අප ගෙවන ජීවිත කාලය තුළ දී අපට නොයෙක් තීරණ ගැනීමට සිදු වෙනවා. විවිධ අවස්ථාවල දී ඊට අනුකූල ව ගන්නා තීරණත් විවිධාකාර යි. ඒ විදිහට ගන්නා ලද සමහර තීරණ ගැන පස්සේ කාලෙක පසුතැවෙන්නට සිද්ධ වෙන්නත් පුළුවනි. සමහර තීරණ පිළිබඳ ව තෘප්තිමත් ව සිටින්නටත් පුළුවනි. ‘‘අනේ මං එදා ඒ තීරණය ගත්තා නම් අද මට පසුතැවෙන්නට වෙන්නේ නෑ” කියලාත්, ‘‘මං එදා ගත්තු තීරණය නිසා මං අද විනාශ වුණා.” කියලාත් සමාජයේ විවිධ කතා බහ අතරේ ඔබට ඇසිලා ඇති.

ඇත්තෙන් ම මේ ජීවිතය තුළ විවිධ අවස්ථාවල දී අපට විවිධ තීරණ ගන්නට සිදු වෙනවා. විවිධ වයස් කාණ්ඩවල දී, පවුල තුළ, සමාජය තුළ, රැකියා අවස්ථාවල දී…. මේ සියලූ අවස්ථාවන් තුළ යම් යම් තීරණවලට එළඹෙන්න ඔබට සිදුවෙලා තිබෙනවා නේ ද? සිතා බලන්න. ඔබටත් මතකයට නැගෙනවා ඇති ඔබගේ අත්දැකීම්. විටෙක තීරණ ගැනීම සම්බන්ධයෙන් අභියෝගාත්මක නිමේෂයන්ට ඔබ මුහුණ දීලා ඇති. එවැනි අවස්ථාවන්හි ඔබ ගන්නා තීරණ මත ඔබේ අනාගතය, දෙමාපියන්, දු දරුවන්, දේපළ, සමාජ තත්ත්වය මෙකී නො කී බොහෝ දෑවල ඉරණම රැඳී තිබෙන්නටත් ඇති.

විටෙක සමහර ගැටලූ ජීවිතයට පැමිණියා ම ඒ ගැටලූ විසඳන්නේ කොහොම ද කියලා තීරණය කරගන්න බැරුව සමහර පුද්ගලයන් මත්පැනට පෙළඹෙනවා. එහෙමත් නැති නම් වෙනත් දුරාචාරයකට පෙළඹෙනවා. තවත් සමහර උදවිය තමන්ගේ වටිනා ජීවිතය බාල්කයට, ලණු පොටකට, වස කුප්පියකට, ගිනි සිළුවකට, කනේරු ඇටයකට ලංසු තියනවා.

ගන්නා ලද තීරණ නිසා සතුටු වන්නවුන් ද දුකට පත් වූවන් ද, දුක සැප දෙක ම විඳිමින් උපේක්ෂාවෙන් ජීවත් වන්නවුන් ද මේ මිනිස් සමාජයේ ඉන්නවා.

එකම එක තීරණයක් ගැනීමට පැය ගණනක් මිඩංගු කරන්නට ද විටෙක සිදු වෙනවා. දින ගණනක් කල්පනා කරනවා. සිත දෙගිඩියාවෙන් පෙළෙනවා.

ඇත්තෙන් ම අප තීරණයක් ගැනීමට පෙර කල්පනා කළ යුත්තේ වත්මන් තත්ත්වය පිළිබඳ පමණක් ම ද? නැත්තම් මේ ලබා සිටින ජීවිතය පිළිබඳ ව පමණක් ම ද? අප විසින් සිදු කරන ක‍්‍රියාවන්ට මුල්වන්නා වූ තීරණයන් අපගේ මෙලොව ජීවිතයටත්, පරලොව ජීවිතයටත් දෙලොවට ම බලපාන බව ඔබ දැන සිටියේ ද?

