[image title=”” size=”full” id=”9094″ align=”none” linkto=”none”]

උදා හිරුගේ පළමු රැස් දහර තුරුලතා පත් අතරින් පෙරී විත් මහපොළව සිප ගනිද්දී රූස්ස වනස්පතීන්ගෙන් සැදුම්ලත් මහ වනයක් මැදින් වැටී ඇති සුන්දර මංපෙතක් ඔස්සේ අපි ගමන් කරමින් සිටිමු. මීට වසර ගණනකට පෙර මේ මාවතේ යද්දී දක්නට ලැබුණු නිර්මල සුන්දරත්වය මාර්ග සංවර්ධනය විසින් තරමක් දුරස්කොට ඇතත් ගල් බොරළු වළවල් සපිරි මාවත මත කාපට් ඇතිරීම තුළින් ඇති වූ ගමන් පහසුව ද අගය කළ යුතු ම ය. වන පියසින් මෑත්ව මාවත අද්දර තැනිතලාවට පැමිණි මොනරුන් උදා හිරුට මුහුණලා කරන රැඟුම මනහර ය.

‘‘මේ හිරු උදා වන විට – ඇස් ඇති එක ම රජු ලෙස
පතුරුවා රන්වන් රැස – මහ පොළව බබුළුවන්නේ”

මට මෝර පිරිත සිහි විය. මේ මොනරුන් අතර එදා සිටි ඒ බෝසත් මොනරා අද මොනරුන් අතරින් පමණක් නො ව සසරින් ද එතෙරට පියඹා ගොස් ය. එහෙත් ඒ දහම තේරුම් ගන්නට අසමත් වූ මිනිසුන් අතර එදා සිටි කී දෙනෙක් අද මේ මොනරුන් අතර ඇද්ද? සසර ගමන නම් එබඳුය. වාහනයේ හඬින් තැතිගත් මොනරුන් රැඟුම නවතා සැණෙකින් වන වදුලූ තුළ සැගවී ගත්හ. මතුපිටින් සුන්දරව දිස් වුව ද සහේතුකව මෙන් ම අහේතුකව ද තැතිගැනීම තිරිසන් අපායේ ස්වභාවය යි.

හාත්පස කිලෝමීටර් විස්සක තිහක පරාසය තුළ කිසිදු මිනිස් වාසයක් නැත. මහ වනය පමණි. වනපෙත මැදින් මේ පාර දිවෙන්නේ කතරගම සිට බුත්තල දක්වා ය. සොබාදහමට ඇලූම් කරන්නන් හට පාරාදීසයක් බඳු මේ වන පියසේ සුන්දරත්වයේ සළුපිළි පොරවාගත් අවිනිශ්චිත අවදානමක් ද නැත්තේ නො වේ. වාහන ගමනාගමනය සුලබ නො වන මේ මාවතේ අපට මුහුණලා එන වාහනයක් ඉදිරියේ නතරකොට ඇත. කුමක්දෝ අවදානමක සේයාවක් දැනුණ බැවින් මදක් මෙපිටින් වාහනය නැවැත්වූ අපි ඒ ගැන විපරම් කළෙමු.

දැවැන්ත වන හස්තියෙක් ඉදිරියෙන් පැමිණෙන රථයට මඟ හරස්කර ඇත. තම විජිතය තුළ මුළුමනින් ම අණසක පතුරුවා ඇති මේ දැවැන්තයා තම හොඬය රථය තුළට ම දමා යමක් ඉවතට ගත් අයුරු දිස් විය. සුළු මොහොතකින් තම ගනුදෙනුව පිරිමසාගත් දැවැන්තයා එම රථය මුදා හළේ ය. අප අසලට පැමිණි එම රථයේ රියදුරා පැවසූ දෙයින් අපි අන්ද මන්ද වීමු.

‘මහත්තයෝ ඔය තනි අලියා.. ඔහොම තමයි.. එයාට හිතුනා ම මේ පාරේ යන වාහන නවත්තනවා.. ඒ වෙලාවට එයාට කන්න මොනව හරි නො දී යාම නම් බොරු.. හැබැයි හොඬවැලට ම දෙන්න ඕනේ. වීසි කළොත් තරහා යනවා..’ අපගේ අසරණ භාවය තේරුම්ගෙන දෝ ඉදුණ අන්නාසි ගෙඩියක් ද අප අතට දුන් රථයේ රියදුරා සැණෙකින් පිටත්වී ගියේ ය.

දැන් ඇත්තේ අපගේ වාරයයි. අප අසලට එනතුරු දැවැන්තයා සොඬවැල ඔසවා බලා සිටියි. දැන් ඉතින් පලා යා නො හැකි ය. අප දැවැන්තයා අසලට නො යන්නේ නම් අඩි කීපයක් ඉදිරියට තැබූ විට දැවැන්තයා අප අසල ය. සුන්දරත්වයේ මායා සිහිනය සැණෙකින් බිඳී ගොස් මගහැර යා නො හැකි ලෙස ජීවිතයට අවදානම ළඟා වන්නේ මේ අයුරින් ය.

දම්වැල්වලින් බඳින ලද හීලෑ අලියෙකුගේ හොඬවැලකටවත් කෑමක් දී නො මැති මා තව මොහොතකින් මහ වන මැද දී සද්දන්ත වන අලියෙකුගේ හොඬයට අන්නාසි ගෙඩියක් දිය යුතු ය. ගතවෙන මොහොතක් පාසා අලියාත් මාත් අතර පරතරය අඩු වෙමින් පවතී.

දැන් අපගේ පිහිටට අප සරණ ගිය ධර්මය හැර වෙන ඇත්තේ කුමක් ද? අලියාත් අපත් අතර පරතරය අඩි දෙක තුනක් වෙද්දී මට සිහි වූයේ ධජග්ග සූත‍්‍රය යි. නාලාගිරි වැනි කුරිරු ඇතුන් පවා මෙත් මුදිතා ගුණයෙන් දමනය කළ ඒ මහා මුනිරජාණන් වහන්සේ සරණ ගිය පුංචි ශ‍්‍රාවකයෙක් වන මා අතින් පිදෙන මේ පලතුර ඔබට ප‍්‍රිය උදෑසන ආහාරයක් වේවා..!

වන අලියාගේ සිරුරේ ගෑවෙමින් හොඬවැල මතට අන්නාසි ගෙඩිය දුන් මසිතට කිසිදු බියක් නො දැනුණි. වන අලියා ද කැමැත්තෙන් ම අපට ඉඩ සලසා දුනි. ඒ ධර්මයේ ආශ්චර්ය යි.

ධර්මයේ අසිරිය වොරැඳුන තවත් පුණ්‍ය චාරිකාවක් කරා ඔබ කැඳවාගෙන යන ගමනේ දී අප මුහුණ දුන් ඒ සිදුවීම ද සටහන් කොට තබනුයේ ජීවිතයේ ඇති අනියත භාවයත් ධර්මය තුළ පමණක් ම ඇති රැකවරණයත් පසක් කරලීමට ය.

උදෑසන ම ගමන් ආරම්භ කොට අප මේ ළඟාවෙමින් සිටින්නේ මොනරාගල දිස්ත‍්‍රික්කයේ පිහිටි ඓතිහාසික දෙමටමල් විහාර පුණ්‍ය භූමියටයි. කතරගම සිට බුත්තල දක්වා වැටී ඇති මාර්ගයේ බුත්තල නගරාසන්නයෙන් දකුණු පසට වැටී ඇති මාවත ඔස්සේ කි. මී. 08ක් පමණ ගමන් කිරීමෙන් ඔබට මෙම පුණ්‍ය භූමිය වෙත ළඟා විය හැකි ය. නො එසේ නම් මොනරාගල සිට බුත්තල මාර්ගයේ පැමිණ කුඹුක්කන හංදියෙන් වම් පසට හැරී මාලිගාවිල මාර්ගයේ කි. මී. 06ක් පමණ ගොස් ඔක්කම්පිටිය කඩමණ්ඩිය අසලින් දකුණට ඇති මාවත ඔස්සේ කි. මී. 02ක් පමණ ගිය විට ද මනස්කාන්ත දසුනින් සපිරි පූජනීයත්වයෙන් ද අනූන වූ මේ පින්බිම වෙත පිවිසිය හැකි ය.

හාත්පස එලන ලද හරිත වර්ණ කළාලයක් මත දිදුලන රතු මැණික් කැටයක් සේ වෙල් යාය මධ්‍යයේ පිහිටි රතු දුඹුරුවන් පැහැයෙන් යුතු මේ සෑය ඈත සිට දකිද්දී ම සිත පහන් වේ.

අපි රථයෙන් බැස විහාරය දෙසට පිය නැගීමු.

‘මහත්තයා.. සල් මල් ගන්න.. සල් මල් ගන්න..’ වයස අවුරුදු දහයක පමණ පුතෙක් අප වෙතට ම සල් මල් රැගෙන ආවේ ය. පෙරදා රාත‍්‍රියේ කිරිවෙහෙර වන්දනා කරද්දි ඇසුණ ‘මල් ගන්නකෝ’ යන හඬවල් මකා දමමින් මේ පුතාගේ ආයාචනය මේ ලිපිය ලියන මොහොතේ පවා හදවතෙහි තැන්පත් ව පවතී.

අප සියලූ දෙනාට ම ප‍්‍රමාණවත් පරිදි සල් මල් ගත් මම ‘කීය ද පුතා..?’ කියා විමසීමී.
‘සල්ලි එපා.. මහත්තයා.. මල් පූජා කරලා පින් කරගන්න.. අපි මල් විකුණන්නේ නෑ…’
මිල කළ නො හැකි පිනක මහිම වටහා ගෙන සිටි සමන් මලක් බඳු පියකරු මුවමඬලක් ඇති ඒ දරුවාගෙන් මා ඇසූ පැනය හරි ද? වැරදි ද? යැයි සිතමින් අමිල වූ පුණ්‍යස්කන්ධයක් ම ඔහුට හිමි වේවා! යැයි පතමින් සල් මල් දෝත දරාගෙන සෑ මළුව වෙත පිවිසුණෙමි.

ප‍්‍රතිසංස්කරණයෙන් පසු ව සුණු පිරියම් කොට නො මැති දෙමටමල් වෙහෙර සෑ රඳුන් දිස්වන්නේ ජේතවනාරාමය මෙන් දුඹුරැවන් ගඩොල් පැහැයෙනි. සෑයේ කොත් කැරැල්ල පසෙකින් දේවතා කොටුවේ සිට කොත මුදුන දක්වා සවිකොට තිබූ පැරණි ශිලා ස්ථම්භය අද ද ඒ අයුරින් ම දැකිය හැකි ලෙස ප‍්‍රතිසංස්කරණ කටයුතු නිමවා ඇත.

සෑ රඳුන් පැදකුණු කොට වන්දනා කළ අපි මේ සිද්ධස්ථානයේ ඓතිහාසික තොරතුරු දැන ගැනීමේ රිසියෙන් මොනරාගල ඓතිහාසික දෙමටමල් විහාරාධිපති මොනරාගල දිස්ත‍්‍රික් ප‍්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය පූජ්‍ය ගල්ටැම්වත්තේ ශ‍්‍රී චන්ද්‍රජෝති ස්ථවීරයන් වහන්සේ මුණගැසීමු.

‘‘ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ විහාරස්ථානයේ ආරම්භය පිළිබඳ ව ඓතිහාසික තොරතුරු මොනව ද?”

ක‍්‍රි. පූ. 03 වන සියවසේ දී දෙවනපෑතිස් රජතුමාගේ මළණුවන් වූ මහානාග යුව රජු විසින් මේ විහාරය කරවන ලද බවයි සැලකෙන්නේ. මහත්තයා අහලා ඇතිනේ ගැමුණු කුමාරයා තම සොහොයුරු සද්ධාතිස්ස කුමාරයා සමඟ ඇතිවුණ විරසකය ගැන. ඒ වෙලාවේ සද්ධාතිස්ස කුමාරයා ජීවිතාරක්ෂාව පතා සැඟවිලා හිටියෙ මේ විහාරයෙයි.

අනාගතයේ රට එක්සේසත් කොට බුදු සසුන බබුළුවන මේ සොහොයුරන් සමගි කරන්නත් එවකට මෙහි වැඩ සිටි ස්වාමීන් වහන්සේලා තමයි කටයුතු කළේ.

