ධර්මාශෝක මහාධිරාජයාගේ උප්පත්ති කතාව
(4 වන කොටස)

සර්වලෝකෝත්තම වූ අප භාග්‍යවතුන් වහන්සේ ලොව පහළවීමට වසර දහසකට පමණ පෙර පසේ බුදුවරයන් වහන්සේලාගේ යුගය පැමිණියේ ය. ඒ යුගයෙහි දඹදිව එක්තරා මී පැණි වෙළෙන්දෝ තිදෙනෙක් වූහ. ඔවුන් අතුරෙන් දෙදෙනෙක් මී පැණි බෙහෙවින් ඇති ප්‍රදේශයන්හි ඇවිදිමින් මී පැණි සොයාගෙන එති. එක් අයෙක් වෙළඳාම කරගෙන යන්නේ ය. මේ අතර එක්තරා පසේබුදුවරයන් වහන්සේනමක් වණ රෝගයකින් පීඩිත වූ සේක. වෙනත් පසේබුදුවරයන් වහන්සේනමක් උන්වහන්සේ උදෙසා මී පැණි සොයමින් මී පැණි වෙළෙන්දන්ගේ ගමට පිඬුසිඟා වැඩි සේක.

එක්තරා ගම්වැසි දැරියක් කළයක් රැගෙන දියට යන්නී පසේබුදුරජුන් දුටුවා ය. ඕ තොමෝ උන්වහන්සේ සමඟ කතාබස් කොට මී පැණිවල අවශ්‍යතාවය අසා, සොයුරන් තිදෙනාගේ මී පැණි වෙළඳසැල දෙසට අත නගා පෙන්වා ඒ දෙසට වඩින ලෙස පැවසුවා ය. ‘ඉදින් වෙළෙන්දා මී පැණි පූජා නො කරන්නේ නම්, මම හෝ පසුව මුදල් ගෙවීම පිණිස ශ්‍රමණයන් වහන්සේට මී පැණි රැගෙන පුදන්නෙමි’ යි ඕ සිතුවා ය. පසේබුදුරජුන්ගේ ශාන්ත ස්වභාවය දුටු මී පැණි වෙළඳ තෙමේ මහත් ප්‍රීතියට පත් වූයේ, උතුරා ගොස් බිමටත් වැගිරෙන සේ පාත්‍රය පුරා මී පැණි පූජා කළේ ය. බිම වැගිරී මී පැණි දෙස බැලූ හෙතෙම උතුරා යන ප්‍රීතියෙන් යුතුව මෙසේ පැතුවේ ය.

“ස්වාමීන් වහන්ස, මෙපින් බෙලෙන් මා හට මේ එකසිය එකක් රාජධානි ඇති ජම්බුද්වීපය එක් රාජ්‍යයක් බවට පත්වේවා! මාගේ ආඥා චක්‍රය ගුවන් තලයෙහි ද යොදුනක් දුර පැතිරේවා!”

ඔහු හට ආසිරි පැතූ පසේබුදුරජ තෙමේ නැවත වඩින සේක්, ගම් දැරිය හට දක්නට ලැබුණේ ය.

“ස්වාමීන් වහන්ස, මී පැණි ලැබූ සේක් ද?”

“එසේ ය නැගණිය, ඔබ දැක්වූ වෙළෙන්දා විසින් එය පුදන ලද්දේ ය.”

“එසේ නම් ස්වාමීන් වහන්ස, ඒ වෙළෙන්දා විසින් යමක් පතන ලද්දේ ද?”

“ඔහු විසින් දීප චක්‍රවර්තිභාවය පතන ලද්දේ ය නැගණියනි.”

“එසේ නම් ස්වාමීන් වහන්ස, මා මුඹ වහන්සේ හට මී පැණි වෙළඳසැල දැක්වූ පින් බෙලෙන් ඔහු දඹදිව අගරජු වන දිනෙක මම අගරැජිණිය වෙම්වා!”

