එක් කාලයක බොහෝ මිනිස්සු එකතු වී තම්බපණ්ණී නම් දිවයිනට පැමිණෙන්නට කැමති වූහ. ඔවුහු මුහුදේ ගමන් කරන නැවක තම තමන්ට අයිති වූ සියලු බඩු භාණ්ඩ පටවාගෙන, තල-සහල් ආදි මාර්ගෝපකරණවලින් ඒ නැව පුරවාගෙන හොඳ නැකැතකින් පිටත් වූහ. ඒ නැවෙහි එක භික්‍ෂුවක් ඔවුන් යන රටට තමා ද වඩින්නට කැමති ව වෙළඳුන්ගෙන් නැවෙහි තමාට සුදුසු තැනක් ඉල්වාගෙන ඔවුන් සමඟ වැඩියේ ය. ඒ ගමනේ දී සුව සේ නැව ගමන් කරද්දී ඒ භික්‍ෂුව ඉඩ ලැබුණ තැනක දී තමන් ප්‍රගුණ කළ ධර්‍ම, කුසල් ධර්‍ම, අකුසල් ධර්‍ම සහ අව්‍යාකෘත ධර්‍ම ද සැප දුක් උපේක්‍ෂා ආදි විඳීම් ගැන ද සඳහන් සතර සතිපට්ඨාන දහම් කොටස සජ්ඣායනා කළේ ය.

මේ මොහොතේ එම නැව සමඟ පසෙකට වී පිහිනා ගිය මාළුවෙක් ඒ භික්‍ෂුවගේ ධර්ම කථා ශබ්දය අසා එයට ප්‍රියමනාප වූයේ වෙන තැනකට පීනා නො ගොස් නැව යන යන තැනට ම යන්න පටන් ගත්තේ ය. එසේ පිහිනා යමින් ශබ්ද මාත්‍රයට ම සිත් රඳවා කන් පටල නො සෙල්වා නැව සමඟ ම පීනා ගොස් ධර්‍ම ශබ්දය ම අසමින් ඊට ඇලුම් කරමින් ඒ සමඟ සිත බැඳී සදහම් රසින් ඔකඳ ව තොටුපළ දක්වා ම නැව අනුව පීනන්නට විය. එවිට ඒ මත්ස්‍යයා තොටුපළ ඉවුරේ දී මිනිසුන් විසින් පහර දෙන ලද්දේ එහි දී ම මරණයට පත් විය. දෙව්ලොව උපන් ඒ මත්ස්‍යයා බොහෝ කාලයක් දිව්‍ය සැප විඳ එයින් චුතව ලක්දිව රුහුණු රට ධනවත් කුලයක ඉපිද මහත් යස ඉසුරින් පිරිවර සහිතව වැඩෙයි.

කුමරාගේ ඉපදීම නිසා ඔහුගේ නෑයෝ බොහෝ සතුටු සිත් ඇතිව වාසය කරති. මේ නිසා කුමරුට ‘සුමන’ යන නම තැබූහ. සුමන කුමරුගේ නිවසට නිතර නිතර දානය සඳහා සංඝයා වහන්සේලා වඩිති. ඔහුගේ මව්පියෝ ඉමහත් බැති සිතින් ඒ වත් පිළිවෙත් කරති. කුමරා ද මේ සියලු වත් පිළිවෙත් දැක සතුටු සිත් ඇතිව සංඝයා වහන්සේ කෙරෙහි පැහැදී වැඩි වියට පැමිණි පසු සියලු සම්පත් අත්හැර දමා පැවිදි වීමට කැමති බව ප්‍රකාශ කළේ ය. මව්පියන් නොයෙක් අයුරින් එම අදහසට විරුද්ධ වූ නමුත් කුමරු මව්පිය වචන නොපිළිගෙන ඔවුන් හඬා වැළපෙද්දී ඔවුන් කැමති කරවාගෙන පැවිදි බවට පත් විය.

පැවිදි වූ දින සිට සාමණේර අවදියේ දී ම උන්වහන්සේ මුළු සූත්‍ර පිටකය හා මුළු අභිධර්ම පිටකය ම ප්‍රගුණ කරමින් උපසපන් වන විට මුළු විනය පිටකය ද ප්‍රගුණ කොට ත්‍රිපිටකධාරී තෙරුන් වහන්සේනමක් බවට පත් වූහ. ඉතා ශ්‍රද්ධාවෙන් පැවිදි වූ නිසා උන්වහන්සේ ශ්‍රද්ධා සුමන නමින් හැඳින්විණි. අහසේ පුන්සඳ මෙන් උන්වහන්සේ හැම තැන ම ප්‍රකට විය. මහත් පිරිවර ඇති විය.

දිනක් උන්වහන්සේ සෑය වඳිනු පිණිස නාගදීපයට වැඩියහ. එහි චුල්ලගිරි නම් පර්වතය සමීපයේ දණ්ඩක වනයෙහි උයනක් විය. එය රමණීය ය. සිත්කළු ය. විවේක කාලය සතුටින් ගත කිරීමට සිත් අලවන තැනකි. අප්‍රමාදී ව භාවනා කරන යෝගීන්ට සුදුසු වාසස්ථානයකි. ශ්‍රද්ධා සුමන තෙරුන් වහන්සේ එතන දැක, සිත පැහැදී සුව සේ මහ ගහක් අසල හිඳ ගත්හ. එහි දී පළක් බැඳ බුද්ධාලම්බන ප්‍රීතියෙන් සිත් යොමු කොට එක නිමිත්තකින් ම අග්‍ර ඵලය වූ රහත් බවට පත් වූ සේක. ලෝකයේ අග්‍ර වූ පූජාවට සුදුසු උතුමෙකු බවට පත් වූහ. මෙසේ උතුම් වූ ආර්ය තත්ත්වය ලැබීමට හේතුව කවර කරුණක් නිසාදැයි විමසද්දී ‘සජ්ඣායනා කරන ලද ධර්මය අසා දියෙහි පීනා ඇවිත් මත්ස්‍යයෝ පවා ඒ ශබ්දයෙන් සිත් පිනා ගියේ එයින් චුත වී පසුව උතුම් මෝක්‍ෂයට පැමිණෙන්නේ ය.’ යි වටහා ගත්හ.

ඇසුර- සෝතබ්බමාලිනී
සටහන – මානෙල් පොඩිමැණිකේ