පොසොන් පෝයත් ගෙවිල ගියා…. ඇසළ පෝය උදාවෙනවා… රේඩියෝ එකේ ධර්ම සාකච්ඡාවක් යනවා… මේ යුගයේ මග ඵල ලබන්න පුළුවන් ද? බැරි ද? නිවේදිකාව ටිකක් කතා කරනවා…. ස්වාමීන් වහන්සේගේ හඬ පටය ටිකක් දානවා…. ඊ ළඟට කියනවා රැඳී සිටින්න අප සමඟ ම කියලා ආයෙත් ඇඞ් එකක් යනවා….. දෙයියනේ… ධර්මදේශනාව මැද්දෙත් ඇඞ් දාන යුගයකට අපි ඇවිල්ලා…
මීට වඩා හොඳයි සල් මල් වට්ටියක් කඩාගත්තොත් ගෙනත් පූජා කරන්න කියල හිතුණ හින්දා මම වත්ත පහළ සල් ගහ පැත්තට ගියා… සල්ගහ පිරෙන්න ලස්සනට සල් මල් පිපිලා. ඒත් අනේ… අතින් කඩාගන්න පුළුවන් උසක නෑ… ඊට ගොඩක් උඩින් මල් පිපිල තියෙන්නෙ… කොහොමද දැන් ඉතින් මම මේ මල් කඩාගන්නෙ… මම ගහ යට තිබුණ අඹ කොටයක් උඩට වෙලා කල්පනා කළා… මේ ගහේ වෘක්ෂ දේවතාවෙක්වත් ඉඳලා මල් වට්ටියක් කඩලා දෙනවා නම්…

“මල් වට්ටියක් කඩලා දෙන්නම් ඔබ ආපහු ආවොත්…” ගහ මුදුනෙන් හඬක් ඇහුණා… “ආපහු එන්නෙ මොකටද…? මම මේ ඇවිත් ඉන්නෙ…” කතා කළේ වෘක්ෂ දේවතාවෙක් වෙන්න ඇති කියල හිතල මම කිව්වා…

“නෑ… මම කිව්වෙ ඔයාල දැන් ඉන්න තැනින් ආපහු හිටිය තැනට ආපහු ආවොත් කියන එකයි…”

“ඒ කතාව මට තේරෙන්නෙ නෑ… හිටිය තැන කියන්නෙ මොකක්ද…? දැන් ඉන්න තැන මොකක් ද? මට කියාදෙන්න පුළු‍වන් ද?”

“පුළුවන්… හොඳින් අහගන්න.”

භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර සල් ගස් දෙක අතරෙ උතුරු පැත්තට හිස හොවා සැතපුණා… පින්වත් සක් දෙවිඳුන්ට මෙසේ වදාළා. ‘පින්වත් දෙවිඳුනි, මගේ ශාසනය අනාගතේ සුරැකෙන්නෙ මුහුදෙන් එතෙර තියෙන ලංකාව කියන දිවයිනේ… ඔබ ඒ රට සුරකින්න ඕන” කියලා.

ඇයි දන්නව ද බුදුරජාණන් වහන්සේ සිරි සම්බුදු මුව මඬලින් අපේ රටට එබඳු අභිමානනීය සම්බුදු වදනක් වදාළේ?

මේ රටේ ජීවත් වුණේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම මිනිසුන් පිරිසයි… ඒ අය තමන් වෙනුවෙන් කර ගත යුතු දේ කර ගන්නට දැනගෙන හිටියා… ඒ විතරක් නෙවෙයි, තම අසල්වැසියා වෙනුවෙන් කළ යුතු යුතුකමක් දැනගෙන හිටියා.. එපමණක් ද නෙවෙයි, තම ගම් ප්‍රදේශය වෙනුවෙන් කළ යුතු මෙහෙවර ද පැහැර හැරියේ නෑ… එච්චර ද… නෑ… ඒ අය දැනගෙන හිටියා තමන් උපන් රට වෙනුවෙන් කළ යුතු යුතුකම මොකක් ද කියන එකත්. එච්චර ද… නෑ… තමන්ගේ ආගම වෙනුවෙන් කළ යුතු දේත් මනාව දැනගෙන හිටියා… ඒ විතරක් ද? නෑ… නූපන් අනාගත පරපුර වෙනුවෙන් පවා… තව වසර දහස් ගණනකින් උපදින පරපුර වෙනුවෙන් පවා ඉටු කළ යුතු මෙහෙවර ඉටුකරපු මේ වගේ ජාතියක් මේ මුළු‍ ලෝකයේ ම නෑ… අන්න ඒ බව බුදුරජාණන් වහන්සේ සම්බුදු නුවණින් දැක වදාළ නිසයි සක් දෙවිඳුන්ට අර විදියට වදාළේ.

