බක්මාසෙ පුන්සඳ මඩල අවපසට හැරිල ටික දවසක් යද්දි අපේ සිත් සතන් නව බලාපොරාත්තුවලින්, නව පැතුම්වලින් පිරිලා යනවා. කෙමෙන් කෙමෙන් වෙසක් සඳ මඬල කලාවෙන් කලාව මෝරා එද්දී සිතට නව ජීවයක් ලැබෙනවා. අනේ මේ තුන්ලොව සත්වයන්ට මහත් ආදරයෙන්, අනුකම්පාවෙන්, කරුණාවෙන් අප වෙනුවෙන් ම ලොව පහළ වූ අපගේ සිදුහත් බෝසතාණන් වහන්සේගේ උපත සිදුවූ දා පෑයූ පුන්සඳ මඬල නේ ද මේ උදාවන්නේ….. තුන්ලොවක් වසා පැතිර තිබු අවිද්‍යාවේ මහා ගනඳුර පළවා හැරිය මහා හිරු මඬල වූ ගෞතම සම්බුදුරජුන් එදා නේරංජරාවේ දී දස බිම්බරක් මර සෙන් පරදවා මහ පොළව ගුගුරුවා සම්බුද්ධත්වයට පත්වූදා පෑයු සඳ මඬල නේ ද මේ උදාවන්නේ… අනේ…

පන්සාලිස් වසක් තිස්සේ… සත්වගට මහා කරුණාවෙන් දහසක් සක් ලකුණින් ශෝභමානව තිබූ එ් සම්බුදු සිරිපා ඉදිමී යන තුරු පා ගමනින් දඹදිව් තලය පුරා වැඩම කොට වදාළ එ් මුනිරජාණන් වහන්සේ එ් බුදු කිස නිමවා පහන් සිළක් සේ නිවී ගිය දිනයේ දී පෑයූ පුන්සඳ මඬල නේ ද මේ උදාවන්නේ….

සිංහල බෞද්ධ අපගේ සාදරණීය නව වසර නේ ද මේ උදාවන්නේ… සිත අමුතු සතුටකින්, ප‍්‍රබෝධයකින් පිරී ගිහින්,
අක්මුල් සොයා යද්දී එ් අතීතයේ තිබූ වෙසක් අසිරියත් හිතට නැගෙනවා නිරායාසයෙන් ම වාණිජකරණයෙන් යට නො වූ සුන්දර අතීතයක සති ගණන් මහන්සි වී බට කපාගෙන ඇවිත් වෙසක් පහන් කූඩු බැන්ද හැටි… විදුලි බුබුලූ රජ නො කළ එ් කාලයේ ඉටිපන්දම් එළියෙන් එ් පහන් කූඩු දිලූන හැටි, මිදුලේ ගස් පුරා පාට පාට බකට් එළි දිලූන හැටි …

අත්තම්මා දවස ම සිල් සමාදන් වෙලා පන්සලේ ඉඳලා ඇවිත් ?ට පහන් එළියෙන් අපි වටකරගෙන පන්සිය පනස් ජාතකයේ කතා කියා දුන්න හැටි.

අනේ එ් අපේ නව වසර කොච්චර සුන්දර ද…. එ් කාලේ ආත්තම්මට ආතරයිටිස් තිබුණෙත් නෑ…. සීනි තිබුණෙත් නෑ…. ප්‍රෙෂර් තිබුණෙත් නෑ…. කොලස්ටරෝල් තිබුණෙත් නෑ…

අපි ආත්තම්මා වටකරගෙන රැ හඳපානේ එළිමහනේ හිටියා කියලා අපිට වීස් එක හැදුණෙත් නෑ… අපි බෙහෙත් පෙති බිව්වෙත් නෑ..

ඉතින් මේ වෙසක් සඳත් එක්ක මට හිතුණා අපේ අක්මුල් සොයා යන ගමන තවත් දිසාවකට හරවන්නට. ඔබ අක්මුල් සොයා සමඟ දිගට ම හිටියා නම් ඔබට මතක ඇති මා ඔබෙන් ඇසුවා මේ සිරිලකෙහි සිටින ඉසිවරුන් වන වෙදැදුරන් ගැන….

මමත් තොරතුරු සෙවුවා. ඉතින් මට නම් හමු වුණා මේ තුන්ලෝකෙට ම හිටපු හොඳ ම වෛද්‍යවරයා ආරෝග්‍ය නම් වූ පරම ලාභය ගැන නිතර කතා කරපු…. බුදුරජාණන් වහන්සේ එ් ආරෝග්‍යා පරමා ලාභා කියා හැඳින්වූයේ මේ කෙලෙස් රෝගයෙන් නිදහස් වී ලබන නිරෝගීකම ගැන වුවත් එ් සඳහා යන ගමන් මගේ දී මේ සිත කය දෙක අල්ප ආබාධවලින් යුතු නම් එය ධර්ම මාර්ගයට ඉතා පහසුවක් වග උන්වහන්සේ දේශනා කොට වදාළා.

