දෙව් මිනිසුන්ගේ උත්තම මුනිඳු සරණ යන්නේ…

දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ නව අරහාදී සම්බුදු ගුණයන්ගෙන් ද දසබල ඤාණයන්ගෙන් ද සිව් විශාරද ඤාණයන්ගෙන් ද සමන්විත වූ සේක. අනන්ත බුද්ධ ඤාණයන්ගෙන් යුතු වූ භාග්‍යවතුන් වහන්සේ සතු, කිසිදු ශ්‍රාවකයෙකුට සාධාරණ නොවූ ෂඞ් අසාධාරණ ඤාණ නම් සුවිශේෂී සම්බුදු ගුණ සමුදාය ගැනයි මෙම ලිපියෙන් අපි සිත පහදවා ගන්නේ.

ඉන්ද්‍රිය පරෝපරියත්ති ඤාණය

ඉන්ද්‍රිය පරෝපරියත්ති ඤාණය භාග්‍යවතුන් වහන්සේ තුළ පැවති ඉතා ම සුවිශේෂී ඤාණයකි. එහිදී භාග්‍යවතුන් වහන්සේ දෙවියන්, බඹුන්, මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි දමනය කළ යුතු පුද්ගලයන්ගේ ධර්මාවබෝධය කරා යාමේ කුසලතාවය මැනවින් දකිනා සේක.

එනම් තථාගතයන් වහන්සේ දෙව් මිනිසුන් තුළ කෙලෙස් අඩු සත්වයනුත්, කෙලෙස් බහුල සත්වයනුත්, තියුණු ඉඳුරන් පිහිටා ඇති සත්වයනුත්, මෘදු ඉඳුරන් පිහිටා ඇති සත්වයනුත් මනාකොට බුදු නුවණින් දකිනා සේක. එමෙන් ම සුන්දර වූ ආකාර ඇති සත්වයනුත්, අසුන්දර වූ ආකාර ඇති සත්වයනුත්, පහසුවෙන් අවබෝධ කළ හැකි සත්වයනුත්, පහසුවෙන් අවබෝධ කළ නොහැකි සත්වයනුත් ඉතා මැනවින් බුදු නුවණින් දකිනා සේක. එසේ ම භාග්‍යවතුන් වහන්සේ ඉන්ද්‍රිය පරෝපරියත්ති ඤාණයෙන් යුතුව සත්වයන් දෙස බලද්දී ඇතැම් සත්වයන් පරලොව කෙරෙහිත් අකුසල් කෙරෙහිත් භය දකිමින් වාසය කරන බවත්, ඇතැම් සත්වයන් පරලොව කෙරෙහිත් අකුසල් කෙරෙහිත් භය රහිත ව වාසය කරන බවත් දකිනා සේක.

මෙහිදී භාග්‍යවතුන් වහන්සේ අප්පරජක්ඛ (කෙලෙස් අඩු) සත්වයන් ලෙස දකින්නේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පංච ඉන්ද්‍රියයන් මැනවින් පිහිටා ඇති සත්වයන් ය. එහිදී භාග්‍යවතුන් වහන්සේ ශ්‍රද්ධා රහිත වූ, කුසීත වූ, සිහි මුළා වූ, අසමාහිත සිත් ඇති, දුෂ්ප්‍රාඥ පුද්ගලයන් මහාරජක්ඛ (මහත් වූ කෙලෙස් ඇති) සත්වයන් වශයෙන් බුදු ඇසින් දකිනා සේක.

