ලෝකයේ සියලුම සත්වයන් පාහේ තමාගේ ඉන්ද්‍රියයන්ට සන්නිවේදනය වන සෑම ක්‍රියාවකට ම පාහේ විවිධාකාරයෙන් ප්‍රතික්‍රියා දක්වති. ඇතැම් විට එය පිරිස් කණ්ඩායම් වශයෙන්, රට රටවල් වශයෙන්, ජාතීන් ජාතීන් වශයෙන්, ආගම් ආගම් වශයෙන් නොයෙක් කුලයන්ට බෙදී එකිනෙකාට රෞද්‍ර ලෙස ද මෘදු ලෙස ද එහෙමත් නැත්නම් යහපතින් ද අයහපතින් ද ප්‍රතික්‍රියා දක්වයි. ඇතැම් විට ඒවා කයෙන්, වචනයෙන්, ධනයෙන්, බලයෙන්, යුද්ධයෙන්, සාමයෙන් ආදී නොයෙක් වෙස්ගනියි. එම ස්වභාවය දෙවියන් මිනිසුන් අතර පමණක් නොව සතර අපායිකයන් අතර ද දක්නට ලැබේ. ඇතැම් ප්‍රතික්‍රියා කරණ කොටගෙන මහා මිනිස් සංහාරයන්ගෙන් ඒවා අවසන් වේ. එය මේ මොහොතේ ද ලොව පුරා ම දකින්නට ලැබෙන නොවිරල දසුනකි.

සතුරෙක් සතුරෙකුට කරන අනතුරට වඩා අනතුරක්

මේ කෙළවරක් නැති මහා ව්‍යසනවල මූල බීජය බොහෝ විට මුලින් ම හටගෙන තියෙන්නේ යම් පුද්ගලයෙකුගේ, දෙදෙනෙකුගේ සිත තුළ ය. කෙනෙකුගේ සිත තුළ හටගත් මේ ප්‍රතික්‍රියා දක්වන ස්වභාවය අවසානයේ මිලියන ගණන් ජීවිත විනාශ කරන ලෝක යුද්ධවලින් අවසන් වී ඇත. පරම්පරා ගණනකට එහි වන්දි ගෙවීමට සිදුවී ඇත. තමාට අහිමි වූ අයිතිවාසිකම් හෝ වේවා අසාධාරණකම් මතින් පුද්ගලයෙකුගේ සිත තුළ ගොඩනැගුණු මේ වෛරී සහගත ප්‍රතිප්‍රහාරය ක්‍රමක්‍රමයෙන් විකාශනය වී ජන කණ්ඩායම් අතරට සම්ප්‍රේෂණය වීමේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේ එය මහා ව්‍යසනයක පදනම සකස් කර දෙයි.

ලොව ම සුරක්ෂිත කරන සිතක උපදින බලසම්පන්න ගුණය

ඒ නිසා පුද්ගලයන් වශයෙන් මේ එකම එක ගුණයක් පුරුදු කිරීම තුල තමාටත් සියලු ලෝ වැසියන්ටත් මහා යහපතක්, ආරක්ෂාවක් සලසා දිය හැකිය. සියල්ලන් ම සුරක්ෂිත කළ හැකිය. ඒ මහානීය එක ම එක ගුණය නම් ක්ෂාන්තිය හෙවත් ඉවසීම යි. පුද්ගලයන් වශයෙන් ද කණ්ඩායම් වශයෙන් ද සුරක්ෂිත කරන පුද්ගලයෙකු විසින් අත්‍යාවශ්‍යයෙන් ම දියුණු කළ යුතු උතුම් ගුණයකි, ඉවසීම. යම් කෙනෙකුගේ සිත තුළින් යම් විටෙක ඉවසීම ගිලිහී යයි ද එවිට හේ කරන කියන දේ පිළිබඳ කිසිදු වගකීමක් ඔහුට නොමැත. ඕනෑම විනාශකාරී ක්‍රියාවකට ඔහු පෙළඹෙයි. ඇතැම් විට ඔහු ඉවසිය යුත්තේ සුළු මොහොතකි. සුළු කාලයක් එය දරා සිටීමට නො හැකි වීම තුළ ඔහු සිදුකරන ප්‍රතික්‍රියාව තමාටත්, තව බොහෝ දෙනෙකුටත් මහා අනර්ථයක් සිදුකරයි. ඒ නිසා ලොව බලවත් ම, යහපත් ම හා සුදුසු ම ප්‍රතිප්‍රහාරකය නම් ඉවසීම ය. අපි මෙම ලිපිය මගින් ඉවසීම පුරුදු කළ යුත්තේ කොතැනක ද එහි ආනිශංස, නොඉවසීමේ ආදීනව හා ඉවසීම පුරුදු කිරීමට උපකාර වන දේ ගැන කතා කරමු.