අන්න ඒ අභිමානනීය ජාතිය ඒ සම්බුදු වදන යථාර්ථයක් වෙන විදියට චිරාත් කාලයක් කටයුතු කරගෙන ආවා… ඒත් අපේ අවාසනාවට මේ රට දරුණු විදියට පර සතුරු ආක්‍රමණවලින් පහර කෑවා… අපේ අයට අනාගත පරපුර වෙනුවෙන් කළ යුතු මෙහෙවරක් තියෙනවා කියන එක ටික ටික අමතක වෙන යුගයක් ආවා… සුද්දෝ ඇවිත් අපේ දරුවන්ට මත්පැන් පුරුදු කළා… ටික ටික තමන්ගෙ මව වන් මව් රටට තමන්ගෙන් විය යුතු දෙයක් තියෙනවා කියලා අමතක වෙවී යන්න පටන් ගත්තා…

ඒ කාලයේ ජාති මාමක හිමිවරුන්ට මේ බව දැනුණා… ඒ නිසා ලිව්වා මෙහෙම.

“තමන් ලැබු දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නො කොළොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි ඵලක් නැතේ”

ඒ කවි පද අහල සුළු පිරිසකට සිහිය ඉපදුණා… ඒත් ඒක වැඩිකල් තිබුණෙ නෑ… වේගයෙන් මේ රට ආයෙමත් පරිහානියට යන්ට පටන් ගත්තා.

අනගාරික ධර්මපාලතුමා මේ විපත දැකල මේ රට වටේ ම උස් හඬින් කතා කරගෙන ගියා. ඒ හඬ අහලා ආයෙත් සිහිය ඉපදුණා කීප දෙනෙකුට. ඒත් බටහිර ආක්‍රමණය එන්න එන්න ම දරුණු වුණා. මෙයාලා පහර දුන්නේ සියුම් ආයුධවලින්. මේ පහර වැදුනේ අපේ අහිංසක දරුවන්ගේ මොළයට. ඒ ප්‍රහාරවලින් අපේ දරුවන්ගේ පමණක් නෙවෙයි, දෙමව්පියන්ගෙත් මොළ සේදිලා ගියා…
මොනවද මේ අය පහර දුන්න ආයුධ…? රූපවාහිනිය නම් ආයුධයෙන් පහර දුන්නා… ක්‍ෘල ෘඪෘ කියන ආයුධයෙන් පහර දුන්නා… පරිගණක ගේම් කියන ආයුධයෙන් පහර දුන්නා… ත්‍ඵ රැල්ල කියන ආයුධයෙන් පහර දුන්නා… ස්මාට් ෆෝන් කියන ආයුධයෙන් පහර දුන්නා… රැප් රැල්ලේ ගී කියන ආයුධයෙන් පහර දුන්නා… ටැබ් කියන ආයුධයෙන් පහර දුන්නා… අන්තර්ජාලය කියන භයානක ආයුධයෙන් පහර දුන්නා… කෙලෙස් බුක් කියන ආයුධයෙන් පහර දුන්නා… මේ සියල්ලෙන් ම පහර දුන්නේ මොළයට යි.

අනේ මේ ප්‍රහාරයට මුහුණ දීපු අපේ දරුවන්ගේ මොළ සේදිලා, ඇස් නිලංකාර වෙලා ගියා. දෙමව්පියන්ට වුණෙත් ඒ ටික ම යි.

එයාලට මුලින් ම අපේ අතීතය අමතක ම වෙලා ගියා… රට දැය සමයට කිසිවක් කරනවා තියා තමන්ට තමන් කර ගත යුත්තෙ මොකක් ද කියලවත් නොතේරෙන තරමට අන්ධ වෙලා ගියා…
පංච කාම සම්පත් ටිකක් ලබාගන්න මුළු‍ ජීවිත කාලෙ ම වුණත් කැප කළාට කමක් නෑ පුතේ කියන පණිවිඩය දෙමව්පියන් දරුවන්ට දීලා තමන් වගේ දෙගුණයක් බර පොත් බෑග් එකක් පිටේ එල්ලු‍වා… ගුරුවරුත් කළේ ඉස්කෝලෙදි කරනවා වගේ තව ගුණයක් ගෙදර වැඩ දීලා ආපහු එවපු එකයි… ඉතිරි වේලාව ටියුෂන් මාස්ටර්ලා පැහැරගත්තා. ළමයින්ට ආයෙ හිතන්න වෙලාවක් ඉතිරි වුණේ ම නෑ…
ඉතිරිවෙන හැම තප්පරයක් ම අර මම කලින් කිව්ව ආයුධවල බරපතළ ප්‍රහාරයකට ලක් වුණා.

