ලෝකයේ මස් මාංශ අනුභව කරන්නෝ ද නිර්මාංහව දිිව ගෙවන්නෝ ද කිසිදු භේදයකින් තොරව ගිජු වී සිටිනා ‘මසක්’ තිබේ. එ් වනාහී කාම සම්පත් ය. සම්බුදු නුවණින් පිරිසිඳ දකිමින් ලද අවබෝධය තුළ, කාමයන් මස් වැදැල්ලකට උපමා කොට එහි ආදීනව දෙව් මිනිස් ලෝකයාට විවෘත කෙරුණු ආකාරය ‘කසාවත’ පසුගිය ලිපියෙන් අපි කියවූවෙමු.
ධර්මයේ ඇසුර වෙත ගිය අනන්ත නම් මිතුරා සොයා යෑමෙන් ධර්මය ගෞරවයෙන් ඇසුරු කිරීම ඇරඹූ බිනරගේ මතකාවර්ජනයේ මෙම නවවන දිගහැරුම ශාසන ප‍්‍රතිපදාවේ නියැළෙන සැබෑ ශ‍්‍රාවකයන් තුළින් බැහැර වන වැරදි ජීවන ක‍්‍රමයන් ගැන අපට හෙළිදරව් කරයි…
———————————————————————————————
‘‘පින්වත් ස්වාමීන් වහන්ස, බුදු සසුනේ පැවිදි බව ලැබූ ස්වාමීන් වහන්සේලා මස් කුට්ටියට පොරකෑමේ කාම තරගයෙන් සදහට ම නිදහස් නේ ද?”

කාම ලෝකයේ උපන් සත්වයා විසින් ස්ත‍්‍රීන් අරබයා ඇණ කොටා ගැනීම් සිදු කරන අයුරුත්, ඉන් මිදෙනු කැමති ශ‍්‍රාවකයා විසින් සැපය උදා කර ගන්නා අයුරුත් පිළිබඳ ව පින්වත් ස්වාමීන් වහන්සේ විසින් සිදු කළ පැහැදිලි කිරීමෙන් පසු ප‍්‍රීතිමත් සිතින් යුතු ව මම එසේ විමසුවෙමි.

‘‘පුතා…! පැවිදි බව ලැබීමෙන් සියල්ල සම්පුර්ණ වෙන්නෙ නෑනේ. පැවිදි වීමත් සමඟ සමාදන් වන සීලය නිසා බ‍්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න ලැබෙන බව ඇත්ත. ස්ත‍්‍රීන් ඇසුර සහ විවාහය කියන ගිහි සිරිත්වලින් ඉවත් වෙන එකත් ඇත්ත. නමුත් කාමය පිළිබඳ ඇති කැමැත්තෙනුත්… කාම වස්තූන්ගෙනුත් තවමත් නිදහස් වෙලා නැහැ නෙව” සඳ එළියෙන් වරින් වර දිළිසෙන තම ප‍්‍රිය මනාප දෙනෙත් යුග අපගේ පිටුපසින් තිබූ මහ වනයේ අන්ධකාරය දෙසට යොමුකරමින් උන් වහන්සේ පැවසූහ.

‘‘මට ටිකක් අපැහැදිලියි ස්වාමීන් වහන්ස…”

‘‘කාමය කියන්නේ කෙලෙස් අවුස්සන, ප‍්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස සහ පහස කියන කාරණා සියල්ලට නේ… ඉතින් ස්ත‍්‍රීන්ගෙන් ඈත් වුණාට තවමත් කාමයේ සම්බන්ධය පවතිනවා. ලස්සනට හැඩ වෙන්න, මිහිරි හඬින් බණ කියන්න, මිහිරි සුවඳ ඇඟ ගල්වගන්න, ප‍්‍රණීත දාන මානවලට ඇති කැමැත්ත වගේ ම සැප පහසු කුටි සෙනසුන්වල වාසය කරන්න කැමැත්තක් ඇති වීමත් කාමය ම තමයි. මේ නිසා ම ඇතැම් විට දාන මාන බෙදාගන්න, සිවුරු පිරිකර බෙදාගන්න, ගෝල බාලයින් බෙදාගන්න, දායක දායිකාවන් බෙදාගන්න, වගේ ම සෙනසුන් විහාර බෙදාගන්නත් පැවිද්දන් පැවිද්දන් අතරත් පොර බැදීම් ඇති වෙනවා. තරග සහ අර්බුද ඇති වෙනවා. මේ නිසා මේ පොරය වෙනත් ස්වරූපයකින් පැවිදි සමාජය අතරත් පවතින බව නුවණැති පැවිද්දා විසින් තේරුම් ගත යුතුයි…”

‘‘බොහොම අසීරු ඇති නේ ද ස්වාමීන් වහන්ස, මේ පොරයෙන් ගැලවිලා ඉන්න?”