ඒ අයුරින් ම ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පංච ඉන්ද්‍රියයන්ගෙන් යුක්ත පුද්ගලයා තියුණු ඉන්ද්‍රියයන් ඇත්තෙක් වශයෙනුත්, එම ඉන්ද්‍රියයන් යන්තමින් පිහිටා ඇති පුද්ගලයා හෝ එම පංච ඉන්ද්‍රියයන්ගෙන් තොර පුද්ගලයා මෘදු වූ ඉඳුරන් ඇති පුද්ගලයා ලෙසත් අවබෝධ කර ගනී. සුන්දර ආකාර ඇති පුද්ගලයා ලෙසත්, පහසුවෙන් අවබෝධ කළ හැකි පුද්ගලයා ලෙසත්, එමෙන් ම පරලොව හා අකුසල් පිළිබඳ භය ඇති පුද්ගලයා ලෙසත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ, ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පංච ඉන්ද්‍රියයන්ගෙන් යුතු පුද්ගලයා ය. එම ඉන්ද්‍රියයන් යාන්තමින් පිහිටා ඇති පුද්ගලයා හෝ එම ඉන්ද්‍රියයන්ගෙන් තොර පුද්ගලයා අසුන්දර වූ ආකාර ඇති පුද්ගලයා වශයෙනුත්, පහසුවෙන් අවබෝධ කළ නො හැකි පුද්ගලයා වශයෙනුත්, අකුසල් හා පරලොව පිළිබඳ භය රහිත පුද්ගලයා වශයෙනුත්, භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ අවබෝධ ඤාණයෙන් මැනැවින් දකී.

භාග්‍යවතුන් වහන්සේගේ මේ ඉන්ද්‍රිය පරෝපරියත්ති ඤාණය ගැන උන්වහන්සේ සොඳුරු උපමාවකින් මෙසේ වදාළ සේක. එනම් උන්වහන්සේ බුදු නුවණින් ලෝක සත්වයන් දෙස බලද්දී ලෝක සත්වයන් දුටුවේ නෙළුම් පිරුණු පොකුණක් ලෙස ය. එම පොකුණේ සමහර නෙළුම් පොකුණේ ම හටගෙන, පොකුණ තුළ ම වැඩී, පොකුණ තුළ ම මෝරා ජලයෙන් උඩට මතුව තිබේ. එසේ මෝරා ගිය නෙළුම් හිරුරැස් පහස ලද විගස ම විකසිත වේ. භාග්‍යවතුන් වහන්සේ බුදු නුවණින් බලද්දී මෝරා ගිය තියුණු ඉඳුරන්ගෙන් යුත් පුද්ගලයා දකින්නේ මේ අයුරිනි. හිරු රැස් පහස ලද විගස ම විකසිත වන්නා වූ පියුමක් සේ ඒ ශ්‍රාවකයා සැණෙකින් අවබෝධය කරා යයි. භාග්‍යවතුන් වහන්සේ ඔහුට දහම් දෙසන්නේ මාතෘකා වශයෙන් පමණි. ඔහුගේ ප්‍රඥාව සැණෙකින් පිබිදේ. (යම් සේ බාහිර දාරුචීරිය මෙනි) භාග්‍යවතුන් වහන්සේ ඔහුව හඳුන්වන්නේ, උග්ඝටිතඤ්ඤු පූද්ගලයා වශයෙනි.

එම නෙළුම් පොකුණේ ම සමහර නෙළුම් ජලය තුළ වැඩී, ජලය තුළ තරමක් මෝරා, ජලයෙන් උඩට මතු නො වී ජලය තුළ ම තිබේ. හිරු උදාවන විට එය වහා විකසිත නොවේ. මක් නිසා ද යත්; එය පිරිපුන් ලෙස මෝරා නැති බැවිනි. ඒ අයුරින් භාග්‍යවතුන් වහන්සේ, ඉන්ද්‍රිය පරෝපරියත්ති ඤාණයෙන් සත්වයන් දෙස බලද්දී තරමක් වැඩුණු ශ්‍රද්ධාදී ඉඳුරන් ඇති පුද්ගලයින් දකී. හේ මාතෘකා වශයෙන් ධර්මය දේශනා කරන කළ අවබෝධය කරා නොයයි. භාගවතුන් වහන්සේ ඔහුට මාතෘකා වශයෙනුත් විස්තර විභාග වශයෙනුත් ධර්මය දේශනා කරන සේක. එවිට ඒ ශ්‍රාවකයා මාර්ග ඵල අවබෝධය කරා යයි. (යම් සේ පුක්කුසාති කුලපුත්‍රයා මෙනි) භාග්‍යවතුන් වහන්සේ ඒ ශ්‍රාවකයා හඳුන්වන්නේ, විපඤ්චිතඤ්ඤූ පුද්ගලයා වශයෙනි.

