අඅපි පසුගිය කලාපයෙදි කථා කළා අපගේ අවසරය යටතේ ම අපගේ ම වතුපිටිවලට ඇවිත් අපේ ආරාධනයෙන් ම පදිංචි කරවා ගත් අදිසි ත‍්‍රස්තවාදී උවදුරකට අප හසුවී ඇති බව.
එ් වාගේ ම මේ උවදුර ඉතා ම බරපතළ තත්ත්වයකට පත්වෙන්නේ මානව පැවැත්මට ඉතා විනාශකාරී ආකාරයෙන් බලපාන කරුණු කාරණා රාශියක් මේ අදිසි සතුරන් හරහා ක‍්‍රියාත්මකව තිබීම නිසයි.

අපි ගියවර ලිපියේ කථා කළා වාසනාවේ ශාකය විදියට අපේ ගෙවතුවලට හඳුන්වා දුන් පිහිඹියා ශාකය පිළිබඳ ව…

මේකට අපේ ඇත්තන් ගොදුරු වුණේ නුවණින් සිතන්නේ නැති නිසා ම යි කියලයි මා නම් දකින්නේ…. පිහිඹියා ශාකයේ ඵල අපට ආහාරයට ගන්නත් බෑ, ඇට ආහාරයට ගන්නත් බෑ, දැවමය වශයෙන් මහ විශාල වටිනාකමකුත් නෑ… මේ කිසිවක් නැති ගහකින් අද්භූත වාසනාවක් උදා වෙයි කියලයි අපේ ඇත්තන් හිතුවේ…

ඉතින් ඇත්තටම අපිට වාසනාව ගෙනාපු ගහක් ඉස්සර හැම ගෙමිදුලක ම තිබුණා… එ්ක අයින්කරලා තමයි අපි මේක හිටවගන්න තරම් මෝඩ වුණේ…

එ් ගහ කිරි ගහක්…. ගෙඩි කුඩා කාලේ රසවත් ව්‍යංජනයක්… ඊට ටිකක් ලොකු වුණාම මැල්ලූමක්, පැහුනාම තම්බා ගත්විට බතට නො දෙවෙනි කදිම ආහාරයක්, ඉවුවොත් රස උතුරා යන රසවත් ව්‍යාංජනයක්, වේළා ගත් විට වෙනස් රසයක්, ඇට ගත්තොත් රසවත් ව ආකාර ගණනාවකට සකස් කරන්නත් පුළුවන්, කල්තබා ගන්නත් පුළුවන්, ඉදුණා ම ප‍්‍රණීත පලතුරක්.

දැවමය වශයෙන් තියෙන්නේ කිසිදු දැවයකට නො දෙවෙනි වටිනාකමක්, ශක්තියක්… ඉස්සර හැම ගෙවත්තක ම තිබුණ මේ වාසනාවේ සම්පත අහකට දාලා අපේ ඇත්තන් මේ නො පෙනෙන වාසනාවේ නාමයෙන් විනාශය රැගෙන එන පිහිඹියා හිටවා ගත්තා…

ඔබේ ගෙවත්තේ නැත්නම් දැන් ම කොස් පැළයක් රෝපණය කර ගන්න… තියෙනවා නම් තව එකක් රෝපණය කර ගන්න… කොච්චර තිබුණත් වැඩිවෙන්නේ නම් නෑ… එයයි ලාංකික අපගේ සැබෑම වාසනාවේ වෘක්ෂය…!

අපේ ම අනුවණකම අපට හරියට තේරෙන්නට නම් මේ විස්තරය බලන්න.                 kosකොස් ආහාරයට ගැනීමෙන් කුෂ්ට රෝග හා පරණ තුවාල සුව වන බව සඳහන්. කොස් ගසේ මතුපිට වියළී ගිය පොත්ත ඉවත් කළ පසු යට පොත්තේ සුඹුලූ සූරාගෙන තලතෙලින් මලවා බැද මෙයට ම කහ කුඩු, ඔළිඳ ඇට හා මී පැණි එක්කර අඹරා ගෑම සුදු කබර රෝගයට ද යහපත් ප‍්‍රතිඵල ගෙන දීමට සමත් වනවා.