‘‘අසීරුවකින් තොර ව ලබා ගත හැකි එක ම දේ තමයි ජාති ජරා ව්‍යාධි මරණ සෝක වැළපුම් ආදි දුක්ඛස්කන්ධය…! දුක්ඛ නිරෝධයට අයිති සියලූ සාක්ෂාත් කිරීම් අසීරුවෙන් තමයි ලබාගන්න තියෙන්නේ. නමුත් එ් අසීරු බව සුන්දර ලාභයක් ලබා දෙනවා. සදාකාලික සුවයක් සමඟින්.”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස..”

‘‘පැවිදි ජීවිතය තුළ සිදු විය හැකි සෑම අනතුරකින් ම ගැලවෙන්න නම් කළ යුත්තේ චතු පාරිශුද්ධි සීලය ආරක්ෂා කිරීම යි. ශාස්තෘ ගෞරවයෙන් යුතු ව, සතුටු සිතින් ධර්මයට දිවි පුදා මිය යන තුරු පැවිදි බව රකින්න කැමති ශ‍්‍රාවකයා විසින් චතු පාරිශුද්ධි සීලය ආරක්ෂා කරනවා නම්, සිදු විය හැකි සෑම අනතුරකින් ම ආරක්ෂා වෙන්න ඔහුට ශක්තියක් ලැබෙනවා. එ් සමඟින් ම ඔහු තවත් ගුණධර්ම කිහිපයක් පුරුදු කළ යුතුයි. එ් තුළින් ඔහු දියුණු වන ගුණධර්ම නිසා මදයට පත් නො වී ලාභ සත්කාර කීර්ති ප‍්‍රශංසා නම් වූ ශාපයෙන් ගැලවෙන්න ධර්මයෙන් ම ඉපදුණු ආරක්ෂාවක් අත්පත් කර ගන්නවා. පුතාලාට වෙලාව තියෙනවා නම්, ? බෝ වී නැත්නම්, මම එ් කරුණු ටිකත් කියල දෙන්නම්…”

‘‘යහපතක් ම යි පින්වත් ස්වාමීන් වහන්ස. අපි සතුටුයි එ් කාරණාත් අසා දැනගන්න…”

අනන්ත මා දෙස නො බලා ම ස්වාමීන් වහන්සේට පිළිතුරු දුන්නේ ය. සැබැවින් ම මාගේ කැමැත්ත වූයේ ද එය යි. කල් ඇතිව විශ‍්‍රාම ශාලාවට ගොස් වැඩිපුර පැයක් නිදනවාට වඩා සංසාරයේ ම නො අඩු ව ලැබුණු නින්දෙන් පැයක් දෙකක් අතහැර ධර්ම කරුණක් ශ‍්‍රවණය කරන්නට ලැබීම කොයි තරම් නම් වාසනාවක් ද?

‘‘චතු පාරිශුද්ධි සීලය කියන්නේ ආකාර හතරක සීල ප‍්‍රතිපදාවක්. ප‍්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය සහ ප‍්‍රත්‍යසන්නිශ‍්‍රිත සීලය යන ආකාර හතරේ සීල ප‍්‍රතිපදාවයි.

තථාගතයන් වහන්සේ විසින් පනවා ඇති විනය ශික්ෂාපද පිළිබඳ සීලය ප‍්‍රාතිමෝක්ෂ සංවර සීලය යි. එය පැවිද්දන්ට නම්, සාමණේර දස සීලයත් උපසම්පදා සීලයත් වශයෙන් ආකාර දෙකක් පවතිනවා. ගිහි අයට නම් පංච සීලය, අට සීලය, දස සීලය කියන ශික්ෂා ප‍්‍රාතිමෝක්ෂ සීලය වශයෙන් සලකන්න පුළුවන්. දිවි හිමියෙන් කුඩා ම ශික්ෂා පදයේ සිට සියලූ ශික්ෂා පද ආරක්ෂා කිරීමෙන් සතුටින් සිල් රැුකීමෙන්, කෙනෙකුට මේ ප‍්‍රතිපදාව දියුණු කළ හැකියි.

