එම නිවස පිහිටා තිබුණේ පින්නවල අලි අනාථාගාරයට නුදුරු තරමක් උස් කඳුගැටයක් මත ය. “සිල්වර් හවුස්” යනුවෙන් සඳහන් නාම පුවරුවක්, අවසානයට ම දිරා ගිය යකඩ ගේට්ටුවේ සවිකර තිබුණි. මැද රන් පවුමක් ඇල්ලූ රිදී පිඟන්වල එම නිවැසියෝ ආහාර බුදිති ය යන හේතුව නිසා නිවසට එම නම දීමට නිවැසියෝ හැමවිටම උත්සාහ කළත් ඇත්තටම තිබුණේ එවැනි එක පිඟානකි. ගම්වැසියන් නම් නිවසට කීවේ “භූත බංගලාව” කියා ය.

නිවස දෙස බලන කාටත් ඒ හැඳින්වීමේ වරදක් නොපෙනේ. සීතල අඳුරකුත්, ගුප්තමය නිහඬ බවත් හැරුණ විට එහි තිබූ බැබළීමක් නම් නැත. ගම්මු “සිනි ගඳ” යැයි පවසන සියුම් පිළීගඳකින් යුතු නිවස බාහිර කිසිවකු තුළ සතුටක් ඇති නොකරයි. ඔවුන් කෑම කන්නට අදිමදි කරන තම දරුවන්වත්, පාසලට යන්නට කම්මැලි තම දරුවන්වත් බය කළේ භූත බංගලාවට ගිහින් දානවා යැයි පවසමිනි. “ඈන්, මෙහෙ එනවා” මේරි ගජනායක ලෙඩ ඇඳේ සිට කෑ ගැසුවා ය. ඇය මෙම නිවසේ ජීවත් වන කාන්තාවන් දෙදෙනාගෙන් මව වන අතර අනෙක් තැනැත්තිය දියණිය වූවා ය. දිරාපත් කයකුත්, දිරා නොගිය මාන්නක්කාර තද සිතකුත් ඇති මේරි ගජනායක අංශභාගය වැළඳී ලෙඩ ඇඳට වැටුණේ මීට වසර දෙකකට පමණ පෙර දී ය. යෞවනයේ දී ඉතා රූමත් ව සිටින්නට ඇතැයි සැලකිය හැකි සලකුණු ඈ වෙතින් තවමත් දක්නට ලැබෙන අතර ඈ දෙස බලන ඕනෑම කෙනෙකුට එක්වරම සිතෙන්නේ ඈ නපුරු ගැහැනියක් බව ය.

මැදිවියට ආසන්න, කෙසඟ වුවත් රූමත් බවක් ඇති ඈන් සිටියේ උදෑසන ආහාරය සඳහා ලුණු කැඳ සකස් කරමිනි. දර ළිපට දර දමන්නට සිදු වූයෙන් ළිප දල්වා ගැනීම පිණිස බොහෝ වෙහෙසෙන්නට ඈට සිදු විය. මුහුණට දුම් වැදීම නිසා වියළි කැස්ස ද ඇති විණි. දෙවැනි වර කසින විට කෙළ බිඳිති කිහිපයක් ද කැඳ මුට්ටියට විසි විය. ඉහින් කනින් දහඩිය පෙරාගෙන තම්බා ගත් බත් ටික නෑබිලියට දමා පොඩි කරද්දී ඇඟෙන් බේරුණු දහඩිය ඒ සමඟ කලවම් විය. ඈන් මේ කිසිවක් ගණන් නොගන්නා සේ ම මවගේ කෑ ගැසීම ද ගණනකට ගත්තේ නැත. ඈට තිබුණේ කිසියම් යාන්ත්‍රිකමය වූ ජීවිතයකි. මවත්, තමාත් දුක් විඳින්නේ මවගේ වරදින් බව ඈ සිතයි. වරද මාන්නය යි. පියා මිය ගියේ මීට වසර තිහකට පමණ පෙර ය. ඒ වෙද්දී ඈන්ට වයස අවුරුදු විසි එකකි. මවට පනස් දෙකකි. මව දෙවන විවාහයක් කර නොගත්තා සේ ම තම කුල පරම්පරාවට සෑහෙන කෙනෙකුව සොයා ගැනීමට අපොහොසත් වූයෙන් ඈට ද තනිකඩව සිටින්නට සිදු විය. “මේරිහාමු ඔක්කොම වලව් ඉලව් වෙලා ඉවරයි, හාමු පුංචි නෝනට හොයන කෙනා එක්කෝ මැරිලා, නැත්නම් ඉපදිලා නෑ. මෙයින් මත්තේ මම නම් පුංචි නෝනට කසාදයක් හොයන්නේ නෑ.” අන්තිමට ගෙදරට පැමිණි ජේමිස් කපුවා ද පිටව ගියේ එසේ කියමිනි. “ඇත්තු නරිත් එක්ක බුදියන්නෑ ජේමිස්?” මේරි ගජනායක උපහාසයෙන් කීවා ය.

