මිළිඳු රජු නාගසේන මහරහතන් වහන්සේගෙන් මෙසේ විමසයි.

“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, ඔබවහන්සේලා මෙසේ පවසන්නාහු ය. ‘යමෙක් ගිහි ව සිට අරහත්වයට පත්වෙයි ද, ඔහු හට ස්ථිර ව ඇත්තේ ඉරණම් දෙකකි. අනිකක් නැත්තේ ය. එනම් ඒ රහත් වූ දවසේ ම හේ පැවිදි විය යුත්තේ ය. නැතිනම් පිරිනිවන් පෑ යුත්තේ ය. ඒ ගිහි රහත් තෙමේ එම ගිහි වේශයෙන් ම දවසක් ඉක්ම යන්නට නොහැක්කේ ය’ යනුවෙනි.

ස්වාමීනී, නාගසේනයන් වහන්ස, ඉදින් ඔහු ඒ දවසේ ම ආචාර්යයන් වහන්සේ නමක් හෝ උපාධ්‍යායන් වහන්සේ නමක් හෝ පාත්‍ර සිවුරු හෝ නොලබන්නේ නම්, කිම? ඒ ගිහි රහත් තෙමේ තෙමේ ම තනිව ම සිවුරු පොරොවාගෙන පැවිදි ව හෝ දවස ඉක්මවා ගත යුතු නොවේ ද? එසේ නැතිනම් අන්‍ය වූ ඉර්ධිමත් රහතන් වහන්සේ නමක් අවුත් ඔහු පැවිදි කරන සේක් ද? එසේත් නැතිනම් ඒ ගිහි රහත් තෙමේ පිරිනිවන් පාන්නේ ද?”

“මහරජාණෙනි, රහත් වූ ගිහි කෙනා තනිව ම සිවුරු පොරොවාගෙන කිසිදා පැවිදි වෙස් නොගනියි. තනිව ම සිවුරු පොරොවාගෙන පැවිදි වෙස් ගන්නා තැනැත්තා බුදු සසුනෙහි පැවිදි වේශය සොරකම් කිරීමේ වරදට හසුවෙයි. හේ දවස ද ඉක්මවා නොයයි. අන්‍ය වූ රහත් නමකගේ වැඩමවීම සිදුවන්නේ නම් පැවිද්ද වේවා! එසේ නොවන්නේ නම් ඒ දවසේ ම පිරිනිවන් පාන්නේ ම ය.”

“එසේ වී නම් ස්වාමීනී, නාගසේනයන් වහන්ස, යම් කරුණකින් අරහත්වයට පත් වූ තැනැත්තාගේ ජීවිතය අවසන් වීම වේ නම් ඒ රහත් බව තුළ තිබිය යුතු ශාන්ත බව එයින් ම දුරුවන්නේ නොවැ.”

“මහරජාණෙනි, ගිහි වේශය යනු විෂම දෙයකි. විෂම වූ එම ගිහි වේශයෙහි ඇති, එම ගිහි වේශයට අයත් දුර්වලතා නිසාවෙන් ම අරහත්වයට පත් ගිහි තෙමේ ඒ දවසෙහි ම පැවිදි විය යුතු වෙයි. නැතහොත් පිරිනිවන් පාන්නේ ම ය. මහරජාණෙනි, මෙය රහත් බවෙහි ඇති දෝෂයක් නම් නොවෙයි. ගිහි වේශයෙහි ම ඇති දෝෂයකි. එනම් මේ ගිහි වේශයෙහි ඇති දුර්වලත්වය යි.

මහරජාණෙනි, සියලු සත්වයන්ගේ ආයුෂ පාලනය කරන්නා වූ, ජීවිතය රකින්නා වූ භෝජනය ආහාර දිරවීමෙහි දුර්වල වූ විෂම වූ ග්‍රහණියකින් යුතු තැනැත්තා අනුභව කොට එය දිරවා ගත නොහැකි වීමෙන් ජීවිතක්ෂයට පත්වෙයි නම්, මහරජාණෙනි, මෙය භෝජනයෙහි දෝෂයක් නොවෙයි. දුර්වල වූ ආමාශයෙහි ම ඇති දෝෂයකි. එනම් ජඨරාග්නියෙහි ඇති දුර්වලතාවය යි.

මහරජාණෙනි, එසෙයින් ම මෙය රහත් බවෙහි ඇති දෝෂයක් නම් නොවෙයි. ගිහි වේශයෙහි ම ඇති දෝෂයකි. එනම් මේ ගිහි වේශයෙහි ඇති දුර්වලත්වය යි.

මහරජාණෙනි, ස්වල්ප වූ තණකොළ ආදියෙන් තැනූ ලෑල්ලක් මත මහත් වූ ගලක් තැබූ කල්හී ඒ ලෑල්ලෙහි ඇති දුර්වලතාවය නිසා ම එම ලෑල්ල කැඩී බිඳී යයි.

එසෙයින් ම මහරජාණෙනි, අරහත් බවට පත් වූ ගිහි තැනැත්තා එම ගිහි වේශයෙන් ම අරහත්වය දරාගන්නට අසමර්ථ බව නිසාවෙන් එ දවසෙහි ම පැවිදි විය යුත්තේ ය. නැත්නම් පිරිනිවීමට පත්විය යුත්තේ ය.

මහරජාණෙනි, හීන ජාතියෙහි උපන් අල්ප බුද්ධි ඇති, අබල දුබල වූ ලාමක පුරුෂයෙක් මහත් වූ රාජ්‍යයක් ලැබ සැණෙකින් පිරිහෙයි. වැටෙයි. නැසෙයි. විනාශයට පත්වෙයි. පසුබසියි. ඔහු රාජ ඓශ්වර්යය උසුලාගන්නට අසමර්ථ වෙයි.

එසෙයින් ම මහරජාණෙනි, අරහත්වයට පත් වූ ගිහි තැනැත්තා එම ගිහි වේශයෙන් ම අරහත්වය උසුලා දරාගන්නට අසමත් වෙයි. එ දවසෙහි ම ඔහු පැවිදි විය යුත්තේ හෝ පිරිනිවන් පෑ යුත්තේ එ නිසා ය.”

“යහපති, ස්වාමීනී, නාගසේනයන් වහන්ස. මම එය ඒ අයුරින් ම පිළිගනිමි.”

උපුටා ගැනීම – මිළිඳු රාජ ප්‍රශ්නය 3