ඇස, කන, නාසය, දිව, කය සහ මනස යන ඉන්ද්‍රියයන් පාපී අකුසල් ඇතුල් වන්නට නො දී ආරක්ෂා කරගෙන සංවර කර ගැනීම ඉන්ද්‍රිය සංවරය වශයෙන් ධර්මයේ සඳහන් වෙනවා. පැවිද්දන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් රැුකිය යුතු දෙයක් වශයෙන් තමයි මේ ඉන්ද්‍රිය සංවර සීලය සලකන්නේ. බොහෝ පැවිද්දන් ප‍්‍රාතිමෝක්ෂ සීලය සමාදන් වූ පමණින් තමා ආරක්ෂිත යැයි සිතනවා. නමුත්, ඉන්ද්‍රිය සංවර සීලයේ ඇති වැදගත්කම ගැන ඇති නොදැනුවත්කම නිසා ම ඉතා ම ඉක්මනින් නවක පැවිදි යුගයේ දී ම ශ‍්‍රමණ භාවයට හානි පමුණුවා ගන්නවා.

කුලප්පු ගවයන් රෑනක් කොටු කරලා ඉඩමකට එකතු කරල වැටක් ගහනවා. නමුත් ගවයන්ගේ කුලප්පුව සහ කැලෑවට ම සිත යන ස්වභාවය එපමණකින් දමනය වන්නේ නෑ. වැටෙන් කොටු කළ ගවයන් දමනය කරන්නට නිසි පියවරක් ගත්තෙ නැත්තම් ගවයන් කොටු වෙලා ඉන්නෙ අධික අසහනයකින්. මේ නිසා ම වැට කඩාගෙන ගවයන් නැවත කැලේට යන දවස ඉතා ම ඉක්මනින් දැකගන්නට පුළුවන්.

අන්න එ් වගේ තමයි, මේ සිතත්. සීලය තුළින් සිදු කරන්නේ කය වචනය සංවර කර ගන්න එක. සසර පුරා ම කය වචනය අසංවර වුණේ ම මේ සිත නිසයි. ඉතින් එ් සිත දමනය කරන්නට ප‍්‍රතිපදාවක් අනුගමනය නො කර ප‍්‍රාතිමෝක්ෂ සංවර සීලය ම ආරක්ෂා කරගෙන සිටියොත්, දමනය නො වූ සිත විසින් එ් සිල් රැුකීම පීඩාවක් බවට පත් කරනු ලබනවා. පසුව දුකසේ තමයි සීලය රකින්නේ. එ් දුක ඇති කරවන්නේ අර කුලප්පුව සන්සිඳුනෙ නැති කැලෑ ගවයන් විසින්. එ් කියන්නේ දමනය නො වූ සිත විසින්.

එ් ජඩ සිත දමනය කිරීමට තමයි ඉන්ද්‍රිය සංවර ශීලය පවතින්නේ. ඇස කන නාසය දිව කය මනස ආදි ඉන්ද්‍රියයන් රැුකගන්න ඕන. පාපී අකුසල ධර්මයන් ඇති වෙන විදියට කිසි ම අරමුණක් දෙස බලන්නෙවත්, කන් යොමු කරන්නෙවත්, විඳින්නෙවත්, සිතන්නෙවත් නැති ව. රාගය ඇති වන, ද්වේෂය ඇති වන කිසිදු දෙයක් සාමාන්‍ය ලෝකයේ දී වත් අන්තර්ජාල රූපවාහිනි ආදි මාධ්‍ය ලෝකයේ දී වත් පැවිද්දා විසින් අරමුණු කර ගත යුතු නැහැ. මෝහය ඇතිවන ක‍්‍රීඩාවන් නැරඹීම, තරග නැරඹීම ආදියත් පැවිදි ජීවිතයේ ඉන්ද්‍රියයන් අසංවර කරන කාරණා වශයෙන් පෙන්වන්න පුළුවන්. විහාරයට, බෝධියට සෙතක් අපේක්ෂාවෙන් පැමිණෙන මනා පෙනුමැති කාන්තාවන් දෙස නෙත් යොමා කෑදරකමින් බලා සිටීමත්, ඔවුන් සමඟ ධර්මය කීමට යැයි පවසමින් අල්ලාප සල්ලාපයේ යෙදීමත් යන කාරණා තුළිනුත් අනුවණ පැවිද්දාගේ ඉන්ද්‍රිය සංවරය බිඳ වැටෙනවා. හුදෙක් ම විහිළු තහළු කිරීමෙනුත් මෝහය වර්ධනය වී ඉන්ද්‍රිය සංවරය බිඳ වැටෙන බව තේරුම් ගන්න ඕන. තවත් විදියකින් කියනවා නම්, රහතන් වහන්සේනමක් ජීවත් වන්නේ යම් සංවරයකින් ද සෑම විට ම තමා එ් සංවර භාවයේ කුමන සන්ධිස්ථානයේ සිටින්නේ දැයි නැවත නැවත මෙනෙහි කරමින් ජීවත් විය යුතු යි.

