අගනුවරින් දුර බැහැර ඌව පළාතේ පිටිසර ගමක ජීවත් වන දිනෙත ඉගෙනීමෙහිලා උපන් හපනෙකි. අඩු පහසුකම් ඇති ප්‍රාථමික විද්‍යාලයක ඔහු ඉගෙන ගත්ත ද තම ගුරුවරුන් ද මවිතයට පත් කරමින් විභාගයන්හිදී සෑම විෂයකට ම ඉතා ඉහළ ලකුණු ලබා ගත්තේ ය. කිසිදු උපකාරක පන්තියකට සහභාගී නොවුණ ඔහුට ඔහුගේ මව අමතර පන්ති ගුරුවරයා විය.

දිස්ත්‍රික්කයේ ඉහළ ම ලකුණු ලබා ගනිමින් දිනෙත පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින් ම සමත් විය. රජය මඟින් දිනෙත ව අගනුවර කීර්තිමත් පාසලකට අනුයුක්ත කරන ලදී. ගැමි පරිසරයක හැදී වැඩුණු දිනෙතට නුහුරු නුපුරුදු නාගරික පරිසරයට හුරු වීමට ඉතා අපහසු විය. ඔහුගේ දෙමාපියෝ මහත් පරිශ්‍රමයක් දරා ඒ සඳහා උපකාර කළෝ ය.

පාසල් නිවාඩු කාලය

පාසල් නේවාසිකාගාරය තුළ සිටින දිනෙත පාසල් නිවාඩු කාලයේදී දෙමාපියන් විසින් තම නිවසට රැගෙන එයි. සැබැවින් ම දිනෙත තවමත් ඒ ගැමි පරිසරයේ සරල සැහැල්ලු අව්‍යාජ සුන්දරත්වයට කැමති ය. දෙමාපියන් ද දිනෙත නිවසට පැමිණිය පසු නොයෙකුත් විශේෂ කෑම බීම සකස් කරයි. විශේෂ ගමන් බිමන් යෑමට යොදා ගනියි. ඊට හේතුව වූයේ තම පුතු බොහෝ කාලයක් තම නිවසින් බැහැරව සිටින නිසා තමා ළඟ සිටින කාලයේ උපරිම ආදරයක්, කරුණාවක් දැක්වීමේ අදහසින් ය.

පුංචි සිතක දලුලන ක්‍රෝධය

දිනෙතගේ එක ම නැඟණිය දිනුරි ය. ඇය ද පන්ති කාමරයේ විශිෂ්ට ය. ගුරුවරුන් ද දෙමාපියන් ද තම සහෝදරයා සේ ම ශිෂ්‍යත්ව විභාගයෙන් දිස්ත්‍රික්කයේ පළමු තැන ගනීවි යන අදහස තුළ ස්ථිරව සිටියෝ ය. දිනුරි අයියාට බොහෝ ආදරය කරයි. ඇසුරට කැමති ය. ඒ නිසා දිනෙත නිවාඩු කාලයට ගෙදර එන තෙක් දිනුරි මඟ බලා සිටියා ය. තම සහෝදරයා පැමිණෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටිය ද දිනෙත නිවසට පැමිණිය පසු කුමක්දෝ අපහසුතාවයක් ඇගේ සිතට දැනෙන්නට විය.

පුංචි දිනුරිට තවමත් එය තේරුම් කර ගන්නට තරම් නුවණක් නො වී ය. දෙමාපියන් විසින් දිනෙත පැමිණිය පසු විශේෂ ගමන් බිමන් යන විට, විශේෂ ආහාරපාන සකස් කරන විට, විශේෂ ආදරයක් දක්වන විට දිනුරිට එය අමුතු විය. තමාට දෙමාපියන් වෙනස්කම් කරන බව සිතට දැනෙන්නට විය. දෙමාපියන් ද කොතෙකුත් මෙම කාරණය පැහැදිලි කළ ද එය තේරුම් ගැනීමට ඈ අදක්ෂ විය. මුල දී සිත තුළ හට ගත් කෙලෙස් සැඩ පහර පසුව වචන නමැති අවි ඔස්සේ දිනුරිගෙන් පිටවන්නට විය.

