අපි හැමෝම ජීවිතේ සොයාගෙන යන දෙයක් තිබෙනවා. ඒ දෙය තමයි ‘සතුට’. අපි සතුටින් ජීවත් වෙන්න කැමති උදවිය. ඒ වෙනුවෙන් නොයෙක් ඉලක්ක තබා ගත් උදවිය. ලුහුබඳිමින් සතුට සොයන උදවිය…

ප්‍රශ්න පිරුණ ජීවිතේ…

මොන තරම් වැර වෑයම් කළා වුණත්…, ඒ විදිහට සොයාගෙන සොයාගෙන යන සතුටට උරුමකාරයෙක් වෙලා සර්වප්‍රකාරයෙන් ම සතුටින් ජීවත් වන කවුරුන්වත් අප අතර නෑ. අප කා හටත් ප්‍රශ්න තිබෙනවා. සොයාගෙන යන සතුට අපට අහිමි කරවන ඒ නොයෙකුත් ප්‍රශ්න අභ්‍යන්තරික සහ බාහිර විදිහට දෙයාකාරයකින් අපේ ජීවිත කරා එනවා. සරලව කිව්වොත් අපට සතුට අහිමි කරවන අපේ ම ඌනතා අභ්‍යන්තරික ප්‍රශ්න විදිහටත්, අපට සතුට අහිමි කරවන්නේ යැයි අපට හැඟෙන බාහිර කාරණා බාහිර ප්‍රශ්න විදිහටත් අපේ ජීවිත කරා එනවා. ඒ නිසා, අප ගැන කිව යුත්තේ සතුට ලුහුබඳිමින් ප්‍රශ්න මැද්දේ ජීවත් වෙන මිනිස්සු කියලයි…

වයස මුහුකුරා යද්දි අපේ හයිහත්තිය ගෙවිලා යනවා. අතපය පවා අපට වුවමනා ආකාරයට මෙහෙයවා ගන්න බැරි තත්ත්වයට පත් වෙනවා. හිත ගැන කවර කථා ද? හයිහත්තිය ඇතිව අතපය මැනැවින් මෙහෙයවා ගන්න පුළුවන් වුණ කාලේ පවා හිත හැසිරුණේ අපට වුවමනා හැටියට නෙමෙයි; හිතට වුවමනා හැටියටයි. හිත කියන කියන දේ කර කර තමයි අපේ කාලේ ගෙවුණේ. කය රකින්න අපි වෙහෙස වෙන තරම් හිත රකින්න අපි වෙහෙස වුණේ නෑ. එච්චර රැකපු කයත් බලා ඉඳිද්දි ම පිරිහිලා යද්දි නොරැකපු හිත ගැන කථා කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නෑ. ඔන්න අපට එන, සැබෑ ම අභ්‍යන්තරික ප්‍රශ්න. ලෙඩ වෙනවා, දිරනවා, නොවැඩූ සිතක් ඇතිව කයේ පිරිහීම එක්ක ජීවිතය ඉදිරිපිට අසරණ වෙන්න සිද්ධ වෙනවා…

වෙනස්කම් අතරේ සමානකමක්?

කිසිසේත් ම නොවැළැක්විය හැකි මේ ප්‍රශ්න ගොන්න අතරේ ම අප ජීවත්වන පරිසරය තුළිනුත් අප නුරුස්නා ස්වභාවයන් ප්‍රකට වෙන්න ගන්නවා. ඉතින් කොහේ ද සැනසිල්ලක්? කොහේ ද සතුටක්? අපි හැම වෙලාවෙම ජීවත් වෙන්නේ තැවෙමින්, දැවෙමින්, ළතවෙමින්… කලාතුරකින් තමයි ඇත්තටම අපි සතුටින් ජීවත් වෙලා තියෙන්නේ…

‘අප’ සමූහයක් ලෙස එක්ව වසනා මිනිසුන් වූවාට, එකිනෙකාට සහමුලින් ම වෙනස් වූවන්. සම නිවුන් දරුවන් පවා එකිනෙකාට සමාන වන්නේ නැහැ. රූපීය වශයෙන් යම් යම් සමානකම් තිබුණා වුණත් අප සියල්ලෝ එකිනෙකාට අතිශයින් වෙනස් සිත් ඇත්තවුන්. ඒ අනේකවිධ වෙනස්කම් අතරේ පොදු සමානකම් ගළපාගෙන ජීවත් වෙන්නට උත්සාහ කිරීම තමයි අප කවුරුත් පාහේ සිදු කරන දේ.
නිය සිළේ පස් ටික…