තුන්වනුව භාග්‍යවතුන් වහන්සේ පොකුණේ ම ජලය යට යාන්තමින් මෝරාගෙන එන නෙළුම් පොහොට්ටුවක් ලෙස නෙය්‍ය පුද්ගලයා ව දකී. භාග්‍යවතුන් වහන්සේ ඔහුට මාතෘකා වශයෙන් දහම් දෙසන සේක. විස්තර විභාග වශයෙන් ද පවසන සේක. ඔහු තවදුරටත් ශාස්තෘන් වහන්සේ හෝ නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා හෝ ඇසුරු කළ යුත්තේ ය. යළි යළිත් ධර්මය ශ්‍රවණය කළ යුත්තේ ය. හැදෑරිය යුත්තේ ය. විමසා දත යුත්තේ ය. සමථ විදර්ශනා වැඩිය යුත්තේ ය. ඔහු සෙමෙන් සෙමෙන් ධර්මාවබෝධය කරා ගමන් කරයි. භාග්‍යවතුන් වහන්සේ කල වැඩ සිටි සෝණ ස්වාමීන් වහන්සේ, සප්පදාස තෙරුන් වහන්සේ වැනි බොහෝ ශ්‍රාවකයෝ මේ ගණයට අයත් වූහ.

සිව්වැනි ව භාග්‍යවතුන් වහන්සේ, පොකුණ තුළ තිබෙන රෝග හටගත් නෙළුම් පොහොට්ටු පරිද්දෙන්, පදපරම පුද්ගලයා දක්නා සේක. භාග්‍යවතුන් වහන්සේ ඔහුට ද දහම් දෙසන සේක. ඔහුට මේ ජීවිතය තුළදී මගඵල ලැබීමේ වාසනාව නැත. ඔහුගේ ධර්මය ප්‍රගුණ කිරීම මතු ජීවිතයකදී අවබෝධය පිණිස උපකාරී වේ. යම් සේ සකුළුදායි පිරිවැජියා පරිද්දෙනි. (සාරත්ථදීපනී විනය ටීකාව ඇසුරෙනි)

ආසයානුසය ඤාණය

බුදු ඇසින් ලොව බලා වදාරන භාග්‍යවතුන් වහන්සේ ඉන්ද්‍රිය පරෝපරියත්ති ඤාණයෙන් සත්වයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් පිහිටා ඇති අයුරු දකිනා අතර සත්වයන් තුළ කෙලෙස් ස්වභාවයන් ක්‍රියාත්මක වන ආකාරය දැනගන්නේ, ආසයානුසය ඤාණයෙනි. බුදු ඇස යනුවෙන් හඳුන්වන්නේ, භාග්‍යවතුන් වහන්සේගේ මේ ඤාණ දෙකයි. ආසයානුසය ඤාණයෙන් සත්වයන් දෙස බලන භාග්‍යවතුන් වහන්සේ සමහර සත්වයන් ‘ශාස්වත දෘෂ්ටිය’ තුළ සිර වී සිටින අයුරුත්, ඇතැම් සත්වයන් ‘උච්ඡේද දෘෂ්ටිය’ ඇසුරු කරගෙන සිටින අයුරුත් මැනවින් දකී. එමෙන් ම මේ පුද්ගලයා කාමයන් සේවනය කරමින්, කාමයට ම ගරු කරමින්, කාමය ඇසුරු කරගෙන, කාමය සෙවීමේ අදහසින් යුක්තව සිටින්නෙකි යනුවෙන් දකී. කාමය සේවනය කරන තවත් සමහර පුද්ගලයන් නෙක්ඛම්මයට ගරු කරමින්, නෙක්ඛම්ම අදහස් ඇතුව, නෙක්ඛම්මයට බර වූ සිතින් යුක්ත ව සිටිනා අයුරුත් දකී. එමෙන් ම තවත් සමහර පුද්ගලයින් නෙක්ඛම්මය සේවනය කරමින්, නෙක්ඛම්මයට ම ගරු කරමින්, කාමයන්ගෙන් නික්මීමේ අදහස් ඇතුව, නෙක්ඛම්මය ඇසුරු කොට වාසය කරන බවත්, නෙක්ඛම්මය සේවනය කරන තවත් සමහර පුද්ගලයන් කාමයට ගරු කරමින්, කාමාසා ඇතිව, කාමයට බර වූ අදහස් ඇතිව සිටිනා අයුරුත් භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගන්නේ තමන් වහන්සේ තුළ පිහිටි කිසිවෙකුට සාධාරණ නො වූ ආසයානුසය ඤාණයෙනි.