“හොඳා හොඳා, දළත් එක්කම වැළලිලා යන්නැතෑ.” ජේමිස් කපුවා ද පද ගසා කීවේ ය.

එයින් පසුව ඈන්ට කසාද සෙවිල්ල මේරි ගජනායක විසින් අත්හරින ලදී.

“අපි තවමත් කන්නේ රිදී පිඟානෙ.” ඈන්ට ඇසෙන සේ මේරි ගජනායක කීවේ ඈව සනසන අදහසිනි. “රිදී පිඟාන කාගෙන ම මැරෙමු. මටත් දැන් ඉතින් කොහොමත් එකයි.” ඈන් කීවේ මවට උපහාසයෙනි. එයින් පසුව මේ වන තෙක් වසර විස්සක් ඒ ගැන මව හා දියණිය අතර කිසිදු කතාබහක් නොවිණි.

“මෙහෙ වරෙන් ගෑනියේ.” මේරි ගජනායක දෙවන වරටත් කෑ ගැසුවා ය. ඈන් ලුණු කැඳ ටික කෝප්පයකට දමාගෙන කලබලේකින් තොරව මවගේ කාමරයට ඇතුළු වූවා ය.

“උඹ මාව බඩගින්නෙ මරන්න ද හදන්නේ. බලපං වෙලාව කීයද කියලා…” ඈන් කිසිත් නොකීවා ය. “මොනවද?” ගජනායක ඇසුවේ ඇගේ අතේ තිබූ කෝප්පය දෙස අමනාපයෙන් බලමිනි.

“ලුණු කැඳ.”

“අදත්?”“දවාලට ඒකත් නැහැ. දැන්වත් මොනවා හරි කරන්න වෙයි.” ඈන් කිව්වේ තරහෙනි.

ඈ “මොනවත් කරන්න වෙයි” කියා කීවේ මව සන්තකයේ තිබෙන විශාල ඉඩම්වලින් කොටසක් හෝ විකුණන ලෙස ය.

“බඩගින්නේ මළත් පරම්පරාවේ දේවල් විකුණගෙන කන්නේ නැහැ. ලැජ්ජාවක් නැති ගෑනි.”

“මට ලැජ්ජ නැති වෙන්න පුළුවන්. ඒත් අම්මගෙ මිනී වළට මටත් පනින්න ඕන නැහැ. මං තියෙන දේවල් විකුණනවා. මුලින්ම රිදී පිඟාන.” ඈන් දැඩිව කීවා ය.

ඊළඟට අත වූ ලුණු කැඳ කෝප්පය මවගේ ඇඳ අසල වූ කුඩා කනප්පුව මත තබා යන්නට හැරුණා ය.

“පිස්සු ගෑනියෙක්. මං කන්නේ මොකේද? මගේ පිඟාන මෙහාට ගෙනෙන් මේ කැඳ ටික බොන්න.” මේරි ගජනායක කීවේ අණ කිරීමක් ලෙසිනි.

“කැඳ බොන්න මොකටද රිදී පිඟාන?”

“ඇයි උඹ දැකලා තියෙනව ද මං වෙන පිඟන්වල කනව බොනවා?”

“අද ඉඳලා ඒක පුරුදු වෙන්න වෙයි.” ඈන් කාමරෙන් පිට වූවා ය.

“තෝ නම් තාත්තාගේ නෙවෙයි වෙන යක්ෂයෙක්ගේ. නැත්නම් රිදී පිඟාන විකුණගෙන කන්න හිතනව ද?” මේරි ගජනායක දියණියට කෝපයෙන් ගුගුලා ය. ඈන් මිදුලට බැස පහළ ඈත බැලුවා ය. අලි අනාථාගාරයට අයත් විවෘත බිම ඈට හොඳින් පෙනිණි. සද්දන්ත අලි ඇතුන් පවා අනාථේ ම ගැල්වී ඇති අන්දම දකින ඈට බලවත් නොසන්සුන් බවක් දැනෙන්නට විය. මේ නිවසින් පලා යන්නට ඈට සිතුණි. ඒ විතරක් නොවේ සියදිවි නසා ගන්නට ද සිතුණි. එහෙත් එය කළ නොහැක. මව විසින් වසර තිහක් තමා ව ආරක්ෂා කරනු ලැබිණි. හැකි හැම සැපක් ම දීමට උත්සාහ කළා ය. වැරදුණු එකම දේ කුල මානය පමණි. එය මේ ජීවිත දෙකම මුළුමනින්ම විනාශ කර දමා අවසන්ය.