ඉතින්… අපේ රුචි අරුචිකම් වෙනස්. සිතන පතන ආකාරයන් වෙනස්. යමක් දෙස බලන කෝණයන් වෙනස්. යමකට ප්‍රතිචාර දක්වන ස්වභාවයන් වෙනස්. හැසිරීම් වෙනස්. පටන්ගත් කෙළවරක් නොපෙනෙන අති දීර්ඝ සංසාර ගමන පුරා අප පුරුදු පුහුණු කරන්නට යෙදුණ අප්‍රමාණ ජීවිත ස්වභාවයන් නොයෙක් ආකාරයන්ගෙන් ප්‍රමුඛ වෙමින් අප තුළින් ඉස්මතු වෙනවා. එක ම පවුලේ සාමාජිකයන් අතර පවා කොතරම් වෙනස්කම් තිබෙනවා ද? අතිශය මෘදු, සුවච, කීකරු චරිත සේ ම බොහෝ සෙයින් රළු, ප්‍රචණ්ඩ, සැඩපරුෂ චරිත එක ම පවුලේ දූ දරුවන් අතර දැකිය නොහැකි ද? එවැනි වෙනස්කම් දක්නට ලැබෙනවා ය යන්න ලෝකයේ වෙනස් නොකළ හැකි ස්වභාවයක්. ඒ නිසා ම, ප්‍රතිවිරුද්ධ ස්වභාවයන් ඔස්සේ ගැටී යාම ලෝකයේ නිරන්තරයෙන් ම සිදු වන්නක්…

පෙර ජීවිතයේ අප සිටියේ කොතැන ද කියා අප දන්නේ නැහැ. පෙර විසූ කඳපිළිවෙළ දක්නා නුවණ ඇති නුවණැතියනට ද කර්මානුරූප ව චුතිය උපත දැකිය හැකි ආකාරයේ උපත් ලබා සිටින්නවුන්ට ද හැර අන් අයට එය විෂය වන්නේ නැහැ. මේ ලද මනුෂ්‍ය උපතට පෙරාතුව අප දිව්‍ය බ්‍රහ්ම තලයක හෝ මනුෂ්‍ය ලෝකයක ම හෝ සිටියා ය කියා සිතන්නට අප කැමතියි. නමුත්, එය එසේ නොවන්නට ඕනෑ තරම් ඉඩ තිබෙනවා. කොතැන ඉපිද සිටියා වුණත්, මහ පොළොවේ පස් හා සමාන අති විශාල පිරිසක් දුගතිය කරා යද්දී එයින් නිය සිළට ගත් පස් හා සමාන වූ ගණනින් ඉතා සුළු පිරිසක් තමයි සුගති ලෝකවල උපතක් කරා එන්නේ. ඉතින් මේ මනුෂ්‍ය උපත නම් වූ නිය සිළේ පස් ටිකට අප අයත් වුණේ නිරයේ සිටිය දී වෙන්නත් පුළුවන්. තිරිසන් ලෝකයේ, ප්‍රේත අපායේ හෝ අසුර ලෝකයේ ඉපිද සිටිය දී වෙන්නත් පුළුවන්. අප කාගේත් පොදු කතාව එවැන්නක්.

කටු අකුලක දිවි ගෙවීම

යම් තැනක එසේ අප සිටියා ද ඒ ඒ තැන උරුම වූ ස්වභාවයන් අපේ ජීවිතය තුළ ප්‍රමුඛ වීම අද්භූත කරුණක් නොවෙයි. ඉතින් අප වටා සිටින්නවුන් තුළත් එකරුණ එසේ ම බලපැවැත්වෙනවා. මෘදු මොළොක් නිහතමානී ගුණවත් චරිත අප වටා සිටිනවාට අප කොතරම් කැමති වූවත් අති දීර්ඝ සසර ගමනකට සත්වයා ඇද දැමූ නුහුගුණ ස්වභාවයන් අප පිරිවරා සිටීම වැළැක්විය නොහැකියි. අපිට ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ හරියට කටු අකුලක දිවි ගෙවනවා වගෙයි…

