මිහිපිට උපදින – පහළවන සෑම සත්වයෙකුට ම තමන් උපන් භූමිය හා බැඳුණු අවියෝජනීය සබඳතාවක් පවතියි. ගහකොළ ඇතුළු අචේතනික වස්තූන් මෙන් ම සතා සිවුපාවා පවා තමන්ට උරුම වූ පරිසරයේ ආස්වාදය භුක්ති විඳිනුයේ අන්‍යෝන්‍ය වශයෙන් සහජ ගති ලක්ෂණ නොවෙනස්ව පවත්වා ගනිමිනි. සෙසු ජීවින්ට වඩා කායික හා මානසික තත්ත්වයෙන් උසස් තැනක් ගන්නා මානව වර්ගයා සභ්‍යත්වය කරා පිය නැගීමේ දී තමන් උපන් දේශය සැලකුවේ මාතෘ භූමිය වශයෙනි. දරුවකු ලොවට බිහි කළ මෑණියන්ට දක්වන ගරු සැලකිලි මිහිකතට ද පුද දුන් ආදිකාලීන ජනයා ‘ජගන්

මාතා’, ‘මහීමාතා’ යන නම්වලින් ජාත භූමිය පිදූහ.

ප්‍රාග් ඓතිහාසික යුගයේ එසේ වුව ද ඉතිහාසඥයින් හා පුරාවිද්‍යාඥයින් විසින් තහවුරු කර ගන්නා ලද පරිදි අවුරුදු දෙදහස් පන්සියයක භාෂණ හා ලේඛන ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක් මිහිපිට ජීවත් වන්නේ නම් එහි අග්‍ර ස්ථානයක් ශ්‍රී ලංකාද්වීපයේ වෙසෙන සිංහල ජනයාට හිමි ය. ඊට හේතුව වූ කලී අප ගෙවා දමමින් සිටින මේ භද්‍ර කල්පයේ සිවුවැනි වරට ලොව පහළ වූ උත්තරීතර මනුෂ්‍ය රත්නය වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම් පහස ඒ සා දිගු කාලයක් සුරැකිව පවත්නේ අප සිංහල ද්වීපයෙහි වන හෙයිනි. ඒ මවුබිමේ උපන් ජනකාය යුගයෙන් යුගයට පරපුරින් පරපුරට ලේඛනයෙන්, භාෂණයෙන්, අයන හා වාරි තාක්ෂණයෙන් හෙබි අදීන සංස්කෘතියක තම විකුම්කම් ලොවට විදහා පෑවේ බුදු දහමින් පෝෂණය වූ නිදහස් සසුන්පතේ අනුහසිනි. සින්දූපමාන මහ වැව්, අහස සිපින මහ සෑ, මහරහතුන් නිවැසි සත්මහල්පායන් ඉදිවූයේ, බුදු වදනින් තෙවුණු හදින් නැගි හැඟුමින් මහ ගල්කුළු මැටි පිඬු සේ මෙළෙක් වී සම්බුදු රූ මතු වූයේ ඒ මාතෘ භූමියේ ජාත වූ දරුවන් අතිනි.

මේ මහා පෘථිවියෙන් ඇබිත්තක් වන අප දේශයේ ප්‍රෞඪ උරුමය ගැන, නූතන යුගයේ වෙසෙන මිථ්‍යා දෘෂ්ටික ඇදහිලි පසුපස හඹා යන සිංහලයන් තුළ හැඟීමක් නැති වුව ද මෙරට කෙටි කලක් සේවය කළ ඉංග්‍රීසි ජාතිකයෝ වටහාගෙන සිටියහ. හෙන්රි චාල්ස් විද්වතා 1850 දී ලියා පළ Ceylon and Sinhalese නම් ග්‍රන්ථයේ දැක්වූ එක් පාඨයක් පමණක් මෙහි ලා දක්වන්නේ අප ජාතියේ හා දේශයේ මහාර්ඝ වටිනාකම කියන සුවිශිෂ්ට දේශානුරාගී ගී පබඳක මහිමය කුළු ගන්වනු පිණිස ය:

“සිංහලයෝ ඔවුන්ගේ දේශයේ ප්‍රෞඪ ඉතිහාසයත්, කීර්තියත් සම්බන්ධයෙන් සාඩම්බර වෙති. අපගේ ගැලවුම්කරුවාණන්ගේ (ක්‍රිස්තුස් වහන්සේගේ) උත්පත්තියට වසර දහස් ගණනකට පෙර තම දිවයින අතිශය ප්‍රබල මානසික ශක්තියක් වර්ධනය කර ගත් ජන වර්ගයකට වාසභූමි වූ බවත්, තමන් ඔවුන්ගෙන් පැවතෙන්නන් බවත් දේශීය ඉතිහාසඥයෝ සකාරණ ව ප්‍රකාශ කරති.