ඇයට ද ආශිංසනය කළ පසේබුදුරජාණෝ පෙරළා ගන්ධමාදන කූටයට ම වැඩි සේක. මේ අතර මී පැණි සොයා යන අනෙක් සොයුරන් දෙදෙනා ද වෙළඳසැලට පැමිණියෝ ය.

“හා… මල්ලියේ, අද මම මහා පිනක් කර ගත්තා නොවැ. අද මෙහෙට හරිම ශාන්ත ශ්‍රමණයන් වහන්සේනමක් වැඩියා. මගේ හිත පැහැදුණා. ඉතිං මම පාත්තරයක් පිරෙන්න ම මී පැණි පූජා කර ගත්තා. මේ මී පැණි ඔබලාටත් අයිතියිනේ. ඉතිං මේ පින අනුමෝදන් වෙන්න.”

“ඈ… මොකක් අයියේ, පාත්තරයක් පිරෙන්න ම පූජා කොළා? දැන් සැඩොලුනුත් කහරෙදි පොරවාගෙන හොරාට එනවා. ඔය ආවේත් සැඩොලෙක් වෙන්න බැරි නෑ.”

“ඇත්ත තමයි. මහ අපරාදයක්නෙ කොරලා තියෙන්නේ. ඒ හොරා අල්ලා මුහුදෙන් එතෙරට විසි කොරන්නයි වටින්නේ.”

“හා… හා… මොනවා ද මේ කියන්නේ? නුඹලා කොහොමද මේ ගැන හරියට ම දන්නේ? මෝඩ නො වී දැන්වත් පින් අනුමෝදන් වෙයල්ලා. උන්වහන්සේ හැබෑ ම උත්තමයෙක් කියලයි මට නම් හිතෙන්නේ.”

තම සොයුරාගේ බස් ඇසූ ඔවුහු අවසන පින් අනුමෝදන් වූහ. එසේ නමුත් පසේබුදුරජුන් හට සැඩොල් වාදයෙන් කථා කළ සොහොයුරා හට අරහත්වයට පත්වන අවසන් භවයෙහිදී පවා සැඩොල් ගමක උපත ලබන්නට සිදු විය. ඔහු වනාහී ධර්මාශෝකාධිරාජයාණන්ගේ වැඩිමල් සොයුරු සුමනයන්ගේ පුත්‍ර වූ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ය.

බින්දුසාර රජු මිය ගිය කල්හි අශෝක රජු පැමිණ සුමන කුමරුන් මරවා අගනුවර අත්පත් කර ගත්තේ ය. එසමයෙහි ගර්භිණී ව සිටි සුමනයන්ගේ බිසෝ වූ සුමනා දේවිය නගරයෙහි නැගෙනහිර දොරටුවෙන් පළා යන්නී, සැඩොල් ගමකට පැමිණියා ය. ගම මධ්‍යයේ පිහිටි නුගරුක් මුලෙක දෙවියන්ගේ උපකාර ලබමින් දරුවෙකු වැදූ ඕ තොමෝ, සත් වසරක් සැඩොලුන්ගේ උපකාර ලබමින් එහි ම විසුවා ය. න්‍යග්‍රෝධ රුක් සෙවණෙහි උපන් දරු න්‍යග්‍රෝධ යැයි නම් කරන ලද්දේ ය. සත්වැනි වියෙහි දී මහා වරුණ රහතන් වහන්සේ විසින් පැවිදි කරන ලද ඒ දරු තෙමේ පැවිද්ද පිණිස හිසකෙස් බාද්දී ම අරහත්වයට පත් වූයේ ය. පසු කලෙක දම්සෝ නිරිඳුන්ගේ රන් සිහසුනෙහි වැඩ හිඳ දම් දෙසා නිරිඳුන් ව බුදු සසුනෙහි පැහැදවූ සේක්, ඒ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ය.

එමෙන් ම පසේබුදුරජුන් මුහුදින් එතෙර දැමිය යුතු යැයි පැවසූ අනෙක් සොහොයුරා ඒ කර්ම විපාකයෙන් ජම්බුද්වීපයෙහි උපතක් පිණිස අවකාශ නො ලබා මේ ශ්‍රී ලංකාද්වීපයේ උපන්නේ ය. ඔහු වනාහී අපගේ දෙවනපෑතිස් මහා රජාණෝ ය. සද්ධාතිස්ස රාජ සමයෙහිදී යළි ලක්දිව උපන් ඒ රජතෙමේ පැවිදි ව මහා ව්‍යග්ඝ ස්ථවිර යයි ප්‍රකට වූයේ, අරහත්වයට පත් ව සසරින් එතෙර වූයේ ය. අගබිසෝ තනතුර පැතූ දැරිය පසු කලෙක ශරීරයෙහි සන්ධි නො පෙනෙන තරම් පිරිපුන් දේහවිලාස ඇති, රූසිරින් අගතැන්පත් දම්සෝ නිරිඳුන්ගේ අසන්ධිමිත්‍රා නම් අගබිසව බවට පත් වූවා ය. පසු කලෙක සම්බුදුරජුන්ගේ මධුර ස්වරය අරමුණු කොට බුද්ධානුස්සති වඩා සෝවාන් ඵලයට ද පත් වූවා ය.

ධර්මා බිසවට උපන් දොළදුක

මී පැණි පුදා දඹදිව රාජ්‍යය පැතූ වෙළඳ තෙමේ බොහෝ කලක් දෙව්ලොව විසූයේ, පින ඵල දීමට සුදුසු කාලය පැමිණි කල්හි එයින් චුතව මගධ රාජ්‍යයේ බින්දුසාර රජු හට දාව ධර්මා අග බිසොවුන්ගේ කුස පිළිසිඳ ගත්තේ ය. ඒ මේ මහ පිනැත්තා කුස දරා සිටින ධර්මා බිසොවුන් හට ඉතා අද්භූත වූ දොළ දුකක් හටගත්තේ ය. ඕ තොමෝ එය කිසිවකු හටත් කියාගත නො හැකිව නොසන්සිඳුණු මන දොළ ඇත්තී, ක්‍රම ක්‍රමයෙන් කෙසඟ ව සුදුමැලි ව විරූප ව ගියා ය.

බිසොවුන්ගේ මේ වෙනස රජු හට දකින්නට ලැබුණි.

“සොඳුරී, කිමද මේ හැටි ඇඟපත ඇදී ගිහින්. මුහුණ සුදුමැලි ව ගිහින්… පෙර කිසිදා මෙවැන්නක් වී නැහැ නොවැ.”

“හිමියනි, පවසා ගත නො හැකි එක්තරා ආශාවක් ඇත්තේ ය. එබැවිනි.”

“නොවලහා පවසන්න සොඳුරී, මටත් ඉටු කර දෙනු බැරි ආශාවන් තිබෙන්නට පුළුවන් ද?”

“එසේ නො වෙයි හිමියනි, මෙය ඉතා අද්භූත ආශාවෙකි.”

“කම් නැත සොඳුරී, ඔබේ ආශාවන් සන්සිඳුවීමට මට වඩා සමත් කෙනෙක් මේ දඹදිව සිටිය හැකි ද? ඔබ පවසන්න. එය ඉටු කිරීම මට භාරයි.”

“හිමියනි, මා හට ගුවන් තලයෙහි තාරකාවන් ද වලාකුළු ද පොළොවෙහි පලා වර්ග ද ගැඩවිල් පණුවන් ද අනුභව කිරීමට දොළක් උපන්නේ ය. හැබැයි ඒවා අනුභව කළ යුත්තේ එක් පයක් හිරු මඬල මත්තෙහි ද අනෙක සඳ මඬල මත්තෙහි ද තබාගෙනයි.”

“කරදර නො වන්න සොඳුරී, අපගේ දරු මහ පිනැත්තේ ය. එබැවින් මෙය ඉටු කළ හැකි මගක් තිබිය යුත්තේ ම ය.”

“භවත් අමාත්‍යයෙනි, මාගේ බිසොවුන් හට පෙර නො ඇසූ විරූ මෙබඳු අද්භූත දොළක් උපන්නේ ය. මෙය සපුරාලන්නේ කෙසේ යැයි හඟිව් ද?”

“මහරජ, මේ දොළ වනාහි උපායයෙන් ම සන්සිඳුවිය යුත්තේ ය. සූර්ය චන්ද්‍ර ප්‍රතිරූප නිර්මාණය කරවා ඒ මත බිසවුන් තැබිය යුත්තේ ය.”

“භවත්නී, කවන්නේ මොනවා ද?”

“මහරජ, ප්‍රථමයෙන් රජ මිදුල පිරිසිදු කොට සුදුවැලි ඉස ඒ මත සිදුරු සහිත පැදුරක් ඇතිරිය යුත්තේ ය. එය සුදු වස්ත්‍රයකින් වසා සිදුරු වලින් මතු වන සේ පලාවර්ගද, ගැඩවිල් පණුවන්ගේ ආකාරයෙන් සැකසූ කැවිලි විශේෂයක් ද තැබිය යුත්තේ ය. එමෙන්ම තාරකා පරිද්දෙන් ද, වලාකුළු පරිද්දෙන් ද සැකසූ කැවිලි විශේෂයෙන් ම අනුභව කරවිය යුත්තේ ය.”

රජතෙමේ සියලු කටයුතු වහ වහා සම්පාදනය කොට බිසොවුන්ගේ දොළදුක් සන්සිඳවූයේ ය. නොබෝ දිනෙකින් බින්දුසාර මහරජු හට දේවියගේ දොළදුක නිසා ඇතිවන පලාඵල විමසා බැලීමට සිත් වූයේ ය. බමුණන් හා නගර ගුත්තිකයන් වෙතින් විමසා ඔවුන් එය පැවසීමට අපොහොසත් වූ කල්හි, අගබිසොවුන් හට හිතෛෂී වූ ජනසාන නම් එක්තරා ආජීවකයෙක් ඒ සඳහා ඉදිරිපත් වූයේ ය. ‘දේවී තොමෝ නොබෝ දිනෙකින් ඉතා ශෝභමාන වූ මහා පිනැති පුත් රුවනක් බිහි කරන්නී ය.’ යන්න ඔහුගේ අනාවැකිය වූයේ ය.

“අසනු මැනවි බිසොවුනි, ඔබගේ මහ පිනැති පුත්‍ර තෙමේ මතු රජ වන්නේ ය. හිරු සඳු මත පා තැබීම මේ දඹදිව එකසිය එකක් රජ දරුවන් ඔහුගේ සේවකයන් වන බවට නිමිත්ත යි. තාරකා අනුභව කිරීම තම සොයුරන් නසා දමන බවට නිමිත්ත යි. වලාකුළු අනුභව කිරීම අනූ හයක් පමණ වූ මිථ්‍යා ආගම් විනාශ කොට දමා ශ්‍රේෂ්ඨ වූ සම්මා සම්බුදු සසුන උද්දීප්තියට පත් කරන බවට නිමිත්ත යි. ගැඩවිල් පණුවන් අනුභව කිරීම පොළොව යටට යොදුනක් දුර අණසක පවත්වන බවට නිමිත්ත යි. පළා වර්ග අනුභව කිරීම අහසෙහි ද යොදුනක් දුරට අණසක පවත්වන බවට පෙරනිමිත්ත යි.”

තවත් කොටසක් මීළඟ කලාපයෙන්….

ඇසුර – වංසත්ථප්පකාසිනී නම් වූ මහාවංශ ටීකාව

සටහන – රවීන් කෝදාගොඩ