ඉවසීම පුරුදු කළ යුත්තේ කොතැනක ද?

පැවිද්දාට ඇති වටිනා ම බලය ඉවසීම ය. එය උතුම් ම තපස යි. එමෙන් ම එය උතුම් මංගල කරුණකි. භාග්‍යවතුන් වහන්සේ සබ්බාසව සූත්‍රයේ දී අප ඉවසීම පුරුදු කළ යුත්තේ කුමන අවස්ථාවන්හිදී ද යන්න දේශනා කළ සේක.
“මහණෙනි, වීරියෙන් යුක්තව ඉවසීමෙන් නැති කරල දාන්නේ මොන ආශ්‍රව ද?

මහණෙනි, මෙහි භික්ෂුව නුවණින් සලකලා වීරිය ඇතිකරගෙන ඉවසනවා. භික්ෂුව සීතලත් ඉවසගෙන ඉන්නවා. රස්නෙත් ඉවසගෙන ඉන්නවා. බඩගින්නත් ඉවසගෙන ඉන්නවා. පිපාසයත් ඉවසගෙන ඉන්නවා. මැස්සන්ගේ කරදරත්, මදුරු කරදරත්, සර්පයන්ගේ කරදරත්, නපුරු වචනවලින් බැණුම් අහන්න ලැබෙනකොටත් ඉවසගෙන ඉන්නවා. ගොඩක් දරුණු, කර්කශ, නපුරු, අමිහිරි, අකමැති, මාරාන්තික දුක් වේදනා ශරීරවලට ලැබෙනවා. එතකොටත් භික්ෂුව නිශ්ශබ්දව ඉවසගෙන ඉන්නවා.”

නොඉවසීමේ ආදීනව

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ පඨම, දුතිය අක්ඛන්ති සූත්‍රයන්හිදී නොඉවසන පුද්ගලයාට ඇති ආදීනව පිළිබඳව මෙසේ වදාළ සේක. ඔහු,

1. බොහෝ ජනයාට අප්‍රිය අමනාප වෙයි.
2. රෞද්‍ර ද වෙයි.
3. පසුතැවෙන්නේ ද වෙයි.
4. වෛර බහුල ද වෙයි.
5. වැරදි බහුල ද වෙයි.
6. සිහි මුළා ව කළුරිය කරයි.
7. කය බිඳී මරණින් මතු නිරයේ උපදියි.

ඉවසීම ප්‍රිය කරන දෙවියෝ

වරක් සක් දෙවිඳුන් හා වේපචිත්ති නම් අසුරේන්ද්‍රයා අතර ‘යහපත් වචනය ජය ගනී’ යන මැයෙන් විවාදයක් පැවතිනි. සක් දෙවිඳුන් ඉවසීමේ ආනිශංස කියා සිටියේ ය. එවිට වේපචිත්ති අසුරේන්ද්‍රයා මෙසේ පැවසී ය.

“සක් දෙවිඳුනි, ඔය ඉවසීම ගැන මම එක්තරා වරදක් දකිනව. යම් විටෙක ඉවසනකොට, මෝඩයා හිතන්නේ මෙයා මේ මට බයෙන් ඉවසනව කියල. පැනල දුවන ගවයෙක් ව යටකරගෙන ගව රංචුවක් දුවනවා වගේ අඥාන කෙනා ඉවසන කෙනාව ම යි යටකරගෙන යන්නේ.”

එයට පිළිතුරු වශයෙන් සක්දෙවිඳුන් මෙසේ ප්‍රකාශ කර සිටියේ ය.

“මෙයා මේ ඉවසන්නේ මට බයෙන් ය කියල, කෙනෙක් හිතුවත් කමක් නෑ, නැතත් කමක් නෑ. උතුම් ම යහපත නම් තමා තුළ යහපත් ගුණධර්ම ඇතිකර ගැනීම යි. ඉවසීමට වඩා උතුම් දෙයක් නෑ.

යම් කෙනෙක් අතිශයින් ම බලවත් ව ඉඳගෙන, දුර්වල කෙනෙකුගේ නින්දා අපහාස ඉවසනව නම්, ඒක තමයි ලොකු ම ඉවසීම. බැරි කෙනා හැම තිස්සේ ම ඉවසනවා නෙව.
යම් අඥානයෙකුගේ බලයක් වේ ද ඒක බලය කියල කීවට එතන බලයක් නෑ. ධර්මය තුළ සුරැකී ඉන්න කෙනාගේ ඉවසීම අභිභවා කියන්න දෙයක් නෑ.”

