ඊයේ දවස ගෙවුණු විදිය ඔබට මතක ද? ගිය සතිය….? ගිය මාසෙ….? ඒ කාලෙ පරාසය තුළ මොහොතක් පාසා අපේ සිත ගැන, සිතුවිලි ගැන අවධානයෙන් සිටියා නම්, අපිට වැඩිපුර ඇතිවුණේ සුගතිගාමී කුසල් සිතුවිලි ද? දුගතිගාමී අකුසල් සිතුවිලි ද?

‘අවංක බව’ නැමති ආලෝකය දල්වා බැලුවොත්, විමසුවොත් අවිවාදයෙන් ම වැටහේවි, ශ්‍රේෂ්ඨ වූ කුසල් සිතුවිලිවලට වඩා ළාමක, බොළඳ අකුසල් සිතුවිලිවලින් අපේ සිත පිරී තිබුණු බව.

● ප්‍රියමනාප රූපය ම සොය සොයා මේ ඇස් වෙහෙසුණු තරම..
● සෙවූ කෙනා හමු වූ පසු කථාබහට මුලපුරන්නට පෙර ඇති වූ අසහනය…
● ඒ ප්‍රිය වූ කෙනාගේ ම හඬ, කථාබහ තම සවනේ රැව්පිළිරැව් දෙන තරමට ආසාවෙන් මෙනෙහි කළ අයුරු….
● තමාගේ මනෝ රාජ්‍යයේ ඔටුනු පලන් ඒ ප්‍රියමනාප කෙනා තව කෙනෙක් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙන අයුරු දැක තම සිත ඉරිසියාව නැමති ගින්නෙන් දැවුණු තරම….
● තමන් අපේක්‍ෂා කරන අන්දමේ ප්‍රතිචාරයක්, සිනාවක් පවා ඒ ප්‍රිය වූ කෙනාගෙන් නො ලැබුණු විට මේ සිතට තරහ ආ විදිය….
● තමන් ප්‍රියමනාප කෙනා තව කෙනෙකුගේ ගුණයක් පවසන විට ‘ඒ කෙනා ඔහොම හිටියට මේ වගේ වැරදිත් තියෙනවා’ කියමින් මේ සිත ගුණමකු වූ අයුරු…
● තමන් ලත් දහම් දැනුමෙන් හෝ උසස්වීමකින් හෝ පිරිවර සම්පත්තියෙන් හෝ නොයෙකුත් හැකියාවන්ගෙන් හෝ රූප සම්පත්තියෙන් හෝ ඇති වූ උඬගුකම විසින් මේ සිත වසාගත් අයුරු…
● ප්‍රියමනාප ආහාරයක් ගන්නා විට මේ සිත ඒ රසයට ගිජු වූ තරම…
● සීතලට උණුසුම් යමක් ලැබුණු විට හෝ උණුසුමට සිසිල් යමක් ලැබුණු විට හෝ ඇඟ කිලිපොලා යන අන්දමේ පහසක් ලැබූ විට හෝ මේ සිත එයට ආසාවෙන් යට වූ අයුරු…

සැබෑවක් ම යි….! කලාතුරකින් කුසල් සිතක් ඇතිවුණත්, මෙකී නො කී නා නා අකුසල් සිතුවිලිවලින් මේ සිත පිරී තිබුණු බව නම් සැබෑවක් ම යි. අහෝ…! මේ ළාමක මනෝ විතර්කවලින් යුතු මොහොතක අප මරණයට පත් වූවොත්…. උරුමය නම් දුගතිය ම යි.

එහෙත්…. උතුම් මිනිස් දිවියක් ලබා, ගොයුම් බුදු සසුන හමු වී, කලණ මිතුරු සම්පත් ලද අප දුගතිගාමී වූවොත්, ලද උතුම් මිනිසත් බවේ අරුත කිම?

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස!

ඔබ වහන්සේගේ උතුම් දහම් පද අසන්නට ලැබුණු නිසා ම යි අප දැනගත්තේ, සිතේ යම් අසහනකාරී බවක් තිබේ නම් ඒ, අකුසලයක් බව.

ස්වාමීනී… සසරට ම සැකසිලා, නොමඟ යන මේ ජීවිතය, අකුසල් සිතුවිලිවලින් වැසුණහම සිත ගිනි ගන්නවා වගෙයි දැනෙන්නේ. ඒ අසහනය… පීඩාව… අප්‍රමාණයි. වචනයෙන් කියා ගත නො හැකි තරමේ මහා අපහසුවක් ම යි දැනෙන්නේ. තමන් කවුද.. තමන් දැන් ඉන්නේ කොහෙද… තමන් මේ කරන දෙය, කියන දෙය, සිතන දෙය හරි ද…. වැරදි ද… සියල්ල ම අමතක වෙනවා. අන්ධයෙක් වගේ.