“ඔයාලට දැන් ලොකු වෙලා තියෙන්නේ පුතානේ.”

“දැන් මම ඕනෙ නෑනේ, හරි බලමුකෝ ටික දවසකින් මහ ලොකු පුතා ගියහම මොකද වෙන්නේ කියලා, එතකොට අපි ආයෙත් මතක් වෙයි.”

“මතක තියාගන්න අයියාට වඩා එක ලකුණක් හරි මම ශිෂ්‍යත්වයෙන් ගන්නවා. හරි එදාට බලමු එදාට ඔයාලා සලකන්නේ කාට ද කියලා.”

ලෝ සතුන් අසරණ කරන කෙලෙස් ගංගා

අසරණ පුංචි දිනුරි හදවතේ නැඟුණු පීඩාකාරී ආවේගයන් මෙසේ අතොරක් නැතිව පිට කරන්නට විය. දිනුරිගේ ජීවිතය වෙලාගෙන තිබෙන අකුසලය හඳුනාගැනීමට ඈ තවමත් අදක්ෂ ය. අවසානයේ ඈ බලාපොරොත්තු ගොඩාක් තියාගෙන පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා ය. තෙමසක් අවසානයේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් විය. ඇගේ ප්‍රතිඵල දුටු දෙමාපියන් ද ගුරුවරුන් ද මවිතයට පත් විය. ඒ කිසිවෙකු ඇගෙන් එවැනි ප්‍රතිඵලයක් බලාපොරොත්තු නො වූවෝ ය. එහි දී ඇය ලබාගෙන තිබුණේ ඉතා අඩු ලකුණු ප්‍රමාණයකි. ශිෂ්‍යත්ව විභාගය සමත් වීමටවත් එය ප්‍රමාණවත් නො වී ය.

විස්මිත හෙළිදරව්ව

මේ දැවැන්ත අසමත් වීම පිටුපස කුමන බලවේගයක් තිබුණේදැයි කිසිවෙකුට හඳුනාගැනීමට හැකි වූවා යැයි මම නොසිතමි. සැබැවින් ම එයට නිසැක රහසක් තිබුණි. අපි ඒ පිළිබඳව තිලොවට මාණික්‍යයක් බඳු වූ, තුන් ලොවේ එක ම ඇස බඳු වූ, සංසාර සාගරයෙන් සත්වයා එතෙර කරවන්නා වූ, නුවණින් ලොව එළිය කරන්නා වූ බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් ම ඒ පිළිබඳව විමසා දැන ගනිමු.

“අනුන් ව නසන කොට තමන් ව නසන්නෙක් බිහි වෙනවා. අනුන් ව දිනවන කොට තමාට ජය ලැබෙනවා. ආක්‍රෝෂ කරන්නා ආක්‍රෝෂ කරන්නෙක් ලබාගන්නවා. කේන්ති ගන්න කෙනා කේන්ති ගන්න කෙනෙක් ව ලබා ගන්නවා. කර්මය මෝරලා ගියාම අනුන්ව නැසූ පුද්ගලයාව ම අනුන් විසින් නසලා දානවා.”

(දුතිය සංගාම සූත්‍රය – සං. නි. 1)

බුදුරජාණන් වහන්සේ කෝධන සූත්‍රයේදී මේ පිළිබඳව දේශනා කළ සේක. පුද්ගල සිතක හටගත් ක්‍රෝධය නිසා අන් අයගේ දියුණුවට අකමැති වෙමින් පිරිහීම පතන විට තමා කරා ම පැමිණෙන විපත් පිළිබඳව මේ දේශනාවේ සඳහන් වේ. එම දේශනාවට අනුව ක්‍රෝධයට යට වූ පුද්ගලයෙක් තම සතුරාගේ විරූපී බව පතන විට ඔහු කොතරම් අලංකාරව සිටීමට උත්සාහ කළ ද හේ විරූපී වෙයි. තම සතුරා දුක සේ නිදාගනිත්වා’යි සිතන විට තමා දුක සේ නිදයි. සතුරාගේ දියුණුවට හේතු වන කරුණු නොවේවායි පතන විට තමාගේ දියුණුවට කරුණු නොයෙදෙයි. සතුරාට භෝග සම්පත් නොලැබේවා’යි පතන විට තමාට භෝග සම්පත් නොලැබී යයි. සතුරාගේ කීර්තිය, ප්‍රශංසාව, පරිවාර සම්පත් නොලැබේවා’යි පතන විට තමාගේ කීර්තිය, ප්‍රශංසාව, පරිවාර අහිමි වී යයි. සතුරාට මිතුරන් නොම වේවා’යි පතන විට තමාට මිතුරන් අහිමි වෙයි. සතුරා මරණින් මතු නිරයේ ඉපදේවා’යි පතන විට තමාට ඒ ඉරණම අත් වේ.