“ඈන්ලගේ අලි ඔළුව තාම තියෙනව ද?” කලෙක තමාට පෙම් කළ මවගේ විරෝධය නිසා දෙපස වූ සිරිමාන්න දිනක් දුරකථනයෙන් ඇසුවේ නිවසේ තිබූ පරම්පරාවේ අන්තිම ඇතාගේ හිස්කබල ගැන නොවන බව සිහි කළ ඈ නොසන්සුන් හැඟීමෙන් මව සොයා ගියා ය. මේරි ගජනායක පසු වූයේ බලවත් සන්තාපයෙනි. ඈන් රිදී පිඟාන විකුණුවොත් පරම්පරාවේ ගෞරවය අවසන් ය. තම මුත්තණුවෙකු උපන් වර්ෂ 1811 දී මෙම රිදී පිඟාන ඒ උපතේ සමරුවක් ලෙස සාදා තිබුණ අතර ඔහුට බත් කැවීම කළ දා පටන් සිට මුත්තා ආහාර අනුභව කොට ඇත්තේ එම රිදී පිඟානේ ම ය. ඔහුගෙන් පසුව සියලු දේපළ සමඟ රිදී පිඟාන අයිති වූයේ මේරි ගජනායක වූ තමන්ට ය. “මගේ කකුල පණ තිබුණ නම්…” ඈට කියවුණේ සංවේගයෙනි. ඈන්ට මවගේ මෙම වචනය ඇසුණි. ඕ ආපසු හැරී තම කාමරේට ඇතුළුව දොර වසා ගත්තා ය.

ඈන්ට තද නිදිමතක් වැනි ක්ලාන්තයක් දැනුණි. ඇඳට වැටුණු මොහොතකින් ඈ නින්දට වැටුණි. ඈ අවදි වූයේ දැඩි හිරු රැස් පොළොවට වැටෙද්දී ය. නින්දෙන් පියවි සිහියට පැමිණි ඈ මව සොයා නික්ම ගියා ය. ඇගේ සිත නිවී තිබිණි.

“මේක බිව්වෙ නැද්ද?” ලුණු කැඳ කෝප්පය තමා තිබූ අයුරින් ම තිබෙනු දැක ඇය ඇසුවේ වරදක් කළ ස්ත්‍රියක සමාව අයදින ලෙසිනි.

“රිදී පිඟාන නෑ…” මේරි ගජනායක කීවේ දුබල හඬිනි. ඈන් ඉක්මනින් පැරණි කෑම කාමරයේ විශේෂ රාක්කයක තබා තිබූ රිදී පිඟාන රැගෙන ආවා ය. ඈ පරෙස්සමට කැඳ ටික පිඟානට දැම්මා ය. එය කොතරම් සීතල ඇති දැයි ඇයට නොදැනුන අතර ඒ ගැන හැඟීමක් ද ඈන්ට නොවිණි. “බොන්න.” ඈන් මවට කිව්වේ බලවත් අනුකම්පාවෙනි. ඒ තරමට ම ආදරෙනි.

අමාරුවෙන් ඇඳේ ඉහළට ඇදී උඩුකය තරමක් කෙළින් කර ගත් මේරි රිදී පිඟාන දකුණු අතින් ගෙන එක හුස්මට කැඳ පිඟාන බීගෙන ගියා ය. ඇයට කැඳවල සීතල දැණුනේ අවසාන කැඳ ටිකත් උගුරෙන් පහළට ගිය පසුව ය. ඒ තරමට ඈ සිටියේ අධික කුසගින්නෙන් හට ගත් තෙහෙට්ටුවෙනි. තද ඇඹුල් ගතියක් සමඟ දැඩි අපුල බවක් දැනුණි. බිව්ව කැඳ ටික පිත සමඟ කලවම් ව වමනය ලෙසින් පිට විය. මේරි ගජනායක වමනය දැම්මේ තම අත තිබූ රිදී පිඟානට ය. ඈන් මවට උදවු කළ අතර රිදී පිඟානේ පිරුණු වමනයෙන් නැඟෙන අධික පිළීගඳ ඉවසා සිටින්නට බැරි ඈ අනෙක් පසට හැරුණා පමණි. දෙදෙනාගේ ම අතින් ගිලිහුණ රිදී පිඟාන කාමරය පුරා වමනය විසුරුවමින් බිම වැටුණි. කුල මාන්නයේ පිළීගඳින් කාමරය පිරී ගියේ මොහොතකිනි.

චන්දන එස්. කුමාර