අසනීප වූ ස්වාමීන් වහන්සේලා උදෙසා බුදුරජාණන් වහන්සේ විසින් ම කළ ප‍්‍රතිකාර හා පිරිත් බොහොමයක් අපට ශාසන ඉතිහාසය හැදෑරීමේ දී හමුවෙනවා… මහාකස්සපථේර බොජ්ඣංග පිරිත, ගිරිමානන්ද සූත‍්‍රය ආදිය භාග්‍යවතුන් වහන්සේ යම් අසනීප තත්ත්වයන් උදෙසා ධර්මයෙන් කළ ප‍්‍රතිකාරයි.

එතනින් නො නැවතුන මහා කාරුණික බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් දැක අවබෝධ කොට වදාළ බෙහෙත් වර්ග රාශියක් විවිධ රෝගාබාධ තත්ත්වයන් වෙනුවෙන් අනුදැන වදාරා තියෙනවා.

සම්බුදුරජාණන් වහන්සේ විසින් සම්බුදු නුවණින් දැක වදාළ ප‍්‍රත්‍යක්ෂ හා නොවරදින මේ ඖෂධ පිළිබඳ ව සියලූ තතු සඳහන් වෙනවා එක්තරා පූජනීය ග‍්‍රන්ථ රත්නයක. එ් තමයි විනය පිටකයේ මහාවග්ග පාළියෙහි භේසජ්ජක්ඛන්ධකය. ඉතින් මා සිතුවා මෙවර අක්මුල් සොයා ලිපි පෙළෙහි ඉසිවරු වන් වෙදැදුරන් ගැන කතා කිරීමේ දී එය ආරම්භ කරන්නට ලොව පහළ වී වදාළ සියලූ රෝගයන්ගෙන් ම සත්වයන් හට සනාතන රැකවරණය සලසා දුන් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් විවිධ රෝගාබාධයන්ගෙන් නැගී සිට සුවසේ නිවන් මඟ දියුණු කිරීමට උපකාර පිණිස අනුදැන වදාළ බෙහෙත් වර්ග පිළිබඳ ව ඔබ දැනුම්වත් කරන්නට.

මේ කාලයේ බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගයක් තමයි අම්ල පිත්ත රෝගය. එහෙම නැත්නම් ගැස්ට‍්‍රයිටිස්. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටින දවසක භික්ෂූන් වහන්සේලා පිරිසකට මේ පිත කිපීම නිසා ආබාධ තත්ත්වයක් මතුවුණා. අනුභව කළ ආහාර, කැඳ වර්ග උගුරට එන්න පටන් ගත්තා. ආහාර ශරීරයට
උරාගැනීම අඩු වුණා. ආහාර රුචිය අඩු වුණා. සිරුරු දුර්වර්ණ වුණා. වැහැරුනා. නහර ඉල්පුනා.

ඉතින් මේ භික්ෂුන් වහන්සේලා දුටු බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් විමසා වදාළා .

‘‘ආනන්ද කිම ද මේ සිදු වී තිබෙන්නේ?”

එවිට පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේ එ් ස්වාමීන් වහන්සේලාට ඇතිවී තිබෙන ආබාධ තත්ත්වය බුදුරජාණන් වහන්සේට සැල කොට වදාළා…

මහා කාරුණිකයාණන් වහන්සේ මෙන්න මේ බෙහෙත එ් සඳහා අනු දැන වදාළා.
– ගිතෙල්
– වෙඬරු
– තල තෙල්
– මී පැණි
– උක් සකුරු

මේ පස් වර්ගය සම ව ගෙන උදේ සහ සවස වළඳන්නට අනුදැන වදාළා. එපමණකින් නො නැවතුන මහාකාරුණිකයන් වහන්සේ මේ ගිලන් ස්වාමීන් වහන්සේලා ගැන වරින් වර සොයා බලමින් කලින් කලට වැළඳිය යුතු බෙහෙත් පන්තියක් ම නියම කොට වදාළා. එ් අතරේ දිවි ඇති තෙක් පරිභෝග කළ යුතු බෙහෙත් වර්ග මෙන් ම කලින් කලට එ් අසනීප තත්ත්වයන් උත්සන්න වන අවස්ථාවන්හි දී වැළඳිය යුතු බෙහෙත් වර්ග ද නියම කොට වදාළා.