(සුභාසිතජය සූත්‍රය – සං. නි. 1)

ඉවසීම හා නොඉවසීම

ඉවසිය යුතු තැන ඉවසීමේත්, කලබල විය යුතු තැන කලබල වීමේත් වටිනාකම පිළිබඳ ව සම්භූත නම් රහත් මුනිඳුන් මෙසේ වදාළ සේක.

“නුවණ නැති කෙනා ඉවසන්නට ඕනෑ තැන කලබල වෙනවා. කලබල වෙන්න ඕනෑ තැන ඉවසනවා. අන්තිමේ දී වැරදි විදිහට කටයුතු කරලා දුකට පත්වෙනවා.

එයාගේ දියුණුව පිරිහී යන්නේ කළුවර වේගෙන යන හඳක් වගේ. අපකීර්තියට පත් වෙලා යනවා. යහපත් මිතුරන් ද අමනාප වෙලා යනවා.

නුවණ තියෙන කෙනා ඉවසන්ට ඕනෑ තැන ඉවසනවා. කලබල වෙන්න ඕන තැන කලබල වෙනවා. නුවණින් විමසා කටයුතු කරලා සැපයට පත් වෙනවා.

එයාගේ දියුණුව වැඩෙන්නේ පිරීගෙන යන සඳක් වගේ. කීර්තිය පැතිරෙනවා. යහපත් මිතුරන් අමනාප වෙන්නේ නෑ.”

(ථේර ගාථා පාළි)

මුනිවරුන් පවා පුරුදු කළ උතුම් ගුණයක්

බුද්ධකාරක ධර්මයන් ලෙස දසපාරමී පිරූ අප මහා බෝසතාණන් වහන්සේ සයවැනි පාරමිතාව ලෙස සසර පුරා ක්ෂාන්තිය හෙවත් ඉවසීම පුරුදු කළ සේක. තමන් වහන්සේට පැමිණි සම්මාන අසම්මාන ඉදිරියේ පිරිසිදු දෙයෙහි ද අපිරිසිදු දෙයෙහි ද නොකිපෙන මහපොළොව සේ ඉවසීම පුරුදු කළ සේක. ක්ෂාන්තිවාදී ජාතකයේ දී උන්වහන්සේගේ ඉවසීම මෙසේ විය.

“කාසි රජ මා සිත් පිත් නැති මළ සිරුරක් මෙන් තියුණු මුවහත් පොරොවෙන් කොටමින් ශරීර අංගයන් එකින් එක ඉවත් කරන කල්හි ද ඔහු කෙරෙහි නොකිපියෙමි. මේ මාගේ ක්ෂාන්තී පාරමිතාව යි.”

මහරහතුන් තුළ තිබෙන්නා වූ ඉවසීමේ ගුණය පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ මෙසේ ප්‍රශංසා කොට වදාළ සේක.

“බාහිර උදවිය ආක්‍රෝශ කරද්දීත්, කායික වධ බන්ධන කරද්දීත් ඒ කිසිදෙයකට කිපෙන්නේ නැතිව ඉවසනව නම් ඉවසීම ම බලය කරගෙන ඉන්න අරහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.”

(ධම්ම පදය – බ්‍රාහ්මණ වර්ගය)

ඉවසීම පුරුදු කර ගන්නේ කොහොම ද?

කායානුපස්සනා ආදී භාවනා දියුණු කිරීම, සතර බ්‍රහ්ම විහරණ දියුණු කිරීම, කලණ මිතුරන් ඇසුරු කිරීම, ධර්ම ශ්‍රවණ, ධර්ම සාකච්ඡා කිරීම, ඉවසීමේ ආනිශංසයන් හා නොඉවසීමේ ආදීනව කල්පනා කිරීමත්, මහ පොළොව සේ අනන්තව ඉවසීම පුරුදු කළ මහරහතුන්ගේ ජීවිත ආදර්ශයට ගැනීමත් ආදිය අපේ ජීවිත තුළ පුරුදු කිරීමෙන් මෙම මහානීය ගුණය පුරුදු කර ගැනීමට අපට ද වාසනාව උදාවෙනු ඇත.

මේ සා මහත් ආනිශංස ලබාදෙන මෙම මහානීය ගුණය දියුණුකර ගැනීමට අප සියලු දෙනාට ද වාසනාව උදා වේවා…!