highlights of the week
Home » නුවණ වැඩෙන බෝසත් කථා » 15. ඛරාදිය ජාතකය

15. ඛරාදිය ජාතකය

ඛරාදිය නම් මුවා ගැන කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ,
අපට සසර පුරුදු මොනතරම් බලපානවාද කියා මේ කතාවෙන් තේරුම් ගන්නට පුළුවනි. නරක පුරුද්දක් සසරට ඇබ්බැහි වෙලා තිබුනොත් මේ ආත්මෙත් ඒකම කරනවා.

ඒ කාලේ අපගේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයේ වැඩසිටියේ. ඒ ජේතවනාරාමයේ එක්තරා භික්ෂුවක් හිටියා. වැඩිහිටි භික්ෂූන්ගේ කිසි අවවාදයක් ගණන් ගන්නේ නෑ. හරී හිතුවක්කාරයි. දැඩියි. ගුරුවරයෙකු ගේ වචනයට නැමෙන්නේ නෑ. තමන් හිතට ගත් තීරණයේ ම ඉන්නවා. ඉතින් භික්ෂූන් වහන්සේලා මේ ගැන භාග්‍යවතුන් වහන්සේට පැමිණිලි කළා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුව කැඳෙව්වා.

“හැබෑද භික්ෂුව… ආචාර්ය, උපාධ්‍යාය කිසිවෙකු ගේ අවවාදයක් පිළිගන්නෙ නෑ කියන්නේ?”

“එහෙමයි… භාග්‍යවතුන් වහන්ස… ඒක ඇත්ත.”

“භික්ෂුව… ඔබ පෙර ආත්මයේත් එහෙම ම යි. නුවණැත්තන් ගේ අවවාද නොගැනීම නිසා උගුලට අහුවෙලා මැරිලා ගියා.”

එතකොට භික්ෂූන් වහන්සේලා ඒ අතීත කථාව කියා දෙන්න කියා භාග්‍යවතුන් වහන්සේ ගෙන් ඉල්ලා සිටියා.

“මහණෙනි, ඉතා අතීත කාලෙක බරණැස් පුරේ බ්‍රහ්මදත්ත කියල රජ කෙනෙක් වාසය කළා. ඒ කාලේ බෝධිසත්වයෝ මුවෙක් වෙලා ඉපදිලා හිටියා. ලොකු මුවරංචුවක් සමඟ වනාන්තරේ වාසය කළා. මේ මුවාට සොයුරියක් හිටියා. ඒ මුවදෙනට පැටියෙක් ලැබුනා. ඒ පැටියා ගේ නම ඛරාදිය. දවසක් ඒ සහෝදර මුවදෙන තම පැටියාව රැගෙන බෝසත් මුවා ළඟට පැමිණියා.

“අයියණ්ඩි…. මේ ඉන්නේ ඔබේ බෑණා කෙනෙක්. මේ පැටියාට මුවමායම් උගන්වන්න. අද සිට මේ පැටියා ඔබට භාරයි.”

“හොඳයි…. එහෙමනම් මුව පැටියෝ…. අසවල් වෙලාවට එන්න. ඇවිත් මගෙන් මුව මායම් ඉගෙන ගන්න.”

නමුත් ඒ මුව පැටියා මුව මායම් ඉගෙන ගන්නට ප්‍රධාන මුවා ළඟට ආවේ නෑ. ඔය විදිහට සත් දවසක් ම ගෙවිලා ගියා. අවවාද ලබාගන්නට ඇති අවස්ථා හතක් මග හැරුනා. ඒ තරුණ මුව පැටියා අවවාදයන් නොලබා ම, අනතුරු වලින් බේරෙන ආකාරය ගැන උපදෙස් නොලබා ම තම හිතුමනාපේ වනයේ සැරිසරන්න පටන් ගත්තා. තමන් නොදැනී ම උගුලට හසුවුනා. මරණයට පත්වුනා. වැද්දා මස් කද ගෙදර ගෙනිච්චා.

මුව පැටියා නැති ශෝකයෙන් මුව දෙන බෝසත් මුවා සොයාගෙන ආවා. “අයියණ්ඩි…. ඔබේ බෑණා වූ මුවාට මුවමායම් උගන්නලා නේද තිබුනේ?”

“නෑ… ඒ මුවාට අවවාදවලින් වැඩක් නෑ. මං ළඟට එන්න කියද්දි කියද්දි මුව මායම් ඉගෙන ගන්න ආවේ නෑ. අවවාද පිළිගන්නෙ නැති කෙනා ගැන හිතල වැඩක් නෑ. ඔය විදිහේ අකීකරු මුවෙකුට මුව මායම් උගන්වන්න මං මහන්සි වෙන්නෙ නෑ. ඒ මුවා අවවාද උපදෙස් ලබාගන්න පොඞ්ඩක්වත් උනන්දුවක් ඇති බවක් පෙන්නුවේවත් නෑ.”

“මහණෙනි, මේ භික්ෂුව දැන් විතරක් අකීකරු වුනා නොවේ. ඉස්සර ආත්මෙත් ඔය විදිහමයි. ඒ ආත්මේ සහෝදර මුව දෙන ගේ අකීකරු මුව පැටියා වෙලා සිටියේ මේ අකීකරු භික්ෂුව යි. සහෝදර මුව දෙන වෙලා සිටියේ උප්පලවණ්ණා යි. අවවාද දෙන ප්‍රධාන මුවා වෙලා හිටියේ මම යි.”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

වැඩිහිටියන්ගේ, ගුරුවරුන්ගේ, ආචාර්ය උපාධ්‍යායන්ගේ අවවාදයට ඇහුම්කන් දීම කියන්නේ ඉතා වටිනා ගුණයක්. ඒ ගුණය අහිමි කරගත් කෙනා ඕනෑම අවස්ථාවක ඕනෑම අකරතැබ්බයකට පත්වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වැඩිහිටි වූ දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ යහපත් අවවාදයක ඇති උපකාරය තේරුම් ගැනීම ගොඩාක් වැදගත්.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

14. වාතමිග ජාතකය

“බලන්න මිත්‍රවරුනි, ඔය වාතමිග වර්ගයේ මුවෙක්. යම් තැනක දී මිනිසෙක් දැක්කොත් හත් දවසක් ඒ පළාතටවත් යන්නෙ නෑ. යම් තැනක දී තර්ජනයට ලක්වුනොත් මුළු ජීවිතේට ම ඒ පැත්තට යන්නෙ නෑ. මේ මුවා එබඳු හුදෙකලා සතෙක්. නමුත් බලන්න. රසයට ගිජුවීම නිසා මෙවැනි තැනකටත් ආවා නොවැ.“