එපමණකින් ද නො නැවතුන භාග්‍යවතුන් වහන්සේ එ් බෙහෙත් වර්ග කුඩු කර ගැනීමට, අඹරා ගැනීමට වුවමනා කරන ඇඹරුම් ගල් ආදිය තබාගෙන පරිහරණය කිරීමට ද අනුදැන වදාළා…

තවත් අවස්ථාවක එක්තරා ස්වාමීන් වහන්සේනමකට ඇස් ලෙඩක් හටගත්තා… ඇස් නො පෙනී ගියා… මල මුත‍්‍ර පහකර ගැනීමට යාමට තරම්වත් තමන්ගේ කටයුතු කර ගැනීඹට නො හැකි වුණා. මේ වෙලාවේ අනෙකුත් ස්වාමීන් වහන්සේලා එ් අසනීප ස්වාමීන් වහන්සේට කරුණාවෙන් එ් කටයුතු කර ගැනීමට උදව් වුණා.

මහා කාරුණිකයන් වහන්සේට මේ බව සැල වුණා. උන්වහන්සේ කරුණාවෙන් එ් ඇස් අසනීපයෙන් පෙළුන ස්වාමීන් වහන්සේ වෙත පැමිණ සුවදුක් විමසා සිත සුවපත් කොට මෙම බෙහෙත් නියම කළා.

කළු අඳුන්, රස අඳුන්, ගං හෝ ආදියෙහි උපදින අඳුන්, ලොහෝ අඳුන්, සුවන්ගුරු අඳුන්, පහන්සිළු දැලි අඳුන් සමඟ සඳුන්, තුවරලා, කළු අගිල්, වම්මුතු, තලිස් ආදිය ගෙන ඇසෙහි ගල්වන්නට නියම කොට වදාළා. එසේ සාදාගත් අඳුන් ඇඟිල්ලෙන් ඇසේ නො තවරන ලෙසත්, එ් සඳහා අඳුන්කූර නම් අඳුන් ඇසෙහි ගල්වන උපකරණයත් පිරිසිදු ව පාවිච්චි කරන ලෙසත් අනුදැන වදාළා… එමෙන් ම මේ බෙහෙත් අඳුන බහාලන බඳුන වන අඳුන් තුලාව පියනකින් වසා පියන ද නො වැටෙන ලෙස හුයකින් බැඳ තබාගන්නටත් අනුදැන වදාළා.

මෙම අඳුන් කුරු බිම නො වැටෙන ලෙස කොපුවකින් වසා තබන්නටත්, එ් අඳුන් කුරු හා අඳුන් තුලාව පසුම්බියක දමා එම පසුම්බියට පටියක් දමා උරහිසෙහි එල්ලා තබා ගැනීමටක් අනුදැන වදාළා..

එසේ කොට එ් පින්වත් ස්වාමීන් වහන්සේගේ ඇසේ අසනීපය සුව කර ගන්නට කරුණාවෙන් උපකාර කළ එ් මහා වෙද ඉසිවරයාණෝ මෙම උපකරණ භාවිතය අනාගත කාලයෙහි නිවන් මගෙහි දහම් ඇස පාදා ගැනීමට බාධාවක් විය හැකි බව දැන රනින්, රිදියෙන් ආදි වටිනා ද්‍රව්‍යයන්ගෙන් සාදන ලද අඳුන් කූරු හෝ අඳුන් තුලා භාවිත නො කරන ලෙසත්, සාමාන්‍ය ද්‍රව්‍යයන්ගෙන් සකස් කළ බෙහෙත් ගල්වන හා රඳවන උපකරණ පමණක් භාවිත කරන ලෙසත් උපදෙස් දී වදාළා.

ඉතින් මා කල්පනා කළා ඉදිරි අක්මුල් සොයා ලිපි කීපයකින් මේ මහා වෙද ඉසිවරයාණන් වහන්සේ විසින් මේ ආකාරයෙන් විවිධ රෝගාබාධයන් වෙනුවෙන් පෙන්වා වදාළ ප‍්‍රත්‍යක්ෂ හා නො වරදින බෙහෙත් ඖෂධ පිළිබඳ ව ඔබට හඳුන්වාදෙන්නට. මේ ඖෂධ භාවිතයට ගැනීමේ දී එ් කාලයේ මේ සඳහන් නම්වලින් හැඳින්වූ බෙහෙත් ඖෂධය මේ යුගයේ දී නිවැරදි ව සොයා ගැනීමට පළපුරුදු වෛද්‍යවරයෙකුගේ සහය ලබාගන්නට නම් සිදු වේවි…

ඉතින් ඔබ සැමට මේ ලැබුවා වූ නව වසර, නිදුක් නිරෝගීමත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!

මහාමේඝ 2016 වෙසක් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
සුදර්ශන ශ‍්‍රී විජේසිංහ

ඔබේ අදහස් අපට කියන්න. අක්මුල් සොයා යන ගමනට අපිත් එක්ක එකතු වෙන්න.
076 771 76 44
akmulsoya@gmail.com