“එහෙත්… ස්වාමීනී, මම සරණ ගිය මගේ බුදු සමිඳුන්ට මේ අසහනය නෑනෙ. මම යම් පීඩාවකින් පෙළෙනවා ද ඒ ස්වභාවය මගෙ බුදුසමිඳු සදහට ම දුරු කළානේ. සාදු! සාදු!! මොනතරම් අසිරියක් ද? මගේ බුදු සමිඳුන්ගේ හදවතේ පැන නැගී, බ්‍රහ්මස්වරයෙන් දේශනා කළේ මේ ළාමක අකුසල් දුරුකරන දහමක් නේ. අනේ සාදු! සාදු!! මටත් ඒ ධර්මය සරණ යන්න ලැබුණනෙ. මගේ බුදු සමිඳුන්ගේ ළය මඬළින් උපන් ඒ රහතන් වහන්සේලා නම් ඒකාන්තයෙන් ම සැප සේ වාසය කරන පිරිසක් ම යි. ‘සුඛිනෝ වත අරහන්තෝ.’ මාව මේ විදිහට පීඩාවට පත් කළ යම් අකුසලයක් ඇද්ද ඒ සියල්ල ම ඔබ වහන්සේගේ ඖරස පුත්‍ර වූ නිකෙලෙස් උතුමන් වහන්සේලා දුරු කළානේ. සාදු! සාදු!! ඒ ශ්‍රාවක සඟරුවන සරණ යන්න මටත් වාසනාව ලැබුණනෙ.

ස්වාමීනී, මේ අයුරින් ‘සරණ’ සිහිකරලා අකුසලයෙන් මිදෙන්න වෙර දරන කෙනා හරියට… ‘කෙලෙස් වැස්සට නො තෙමී සිටින්නට සරණ නැමති කුඩය ඉසලා ගන්නවා වගෙයි’ කියලා කියල දුන්නේ ඔබ වහන්සේ ම යි. කුඬේ ළඟ නැත්නම් වැස්සට තෙමී තෙතබරිත ව අපහසුවෙන් ඉන්නවා හැර කුමක් කරන්න ද?

ස්වාමීනී, දිරන ලද වැල්පට කැටකිරිල්ලිට මහා බන්ධනයක් ලෙසින් මේ ලෝකෙ යම්තාක් අකුසල් උපදවන, නීච, ළාමක, තුච්ඡ බැඳීම් යනු සසර සැරිසරන අප හට මහා බන්ධනයක් බවත්, යදම් සිඳලූ ඇතුන් මෙන් ඒ සියලු බන්ධනවලින් රහතන් වහන්සේලා මිදුණු බවත් පවසා ඒ මුනිවරුන් ගැන තතු හෙළි කළේ ඔබ වහන්සේ ම යි. අන් කිසිවකුත් නො වේ.

ස්වාමීනී, ප්‍රියමනාප රූප බල බලා, ප්‍රියමනාප ශබ්ද අස අසා, ප්‍රියමනාප සුවඳ, රස, පහස විඳිමින් ජීවිතය ගත කරනවා යනු, වණ මුඛයක් වැනි තුවාලයක් පුංචි ආස්වාදයක් පිණිස ගිනිකබලකින් තව තවා එය කසනවා වගේ දෙයක් බව පවසා ඒ තුවාලය සනීප කර ගැනීමට දහම් ඔසු ලබා දුන්නේ ඔබ වහන්සේ ම යි.

ස්වාමීනී, නීවරණයකට (ආසාවට හෝ තරහ සිතට හෝ නිදිමතට හෝ සිතේ විසිරීමට හෝ පසුතැවීමට හෝ සැකයට හෝ) යට වූ විට අන්ධයෙක් කරනවා (අන්ධකරණා). ජීවිතේ ඇත්ත නොපෙන්වා පිරිසිදු කල්පනා ශක්තිය ඇති කරන නුවණැස නැති කරනවා (අචක්ඛුකරණා). අඥානයෙක් බවට පත් කරනවා (අඤාණකරණා). ධර්මාවබෝධය කර සසරින් එතෙරට ගෙන යන හැකියාව නැති කරනවා (පඤ්ඤා නිරෝධියා). දුක ම උපදවන ස්වභාවය ඇති කර දුකෙන් නිදහස් වන ස්වභාවයෙන් ඈත් කරනවා (අනිබ්බාන සංවත්තනිකා). මෙලෙසින් නීවරණවල ආදීනව කියල දුන්නේ ඔබ වහන්සේ ම යි.
ස්වාමීනී, ළාමක සිතකින් ශ්‍රේෂ්ඨ වූ දෙයක් කරා යා නො හැකි බව පවසා වෙළෙන්දා බිය සහිත මාර්ගය අත්හරිනවා වගේ අකුසල් විතර්ක දුරු කරන්නට මඟ පෙන්වූයේ වෙන කිසිවෙකුත් නොව, ඔබ වහන්සේ ම යි.