සියවස් ගණනාවක් ඈත අතීතයේ සිංහලයන් විවිධ කලා විද්‍යා පිළිබඳ නිපුණතාවක් ඇතිව සිටියවුන් බව රට අභ්‍යන්තරයේ නොයෙක් තන්හි පිහිටි මහා මන්දිර, වැව් හා විහාරාරාම යනාදියේ නටබුන් වශයෙන් දැනට ශේෂ ව තිබෙන කොටස්වලින් ම සනාථ වෙයි. උසස් කලා පෝෂණයෙන් පූර්ණත්වයට පත් ජාතියක් මේ කුඩා දිවයිනේ විසූ බවට ඒ නෂ්ටාවශේෂයෝ දෙස් දෙති.”
(ලංකාව හා සිංහලයෝ – 141, 142 පිටු – ප්‍රේමචන්ද්‍ර අල්විස් පරිවර්තනය)

අප දේශය පිළිබඳ වූ මේ අනර්ඝ කියුම වූ කලී මේ ලිපියෙන් විවරණය කෙරෙන වීරයන්ගේ යශෝගීතයට පූර්විකාවක් වැන්න. විදේශිකයන් විසින් පවා ප්‍රශස්ත ප්‍රෞඪ උරුමයකට හිමිකම් කියන මාතෘ භූමියක උදාරත්වය ගැන වර්ණනා කළ හැක්කේ අප්‍රමාණ දේශානුරාගයකින් ද ප්‍රගල්භ කවීත්වයකින් ද පිරිපුන් නිර්මාණකරුවෙකුට පමණි. අතීතයේ සිට අප රට පහළ වූ කවියන් විසින් රචනා කරන ලද දේශාභිමානී යශෝ ගී පෙළහරක රස විනිස මහාමේඝ සුලවතුන් වෙත ඉදිරිපත් කිරීම අප අරඹනුයේ වර්තමාන යුගයේ පහළව සිටි විශිෂ්ටතම ගී පද රචකයා වූ මහගම සේකරයන්ගේ පබඳකිනි. අප රටේ ජාතික ගීයක් තරමට ප්‍රමාතෲන්ගේ බුහුමනට පාත්‍ර වූ ඒ දේශාභිමානි ගීතය මේ ය:

“රත්නදීප ජන්ම භූමි
ලංකාදීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමිය යි
ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
සාර වූ උදාර වූ මාතෘ භූමිය යි

මාණික්‍ය සේ පොළෝ ගැබේ නිධාන වී
ඇත්තෙ ඒ අභීත දූ පුතුන්
ජාතියේ නාමයෙන් – සංග්‍රාම භූමියේ
ජීවිතේ පුදා හෙළුෑ ලේ කඳ යි

සින්දූපමාන වැව්තලා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධ වී
රන් කරල් නමා හමා – සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නෙ උන් හෙළුෑ ප්‍රාණ වායුව යි

ගංගා තරංග රාව දී රිදී වණින්
මල් පිපී කුලෙන් කුලේ හැපී
ගායනා කරන්නේ – ආකාශයේ නැඟී
වීරයින්ගේ ඒ යශෝගීතය යි”

ස්වකීය සියලු නිර්මාණයන්ගෙන් සිංහල ජාතියේ ප්‍රෞඪත්වය විභූෂණය කළ මහගම සේකරයන් මේ ගීතය රචනා කිරීමේ දී ලද ආවේශයත්, ගීතයට සංගීතය සපයා එය ගායනා කළ අමරදේවයන් දැක්වූ සුවිශිෂ්ට පරිශ්‍රමයත් අරභයා ආචාර්ය නුවන් නයනජිත් කුමාරයන් කළ විවරණයක් මෙහිලා දැක්වීම උචිත යැයි හැඟේ.