ඒ කටු අකුලේ ස්වභාවය මෙය යි. ගුණය දකින්නේ නැහැ. ගුණය දුටුවත් කියන්නේ නැහැ. නුගුණය යාන්තමින් දැක්කත් එය ම ඉස්මතු කර කර දක්වනවා. නුගුණ සොයනවා. තමන් හුවා දක්වනවා. අන්‍යයන් පහත් කොට තකනවා. චෝදනා කරනවා. මැසිවිලි නගනවා. එහෙම ඉන්න අතරේ ක්‍රියාවෙනුත් සමාජය එක්ක ගැටෙනවා, එකට එක කරනවා. වචනයෙනුත් සමාජය එක්ක ගැටෙනවා, එකට එක කරනවා. සිතෙනුත් එහෙම ම යි. ඉතින් නිතර දෙවේලේ තමනුත් කටු ඇනගෙන, අනිත් අයටත් ඇනෙන කටුවක් බවට පත් වෙලා තමයි බොහෝ දෙනෙකු ජීවත් වෙන්නේ. ‘සසරේ පුරුදු කරපු ස්වභාවයන් ය’ කියලා මෙය නොසලකා හරින්නට තිබුණා, සසර ස්වභාවයන් ඉක්මවා යන අනුත්තරීය ධර්මයක් අපට නොඇසී තිබුණා නම්… නමුත් අප උපන්නේ කර්මය ඉක්මවා යමින් ධර්මය තුළ මහේශාක්‍ය බවට පත් වන ප්‍රතිපදාව දක්වන සත්පුරුෂන්ගේ යුගය ජීවමානව තිබිය දී වන නිසා මෙය අප විසින් නොසලකා හැරිය යුතු නොවනවා පමණක් නොවෙයි; ඉතාමත් සැලකිල්ලෙන් යුතුව විමසා බලමින් සුදුසු පිළියම් යොදා නිසැක විසඳුමක් කරා ද ගෙන යා යුතු වනවා…

කටු අකුල් සියල්ල කපා ඉවත් කරනවා යන්න ප්‍රායෝගික ව කළ නොහැක්කක්. එය බාහිර ව පවතින්නක්. අපට කළ හැක්කේත්, අප කළ යුත්තේත් අප තුළ පවත්නා නුගුණ ස්වභාවයන් හඳුනාගෙන ඉවත් කිරීම. එය කළ යුත්තේ ගුණධර්මයන් දියුණු කිරීමෙන්… උත්තම සම්බුද්ධ ශාසනය මුණගැසුණු මේ මිනිස් ජීවිතය ඊට කදිම තෝතැන්නක්.

සුගතියේ ලාභය කොතරම් ද?

බොහෝ සෙයින් සෙනෙහස දක්වමින් ඇති කරන සුරතල් සතුන් ඔබට ඇති. මටත් සිටිනවා. අතිශය මෘදු මොළොක් වචන පවසමින්, මෙත් දයා පෙරදැරි ව ළෙංගතු සිතින් උන් ඇසුරු කිරීම මා තුළත් ඇති ස්වභාවයක්. ඔබ බොහෝ දෙනෙකුත් එසේ ඇති. එහෙත්… අප සුගතියේ, උන් සිටින්නේ දුගතියේ. අප උන්ට කෙතරම් හිතවත්කම් පෑවත්, කොතරම් දයාවන්ත ව සිටියත් උන් ව ගුණධර්මයක පිහිටුවනවා යන්න කිසිසේත් කළ නොහැකියි. කුසලයක සමාදන් කරවනවා ය යන්න කිසිසේත් කළ නොහැකියි. උන් හා අප සමීප ව සිටිනවා වූවාට සුගතිය සහ දුගතිය යනු අතිශයින් දුරස් වූවක්.