ස්වාමීනී, “රූප දැකලා, ශබ්ද අහල, සුවඳ රස පහස විඳලා යම් කැමැත්තක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ මුළා වීමක් හෝ ගැටීමක් හෝ සිතේ උපදිනවා නම් එයින් සිත වළක්වන්ට ඕන, මේ මඟ නම් බිය සහිත ම යි, අතිශයින් ම බිය සහිත ම යි. කටු සහිතයි, නොමඟක් ම යි, නපුරු මඟක් ම යි, දුක් පැවතුම් සහිත ම යි, ඔය මඟ සේවනය කරන්නේ අසත්පුරුෂයන් විසිනුයි. ඔය මාර්ගය සත්පුරුෂයන් සේවනය කරන එකක් නො වෙයි. මෙය ඔබට සුදුසු දෙයක් නො වෙයි.” කියලා කෙලෙසුන්ගෙන් සිත වළක්වන අයුරු පවසා වදාළේ ඔබ වහන්සේ ම යි.

ස්වාමීනී “හටගන්නා වූ පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස කැමැත්ත උපදවන්න! වෑයම් කරන්න! වීරිය ආරම්භ කරන්න! සිත දැඩි කර ගන්න ! බලවත් ව වීරිය ගන්න!” ලෙසින් උත්සාහවත් වෙන්නට මඟ වදාළේ අන් කිසිවෙකුත් නො වේ, ඔබ වහන්සේ ම යි.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ මෙසේ නා නා වචනවලින් නා නා අර්ථවලින් ලොවෙහි පවතින කුසල්, අකුසල්, හොඳ, නරක, යහපත, අයහපත සේවනය කළ යුතු දේ, සේවනය නො කළ යුතු දේ මැනවින් දේශනා කරන ලද්දේ සිව් විසාරද ඤාණ තුළ පිහිටා සිටිමින් ම යි.

1. ස්වාමීනී, ඔබ වහන්සේ විසින් සම්මා සම්බුද්ධ යැයි පවසනවා. එහෙත් මේ මේ ධර්මයන් අවබෝධ කර නැතැයි මේ ලෝකයේ කිසි ම කෙනෙකුට කරුණු සහිතව කිසි ම අභියෝගයක් කළ නො හැක්කේ ම යි.
2. ස්වාමීනී. ඔබ වහන්සේ විසින් සියලු ආශ්‍රව ප්‍රහාණය වුණා යැයි පවසනවා. එහෙත් මේ මේ ආශ්‍රවයන් ක්‍ෂය නො කරන ලද්දේ යැයි කියා මේ ලෝකයේ කිසි ම කෙනෙකුට කරුණු සහිත ව කිසි ම අභියෝගයක් කළ නො හැක්කේ ම යි.
3. ස්වාමීනී, ඔබ වහන්සේ විසින් ධර්මාවබෝධ කරන කෙනෙකුට මේ දේවල් අනතුරුදායක යැයි කියා පවසනවා. එහෙත් මේ මේ දේවල් කළාට කිසි අනතුරක් නැතැයි කියා කිසි ම කෙනෙකුට කරුණු සහිතව කිසි ම අභියෝගයක් කළ නො හැක්කේ ම යි.
4. ස්වාමීනී, ඔබ වහන්සේ විසින් ධර්මය දේශනා කර තිබෙන්නේ දුකින් නිදහස් වීම අරමුණ කරගෙන යැයි පවසනවා. එහෙත් ඒ ධර්මය අනුගමනය කිරීමෙන් දුකින් නිදහස් වෙන්නට බැහැ කියා මේ ලෝකයේ කිසි ම කෙනෙකුට කරුණු සහිතව කිසි ම අභියෝගයක් කළ නො හැක්කේ ම යි.

මෙසේ විසාරද ඤාණ තුළ පිහිටා සිහනද පැතිරූ බුදු සමිඳුන් පිළිබඳ ව, ඒ උතුම් ශ්‍රී සද්ධර්මය පිළිබඳ ව, සසරින් එතෙරට වැඩි මහ රහත් පරපුර පිළිබඳ ව ඇති වූ පැහැදීම අකුසල් දුරුකොට කුසල් වඩන්නට ම උපකාර වේවා!

ඇසළ පුන් පොහෝ දිනක බරණැස ඉසිපතන මිගදායේදී දම් සිහනද පැතිරූ මගේ භාග්‍යවතුන් වහන්ස! මේ අසිරිමත් සිව් විසාරද ඤාණයන්ගෙන් අභිෂේක ලැබූ ඔබවහන්සේට අපගේ නමස්කාරය වේවා!!!

(මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවේ මෙහෙණින් වහන්සේනමක් විසින් සම්පාදිතයි.)