සියලූ ම ලෝකයන් අවබෝධ කොට වදාළ ලෝකනාථ වූ ලෝකවිදූ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සුගති ලෝක පිළිබඳ වත්, දුගති ලෝක පිළිබඳ වත්, ඒ ඒ ලෝකයන්හි උපත් ලැබීමට හේතුවන කාරණාත්, සියලූ ලෝකයන්හි උපත ලැබීමට හේතු වන කාරණාත්, සියලූ ලෝකයන්ගෙන් මිදී අමා වන් නිවන සාක්ෂාත් කරනා අයුරුත් දේශනා කොට වදාළේ සසරගත සත්වයන් පිළිබඳ උපන් මහා කරුණාවෙන්. ඒ මහා කරුණාවෙහි බල මහිමය කොතෙක් ද යත්, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී වසර දෙදහස් පන්සියපනස් හයක් ගත වූව ද වර්තමානයේ ද ඒ මහා කරුණාව ලෝ සතුන්ගේ රැකවරණය උදෙසා පවතිනවා. උතුම් බුද්ධානුභාවයෙන් ලෝ සත නිවාලනවා, සනහාලනවා.

අප භාග්‍යවතුන් වහන්සේ පින්වත් රාහුල ස්වාමීන් වහන්සේ හට දේශනා කොට වදාළ අම්බලට්ඨිකරාහුලෝවාද සුත‍්‍රයෙහි සිත, කය, වචනය යන තිදොරින් යමක් සිතීමට, කිරීමට, කීමට පෙර සිදු කළ යුතු, තීරණය කළ යුතු වටිනා දෙයක් පිළිබඳ ව වූ උතුම් අවවාද සඳහන් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මෙම සුත‍්‍ර දේශනාවෙහි කණ්ණාඩියක් උපමා කොටගෙන යි ධර්ම කාරණා වදාරන්නේ.

‘‘පින්වත් රාහුල කණ්ණාඩියෙහි ඇති ප‍්‍රයෝජන මොනව ද?”
‘‘ස්වාමීනි, කණ්ණාඩියෙන් බලමින් තමාගේ වැරදි අඩුපාඩු නිවැරදි කර ගැනීම යි”

ඒ අයුරින් මෙම සුත‍්‍ර දේශනාවෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අවවාදයන් මෙසේ යි.

කයින් යම් ක‍්‍රියාවක් කරන්නට පෙර කරන්නට යන ක‍්‍රියාව, තමා හට අහිත පිණිස පවතින්නේ ද? අන් අය හට අහිත පිණිස පවතින්නේ ද? තමාටත් අන් අයටත් යන දෙපිරිසට ම අහිත පිණිස පවතින්නේ ද? යන්න විමසා බලා අහිත පිණිස, අයහපත පවතින්නේ නම් එම ක‍්‍රියාව නො කළ යුතු යි. තමාටත්, අන් අයටත්, තමන්ටත් – අන් අයටත් යන දෙපිරිසටමත් යහපත පිණිස පවතින්නේ නම් එම ක‍්‍රියාව සිදු කළ යුතු යි.

කයින් ක‍්‍රියාවක් කරමින් සිටින විට ද එම ක‍්‍රියාව පිළිබඳ සිතන්න. මේ කරමින් සිටින ක‍්‍රියාව තමා හට අහිත පිණිස පවතින්නේ ද? අන් අයට අහිත පිණිස පවතින්නේ ද? තමාටත් අන් අයටත් යන දෙපිරිසට ම අයහපත පිණිස පවතින්නේ ද? යන්න විමසා අයහපත පිණිස පවතින්නේ නම් එය සිදු නො කළ යුතු යි.

