පව් කිරීමට ලැජ්ජාවත් පවේ විපාකයට බයත් ඇති කරගැනීමට නිතර සිහිකළ යුතු ධර්මයන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පවට බියක් නැත්තේ නම් එහි භයානක පැත්ත කල්පනා කොට පවට භය ඇති කරගන්නට උපකාරී වන මේ කරුණ දෙස බලන්න.

“පින්වත් රාහුල, යම්කිසි කෙනෙකුට දැන දැන බොරු කියන්නට ලැජ්ජාවක් නැද්ද, ඔහුට නොකළ හැකි පාපයක් නැහැ කියලයි මං කියන්නේ. ඒ නිසා පින්වත් රාහුල, විහිළුවකටවත් බොරු කියන්නේ නම් නෑ කියලා ඔය විදිහටයි ඔබ පුහුණු විය යුත්තේ.”

(අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය – ම.නි. 2)

හිරි ඔතප් නැතිවුවහොත් ඊළගට කුමක් සිදුවන්නේදැ’යි ඉදිරිය ගැන කල්පනා කරන නුවණැත්තෙකුට ඉතා වටිනා දහම් කොටසක් අංගුත්තර නිකාය හතරවන ග්‍රන්ථ රත්නයේ හිරොත්තප්ප සූත්‍රයේ සඳහන් ය. හිරි-ඔතප් නැති තැනැත්තාට “ඉන්ද්‍රිය සංවරය” නමැති හේතු සම්පත් නැසී යන බවත් ඉන්ද්‍රිය සංවරය නැති කල්හි “සීලය” නමැති හේතු සම්පත් නැසී යන බවත් සිල් නැති තැනැත්තා හට “සම්මා සමාධිය” නමැති හේතු සම්පත් නැසී යන බවත් භාග්‍යවතුන් වහන්සේ වදාළා. එසේම සම්මා සමාධිය නැති කල්හි “යථාභූත ඤාණ දර්ශනය” නැති බවත් එය නැති කල්හි “අවබෝධයෙන් කළකිරීම සහ නොඇලීම” නැති බවත් එයින් “විමුක්ති ඤාණ දර්ශනය” නමැති හේතු සම්පත් නැසෙන බවත් වදාළා.

හිරි ඔතප් ඇති කරගැනීමට නම් ලොල් ගති ඇති සිත වීරියෙන් යුතුව හික්මවිය යුතුයි. ඊට උපකාර පිණිස මේ දහම් කරුණත් සිහිකිරීම ඉතා හොඳයි.

* පව් කරන කෙනා හට මේ ලෝකයේ රහසක් නම් නෑ. එම්බා පුරුෂය, ඔබගේ සිත ඔබ ලොවට පෙන්වන දෙය ඇත්තක් ද, බොරුවක් ද? කියලා ඔබ ගැන දන්නවා.

* යම් කෙනෙක් තමා තුළ තිබෙන්නා වූ පාපය තමාට සඟවන්න ද හිතන්නේ? භවත, තමාගේ ඇත්ත ස්වභාවය ඉක්මවා යන්න ද හදන්නේ? ඒකාන්තයෙන් ම කල්‍යාණ වූ දෙයක් කියල ද හිතන්නේ?

(ආධිපතෙය්‍ය සූත්‍රය – අං.නි. 01)