භාග්‍යවතුන් වහන්සේ වදාළේ බුද්ධ ශාසනයක පැවිදි බව ලැබීම බුද්ධාදී ආර්යයන් වහන්සේලා විසින් පනවන, සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරන කාරණයක් බවයි (පබ්බජ්ජා භික්ඛවේ පණ්ඩිත පඤ්ඤත්තං, සප්පුරිස පඤ්ඤත්තා). සාමාන්‍යයෙන් පටු කල්පනාවක් ඇති, සසර ස්වභාවය නො දන්නා පෘථග්ජන මානසිකත්වයට එය යුතුකම් වගකීම් පැහැර හැරීමක් කියා සිතෙන්නට පුළුවනි. නමුත් නිරය, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපායේ වැටමින් ලෙඩ වෙන, වයසට යන, මරණයට පත්වෙන දුක්ඛිත බිහිසුණු සසර ගමන ගැන ධර්මානුකූල වැටහීමක් ඇති කෙනෙකු උතුම් පැවිදි බව අනුමත කරමින් එයට අනුබල දෙමින් ප්‍රශංසා කරනවා ම යි. ගිහි ජීවිතයේ ලබාගත හැකි උපරිම තත්ත්වය වූ සත්රුවනින් සමන්විත මහා තේජස් ඇති සක්විති රජුන් පවා ධර්මාවබෝධ නොකිරීම හේතුවෙන් යළි තිරිසන් ජීවිත පවා ලබාගත් අවස්ථා ධර්මයේ සඳහන් වෙනවා. සිද්ධාර්ථ කුමරුන් තරුණ වියේ දී ම සක්විති රාජ්‍යයත්, රම්‍ය සුරම්‍ය සුභ ආදි මාලිගාවල ගත කළ සුඛෝපභෝගී දිවියත් අත්හැර දමා අභින්ෂ්ක්‍රමණය කළ නිසයි ලෝකයට සම්මා සම්බුදු කෙනෙකුන් බිහිවී අනන්ත අප්‍රමාණ සත්වයන් ධර්මාවබෝධ කොට බිහිසුණු සසරින් නිදහස් වූයේ. එමෙන් ම දඹදිව රාජ්‍යය අතහැර මහින්ද කුමරුත්, සංඝමිත්තා කුමරියත් තරුණ වියේ දී ම සසුන්ගත වූ නිසයි අප මව්බිමට සම්බුද්ධ සන්දේශය ලැබී සියලු යහපත උදාවූයේ. ඒ මග යමින් වර්තමානයේ ද තරුණ වියේ සිටින යොවුන් දූ පුතුන් උතුම් පැවිදි බව ලබා තම ජීවිතයත් ධර්මයෙන් නිවා සනසා ගනිමින් දෙමව්පිය ඥාතීන් ද සුගතිගාමී මාර්ගයට යොමුකරවා ගැනීම ගැන අප අතිශයින් ම සතුටු විය යුතුයි. මත්පැන් මත්ද්‍රව්‍ය වලටත්, කාම මිථ්‍යාචාරයටත් හසුවී සිය දහස් ගණන් තරුණ ජීවිත විනාශය කරා යන කාම උන්මාදයෙන් පිරී ගිය අවධියක යම් තරුණයෙක් හෝ තරුණියක් ඉන් මිදී උතුම් පැවිදි බව ලබා බඹසර සිල් සුරකිමින් කුසල් වැඩීම අනුමෝදන් වන්නට තරම් සත්පුරුෂ සිතක් ගිහි පැවිදි අපි කවුරුත් ඇතිකර ගත යුතුයි.