එවන් තොරතුරු දැනගැනීමට ථේර ථේරී ගාථා පොත් වහන්සේ කියවන්න.

කැමැත්තෙන් ම තමයි එ් ආකාරයෙන් ජීවත් වෙන්න තියෙන්නේ. අකමැත්තෙන් පීඩාවෙන් නෙවෙයි. යමෙක්ට ඉන්ද්‍රිය සංවර කර ගන්න කැමැත්තක් නැත්තම්, තවමත් ඉන්ද්‍රියයන් පිනවන්න නම් කැමැත්ත තියෙන්නේ එ් බව කල්‍යාණ මිත‍්‍රයෙකුට පවසා සුදුසු දහම් අවවාදයක් ලබාගන්න ඕන. මජ්ඣිම නිකායේ පළමු පොත් වහන්සේගේ මහා දුක්ඛක්ඛන්ධ සූත‍්‍රයේ සහ චූල දුක්ඛක්ඛන්ධ සූත‍්‍රයේ ඇති දහම් කරුණු කියවා හෝ ස්වාමීන් වහන්සේනමකගෙන් පැහැදිලි කරගෙන හෝ දුකෙන් මිදීමට කැමැත්තක් උපදවා ගත යුතු යි.
ලාභ සත්කාර කීර්ති ප‍්‍රශංසා ශාපයෙන් මිදෙන්නත්, පැවිදි ජීවිතයේ අර්ථය සුරැකෙන්නත් හේතු වන ප‍්‍රතිපදාවක් තමයි ආජීව පාරිශුද්ධි ශීලය. දන්පැන් වළඳා සිව්රු පිරිකර සැදැහැතියන්ගෙන් ලබාගෙන ඔවුන් ම පූජා කළ සෙනසුන්වල වාසය කරමින් සීල සමාධි ප‍්‍රඥ දියුණු නො කර එ් දායක ගිහියන් පිනවන අධාර්මික කටයුතුවල නිරත වීම තුළින් පැවිද්දාගේ සිත ඉක්මනින් පිරිහෙනවා. අසත්පුරුෂ ධර්මයන් ඉස්මතු වෙනවා. එ් නිසා එවන් කටයුතුවලින් ඈත් වෙන්න ඕන.

ඇතැම් පැවිද්දන් ශ‍්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙවැනි වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත්වෙනවා. එ් කියන්නේ ශාරීරික අංග බලා ඵලාඵල කියනවා, නිමිති බලා ඵලාඵල කියනවා, උත්පාද බලා ඵලාඵල කියනවා, සිහින ඵලාඵල කියනවා, ශාරීරික ලක්ෂණ බලා ඵලාඵල කියනවා, මීයන් කෑ වස්ත‍්‍ර බලා ඵලාඵල කියනවා, විවිධාකාර යාතු කර්ම ආදි විශේෂ කොට කරන පූජා පවත්වනවා, සතුන් මරා ලේ පුදා කරන පූජා පවත්වනවා, අංග විද්‍යාව, වාස්තු විද්‍යාව, දේශපාලන විද්‍යාව, වාසනාව උරගා බැලීමේ (ලොතරැයි) විද්‍යාව, භූත විද්‍යාව යනාදී මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්න ඕන. මෙයත් ඔහුගේ ආජීව පාරිශුද්ධි සීලයට අයිති දෙයක්.

