නායකත්වය කියන්නේ ඉතාම සොඳුරු දෙයක්, බලවත් දෙයක්. සුන්දර නායකත්වයේ මිහිර විඳි මිනිසුන් මේ ලෝකයේ නැතිවා නොවේ. ‘නායකයන්’ ය කියල හිතාගෙන ඉන්න පාලකයන් නිසා ඔබේ සිතේ පවා අඳුරු අවලස්සන රූ රටා ඇඳිල තියෙන්න පුළුවන්. බොහෝ අයට යටත් වී සිටින ඔබ ම තවත් පිරිසකට නායකයෙක් වෙන්නත් පුළුවනි. මහා පිරිසකට නොවුණත් දෙතුන් දෙනෙකුට හෝ ප්‍රමුඛව මග පෙන්වන්න ඉන්නේ ඔබ නම්, ඔබේ නායකයන් ඔය සිතේ මැවූ අඳුරු රූ රටා ගුණ නමැති සොඳුරු වර්ණයෙන් සිත්තම් කර අන් අයට දෙන්න පුළුවන් නම්, ඔබට නැති වුණත් ඔවුන් හෝ නායකත්වයේ සොඳුරු මිහිර විඳීවි. ඒ නිසා…

“නායකයෙක් වෙනවා නම්, මෙහෙම කෙනෙක් වෙන්න!”

ඔබ දන්නවා කැලණිතිස්ස රජතුමා අතින් ඉතා ම බරපතළ වරදක් සිදු වුණා. ප්‍රඥාවෙන් තොරව, කැලණි මහරහතන් වහන්සේ ගැන කිපිලා ක්‍රෝධ සිතින් උන්වහන්සේ ව ගිනියම්ව කැකෑරෙන තෙල් කටාරමේ දමා මරවා මුහුදට විසි කළා. දේව කෝපයෙන් මුහුද ගොඩ ගලන්න වුණා. දුෂ්ප්‍රාඥ ව අදූරදර්ශී ව කළ ක්‍රියාවේ භයානකකම දුටු මහා අමාත්‍යවරු රටවැසියාට ප්‍රමුඛ වූ පිහිට වූ රජෙකු විසින් මේ මේ දේ නොකළ යුතු ය; මේ ආකාරයෙන් කටයුතු කළ යුතු ය යැයි රාජ්‍යත්වය බබුළුවන, ප්‍රභාවත් කරවන, රජෙකුට ආභරණ බඳු වූ නායකයකු සතු වූ ගුණ රජුට ප්‍රකාශ කළා…

“දිශානායක වූ දේවයන් වහන්ස, රජ දරුවන්, කටයුත්තක් පරීක්ෂාකාරී ව කළ 
යුතු ය. අපරීක්ෂාකාරී නොවිය යුත්තේ ය.

කළ මනා කටයුතු නුවණින් සලකා කරන රජදරුවන්ගේ යශ – කීර්ති දෙක නිරන්තරයෙන් වැඩෙන්නේ ය…

පරීක්ෂා නොකොට යමෙකුට නිග්‍රහ 
කෙරේ ද ඒ රජතෙමේ කිසවච්ඡ තාපසයන්ට ගැහැට කරවා රාජ්‍යය සමඟ විනාශයට පැමිණි ‘මෙජ්ඣ’ නම් රජහු මෙන් රාජ්‍යය සමඟ විනාශයට පැමිණෙන්නේ ය…

ලෝකයෙහි මිනී කන රාක්ෂයෙකු මෙන් ඉතා භය එළවන, ඉතා මොළොක්, ධන ධාන්‍ය නැතිව ඉතා දිළිඳු ව, කළ යුතු කටයුත්තෙහි මන්දෝත්සාහී ව කල් යවන කාමයේ ගිජු බව යන මේ දෝෂයෙන් යුතු රජදරුවන්ට හැම දෙනාම නින්දා කරන්නාහ…