“1964 දී ගුවන් විදුලියෙන් මුල් වරට ප්‍රචාරය වූ ‘රත්නදීප ජන්මභූමි’ ගීතය සේකර ප්‍රබන්ධ කොට ඇත්තේ ‘ඉන්ද නීල වණ්ණ පත්ත සේත ඛන්ධ භාසුරං’ යන සුප්‍රකට බෝධි වන්දනා ගාථාවේ වෘත්තය ආශ්‍රයෙනි. අමරදේව එවකට රජයේ සංගීත ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙකි. මහගම සේකර ගුවන් විදුලියෙන් ඉවත් වී එහි චිත්‍ර අංශයේ අංශාධිපති ලෙස සේවය කරමින් සිටියේ ය. එදින අමරදේවයෝ එළිමහනේ ගසක් යට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිවරාගෙන සංගීතය උගන්වමින් සිටියහ. භාරතීය සම්භාව්‍ය සංගීතයේ තාරණ යන අක්ෂර, ධධ්වරී අක්ෂර ලෙස හැඳින්වෙන අතර තාරණ යනු ඉන් බිහි වූ ගායන ශෛලිය වේ. ඉක්බිතිව අමරදේවයෝ ගෞඩ සාරංග නමැති රාගය ඉගැන්වීම ඇරඹූහ. සේකර ලියූ ‘රත්නදීප ජන්ම භූමි’ ගේය පද මාලාව එවෙලෙහි ඔහු අතට පත් විය. මේ ගීතයට අවැසි තනුව ද ගෞඩ සාරංග රාගයෙන් ම නිම කිරීමට අමරදේව සිත යොමු කළේ ය. දේශාභිමානි ගුණයට අවැසි පරිසරය මේ රාගයෙහි තිබෙන
බැව් ඔහුට පසක් වී තිබිණ.”

(අමරදේව මහා ගාන්ධර්ව විබුධයාණෝ – පිටුව 381)

එපරිදි ශාස්ත්‍රීය වූ පදනමකින් නිර්මාණය වී ගැයුණු සිංහලේ යශෝ ගීතය, අපගේ මාතෘ භූමියේ මහානීය අගයත්, ඒ අගය දිවි හිමියෙන් රැක ගනිමින් සමෘද්ධිමත් පරිසරයක් ගොඩනංවාලූ වීරෝදාර මුතුන් මිත්තන්ගේ පරිශ්‍රමයත් උදෙසා නිමැවුණු සිහිවටන ඵලකයක් වැන්න.

“රත්නදීප ජන්ම භූමි – ලංකාදීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමිය යි”

අපගේ උදාර වූ මාතෘ භූමිය අතීත යුගයේ ලෝවැසියන් විසින් හඳුන්වන ලද්දේ සෙරන්ඩිබ් හෙවත් රත්නද්වීපය නමිනි. එසේ ම එම දේශය විජය රජුගෙන් ඇරඹී පසුකාලීන ව ක්ෂත්‍රීය ජන වංශ පරපුරකින් පැවත සරල ග්‍රාමීය ප්‍රධානීන්ගෙන් (ගාමණී) පාලනය වුණ දේශයක් විය.

“ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
සාර වූ උදාර වූ මාතෘ භූමිය යි”

‘සිංහලේ’ නමින් හැඳින්වූ ඒ රත්නදීපයේ ජන පරපුර බුදු දහමින් සිය අධ්‍යාත්මය පෝෂණය කර ගත් උදාර ගති පැවතුමින් හෙබි සුරුවිරුවන් පිරිසක් වූහ. ඔවුන්ගෙන්
පැවත ආ ලේ නෑදැ පරපුර තම ජාත භූමියේ ස්වාධීන උරුමය රැක ගැනීම සඳහා දිවිහිමියෙන් කටයුතු කළහ. ඒ වීරයින්ගේ ලෙයින් මාතෘ භූමිය පෝෂණය වී තිබේ.