ඇතැම් පැවිද්දන්, මැණික්වල සුභ අසුභ ලකුණු කීම, දඬුවල සුභ අසුභ ලකුණු කීම, වස්ත‍්‍රවල සුභ අසුභ ලකුණු කීම, කඩු ආදි සලකුණුවලින් සුභාසුභ ලකුණු කීම, ඊතල ආදි සලකුණුවලින් සුභාසුභ ලකුණු කීම, දුනු ආදි සලකුණුවලින් සුභාසුභ ලකුණු කීම, ආයුධ ආදි සලකුණුවලින් සුභාසුභ ලකුණු කීම, ස්ත‍්‍රීන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, පුරුෂයන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, දරුවන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, දැරියන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, දාසයන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, දාසියන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, එ් එ් කටයුතු සඳහා තෝරා ගත යුතු ඇතුන්ගේ ලකුණු කීම, අසුන්ගේ ලකුණු කීම, ඔටුවන්ගේ ලකුණු කීම, වෘෂභයන්ගේ ලකුණු කීම, ගවයන්ගේ ලකුණු කීම, එළුවන්ගේ ලකුණු කීම, බැටළුවන්ගේ ලකුණු කීම, කුකුළු පොර ආදියට සුදුසු කුකුළන්ගේ ලකුණු කීම, වටුවන්ගේ ලකුණු කීම, සුහුනන් ඇඟ වැටීමේ සහ හඬනැගීමේ ඵලාඵල කීම, කනෙහි පලඳාගත් උපකරණවලින් ඵලාඵල කීම, කැස්බෑවන්ට මතුරා ඵලාඵල කීම, මුවන්ට මතුරා ඵලාඵල කීම ආදි තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් කල් ගෙවනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්න ඕන. මෙයත් ඔහුගේ ආජීව පාරිශුද්ධි සීලයට අයිති දෙයක්.

එ් වගේ ම ඇතැම් පැවිද්දන්, විවාහයට නැකැත් කීම, ආවාහයට නැකැත් කීම, වෙන් වූ අඹු සැමියන් එක් කිරීමට නැකැත් සෑදීම, එක් වූ අඹු සැමියන් වෙන් කිරීමට නැකැත් සෑදීම, දීපු ණය එකතු කිරීමට නැකැත් සෑදීම, මුදල් ණයට පොලියට දීමට නැකැත් සෑදීම, දියුණු වීමට ගුරුකම් කිරීම, පාළු වී නැති වීමට ගුරුකම් කිරීම, දරුගැබ් රැකෙන්නට ගුරුකම් කිරීම, දිව අගුළු බැඳෙන්නට ගුරුකම් කිරීම, හනු තද කරන්නට ගුරුකම් කිරීම, අත් පෙරලෙන්නට ගුරුකම් කිරීම, හනු සිරවෙන්නට ගුරුකම් කිරීම, කන් අගුළු වැටෙන්නට ගුරුකම් කිරීම, කණ්ණාඩියෙන් භූතයන් කැඳවා ප‍්‍රශ්න විචාරීම, ගෑනු දරුවන් ලවා පේන කීම, දෙවියන් ලවා පේන කීම, සූර්ය වන්දනාව, මහ බඹු වන්දනාව, මන්ත‍්‍ර බලයෙන් කටින් ගිනිදැල් පිටකිරීම, මන්ත‍්‍ර බලෙන් ලක්ෂ්මී පූජා කිරීම වගේ තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්න ඕන. මෙයත් ඔහුගේ ආජීව පාරිශුද්ධි සීලයට අයිති දෙයක්.

එ් වගේ ම ඇතැම් පැවිද්දන්, ගිහියන්ට යම් යම් දේ දීම, රස්සාවල් සොයා දීම, ගිහියන් එනු දුටු විට පෙර මගට ගොස් පිළිගැනීම, ගිහියන් ආපසු යන විට පසු ගමන් කිරීම, හිතවත්කම පෙන්වා චාටුවෙන් කතා කිරීම, නිතර උපකාර කරන අය ප‍්‍රශංසා කිරීම සහ උපකාර නො කරන අයට ෙදාස් කීම, පමණට වඩා ගරු නම්බු දී කතා කිරීම, ගිහියන්ගේ දරුවන් සුරතල් කිරීම, ගිහියන්ගේ පණිවිඩ ගෙනයාම, තමාගේ ගුණ ඇඟවීම, නැති ගුණ දැක්වීම, වැඩිපුර ලැබීමට සිතා පූජා කරන දේ ප‍්‍රතික්ෂේප කිරීම වගේ මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්න ඕන. මෙයත් ඔහුගේ ආජීව පාරිශුද්ධි සීලයට අයිති දෙයක්. මේ ආකාරයෙන් සංවර ව ලද දෙයින් සතුටු වෙලා අල්පේච්ඡු ව වාසය කරන පැවිද්දා එ් ආජීව පාරිශුද්ධි සීල කොටස සම්පුර්ණ කර ගන්නවා.