තියුණු මුවහත් වූ ශස්ත්‍රයකින් මර්මස්ථානයකට අණින්නා සේ ඉතා තියුණු බස් කියා ද කියතකින් දළ කපන්නා සේ ඉතා කෲර තෙපුල් බෙණේ ද අනුන්ට කිසිවක් නොදේ ද කටයුත්තක් පැමිණි කල්හි ප්‍රමාද වේ ද ඉතා ගර්හිත ව වෙසේ ද මුළු ශරීරය ම වසා කොළ අතු බැඳගෙන ගසක් මෙන් සිට සත්වයන් අල්ලා මරණ වැද්දෙකු මෙන් වංචා දනී ද ඒ ඒ කාලයෙහි කළ යුතු රාජකෘත්‍යයෙහි කුසීත වේ ද භයක් පැමිණි කල්හි කිසි රාජ ධෛර්යයක් නැතුව භයපත් වේ ද එබඳු වූ රජ හට සියලු සත්වයෝ ම නින්දා කරති…

ගිනිකඳක් සේ ද සර්පරාජයෙකු සේ ද රාක්ෂයෙකු සේ ද තමාගේ මුහුණ දැකීම් මාත්‍රයකින් ම මහජනයා භය ගන්වා අකුළුවා ද එබඳු රජහුගේ යශස් – තේජස් දියපිට තෙල්බිඳු මෙන් විසිර නස්නේ ය. රාජ ධර්මය නම් සියලු සතුන් රැකීම ය, ඥානවෘද්ධ, වයෝවෘද්ධයන් භජනය කිරීම ය, දැහැමෙන් සෙමෙන් රාජ්‍යය කිරීම ය, මිත්‍රයන් කෙරෙහි නොබිඳෙන 
බව ය, සත්පුරුෂ ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි ක්ෂමා කරවීම යන මේවා රජ දරුවන්ට ආභරණ වේ…

අසරණ ව තමා සරණ ගියා වූ සතුරකු වුවත්, ව්‍යසනයක් පැමිණි කල්හි හෙවත් බොහෝ අනර්ථයක් කළ සතුරකු වුවත් 
දුක්පත් ව තමා ළඟට පැමිණි කල්හි, ඔහු කෙරෙහි අනුකම්පා උපදවා සැපත් දී අනුග්‍රහ කෙරේ ද ඒ රජතෙමේ ඒකාන්තයෙන් ම “රජ” නම් වෙයි…

පෙර රජදරුවෝ දැහැමෙන් ප්‍රජා පාලනය කිරීම ය, ධාර්මික ශ්‍රමණබ්‍රාහ්මණයන්ට රක්ෂා සංවිධාන කිරීම ය, දුගී මගී දිළිඳු යාචකයන්ට කැමති කැමති වස්තු දීම ය යනාදී වූ සුචරිත ධර්මයන් පුරා දෙව්ලොව ගියහ. එසේ හෙයින් මහරජ, රාග නමැති සර්පයා හා ක්‍රෝධ නමැති රාක්ෂසයා යන දෙදෙනා යම් දවසක ඉඳින් නුඹ වහන්සේගේ සිත් නමැති වෙනෙහි උපන්නාහු නම් සියලු අනර්ථයට මුල්ව සිටියා වූ ඔවුන් දෙදෙනා ක්ෂාන්ති නමැති මන්ත්‍රයෙන් වළකාලුව මැනව….

(සද්ධර්මාලංකාරය)

මේ කියන්නේ ඔබට රජෙක් වෙන්න කියලා නෙමේ. ඔබ නායකයෙක් නම්, ඒ ගුණයට තේජසට හානිකර නොගෙන බොහේ දෙනාට යහපත සැපය පිණිස පිළිපන් මනුස්සයෙක් වෙන්න කියන එකයි.

නායකයෙක් කියල කියන්නේ විශාල වගකීමක්, අවදානමක් අතදරාගෙන කටයුතු කරන කෙනෙක්. සමහරවිට ජීවිත ගණනාවක අනාගත සිහින, සාර්ථකත්වයන්, සතුට, සැනසිල්ල, මෙලොව පරලොව යහපත රැඳිල තියෙන්නේ නායකත්වය කියන මහා වෘක්ෂයේ සෙවණ යට. හැබැයි ඒ වෘක්ෂය අතු ඉති කොළ දලු මල් ඵල නැති වියළි කඳක් විතරක් නම්, කරවෙලා ගිය කඳක් විතරක් නම් ඒ යට කිසිවෙකුට රඳින්න සිතක්වත් උපදින්නේ නැති වේවි. ඒ නිසා ඔබ ඉතා ම සොඳුරු වෘක්ෂයක් වගේ වෙන්න!

ධාර්මික මගපෙන්වීමක් සහිත, ශ්‍රේෂ්ඨ ඉලක්කයන් හඹා යන, නොමුළා වුණ, 
නිතර ම පැහැදිලි දිශාවකට ගමන් කරන, වියවුල් නැති දැක්මකින් යුතු වූ, සැලසුම් සහගත ලෙස කටයුතු කරන, ඉතා හොඳ මානව බැඳීමකින් අන්‍යෝන්‍ය සුහදතාවයකින් යුතු නායකත්වයක් යම් කෙනෙකු තුළ ඇත්ද, එය ඔහුගේ යටත් පිරිසට ඉතාම ප්‍රණීත භෝජනයක් රස විඳිනා තරම් ම ප්‍රණීතයි.

නායකයා හැමට ඉදිරියෙන් සිටින්නෙක්. දෙයක් සිදු වීමට පෙර එය කලින් ම 
දැනගන්නා ඉවක් ඔහුට තිබෙනවා. මුහුණ දීමට සිදුවන දේ හැමවිටම අනපේක්ෂිත වූවත්, නායකයා හැමවිටම මනා විමසීමකින් යුතුව සොයාබලා ඉතාමත් සුදුසු ම ධාර්මික තීරණ ගත යුතුයි. නමුත් එය ප්‍රමාද නොකළ යුතුයි. ක්ෂණික තීරණ ගැනීමට ඔහුගේ දක්ෂ බව සුරකින දේ නම්, පරික්ෂාකාරී බව, නුවණින් විමසන ස්වභාවය, විශේෂයෙන් ම සම්මා දිට්ඨියෙන් යුතු බවයි. නිතර තෝරාගැනීම් සිදු කළ යුතු, තීරණ විසඳුම් සෙවීම්වලින් යුතු වූ නායකත්වය සතර අපායට ගෙනයන ගමන වළක්වන්නේ සම්මා දිට්ඨියෙන්. කුසල්-අකුසල්, පින-පව, යහපත-අයහපත දන්නා බව, කර්ම කර්මඵල විශ්වාස කරන බව, පිදිය යුත්තන් පුදන බව නොමැත්තේ ද 
නොකරන්නේ ද ඔහු මෙලොවට පමණක් සම්මතයෙන් නායකයෙකු විය හැකි නමුත් මේ ජීවිතයෙන් පසු සතරඅපා ගමන වළක්වන රැකවරණය නැත්තෙක්. අනපේක්ෂිතව එන අර්බුද ගැටලු පොදු වුව ද ඔහු සැබෑ නායකයෙක් ද යන්න තීරණය කරනු ලබන්නේ ඔහු එයට දක්වන ප්‍රතිචාරය මතයි… ගන්නා විසඳුම් මතයි…

තමන්ගෙන්, යටත් පිරිසෙන් වන වැරදි අඩුපාඩු පරාජයන්… නිග්‍රහ කිරීමට, නින්දා කිරීමට හෝ මනසින් වැටීමට හේතුවක් කරගන්නවා වෙනුවට නායකයා එය තවත් 
යමක් ඉගෙන ගැනීමට අවස්ථාවක් කර ගන්නවා. සියල්ලෝ ම එක ම වීරියකින්, බලයකින්, ගුණයකින්, ඥානයකින්, යුතු නොවෙනවා සේ ම සියල්ලෝ ම අති දක්ෂයෝ නොවෙති යි දන්නා නායකයා ඔවුනට අපවාද, අපහාස කිරීම වෙනුවට අවස්ථානුකූලව ප්‍රශංසා කිරීමෙන් ඔවුන් නගා සිටුවීමටත්, නව ඉලක්කයන් කරා යොමුකරවීමටත්, ඒවා ජයගැනීමට දිරිමත් කිරීමටත් හොඳින් දන්නවා… මිනිසුන් සතු ගුණයේ බලයේ කුලයේ දැනුමේ වෙනස්කම් ඇති බව නායකයෙකුට ගැටලුවක් නොවෙයි.