වැල මදුළු මී පැණිවල බහා තබා උදේට හිස්බඩ කෑමට දීම කක්කල් කැස්සට ගුණදායකයි.

බඩ විරේකය අවශ්‍ය වූ විට හිස්බඩ බඩ පිරෙනතුරු වැල මදුළු කන්නට දීමෙන් බඩ විරේකය වන අතර බඩවැල් හොඳින් පිරිසුදු වනවා.

නින්ද නො යන අයට ඉතාමත් ළා කොස් දළුවලින් මාළුව උයා කන්නට දීම මෙන් ම කොස් නැටි තම්බා පානය කිරීම ගුණදායක වන බව සඳහන් වනවා.

මත් ගතියට ළපටි කොස් ගෙඩියක ඉස්ම ගෙන පොල්කිරිවලින් අනා හකුරු සමග කන්නට දීම ගුණයි.  ඕනෑම මත් ගතියකට මෙය ඔසුවක්.

කොස් කොළ හා මිනී මල් පැළෑටියේ (පස් පෙති* මුල් එකට දමා තම්බා බීම දියවැඩියාවට ඔසුවක්.

ඉදුණු කොස් කොළ තල තෙලින් බැද කෑමට ගැනීම මුත‍්‍රා රෝගවලට ගුණදායකයි. සරුවට වැඩුණු අමුකොළ සහ කොස් පොතු තැම්බූ කසාය මුත‍්‍රාගල් දියවීමට උපකාරී වෙයි.

ඉදුණු කොළ වේළා රත්වනතුරු බැද කුඩුකර කෝපි මෙන් බීමට ගැනීමත් දියවැඩියාවට යහපත් ගුණ දෙනවා.

දියවැඩියාවට අත් බෙහෙතක් –

කොස් කොළ කලං 16 යි, කොස් මුල් කලං 03 යි, කොතල හිඹුටු කලං 03 යි, වතුර කාල් 08 යි.
වතුර කාල් 08 කාලට සිඳුවා මී පැණි අනුපාන දමා බීම ගුණයි. මී පැණි වැඩි වශයෙන් ගැනීම නම් දියවැඩියාවට අගුණයි.

පැහැපත් මුහුණකට –

පැසුණු කොස් මදුළු ආහාරයට ගැනීමෙන් රුව වැඩි වැඩියෙන් ලස්සන කරගත හැකියි. සිරුරේ අධික කෙට්ටු බව නැති කිරීමට ද කොස් ආහාරයට ගැනීම ගුණදායකයි.
පැසුණු කොස් මදුළු දෙහි ඇඹුලෙන් අඹරා රාති‍්‍රයේ දී මුහුණේ ආලේප කිරීමෙන් මුහුණ පැහැපත් බව ඇතිකර ගත හැකියි.

කොස් ඇට

x    මස් වඩවයි
x    මලබද්ධය දුරලයි
x    ජීර්ණ පද්ධතිය පිරිසිදු කරයි
x    ඇඟ සිසිල් කරයි

ඉතින් මේ මහා වාසනාවේ වෘක්ෂය පසෙක ලා කිසිදු ඵල ප‍්‍රයෝජනයක් නැති ගසක් සිටුවන්නට අපේ මනස වෙනස් කරන්නට මේ බටහිර ආක‍්‍රමණිකයන් සමත්වෙලා තිබෙනවා.
අපි පසුගිය වර කථා කළා මේ අදිසි සතුරන් කීප දෙනෙක් පිළිබඳ ව. මේ අතරින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වනවා මානව රෝග කාරක (වෛරස් බැක්ටීරීයා) නිපදවන ශාක පිළිබඳ ව.

මෙහි දී මුල් තැනට එන ශාකය නම් අප කවුරුත් දන්නවා. එ් තමයි දුම්කොළ ශාකය. එය මේ වන විට කර ඇති විනාශය අප සැවොම දන්නා දෙයක් නිසා මා එය ගැන කතා කරන්න උත්සාහ කරන්නේ නෑ.

ඔබ නො දන්නා එහෙත් ඔබ ළඟ ම ඉන්න තවත් විනාශකාරී සතුරන් කීපදෙනෙක් අද හඳන්වා දෙන්නම්. එ් තමයි,

ඇරොව්කේරියා (araukeria)

මෙය අද සුලභව ගෙවතුවල අලංකාරයට වවන විදේශිය ශාකයක්. මෙය මගින් පිළිකාකාරක ශ්වසන ආබාධ ඇතිකරන වෛරස් වසංගත රෝග කාරක හා පිරිමින් වඳ භාවයට පත් කෙරෙන ගුවනේ පාවෙන වෛරස් නිපදවා පරිසරයට මුදා හරින බව අද තහවුරු වී තිබෙනවා.

මේ අතරට සියලූ ම ඇරොව්කේරියා (araukeria) ප‍්‍රභේදත්, සයිප‍්‍රස් (Sypres) වර්ගත්, සැගෝ ෆාම් (Sago Palm) වර්ගත් අයත්.

වසර 30, 40කට පෙර අප ජන සමාජය තුළ දක්නට නො වු විරූ ලෙස මේ වනවිට ළමා පරපුර තුළ ශ්වසන රෝග බොහෝ වැඩි වී තිබෙන බව ඔබ දන්නවා. බොහොමයක් කූඩා ළමුන් ඇදුම රෝගයෙන් පීඩා විඳිනවා…. එ් වාගේ ම වැඩිහිටියන් පෙනහලූ රෝගවලින් පීඩා විඳ පෙනහලූ පිළිකාවලින් මරණයට පත්වන ප‍්‍රමාණය බෙහෙවින් ඉහළ යාමට මේ නො පෙනෙන සතුරන් ප‍්‍රබල දායකත්වයක් සපයා තිබෙනවා.

විදේශ රටවල මෙම අනතුර දැනගත් වහා ම මෙම විනාශකාරී ශාක ගලවා ගිනි තබා දමද්දී අප විහාල මුදලක් ගෙවා මේවා රැුගෙන විත් තම ගෙවතුවල සිටුවා දරුවන් මෙන් බලා ගන්නා තැනට අද පත්වෙලා ඉස්සර අපේ ගෙවත්තේ තිබුණා මිරිස් පැළ කීපයක්, කොච්චි පැළයක්, ගොටුකොළ පාත්තියක්, කතුරු මුරුංගා පැළයක්, මුරුංගා ගහක්, කරපිංචා ගහක්, රම්පෙ ගහක්, සේර පැලයක්, කහ පඳුරක්, ඉඟුරු පැළයක්,

අද මේවාට මොකද වුණේ… එ්වා අපෙන් ඈත්වෙලා ගියා. එ් වෙනුවට රූපවාහිනියෙන් දැන්වීම්වලින් අන්තර්ජාලයෙන් අපේ ඔළු ඇතුළට රිංගවපු කිසිම ඵල ප‍්‍රයෝජනයක් නැති, ලස්සන නම් ටිකක් විතරක් තියෙන, සැඟවුණ මහ අනතුරක් තියෙන ශාක ටිකක් අපේ පෝච්චිවලට, අපේ ගෙවත්තට අපි සල්ලි දීලා අරගෙන ආවා.

ඉතින් මේ අනතුර අපි හඳුනාගෙන අපි එ්කෙන් වහ වහා අත් මිදුනේ නැත්නම්… අපිට හිතකර වුණ, අපේ සෞඛ්‍යය සුරකින, අපිත් එක්ක වසර දහස් ගණනක් මිතුරුව සිටිය ගස්වැල් එක්ක නැවතත් මිතුදම ගොඩනගාගන්නට අප අසමත් වුණොත්… අපේ විනාශය වැඩි ඈතක නැහැ.

(මේ පිළිබඳ ව අපට තොරතුරු සපයා දුන් පරිසර හා මානව හිතකාමී ජාත්‍යන්තර සංවිධානයේ නිර්මාතෘ පරිසර ගවේෂක පී. එම්. එදිරිසිංහ මහතාට විශේෂ ස්තුතියක් පිරිනමමි.)

මහාමේඝ 2016 මැදින් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
සුදර්ශන ශ‍්‍රී විජේසිංහ

ඔබේ අදහස් අපට කියන්න. අක්මුල් සොයා යන ගමනට අපිත් එක්ක එකතු වෙන්න.
076 771 76 44
akmulsoya@gmail.com