ඉන් අනතුරු ව සිව්වැනි සීල කොටස තමයි, ප‍්‍රත්‍ය සන්නිශ‍්‍රිත සීලය. පිණ්ඩපාතය, සේනාසන, චීවර, ගිලන්පස කියල කියන්නේ පැවිද්දාගේ සිව්පසයට. එ් කියන්නේ පැවිද්දෙක් පෝෂණය කරන්නට අවශ්‍ය අවම පහසුකම් වර්ග හතර. මේ පහසුකම් වුණත් පමණට වැඩියෙන් පිළිගෙන ආශාවෙන් යුතු ව පරිභෝග කිරීම කෙලෙස් උල්පතක් වගේ. එ් නිසා මේ සිව්පසය හොඳින් ප‍්‍රත්‍යවේක්ෂා කරලා සිව්පසය පරිභෝග කරන මූලික අරමුණු ම නිතර ම සිහි කරන්න ඕන. සිව්පසය අපිට අවශ්‍ය වන්නේ, නිවන් දකින තුරු අපහසුතා වේදනා ශීත උෂ්ණ පිපාස කුසගිනි මැසිමදුරු සර්ප ගෝනුසු සොර සතුරු අසනීප ආදි පීඩාවන් ඇති නො වී සුවසේ ජීවිතය පවත්වා ගැනීම පිණිස පමණයි.

ශාසනය තුළ පැවිද්දෙක්ට රැකෙන්න ඕන නම් යහපත් පැවිදි ජීවිතයක් ආරක්ෂිත ව ගත කොට ප‍්‍රතිපල ලබන්න ඕන නම්, මේ සිව් ආකාර සීලස්කන්ධය සම්පුර්ණ කර ගැනීම ඉතාමත් ම වැදගත් දෙයක්. දිවි හිමියෙන් මේ කාරණා සුරකින්න ඕන.

එ් ගැන ලස්සන ගාථාවක් තියෙනවා. සිල් රකින්න කැමති අය මේ ගාථාව මතක තියාගෙන සිංහල අර්ථයත් සමඟින් උදේ හවස සජ්ඣායනා කිරීම ඉතා ම ප‍්‍රයෝජනවත්.

කිකීව අණ්ඩං චමරීව වාලධිං –
පියං ච පුත්තං නයනං ව එ්කකං
තථේ ව සීලං අනුරක්ඛමානා –
සුපේසලා හෝථ සදා සගාරවා

ජීවිත පරිත්‍යාගයෙන් යුතු ව බිත්තර රකින කිරළ මවක් සේ, ජීවිත පරිත්‍යාගයෙන් යුතු ව වලිගය රකිනා සෙමෙර මුවෙක් සේ, ජීවිත පරිත්‍යාගයෙන් යුතු ව තම දරුවා රැුකගන්නා එක්දරු මවක් සේ, එකැසක් ඇති තැනැත්තෙක් ජීවිත පරිත්‍යාගයෙන් යුතු ව එ් ඇස සුරකින්නා සේ ජීවිත පරිත්‍යාගයෙන් යුතු ව ගෞරවයෙන් යුතු ව සීලය ආරක්ෂා කරමින් සුපේශල ව වාසය කළ යුතු යි…”

‘‘සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස. මෙවන් සීලයක් ආරක්ෂා කරන බුද්ධ ශ‍්‍රාවකයන් දැකගන්නට ලැබීමත් මහා වාසනාවක්…”

කඳුළු පිරි දෙනෙතින් යුතු ව ෙදාහොත් මුදුන් දී එම ඔවදන් මම අනුමෝදන් වුණෙමි.

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නො බලන්න.
ඇඟිල්ල ගැන නො සොයන්න.
මේ ශ‍්‍රී සද්ධර්මය
ජීවමාන යි…!
එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2015  දුරුතු කලාපය
WWW.MAHAMEGHA.LK

මතක සටහන
ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.
SMS Only – 077 063 08 68