අකුසල් දුරු කරමින් කුසල් දියුණු කළ හැකි ස්වභාවය ඇතිව කුසලය – අකුසලය, යහපත – අයහපත, පින – පව මැනැවින් පෙන්වා දෙන සුභාෂිත දහම් පද මැනැවින් අසන උරුමය ඇතිව ලද මේ මනුෂ්‍ය ජීවිතය අපතේ යන්නට ඉඩහැරියොත් අප වැටෙන්නේ සුළුපටු අනතුරක නොවෙයි. මරණින් මතු අප උපදිනවා ම යි. ඒ උපත දුගතියෙන් නිදහස් ද? ඒ උපත කුසලය – අකුසලය තෝරා බේරා දී සත්පුරුෂ ගුණ ශෝභාවන්ගෙන් වැඩී යන්නට උපකාර ලබන උපතක් ද? කෙළින් පිළිතුරක් දිය නොහැකි විමති සිතක් මෙතැන දී අපට උපදිනවා. ඒ විමති දුරු කොට රැකවරණ සලසා ගන්නටයි ගුණධර්මයන්ගෙන් වැඩී යාම තුළ උපකාර සැලසෙන්නේ.

පළමුවෙන් සත්පුරුෂ භූමියට…

ගුණධර්ම යනු සැබැවින් ම සත්පුරුෂයන්ගේ ධර්මය යි. ලෝකය අනුව පෙරලී යන අෂ්ටලෝක ධර්මයන් හමුවේත්, අෂ්ටලෝක ධර්මයන් අනුව පෙරලී යන ලෝකය හමුවේත්, අභ්‍යන්තරික බාහිර ප්‍රශ්න හමුවේත් නොපෙරලී යන කෙනෙක් විය හැක්කේ ඒ ගුණධර්මයන් තුළිනුයි. නිවන කියා කියන්නේ ගුණධර්මයන්ගේ පරිපූර්ණත්වයට. ගුණධර්මයන් දියුණු කිරීම තුළ නිවන් මග වැඩී යනවා. ගුණයෙන් අගපත් උතුමන් වැඩම කළ මාවතේ පියසටහන් මත පියනගමිනුයි අප මේ ගමන යා යුත්තේ.

පළමුවෙන් ම, මැනැවින් සිහි තබා ගත යුත්තේ සද්ධර්මය යනු සත්පුරුෂ ධර්මය බවත්, සත්පුරුෂ ධර්මය වැඩී යන්නේ සත්පුරුෂ භූමියේ පමණක් ම බවත්… එහෙම නම්, මුලින් ම කළ යුත්තේ සත්පුරුෂ භූමියට පැමිණීම යි. එයට කියන්නේ ‘කළගුණ දන්නා බව, කළගුණ සිහි කරනා බව’ කියල යි. සුගති උපතක රැකවරණය සැලසූ අම්මා තාත්තාගෙන් පටන්ගෙන, අකුරු කෙරූ ගුරුවර වැඩිහිටියන්, තිසරණ සරණයේ පිහිටවූ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේලා ආදී කොට ගත් පමණ කළ නොහැකි ගුණ සම්පත්තියෙන් ආඪ්‍ය වූ උත්තමයන්ගේ උපකාරයේ පටන්, වෙලාව අසන විට වෙලාව කියූ කරුණ වැනි පුංචි ම පුංචි උපකාරය පවා පසසමින් ගුණ සිහි කරන්නට අපි පුරුදු වෙමු. නුගුණ බොහෝ ඇති මිනිසුන් අප වටා සිටිනවා තමයි; නමුත් ඒ සෑම කෙනෙකුන් තුළ ම පුංචි හෝ ගුණයක් නම් තිබෙනවා ම යි. වෙන කිසි ම දෙයක් නැති වුණත් අසංඛ්‍යෙය ගණනින් සත්වයන් දුගති ලෝකවල උපදිද්දී ඒ කෙනා සුගතියේ ඉපදිලා සිටිනවානේ… ඒ කියන්නේ සසරේ පින් කළ කෙනෙක්නේ. ගුණ දකිනා ගුණය දියුණු කරන මාර්ගය උතුම් ශ්‍රී සද්ධර්මය අපට ඒ අයුරින් කියා දී තිබෙනවා නේද…! නුගුණ හා ගැටී යාම ලෝකයේ කාටත් කළ හැකි යි. පුංචි ම හෝ ගුණය දැක – සෙසු කාරණා සම්බන්ධයෙන් නොගැටී තම සිත ප්‍රවේශම් කර ගැනීම කළ හැක්කේ සත්පුරුෂයන්ට පමණයි. අපි සත්පුරුෂයන් වෙමු. අපව රැක ගන්නට වෙන ක්‍රමයක් නෑ…