කරමින් සිටින ක‍්‍රියාව තමාටත්, අනුන්ටත්, දෙපිරිසටමත් යහපත පිණිස පවතින්නේ නම් එය සිදු කළ යුතු යි. එමෙන් ම යම් ක‍්‍රියාවක් කිරීමෙන් පසුව ද තම සිදු කළ ක‍්‍රියාව තමාට අහිත පිණිස පවතින්නේ ද? අන් අයට අහිත පිණිස පවතින්නේ ද? තමාටත් – අන් අයටත් යන දෙපිරිසට ම අහිත පිණිස පවතින්නේ ද යන්න විමසා බලා අහිත පිණිස පවතී නම් තමා අතින් අකටයුත්තක් සිදු වී ඇති බව වටහා ගෙන සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා, කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේලා හමුවට ගොස් වීවෘත වී තමා අතින් සිදු වූ වැරැද්ද පවසා මින් මතු එසේ නො කරන බවට ආයතන සංවරයට පත්වෙනවා. මෙසේ සංවර වීමෙන් වසන තැනැත්තා තමාටත්, අනුන්ටත්, දෙපිරිසටමත් අයහපත් දෙයක් තමා අතින් සිදු නො වුණ බව සිහි කරමින් උදේ සවස ප‍්‍රීති ප‍්‍රමෝදයෙන් කල් ගෙවනවා.

ඒ අයුරින් ම වචනයෙන් යමක් කීමට පෙර මා කීමට යන දෙය තමාට අහිත පිණිස පවතින්නේ ද? අන් අයට අහිත පිණිස පවතින්නේ ද? තමාටත් අන් යටත් යන දෙපිරිසට ම අයහපත පිණිස පවතින්නේ ද? යන්න විමසා බලා අයහපත පිණිස, අහිත පිණිස පවතින්නේ නම් එය නො කිය යුතු යි.

කීමට යන දෙය දෙය තමාටත්, අනුන්ටත්, දෙපිරිසටමත් යහපත පිණිස, හිත සුව පිණිස පවතින්නේ නම් එය කීම යහපත්. යමක් කතා කරමින් සිටින විට ද මේ කතා කරමින් සිටින දෙය තමාට අහිත පිණිස පවතින්නේ ද? අන් අයට අහිත පිණිස පවතින්නේ ද? තමාටත් අන් අයටත් යන දෙපිරිසට ම අයහපත පිණිස පවතින්නේ ද? යන්න විමසා බලා අයහපත පිණිස පවතින්නේ නම් එම කතා බහ තව දුරටත් නො කළ යුතු යි. තමාටත් අනුන්ටත් දෙපිරිසට ම යහපත පිණිස පවතින්නේ නම් එය යහපත් කතාබහක්.

යම් කරුණක් පිළිබඳ කතා බහ කොට අවසන් වූ පසුව ද තමා කියූ දෙය, තමා හට අහිත පිණිස පවතින්නේ ද? අනුන් හට අහිත පිණිස පවතින්නේ ද? තමාටත් අනුන්ටත් යන දෙපිරිසට ම අහිත පිණිස පවතින්නේ ද? නුවණින් කල්පනා කොට ඒ කී දෙය අහිත පිණිස, අයහපත පිණිස පවතින දෙයක් නම් සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා හමුවට පැමිණ විවෘත වී සංවර භාවයට පත් විය යුතු යි.

වචනයෙන් සිදුවන අකුසල් මොනවා ද? බොරු කීම, කේලාම් කීම, හිස් වචන කතා කිරීම, පරුෂ වචන කීම ආදිය යි. කෙනෙක් තව අයෙක් කරදරයකින් හෝ වෙනයම් දෙයකින් හෝ බේරා ගැනීමට යයි සිතා බොරුවක් කියනවා. එවිට ඒ කෙනා හිතන්න පුළුවන් ‘‘මා යහපත් චේතනාවකින් නේ අනුන් හට බොරුවක් කීවේ. ඒ නිසා එතන දී අකුසලයක් වුණේ නැත”යි කියා.