පූජනීයත්වය අතින් ගත්තොත් සුගලා දේවීන් වහන්සේ දළදා වහන්සේ පවා මෙහි වඩා හිඳුවල තියෙනවා. ඒ වාගේ ම මේ භූමිය නිරන්තරයෙන් රහතන් වහන්සේලාගේ පහසින් පූජනීය වුණ පින් බිමක්. පසුකාලීන යුගයේදී පවා මලියදේව මහ රහතන් වහන්සේ මේ බිමේ දී ඡුචක්ක සූත‍්‍රය දේශනා කරද්දී සංඝයා වහන්සේලා හැට නමක් රහත් වූ බව සඳහන් වෙනවා. මේ තොරතුරුත් එක්ක බලනකොට දෙමටමල් විහාරය ක‍්‍රි. පූ. යුගයෙන් ආරම්භ වෙලා වරින් වර ප‍්‍රතිසංස්කරණයට ලක්වෙමින් පැවතිලා පොළොන්නරු යුගය වෙනකොට ඉතා දියුණු මට්ටමේ විහාරාරාම සංකීර්ණයක් ව පැවති බවයි කියන්ට තියෙන්නේ.

‘‘ස්වාමීන් වහන්ස, මේ විහාරාරාම සංකීර්ණයේ දකින්නට තියෙන වෙනත් විශේෂ දේ මොනවා ද?”

මහත්තයෝ ලංකාවේ පැරණි ම භික්ෂු ආරාම ඉදිකරල තියෙන්නේ පඤචපසාද කියන අනුපිළිවෙළ ක‍්‍රමයකට. මේ විහාරයත් එහෙමයි. මහත්තයල දකින්ට ඇති සෑය පිහිටුවල තියෙන්නෙ අඩි දහයක් විතර උස වේදිකාවක් තනවල ඒ මත. අද එක් පිවිසුම් ද්වාරයක් විතරක් දකින්ට තිබුණට සතර දිසාවෙන් වාහල්කඩ දොරටු සතරක් පිහිටල තිබිල තියෙනව. මේ පඤචපසාද විහාර සැලසුම අනුව උපෝසථ ඝරය ඉදිවෙන්නෙ විහාරයේ මධ්‍ය කොටසේයි. සිව් දිසාවෙනුයි භික්ෂු ආවාස කුටි තනවන්නේ. ඒ මඟින් සතර දිගින් වඩින මහ සඟරුවනත් සංකේත කෙරෙනවා.

මේ විහාරයේ තියෙන විහාර මන්දිරයත් සුවිශේෂයි. ඉතා ම පැරණි එකක්. මධ්‍යයේ පිහිටි උපෝසථ ඝරයටත්, බෝධි මණ්ඩපයටත් එපිටින් සංඝයා වහන්සේලා වෙනුවෙන් ඉදිවුණ කුටි 44ක නටබුන් දකින්ට පුළුවන්.
අද මේ පින් බිම ගැන ජනතාව එතරම් දැනුවත් නෑ… එත් මෙහි පෞරාණික බවත් පූජනීයත්වයත් දන්න සැදැහැවතුන් මේ සෑය වඳින්නට එන්න අමතක කරන්නේ නෑ. දුරුකතර ගෙවාගෙන මේ බිමට පැමිණෙන සැදැහැවතුන්ට රැයක් නැවතිලා ගිමන් නිවාගෙන නිදහසේ වන්දනාමාන කරගෙන යන්ට පහසුකමත් අපි හදලා තියෙන්නේ ඒ අයට පින් රැස්කරගන්ට උදව් කරන්ටයි.

අපි උන්වහන්සේගේ දෙපා නැමද සමුගත්තෙමු. ඉපැරණි විහාර මන්දිරයට ගොස් මල්, පහන් පුදා වන්දනා කළෙමු. ආපසු එන ගමනේ දී විහාරය පසුකොට සැතපුම් භාගයක් පමණ නැඟෙනහිර දෙසට එන විට පිහිටුවා ඇති ඉපැරණි ශිලා ඵලකයක මෙසේ සටහන්ව ඇති බව දුටුවෙමු.

‘‘සිධම ගාමක අභය රජය විහරෙ සතහ ගමක”
යහපතක් ම වේවා! ගාමිණී අභය රජු විහාරයට ගම් සියයක බුක්තිය පවරන ලදි.

රට එක්සේසත් කොට බුදු සසුන බැබළවූ දුටුගැමුණු රජතුමා පවා ගම් සියයකින් පුදනු ලැබූ මේ සොඳුරු වෙහෙර වැඳපුදා ගෙන, පින් රැස් කර ගන්නට තවත් පමාවන්නේ කුමකට ද?

(මෙම ලිපිය සැකසීමේ දී පහසුකම් සලසා දුන් මොනරාගල දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මැතිතුමාට වෙසෙසින් පුණ්‍යානුමෝදනා කරමි.)

චාරිකා සටහන
සුදර්ශන ශ‍්‍රී විජේසිංහ