ලෝකයාට වැරදුන තැන කොතැන ද?

මේ කර්ම, කර්ම විපාකයේ ක්‍රියාකාරීත්වය බූමරංගයක ක්‍රියාකාරීත්වය ගනී. අප විසින් බැහැරට විසි කරන දෙය ම අප පසුපස හඹා එයි. දිනුරිගේ සිද්ධිය කන වැකුණු වහා ම මා හට භාග්‍යවතුන් වහන්සේගේ මේ දහම් කරුණු සිහිපත් විය. සමස්ත ලෝක සත්වයා ම මේ පිළිබඳව නොදැන කොතරම් අනුන්ගේ පිරිහීම, පරාජය පතමින් තමාගේ ජය පතනවා ද?

තමාගේ සාර්ථකත්වය පතා අනුන්ගේ අසාර්ථකත්වය පතනවා ද? නමුත් සත්‍යය නම් ඔවුන් අනුන්ගේ පිරිහීම, අසාර්ථකත්වය, අයහපත පතන මොහොතක්, මොහොතක් පාසා තමා ම පිරිහීම කරා යාම යි. ඒ පිරිහීම අන් මඟකින් වළක්වා ගත නො හැකි ය. එය සනාතන ලෝ දහමකි. මුළු හදවතින් ම අනුන්ගේ දියුණුව යහපත පතන කෙනා වේගයෙන් දියුණුව කරා ම ගමන් කරයි. සියලු ජයග්‍රහණයන්, සාර්ථකත්වයන් ලබා ගනියි. එය ද ලෝ දහමට අයිති ය.

කුමක් ද මීට විසඳුම?

ඒ නිසා දෙමාපියෝ දරුවන්ගේ දියුණුව පතත්වා! සහෝදරයන් සහෝදරයන්ගේ දියුණුව පතත්වා! ඤාතීන් ඤාතීන්ගේ දියුණුව පතත්වා! අසල්වැසියන් අසල්වැසියන්ගේ දියුණුව පතත්වා! ගම්වැසියන් ගම්වැසියන්ගේ දියුණුව පතත්වා! රටවැසියන් රටවැසියන්ගේ දියුණුව පතත්වා! භික්ෂූන් භික්ෂූන්ගේ දියුණුව පතත්වා! උපාසකයන් උපාසකයන්ගේ දියුණුව පතත්වා! ආගමිකයන් අන්‍යාගමිකයන්ගේ දියුණුව පතත්වා! සිසුන් සිසුන්ගේ දියුණුව පතත්වා! ගොවීන් ගොවීන්ගේ දියුණුව පතත්වා! වෙළෙන්දන් වෙළෙන්දන්ගේ දියුණුව පතත්වා! නිලධාරීන් නිලධාරීන්ගේ දියුණුව පතත්වා! දේශපාලඥයන් දේශපාලඥයන්ගේ දියුණුව පතත්වා! ලෝ වැසියන් ලෝ වැසියන්ගේ දියුණුව පතත්වා! දෙවියන් බඹුන් සහිත දෙව් මිනිස් ප්‍රජාව ම දෙව්මිනිස් ප්‍රජාවේ ම දියුණුව පතත්වා! ජාති කුල ආගම් පාට භේදයකින් තොරව සියල්ලෝ ම සියල්ලන්ගේ ම දියුණුව පතත්වා! ඒ මුදිතා සහගත සිත සැබෑ දියුණුවේ රහස යි.

-මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි