රුසියානු කවියෙකු වරෙක අපූරු සටහනක් තබා තිබුණා. ඔහුගේ නම යෙරොෂෙන්කො කියලයි මගේ මතකයේ හැටියට.

අපූරු යැයි කියලා මට හිතුණ ඒ සටහන තුළ තිබුණෙ මෙවැනි අර්ථයක්.

‘‘මම සිතා සිටියේ මේ ලෝකයේ නරක මිනිසුන් වැඩි බව ය. එහෙත් මා වැරදි ය. මේ ලෝකයේ වැඩිපුර සිටින්නේ හොඳ මිනිසුන් ය. හොඳ මිනිසුන් බෙදී විසිරී සිටිති. නරක මිනිසුන් එකට එක් වී සිටිති. එක් වී සිටින නිසා ඔවුන්ගේ බලය වැඩි ය. ඒ නිසා බැලූ බැල්මට පෙනෙන්නේ ලෝකයේ නරක මිනිසුන් වැඩි බව ය.”

රුසියානු කවියාගේ මේ සිතුවිල්ල ලොව සිටින්නා වූ යම්තාක් යහපත් මිනිසුන් වෙනුවෙන් පුද කෙරුණ සොඳුරුතම හෘද විවරණයක් කියලා මට හිතුණා. මමත් බොහෝ කාලයක් සිතාගෙන සිටියේ මේ තෙතමනයක් නැති ලෝකයක් කියල යි. එවන් ලෝකයකට, ලෝකය තෙත් කළ හැකි බව පෙන්වා දීම පවා අර්ථ විරහිතයි කියල යි. ඒ නිසා බොහෝ කාලයක් මමත් ‘හදවතේ තෙතමනය’ ගැන කථා නො කර හිටියා. ඒත් ආයෙමත් ඒ ගැන කථා කරන්න හිතුණෙ තවමත් මේ ලෝකයේ තෙතමනය ඉතිරි ව තිබෙන බව මෑතකදීත් සනාථ වූ නිසයි. ඔව්….! මේ ලෝකයේ යහපත් මිනිසුන් ජීවත් වන බව සැබෑයි.

ජයග‍්‍රහණයන් හඹායන තරගකාරී සමාජ වටපිටාවේ එකෙකු පරයා නැගී සිටින්නට මොන තරම් යුද්ධයක් හාත්පස කෙරෙනව ද? ජය ටැඹ කරා ළං වෙන්න තම තමන් යන ගමනේ පයට පෑගෙන්නෙ තමන් වැනි ම තවත් පිරිසක් කියන එක අමතකවෙන අරුමැසි යුගයක ඛේදවාචකය හැම තැන ම පෙනෙනවා. ඒත් අපට හොඳට ම විශ්වාසයි, මේ ලෝකයේ තවමත් යහපත් මිනිසුන් ජීවත් වෙනවා.

ඒ බව ආයෙමත් තහවුරු කළ අපේ කථා නායකයා ස්පාඤ්ඤ ජාතික මලල කී‍්‍රඩකයෙකු වන අයිවන් ෆර්නැන්ඩස් අනායා.

පසුගිය දෙසැම්බරයේ ස්පාඤ්ඤයේ පැවැත්වුණ අන්තර් ජාතික මැරතන් තරගයෙන් දෙවැන්නා වුණේ ඔහු. හැබැයි ඒ තරගයේ සුපිරිතම මිනිසා වුණෙත් ඔහු.

මේ තරගයේ ජයග‍්‍රාහකයා වුණේ කෙන්යානු ජාතික ඒබල් මුටාල්. පසුගිය වසරේ ලන්ඩනයේ පැවති ඔලිම්පික් තරගාවලියේ දී මැරතන් තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ මේ කෙන්යානු ක‍්‍රීඩකයා ම යි. කී‍්‍රඩාවේ සුපිරි මංගල්‍යයේ දී ජය කෙහෙළි නංවපු මුටාල් මේ තරගයෙත් ඉදිරියෙන් ම සිටියා. ඒ කොහොම වුණත් කවර හෝ අතපසුවීමකින්, තරග අවසානය සටහන් වූ සීමාවට මීටර් දහයක් පමණ මෙපිටින් සිටිය දී මුටාල් එය තරගයේ අවසානය කියලා හිතලා දුවන එක නතර කළා.