දකුණු ඉන්දීය මංකොල්ලකරුවන්ගේ සිට අපරදිග ධන වැද්දන් දක්වා දෙදහස් වසක් මුළුල්ලේ වරින්වර සිරිලක් භූමියට කඩා වැදුණු මිථ්‍යාදෘෂ්ටික පර සතුරු ආක්‍රමණ හමුවේ නොසැලී නැගී සිටි ඒ අභීත දූ පුතුන් සිය නම් ඉතිරි කොට තබා ‘මාණික්‍ය සේ පොළෝ ගැබේ නිධාන වී’ වැතිරුණේ සිංහල ජාතියේ උදාර නාමය ලෝකයා හමුවේ සනිටුහන් කොට තබමිනි. ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ දිවි පිදූ ඔවුන්ගේ කයින් ගලා ගිය ලේ කඳින් ලංකා ධරණීතලය පෝෂණය වී තිබේ. ඔවුන් එදා හෙළුෑ ප්‍රාණ වායුව සිරිලක් දෙරණට වරින්වර අනුප්‍රාණය ලබා දෙන්නේ සොබා දහමේ ආශීර්වාදයත් වැළඳගෙන ය.

“සින්දූපමාන වැව්තලා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධ වී
රන් කරල් නමා හමා – සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නෙ උන් හෙළුෑ ප්‍රාණ වායුව යි”

ලොව අන් සියලු රටවල් පරයා නිමැයුණු ලක්දිව වාරි තාක්ෂණය පැරණි සිංහලයන්ගේ සභ්‍යත්වයේ උතුම් අංගයක් සේ සැලකිය හැකි ය. ස්වාධීන සිංහල සංස්කෘතියක පටන් ගැනීමට හේතු වුණු මුල් බිජුවට ලක්දිව රෝපණය කරනු ලැබුවේ පණ්ඩුකාභය රජතුමාගේ කාලයේ දී (රාජ්‍ය වර්ෂ පූර්ව 5 වැනි සියවස) සිට බව ‘වැවෙන් උපන් සිංහල සභ්‍යත්වය’ නමැති ලිපියෙහි ලා මාර්ටින් වික්‍රමසිංහයෝ පැවසූහ. සිංහලයන්ගේ ස්වාධීනත්වයටත්, සෞර්ය වීර්යත්වයටත් දෙස් කියන වැව් සමුදුරු පරයා නිමැවුණු බැව් ඒවා හැඳින්වූ නම්වලින් පවා පෙනී යයි. ඒ මහ වැව් දියකඳ තරඟ පිසගෙන නැඟී නෙළුම් මල් සුවඳ ඇදගෙන හමන සිහිල් පවනින් සසල වන රන් කරලින් නැගෙන ප්‍රබෝධය, ජාතිය උදෙසා දිවි පිදූ හෙළ විරුවන්ගේ ප්‍රාණ වායුවට උවම් කිරීම කොතරම් මහරු කාව්‍යෝත්තියක් ද? මෙතරම් අබිරු අභිමානයක් ලොව කවර රටක පරිසරයකිනුදු නොනඟන විරූ ය. ලොව අන් රටවල ජනකායන් පවා මවිත කරවන සුලු ඒ මානව වික්‍රමයන් පිළිබඳ ව අනවරතයෙන් ම උදම් වන්නේ හෙළ දෙරණේ ස්වාභාවික සෞන්දර්යාත්මක පරිසරය යි.

“ගංගා තරංග රාව දී රිදී වණින්
මල් පිපී කුලෙන් කුලේ හැපී
ගායනා කරන්නේ – ආකාශයේ නැඟී
වීරයින්ගේ ඒ යශෝගීතය යි”

මහගම සේකර – පණ්ඩිත් අමරදේව සුසංයෝගයේ අග්‍ර ඵලයක් වැනි මේ ගීතයේ පරිසමාප්තිය වූ කලී, අතීත හෙළ වීර පුතුන්ගේ අභිමානවත් පරිශ්‍රමය ගැන නොසිතන – හුදු බලලෝභීත්වය හා උදර පෝෂණය ගැන පමණක් සිතා කටයුතු කරන අඳ බාල සමාජය අවදි කරවන කාහල නාදයක් වැන්න. නූතන යුගයේ බොහෝ දෙනෙකුගේ සිතින් ගිලිහී ගිය, අපේ හෙළ වීරවරයන්ගේ යශෝගීතය, ස්වභාවධර්මය විසින් පළ කරනු ලබන අපූරුව සේකරයන් වැණූ අයුරු ප්‍රශස්ත ය.

සටහන – දයාපාල ජයනෙත්ති