූ උතුම් කෙම්බිමක් බවට වෙස්සගිරිය පත් වූයේ ය.

අද අප සමඟ ඔබ පිටත් වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයට කීකරු වී සසර දාහය නිවා ගැනීම පිණිස එදා බුදු පුතුන් දරන ලද අනුපමේය වීරියක සලකුණු අදත් ඇස් පනාපිට දැකිය හැකි ඒ උතුම් වෙස්සගිරිය විහාරාරාම සංකීර්ණය වෙතට ය.

කුරුණෑගල හෝ පුත්තලම දෙස සිට පැමිණ අනුරාධපුර පූජා නගරය දෙසට වැටී ඇති මංපෙත ඔස්සේ කෙටි දුරක් ගමන් කරන විට ඉසුරුමුණිය විහාරයට අඩ යොදුනක් පමණ මෙපිටින් මාවතේ දකුණු පසට වන්නට පිහිටා ඇති මේ හුදෙකලා ශෛලමය පර්වත සමූහය ‘ඉස්සරසමණාරාමය’ හෙවත් ‘වෙස්සගිරිය’ නමින් හඳුන්වනු ලබයි.

මෙකල මේ පුදබිම අනුරපුර වන්දනාවේ යන බොහෝ බැතිමතුන්ගේ අවධානයෙන් ගිලිහී ගොස් ඇති නමුදු එදවස අරහත් ධජය පෙරවූ අපමණ නිකෙලෙස් හිමිවරුන්ගේ පහසින් සිහිලැල් වුණ පින්බිමකි.

අක්කර 20ක පමණ වපසරියකින් යුතු වෙස්සගිරියේ ගල් ලෙන් 20කට වැඩි ගණනක් තිබුණ බවට පුරාවිද්‍යාව සාක්ෂි දරයි. ඒ ගල් ලෙන් බොහොමයක ඇති ඉපැරණි බ්‍රාහ්මීය අක්ෂර පවසන්නේ මෙබඳු කතාවකි…

“ගහපති නුගල පුත තිශහ ලෙනෙ ශගශ”

“ගෘහපති නුගලගේ පුත් තිස්සගේ ලෙන සංඝයාට යි.”

“උපශික රෙටය ලෙනෙ ශගශ”

“රෙටා උපාසිකාවගෙ ලෙන සංඝයාට යි.”

එනම් රාජ රාජ මහාමාත්‍යාදීන්ට නොදෙවෙනිව සැදැහෙන් පිරුනු ගෘහපතියන් මෙන් ම උපාසිකාවන් පවා මහ සඟරුවන වෙත කුටි සෙනසුන් තනවා පූජාකර ගන්ට නොපසුබට වී ඇති වගයි.
එකිනෙක සමීපයෙහි පිහිටි පර්වත තුනක් ඇසුරුකොට තැනවී ඇති මේ විහාරාරාම සංකීර්ණය අවට තවත් ප්‍රතිමාගෘහ, බෝධිඝර හා පැරණි ගඩොලින් කරවන ලද නොයෙකුත් පූජනීය නිර්මාණ රැසක් තවමත් කාලයේ වැලිතලාවට මෙපිටින් සැඟවී ඇති බවට මෑතක දී කළ කැණීම්වලින් මතුකරගෙන ඇති බෝධිමණ්ඩපය සාක්ෂි දරයි.

දකුණු දිගින් ඇති පියගැටපෙළ තරණය කරන ඔබට පළඟින් වැඩ හිඳින යතිවරයන් වහන්සේලා අද නොදැකිය හැකි වුව ද උන්වහන්සේලා බොහෝ… බොහෝ වාර ගණනක් වාඩි වී සසර තරණය කිරීම පිණිස දරන ලද වෙර වෑයම සුළුපටු නොවන වගට ගෙවී සුමට වී වළ ගැසුණු ශෛල තලාව සාක්ෂි දරයි.

සිහියෙන් යුතුව දකුණු ඇලයට හැරී සිංහ සෙය්‍යාවෙන් සැතපී හිඳන මුනිවරුන් අද නොමැති වුව ද උන්වහන්සේලා සැතපුනු ශිලා සයනයෙහි මටසිලුටු බව උන්වහන්සේලාගේ අල්පේච්ඡ බවට අදත් සාක්ෂි සපයයි.

මේ පින්බිම ඇසුරු කොටගෙන දහස් ගණන් පිනැතියන් සසර දාහය සදහට ම නිවා සැනහුනු වගට ගිනි මැදියමේ වුව ද අදත් මේ ගිරිගුහා තුළ දැනෙන සිහිලස සාක්ෂි දරයි.

පර්වත මස්තකයේ වම්පස කෙළවරට ගිය විට ඈත අනන්තය දෙස බලා වන්දනා කර ගත් වන ම නොපෙනී යන මුනිවරුන් දැන් නොපෙනුන ද උන්වහන්සේලාගේ නිකෙලෙස් නේත්‍ර යුග්මයන්ගේ පහසින් පුද ලද උත්තම වූ ස්වර්ණමාලී මහ සෑ රජාණන් වහන්සේ අහස් කුස මැදින් මතු වූ රණහංස රාජයෙකු ලෙසින් අප සරණ ගිය මුනිරජුන්ගේ සම්බුදු සසුන තවමත් ජීවමාන ව පවතින බවට සාක්ෂි දරයි.

මී ළඟ වර අනුරපුර යන ඔබට මේ උත්තම වූ පුදබිම මග නොහැරේවා…!

මේ පින්බිමට යන ඔබට එදා දහස් ගණනක් පිනැතියන් නිකෙලෙස් චිත්ත සන්තානයක් වෙනුවෙන් දරන ලද ආරද්ධ වීරියක තවමත් ඉතිරිව පවතින සලකුණු මග නොහැරේවා…!

සැදැහැ සිතින් මේ පින්බිම මත සිට උතුම් සෑ රජාණන් වහන්සේලා සතරනමක් එකවිට වන්දනා කර ගැනීමේ භාග්‍යය ඔබට මග නොහැරේවා…!

ඒ පිනෙන් අප හැමට ම සතර අපායෙන් අත් මිදී මේ ගෞතම බුදු සසුනේ සනාතන රැකවරණයට ඇති මේ පරම දුර්ලභ වූ මොහොත මග නොහැරේවා…!

චාරිකා සටහන – සුදර්ශන ශ්‍රී විජේසිංහ