අන්තිමේ දී බිහි වුණා තමන්ගේ රට ගැන දන්නෙ නැති… ආගම ගැන දන්නෙ නැති… අසල්වැසියො ගැන දන්නෙ නැති… නෑදෑයො ගැන දන්නෙ නැති… අම්ම තාත්ත ගැනවත් දන්නෙ නැති, ඒ අය තමන් ව පුංචි කාලෙ ඉඳල හැදුවෙ කොහොමද කියලවත් දන්නෙ නැති, අඩු ම ගාණෙ තමන් කවුද, තමන් මේ රටේ සිංහල බෞද්ධයෙක් වෙලා ඉපදුණේ මොකටද කියලවත් දන්නෙ නැති… ඒත්… සහතික ගොඩාක් තියෙන… ඒත් ඒවයෙ තියෙන දැනුම නැති… තියෙන දැනුමවත් භාවිතයට ගන්න දන්නෙ නැති අරුම පුදුම පිරිසක්…”

“ඒක නම් ඇත්ත ම තමයි… ඉතින් දැන් අපි කොහොමද ආපහු අපේ අතීත මුතුන් මිත්තන් වගේ රට දැය සමය වෙනුවෙන්, නූපන් අනාගත පරපුර වෙනුවෙන් තමන්ගෙ යුතුකම වගකීම ඉටුකරන ජාතියක් බවට පත්වෙන්නෙ?”

“රට දැය සමය වෙනුවෙන් නෙමෙයි… අඩුම තරමින් තමන් වෙනුවෙන්වත් කර ගත යුතු දේ කර ගන්න නම් ගොඩක් ම මහන්සි වෙන්න වෙයි. මොකද ඔයාල දන්නෙ නැති වුණාට බුද්ධ ශාසනයක් තියෙන කාලෙක මනුස්සයෙක් වෙලා අනේ අපිට ඉපදෙන්න ලැබේවා කිය කියා ඔයාලා ජීවිත ගණනාවක් කළ පිනක ප්‍රතිඵලයක් විදියටයි ඔයාලට මේ ජීවිතය ලැබුණෙ…”
“අනේ මට කියන්න අපි කොහොමද දැන් ආපහු එන්නෙ?”

“සතියක විතර නිවාඩුවක් ගන්න… ඒ සතිය අර මම ඉස්සෙල්ලම කිව්ව මහ භයානක ආයුධ වරුසාවෙන් ගැලවෙන්න. රූපවාහිනියෙන්… ගුවන්විදුලියෙන්… දුරකථනයෙන්… මම අර කිව්ව අනිත් දේවලින්… යන්න අනුරාධපුරයට… පොළොන්නරුවට… සීගිරියට… අවුකනට… කලා වැව ගාවට… සොරබොර වැව ගාවට… අරගෙන යන්න මහාවංශය… දීප වංශය… ථූප වංශය… බෝධිවංශය… ධම්මපදය… කැකුළු හාලේ බත් ටිකක් කාලා බෙලි මල් කෝප්පයක් බීලා අන්න ඒවත් එක්ක සතියක් විතර ඇසුරු කරන්න…

ඔබට පිනක් ඉතිරි වෙලා තිබුණොත් ඔබට අහිමි කළ ඔබ ව යළි ඔබට මුණගැසේවි… අන්න එහෙම මුණගැසුනොත් එයා එක්ක යන්න මහ සෑය ළඟට… මහ බෝධින් වහන්සේ ළඟට… අන්න එතකොට මහ සෑය පිසගෙන හමා එන මඳ පවන් රැලි… ජය සිරි මහ බෝ හාමුදුරුවන් පිසගෙන හමා එන මඳ පවන් රැලි ඔබට මෙහෙම පවසාවි…

‘පින්වත් පුතේ, ඔබ මේ පින්බර රටේ ඉපදුණේ ලොකු පිනක් හින්දයි… ඔබට දැන් ඔබ ව මුණගැසුන වෙලේ ඔබට තිබෙනවා කර ගන්ට කාරියක්. ඒ තමයි ඔබගෙන් නිදහස් වන එක. ඔබ ආවේ ඒකටයි… ඒ මඟ ඔබට කියන්ටයි අර කිරි බැබළෙන සෑ රදුන් වැඩ ඉන්නෙ… අර රන්වන් පත් සැලෙන බෝ හාමුදුරුවන් වැඩ ඉන්නෙ.’

අන්න ඒ පණිවිඩය ඔබ හරියට තේරුම් ගත්ත දවසට ඔබෙන් රටට දැයට අනාගත පරපුරට ඉටුවිය යුතු දේ ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑ.”

මම සල් ගහ දිහා බැලු‍වා… අතේ දුරින් කඩන්නට මේ ලස්සන සල් මල් තියෙන්නෙ… අනේ ඇත්තට ඇයි මම මේවා කලින් දැක්කෙ නැත්තෙ…!

සටහන – සුදර්ශන ශ්‍රී විජේසිංහ