මේ වැරැද්ද දැකපු පේ‍්‍රක්ෂකයන් නො නවත්වා කෑ ගසමින් මුටාල්ට පවසා සිටියේ තව කෙටි දුරක් දිවිය යුතු බවයි. ඒත්……! ස්පාඤ්ඤ භාෂාව කිසි ලෙසකින් නො දත් මුටාල්ට ඒක තේරුණේ නැහැ. ඔහු තමන් ජයග‍්‍රාහකයා බව සිතාගෙන එතැන ම සිටියා. තරග ජයග‍්‍රහණයේ දෙවැන්නා විදිහට අනායා ඒ ස්ථානයට ආසන්න වෙමින් සිටියා. ඔහු ක්ෂණයකින් මුටාල්ට සිදු වී ඇති වරද තේරුම් ගත්තා.

අනායා තම වේගය එහෙම ම බාල කළා. කෙන්යානු බස නො දත් ඔහු ස්පාඤ්ඤ බස නො දත් මුටාල්ට හස්ත සංඥ මඟින් තව දිවිය යුතු බව පෙන්වා සිටියා. ඔහු ව ඉදිරියට ම යොමු කළා. එවර මුටාල් දිව ගියා, පළමුවැන්නා විදිහට ඔහු තරගය නිම කළා. අනායා ජයග‍්‍රාහී සීමාව සනිටුහන් කළේ දෙවැන්නා විදිහට.

තරගයෙන් පස්සේ ජනමාධ්‍යවේදීන් ඔහුගේ අදහස් විමසද්දි ඔහු මෙහෙම කියලා තිබුණා.

‘‘ඒ තරගයේ ජයග‍්‍රහණයට සැබෑම සුදුස්සා තමයි මුටාල්. ඔහුගේ වරදවා වටහා ගැනීම නො වෙන්න අප අතර තිබූ පරතරය බිඳින්න මට කිසිම පුළුවන්කමක් තිබුණෙ නෑ. මුටාල් නැවතුණු මොහොතෙ ම මං හිතා ගත්තා මං කීයටවත් ඔහු ව අභිබවා යන්නෙ නෑ කියලා. මට හිතන විදිහට මං කළේ ඒ වෙලාවෙ කරන්න තිබුණ හොඳ ම දේ.”

අනායා….! සැබැවින් ම ඔබ කළේ කළ යුතු ව තිබුණ හොඳ ම දේ. ඔබ කිසිසේත් ම දෙවැන්නෙක් නම් නෙවෙයි…… මහත්මා ගුණයෙන් පරිපූර්ණ විය යුතු කී‍්‍රඩාව තුළ ඔබ පළමුවැන්නෙක් වග මුළු මහත් ලෝකය ම දැන් දන්නවා.

ඒ තරගයේ රූප රාමු නෙත ගැටෙද්දි මගේ නෙත තෙත් වුණේ ‘අනායා’ගේ සිතේ තිබුණ තෙතමනය මගේ ඇස්වලට දැනුණ නිසයි.

කී‍්‍රඩාවක පමණක් නො වෙයි, ජීවිතයේ සෑම දෙයක ම තවරා තැබිය යුත්තේ මේ ළතෙත් බව නෙවෙයි ද? ජීවිතේ බොහෝ දේ එක්තරා තරගයක් තමයි. ඒත් තරගයක අවසාන ඉලක්කය කෙලෙසක හෝ පළමුවැන්නා වීම නම් නො වෙයි.

ඉසව්වේ දෙවැන්නා, තෙවැන්නා නො වේ; අන්තිමයා වූවත්; මනුෂ්‍යත්වයේ කිරීටය හිස දරා ගෙන සිටින්නා ම යි ‘ජයග‍්‍රාහකයා’…..!

ජයග‍්‍රහණයේ සටහන
උදුලා පද්මාවතී