භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙහි ශ්‍රාවක සංඝරත්නයේ ගුණ සඳහන් වන සෑම තැනක ම සඳහන් වෙන්නේ “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා පුරුෂ යුගල වශයෙන් සිව් නමක් ද, පුරුෂ පුද්ගල වශයෙන් අට නමක් ද වන්නේය” යනුවෙනි (යදිදං චත්තාරි පුරිසයුගානි, අට්ඨ පුරිසපුග්ගලා).

සෝවාන් ඵලයට අදාළව, සෝතාපන්න ඵලය සාක්ෂාත් කිරීම සඳහා මාර්ගයට පිළිපන් ශ්‍රාවකයා සහ සෝතාපන්න ඵලය සාක්ෂාත් කළ ශ්‍රාවකයා වශයෙන් ශ්‍රාවකයන් දෙදෙනෙකි. එනම් ශ්‍රාවකයන් යුගලයකි. මෙසේ සකදාගාමී ඵලයට අදාළව ශ්‍රාවකයන් යුගලයක් ද, අනාගාමී ඵලයට අදාළව ශ්‍රාවකයන් යුගලයක් ද, අරහත් ඵලයට අදාළව ශ්‍රාවකයන් යුගලයක් ද වශයෙන් ගත් කල ශ්‍රාවක යුගල සතරක් වන්නේය.

වෙන් වෙන් වශයෙන් ගත් කල සෝවාන් ඵලය සාක්ෂාත් කිරීම සඳහා මාර්ගයට පිළිපන් ශ්‍රාවකයා ය, සෝවාන් ඵලයට පත් වූ ශ්‍රාවකයා ය, සකෘදාගාමී ඵලය සාක්ෂාත් කිරීම සඳහා මාර්ගයට පිළිපන් ශ්‍රාවකයා ය, සකෘදාගාමී ඵලයට පත් වූ ශ්‍රාවකයා ය, අනාගාමී ඵලය සාක්ෂාත් කිරීම සඳහා මාර්ගයට පිළිපන් ශ්‍රාවකයා ය, අනාගාමී ඵලයට පත් වූ ශ්‍රාවකයා ය, අරහත් ඵලය සාක්ෂාත් කිරීම සඳහා මාර්ගයට පිළිපන් ශ්‍රාවකයා ය, අරහත් ඵලයට පත් වූ ශ්‍රාවකයා ය වශයෙන් උතුම් ශ්‍රාවක පුද්ගලයන් අට දෙනෙක් වෙති.