මේ ආකාරයෙන් ම ‘ව්‍යාපාදය සේවනය කරමින්, ව්‍යාපාදයට ගරු කරන ව්‍යාපාද අදහස් ඇතුව සිටින සත්වයන් පිළිබඳවත්, ව්‍යාපාදය සේවනය කරන නමුත් අව්‍යාපාදයට ගරු කරන, අව්‍යාපාද අදහස් ඇති, අව්‍යාපාදයට බර වුණු පුද්ගලයන් පිළිබඳවත් භාග්‍යවතුන් වහන්සේගේ විස්මයජනක වූ ආසයානුසය ඤාණයට හසු වේ.

බුදුරජාණන් වහන්සේ තවත් සමහර පුද්ගලයන් ගැන මේ අයුරින් දකී. එනම් මේ පුද්ගලයා අව්‍යාපාදය ම (මෛත්‍රිය) සේවනය කරමින්, අව්‍යාපාදයට ම ගරු කරමින්, අව්‍යාපාදය ඇසුරු කරමින්, අව්‍යාපාද අදහස් ඇතුව වාසය කරන බවයි. නමුත් අව්‍යාපාදය පුරුදු කරන සමහර පුද්ගලයන් ව්‍යාපාදයට ගරු කරන සිතින් යුතුව, ව්‍යාපාදයට බර වූ සිතින් යුතුව, ව්‍යාපාද අදහස් ඇතුව සිටිනා බවත් අවබෝධයෙන් ම දකී.

එසේ ම සමහර සත්වයන් ථීනමිද්ධය තුළ යෙදී ථීනමිද්ධයට බරවූ සිතින් යුතුව වාසය කරන අයුරුත්, තවත් සමහර සත්වයන් ථීනමිද්ධ රහිත වූ ආලෝක සඤ්ඤාවට නැඹුරු වූ සිතින් වාසය කරන අයුරුත් භාග්‍යවතුන් වහන්සේගේ ආසයානුසය ඤාණයට ඉතා හොඳින් ප්‍රකට වේ. මේ අයුරින් දක්වන ලද සියල්ල ම සත්වයන් පිළිබඳ වූ ‘ආසය’ දක්නා නුවණ යි.

තව ද ලෝක සත්වයන්ගේ චිත්ත සන්තාන තුළ ධර්මාවබෝධයට බාධක වන්නා වූ අනුසය සතක් ඇති බව භාග්‍යවතුන් වහන්සේ සම්බුදු නුවණින් අවබෝධ කොට වදාළ සේක. එනම් කාමරාගානුසය, පටිඝානුසය, මානානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය යන සත යි. දෙව් මිනිසුන්ට හිතසුව සලසනු කැමති අපගේ ශාස්තෘන් වහන්සේ බුදු නුවණින් ලොව දෙස බලද්දී සත්වයන්ගේ සිත් සතන් තුළ මේ අනුසය ධර්මයන් ක්‍රියාත්මක වන අයුරුත් ඉතා හොඳින් දකී. එමෙන් ම භාග්‍යවතුන් වහන්සේ සත්වයන් දෙස බලද්දී, ඒ ඒ පුද්ගලයන් පිළිබඳව මේ පුද්ගලයා රාග චරිත ඇත්තෙකි’ යි යනුවෙනුත්, මේ පුද්ගලයා ද්වේෂ චරිතයෙකි’ යි යනුවෙනුත්, මේ පුද්ගලයා මෝහ චරිතයෙකි’ යි යනුවෙනුත්, මේ පුද්ගලයා විතර්ක චරිත ඇත්තෙකි’ යි යනුවෙනුත්, මේ පුද්ගලයා සද්ධා චරිත ඇත්තෙකි’ යි යනුවෙනුත්, මේ පුද්ගලයා ඤාණ චරිත ඇත්තෙකි’ යි යනුවෙනුත් චරිත ස්වභාව වශයෙන් සුවිශේෂී කොට හඳුනාගනී. එහිදී භාග්‍යවතුන් වහන්සේ රාග චරිත ඇති පුද්ගලයාට අසුභ කතා වදාරන සේක. ද්වේෂ චරිතයට මෛත්‍රී භාවනාව වදාරන සේක. මෝහ චරිතයාව නැවත නැවත ධර්මය ඉගෙනීමෙහිත්, විමසා දැනගැනීමෙහිත්, ධර්ම ශ්‍රවණයෙහිත්, ධර්ම සාකච්ඡාවෙහිත්, කලණමිතුරු ඇසුරෙහිත් සමාදන් කරවන සේක.

එමෙන් ම විතර්ක චරිතයට වදාරන්නේ ආනාපානසති භාවනාව යි. ශ්‍රද්ධා චරිත පුද්ගලයාට ඒ ශ්‍රද්ධාව දියුණු කිරීම පිණිස උපකාරී වන්නා වූ ප්‍රසාදනීය නිමිති වදාරන සේක. එනම් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ආදී වශයෙනි. ඤාණ චරිත පුද්ගලයාට භාග්‍යවතුන් වහන්සේ සෘජුව ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයෙන් යුතු විදර්ශනා භාවනාව වදාරන සේක. සත්වයන් දමනය කිරීමෙහි අසහාය ශාස්තෘ වූ පුරිසදම්මසාරථී වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ විස්මිත වූ ඉන්ද්‍රිය පරෝපරියත්ති ඤාණයෙනුත්, ආසයානුසය ඤාණයෙනුත් යුතුව ලෝක සත්වයන් දෙස බලා දහම් දෙසමින් අසිරිමත් අයුරින් දුකට පත් සත්වයන් සසරින් එතෙරට පමුණුවන සේක.

මහා කරුණා සමාපත්ති ඤාණය

තුන්ලොවෙහි අසමසම ප්‍රඥාවෙන් හෙබි අපගේ භාග්‍යවතුන් වහන්සේ අනන්ත වූ මහා කරුණාවෙන් ද සමන්විත වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ සුවිශේෂී වූ දින චර්යාවෙහි ප්‍රධාන අංගයක් වූයේ මහා කරුණාවට සමවැද දුකට පත් ලෝසතුන් දෙස බැලීම යි. එය ‘මහා කරුණා සමාපත්ති ඤාණය’ යනුවෙන් හැඳින්වේ. නොයෙක් ආකාරයෙන් ලෝසතුන් දෙස බලන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ පිවිතුරු චිත්ත සන්තානයෙහි මහා කරුණාව බැසගනී. අනවරාග්‍ර සසරෙහි ඉපදෙමින් මැරෙමින් පැමිණෙන සත්වයන් දෙස බුදු නුවණින් බලන භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි ‘අහෝ මේ සත්වයෝ රාගාදී ගිනිවලින් ගිනිගෙන දැවෙන්නෝ ය’ යනුවෙන් සත්වයන් කෙරෙහි මහා කරුණාව බැසගනී. කාමයන් සෙවීම ආදී නොයෙක් කටයුතු නිසා උත්සාහයෙන් වෙහෙසට පත් වී සිටින සත්වයන් දකින භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි ‘අහෝ මේ සත්වයෝ මහත් වූ වෙහෙසකට පැමිණ සිටින්නාහු ය’ යි මහා කරුණාව උපදී.

සංසාරගත සත්වයා ඉපදුණු මොහොතේ පටන් ජරා මරණ කරා ම නික්ම ගිය ජීවිත ඇති බව දක්නා භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි ඒ සත්වයන් කෙරෙහි අපමණ කරුණාවක් ඇති වේ. අවිද්‍යාවෙන් වැසුණු මේ සත්වයෝ නිවැරදි මග යයි සිතා නොමඟට ම බැසගෙන දුකින් දුකට ම පත්වන අයුරු දකිනා භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි මහා කරුණාව ගලා යයි. එමෙන් ම භාග්‍යවතුන් වහන්සේ ලෝසතුන් දෙස බලද්දී ‘අනේ මේ සත්වයෝ ජරා මරණ විසින් ඇදගෙන යන්නා වූ අස්ථිර වූ ජීවිත ඇතිව එය ඉක්මවාගත නො හැකිව සිටින්නේ’ යැයි දකිද්දී භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි මහා කරුණාව හටගනී.

එසේ ම ලෝක සත්වයා කෙලෙසුන්ට වසඟ ව, පිළිසරණ රහිත ව, අනාරක්ෂිත ව දුක් විඳින අයුරු බුදු නෙතින් දකිද්දී, උන්වහන්සේගේ සිතෙහි මහා කරුණාව හටගනී. එමෙන් ම මේ ලෝක සත්වයා තමාගේ යයි අල්ලා ගන්නා සියල්ල ම අත්හැරදා යාමට සිදුවන ධර්මතාවයෙන් යුතුව වාසය කරන අයුරු දකින භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි, ඒ සත්වයන් කෙරෙහි මහා කරුණාව ජනිත වේ.

අවිද්‍යාවෙන් වැසුනු ජීවිත ඇති ලෝ සතුන් තෘෂ්ණාවෙන් බැඳී අපරිපූර්ණ වූ ආසාවන් ඇතිව, තෘප්තිමත් නො වී ම මරණය කරා යන අයුරු දක්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි මහත් වූ අනුකම්පාවක්, කරුණාවක් හටගනී.

මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ සෑම දිනක ම හිමිදිරි පාන්දර මහා කරුණා සමාපත්තියට සමවැදී ලොව බලා වදාරද්දී, අවිද්‍යා අන්ධකාරයෙන් වැසුණු – තෘෂ්ණාවෙන් බැඳුණු අප්‍රමාණ ලෝක සත්ව ප්‍රජාවක් ජාති ජරා මරණ ඉක්මවාගත නොහැකිව ශෝක, පරිදේව දුක් දොම්නස් උපායාසවලින් වෙලී නානාප්‍රකාර දෘෂ්ටීන්ට හසුව රාග ද්වේෂ මෝහ ඊර්ෂ්‍යා මාන ආදී ක්ලේෂ වසඟ ව, සතර අපා දුක ඉක්මවා ගත නොහැකිව දුකින් දුකට ම පත්ව සිටිනා අයුරු දකිද්දී භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි අසමසම වූ මහා කරුණාව හටගනී.

එකල්හී උන්වහන්සේගේ සිතෙහි මෙවැනි සිතිවිල්ලක් ජනිත වේ.

“අහඤ්චම්හි තිණ්ණෝ ලෝකෝ ච අතිණ්ණෝ”

“මම වනාහී සසර දුක තරණය කළෙමි. නමුත් මේ ලෝක සත්වයා සසර සයුර තරණය නො කළාහු ය.”

“අහඤ්චම්හි මුත්තෝ ලෝකෝ ච අමුත්තෝ”

“මම වනාහී සසර දුකෙන් මිදුණෙමි. නමුත් මේ ලෝක සත්වයා සසර දුකින් නො මිදුණෝ ය.”

“අහඤ්චම්හි දන්තෝ ලෝකෝ ච අදන්තෝ”

“මම වනාහී දමනයට පත් වූවෙමි. නමුත් මේ ලෝක සත්වයා නො දැමුණාහ.”

“අහඤ්චම්හි සන්තෝ ලෝකෝ ච අසන්තෝ”

“මම වනාහී ශාන්තභාවයට පත් වුණෙමි. නමුත් මේ ලෝක සත්වයා නො සන්සිඳුණාහු ය.”

“අහඤ්චම්හි පරිනිබ්බුතෝ ලෝකෝ ච අපරිනිබ්බුතෝ”

“මම වනාහී (කෙලෙසුන්ගෙන්) පිරිනිවනට පත් වුණෙමි. නමුත් මේ ලෝක සත්වයා නොපිරිනිවුණාහු ය.”

මෙසේ දක්නා භාග්‍යවතුන් වහන්සේ ‘ඒකාන්තයෙන් සසර තරණය කළ මම ලෝක සත්වයා එතෙර කරවන්නටත්, සියලු දුකින් මිදුනු මම ලෝසතුන් දුකින් මුදවන්නටත්, දමනයට පත් වූ මම ලෝසතුන් දමනය කරන්නටත්, සිසිල් වී ගිය මම ලෝසතුන් සිසිල් කරන්නටත්, පිරිනිවනට පත්වූ මම ලෝසතුන් පිරිනිවාලන්නටත් සමර්ථ වෙමි’ යි දක්නා විට අපගේ බුදුරජාණන් වහන්සේගේ සිතෙහි මහා කරුණාව සත්වයන් කෙරෙහි බැසගනී. මේ වනාහී තථාගතයන් වහන්සේගේ ‘මහා කරුණා සමාපත්ති ඤාණය යි’.

සබ්බඤ්ඤුත ඤාණය හා අනාවරණ ඤාණය

සබ්බඤ්ඤුත ඤාණය යනු භාග්‍යවතුන් වහන්සේ තුළ පැවති සියලුම සංඛත අසංඛත ධර්මයන් කෙරෙහි අනවශේෂ වූ පරිපූර්ණ ඤාණය යි. ‘සබ්බං සංඛතමසංඛතං අනවසේසං ජානාතීති සබ්බඤ්ඤුතඤාණං, තත්ථ ආවරණං නත්ථීති අනාවරණඤාණං’. එහිලා භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඤාණය ආවරණය කළ හැකි කිසි ම පුද්ගලයෙක් දෙව් මිනිස් ලෝකයේ නැත. එමෙන් ම භාග්‍යවතුන් වහන්සේ තුළ පැවති මේ විස්මයජනක ඤාණය ආවරණය කරන්නා වූ කිසිම ධර්මයක් (නීවරණ ක්ලේශ ආදී) නැත්තේ ය. එනිසා ම භාග්‍යවතුන් වහන්සේගේ මේ ඤාණයට අනාවරණ ඤාණය යනුවෙන් පවසනු ලැබේ. එහිලා භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඤාණයත්, අනාවරණ ඤාණයත් කෙබඳු ද යත්,

අතීතයට අයත් වූ සියල්ල පරිපූර්ණ වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දක්නා සේක. එය සර්වඥතා ඤාණය යි. අතීතයට අයත් දේ දන්නා දක්නා භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඤාණයට කිසිදු ආවරණයක් නැත්තේ ය. එනිසා එය අනාවරණ ඤාණය යි.

අනාගතයට අයත් වූ සියල්ල මැනවින් දක්නා හෙයින් සර්වඥතා ඤාණය යි. එහිලා කිසිදු ආවරණයක් නැත්තේ ය. එනිසා එය අනාවරණ ඤාණය යි.

වර්තමානයට අයත් වූ සියල්ල පරිපූර්ණ වශයෙන් දන්නා බැවින් සර්වඥතා ඤාණය යි. එහිලා කිසිදු ආවරණයක් නැති හෙයින් අනාවරණ ඤාණය යි.

“සබ්බධම්මේසු බුද්ධස්ස භගවතෝ ඤාණං පරිවත්තති.” සියලු ධර්මයන් විෂයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ඤාණය පවතී. අතීත, අනාගත, වර්තමාන යන තුන් කාලයට ම අයත් ව භාග්‍යවතුන් වහන්සේගේ ඤාණය හැසිරෙන්නේ, ආවර්ජනය කිරීමට අනුව ය. රුචිකත්වයට අනුව ය. මෙනෙහි කිරීමට අනුව ය.

“සබ්බේධම්මා බුද්ධස්ස භගවතෝ ආවජ්ජන පටිබද්ධා ආකංඛ පටිබද්ධා මනසිකාර පටිබද්ධා චිත්තුප්පාද පටිබද්ධා” දෙව් මිනිසුන් සහිත සකල ලෝක සත්වයා කෙරෙහි භාග්‍යවතුන් වහන්සේගේ ඤාණය පවතී. දෙව් මිනිස් ලෝකයෙහි සියලුම සත්වයෝ තථාගතයන් වහන්සේගේ ඤාණපථයට හසු වූවාහු ම වෙති. එය ඉක්මවා ගිය එකදු සත්වයෙකුදු මේ තුන් ලොවෙහි ම නැත්තේ ය. ඒ මෙවැනි දෙයකි. යම් සේ මහා සමුද්‍රයෙහි තිමි, තිමිංගල, තිමිර පිංගල ආදී සුවිශාල සත්වයන්ගේ පටන් ඉතා කුඩා වූ මස් කැසුබු කෙනෙක් (කුඩා මත්ස්‍යයන් කැස්බෑවන්) වාසය කරත් නම්, ඒ සියලු සත්ව ප්‍රජාව මහා සයුර ම සීමා කොට සිටින්නාහු ය. එය ඉක්මවා ගොස් නැත්තේ ය. එසේ ම දෙව් මිනිසුන් සහිත සකල සත්ව ප්‍රජාව බුදුරජාණන් වහන්සේගේ ඤාණ විෂය තුළ ම සිටිති. එය ඉක්මවා ගිය කිසිවෙකුත් නැත්තේ ය.

මෙලොව හෝ පරලොව හෝ අවබෝධ කළ යුතු යම්තාක් ධර්මයන් ඇත්තේ ද ඒ සියල්ලට ම ‘ඤෙය්‍ය ධර්මය’ යැයි කියනු ලැබේ. ඒ ඤෙය්‍ය ධර්මයන් විෂයෙහි පවත්නා අවබෝධය වනාහී ඤාණය යි.

මුළුමහත් විශ්වයේ ම යම්තාක් ඤෙය්‍ය ධර්මයන් ඇත්තේ ද භාග්‍යවතුන් වහන්සේගේ ඤාණය ඒ තාක් ම පවතී. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ඉක්මවා ගිය කිසිදු ඤෙය්‍ය ධර්මයක් තුන් ලොවෙහි ම විද්‍යාමාන නො වේ. එය වනාහී සුවිශාල වූ අද්විතීය වූ අසමසම වූ ආශ්චර්යවත් වූ ප්‍රඥාලෝකයක මහිමය යි. “යාවතකං ඤෙය්‍යං තාවතකං ඤාණං. යාවතකං ඤාණං තාවතකං ඤෙය්‍යං. ඤෙය්‍යං අතික්කමිත්වා ඤාණං නප්පවත්තති. ඤාණං අතික්කමිත්වා ඤෙය්‍යපථෝ නත්ථි.”

(මහා නිද්දේස පාළි)

-මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි

අසිරිමත් සම්බුදු නුවණ 02 ලිපිය සඳහා පිවිසීමට >> https://mahamegha.lk/2018/06/04/asirimath-sambudu-nuwana/