නායකයා එක් එක් පුද්ගලයා සතු හැකියාව මනා ව හැසිරවීමට දක්ෂයෙක්. සුදුස්සාට සුදුසු තැන දීමට තරම් ඉරිසියාව, මසුරුකම නැති මුදිතා ගුණයෙන් යුතු වූ, තම පිරිසේ 
දුර්වල ම කෙනා පවා අත්නොහරින නායකයා, ඔහු තුළත් චිත්ත ධෛර්යය, අධිෂ්ඨානය ඇති කිරීමට – සාර්ථකත්වයට පැමිණවීමට තරම් කාරුණිකයෙක්…

වංචා රැවටීම් නැති අවංක, මුදු මොළොක් කාරුණික වදන් ඇති නායකයෙක් වේ ද ගෞරව ආදර බුහුමන් ලබනවා ය, අන් සිත් දිනනවා ය යන්න සිදු නොවන දෙයක් නොවෙයි. බිය උපදවන්නා වූ කෲර ක්‍රියා ඇති නායකයාගේ දැක්ම පවා යටත් පිරිසට අප්‍රිය අමනාප දෙයක්. ඔබ නායකයෙක් නම් කාරුණික වන්න… එය හැම විටම කළ නොහැක්කක් නොවෙයි…

එසේම අලස කුසීත වූ ප්‍රධානියා ගැරහුම් ලබනවා ම යි. අද උත්සාහයෙන් ඔබ යමක් කරන්නේ ද ඒකාන්තයෙන් ම එය ඔබේ හෙට දවස තීරණය කරයි. ඒ නිසා අන් අයගේ සැපය පිණිස “මම නායකයෙක්මී” යන හැඟීමෙන්, ශක්තියෙන්, අධිෂ්ඨානයෙන්, අභිමානයෙන් කටයුතු කළ යුතුයි. සාරවත් මගපෙන්වීමක්, ගුණවත් නායකත්වයක් යම් තැනක වේ ද දහඩිය, කඳුළු, රුධිරය පමණක් නොව ඔහු වෙනුවෙන් ජීවිතය ද පුදන්නවුන් නිරායාසයෙන් ම බිහි වීම වළකාලිය නොහැකියි. මල සුවඳවත් නම් බිඟු කැලට කෑ ගසා අමතන්නට අවැසි නැත්තා සේ ගුණවත් නායකයාට පිරිස සොය සොයා යාමට උවමනාවක් උපදින්නේ නැහැ…

ඔබ නායකයෙකු නම් කවදාවත් ඔබ යටතේ ඉන්න අය අත්හරින්නට එපා! එවිට ඔවුනුත් ඔබව අත්හැර දමාවි. භාග්‍යවතුන් වහන්සේ පවා වදාළේ “උපකාර උවමනා විටක දී ළඟට එන මිත්‍රයා සැපයක්” ය කියලයි. ඒ නිසා, කිසිදිනක මිත්‍රයන් සමඟ බිඳෙන්නට එපා!

කවදාවත් ඔබ අන් අය පාලනය කරන ප්‍රධානියෙක්, ලොක්කෙක් වෙන්න එපා! මෙය මෙසේ විය යුතුයි කියලා ප්‍රධානියෙකුට සියලු කටයුතු ගැන දැනුමක් තියෙන්න පුළුවන්. නමුත් නායකයා “මේ දේ මෙහෙමයි කරන්නේ” කියලා හැම විටම ක්‍රියාවෙන් ම පෙන්නුම් කරන කෙනෙක්. ඒ නිසා, ඔබ යහපත් ගුණවත් ධාර්මික නායකයෙක් ය කියලා ක්‍රියාවෙන් ම පෙන්වන්න… එයට ඔබට වාසනාව ලැබේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.