ඇත්තෙන්ම එය එසේ නො වෙයි. බොරු කීම වචනයෙන් සිදුවන අකුසලයක්. එය ඒ අවස්ථාවේ දී අනුන් හට යහපත පිණිස පවතිනවා වන්නට පුළුවන්. නමුත් තමා හට අහිත පිණිස පවතින නිසා එහි දී අකුසලයක්, අහිත පිණිස පවතින කතාවක් සිදු වී තිබෙනවා. එබැවින් තමා අතින් වූ වරද දැක නිවැරදි කර ගත යුතු යි. වචනයෙන් සිදුවන අයහපත් දෑ නො කියා සිටියේ නම් ඒ පිළිබඳ සිහි කරමින් උදේ හවා ප‍්‍රීතියෙන් වාසය කළ හැකි යි.

සිතින් යමක් සිතන විට ද මා මේ සිතමින් සිටින දෙය තමා හට අහිත පිණිස පවතින්නේ ද? අනුන් හට අහිත පිණිස පවතින්නේ ද? තමාටත් අනුන්ටත් යන දෙපිරිසට ම අහිත පිණිස පවතින්නේ ද? යන්න විමසා බලා අහිත පිණිස පවතින දේ නො සිතිය යුතු යි. සිතමින් සිටිනා විට ඒ සිතුවිලි තමාටත් අනුන්ටත් දෙපිරිසටමත් යහපත පිණිස පවතී නම් එය සිතීම යහපත්.

ඒ වගේ ම යම් කරුණක් සිතින් සිතනවා. සිතලා ඉවර වුණා ම ඒ සිතූ කරුණ තමාට අහිත පිණිස පවතින්නේ ද? අනුන්ට අහිත පිණිස පවතින්නේ ද? තමාටත් අනුන්ටත් යන දෙපිරිසට ම අහිත පිණිස පවතින්නේ ද? යන්න විමසා අහිත පිණිස පවතින්නේ නම් තමා විසින් ම ප‍්‍රත්‍යවේක්ෂා කරමින් එවැනි අකුසල් සිතුවිලි ප‍්‍රහාණය කිරීමට වෙර වැඩිය යුතු යි. යහපත් වූ සිතුවිලි සිත තුළ නිරන්තරයෙන් ජනිත වන්නේ නම් කොතරම් යහපතක් ද ?

මේ ධර්ම කාරණා දැනගත්තට පස්සේ අපට ලොකු ලාභයක් සැලසෙනවා. දැන් කරන්න ඕන දේවල්, කියන්න ඕන දේවල්, හිතන්න ඕන දේවල් මොනවා ද කියලා තීරණය කරගන්න බැරිව අහස උසට කල්පනා කරන්න ඕන නෑ. ඒ සියල්ල තමාටත්, අනුන්ටත්, තමාටත් – අනුන්ටත් යන දෙපිරිසටමත් යහපත පිණිස පවතිනවා නම් ක‍්‍රියාත්මක කරන්නයි ඕන. අයහපත පිණිස පවතිනවා නම් ඒ දේ නො කර ඉන්නට පුළුවන් සංයමයක් තමා තුළ ගොඩනගා ගන්නටයි ඕන. ඒ විදිහට කටයුතු කළොත් නම් මේ ජීවිතයේ දී විතරක් නෙමෙයි මරණින් මතුවටත් සැප විපාක විඳින්න පුළුවන් විදිහේ නිවැරදි තීරණ ගත්තා වෙනවා. ඉතින් අපි සියලූ දෙනා ම ධර්මස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක දරුවන් බවට පත් වීමට අදිටන් කරගෙන ධර්මයට අනුව ම ජීවිත සකස් කර ගැනීමට විරිය වඩමු.
(ඇසුර : අම්බලට්ඨික රාහුලෝවාද සුත‍්‍රය – ම.නි.)

සටහන
උත්පලා නඳුනි ලියනගේ