පරම තපසේ පිහිටමු

අනෙක් මූලික ම දෙය තමයි ‘ඉවසීම’. සම්බුදුරජාණන් වහන්සේ වදහළ පරම තපස… කරන්නට දුෂ්කර ම වූ දෙයක්. නමුත්, නිවන් fදාරටුවේ හැපී සිටින්නට මහෝපකාරක වන ගුණයක්… සිත වෙනස් කර ගන්නේ නැතිව, පාපී නපුරු වචන කියන්නේ නැතිව, සියල්ලන් කෙරෙහි – සියලු දිශාවන් කෙරෙහි පැතිරවූ මහත් වූ විපුල වූ මෙත් සිතින් යුතුව ඉවසනවා යන්න ඒකාන්තයෙන් ම බොහෝ කාලයක් සැපය පිණිස, සුවය පිණිස පවතින බවයි සම්බුදුරජාණන් වහන්සේ වදාළේ. කකචූපම අවවාදය වදාරමින් සෙසු ලෝකයා හමුවේ නොගැටෙන අකම්පිත සිතක් උපදවන ධර්ම දායාදය සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයනට ලැබ දුන්නා. එසේ හික්මුණු කෙනා කිපෙන ලෝකයට පෙරලා කිපෙන්නේ නෑ. ඒ කෙනා සන්සිඳී ජීවත් වෙනවා. ඒ අර්ථයෙන් ඔහු ලෝකය හා බෙදා හදාගෙන නොකන කෙනෙක් බවට පත් වෙනවා… කිපෙන ලෝකයට පෙරලා කිපුණොත් ඒ තමයි ‘බෙදා හදාගෙන කෑම’… කෑම උපදවපු අයටත්, කාපු අයටත් තම තමන් රැස් කර ගත් විදිහට අස්වැන්න ලැබෙනවා ම යි. ‘අහවලා නිසා මේක වුණේ’ කියලා කර්ම විපාකයෙන් ගැලවීමක් නැහැ…

සෙසු ලෝකයා ද්වේෂය උපදවාලන ස්වභාවයෙන් යුතු විය හැකියි. එය එසේ නොවේවා කියා ලබන්නට පුළුවන්කමක් නැහැ. තමන් තුළ ඉවසීම නම් වූ මහේශාක්‍ය බව තිබෙනවා නම් ද්වේෂය වැඩී යන සිදුරු වසාලිය හැකියි. එසේ තමන් තුළ උපදවා ගත් ගුණයෙන් රැකෙනවා මිස සෙසු ලෝකයා අපව කෝප නොගන්වනසුලු ව පවතිමින් අප සන්සිඳුවිය යුතු ය කියා සිතීම ළාමකකමක්. අභව්‍ය වූවක්…

ගුණයෙන් වැඩුණු උත්තම ජීවිත

මේ ගුණධර්මයන් දෙක, ඒ කියන්නේ කළගුණ දන්නා බව සහ සිහි කරනා බවත්, ඉවසීමත් තිබෙනවා නම්, එපමණකින් ම අප මේ මිනිස් ජීවිතයට අතිශයින් වටිනා දෙයක් සිදුකර ගත්තා වෙනවා. අප ජීවත් වෙන්නේ බොහොම ටික කාලය යි. අප කවුරුත් මැරෙන මිනිසුන්. ජීවත් වෙන ටික කාලයට ලෝකය හා ගැටෙමින්, වාදවිවාද කරමින්, රණ්ඩුසරුවල් කරමින් මොනවා නම් ලබන්න ද? හැරත්… කෝටි හත්සියයකට අධික මිනිස් ගහනයක අප දන්නා කියන්නවුන් සිටින්නේ කීයෙන් කී දෙනා ද? අපේ සියලු ඝට්ටනයන් ඒ දන්නා කියනා ටික දෙනා සම්බන්ධයෙන් නේද? දැනහඳුනන්නේ ද අතලොස්සයි, ඔවුන් සමගත් නිරන්තරයෙන් ගැටීම්… එවන් ජීවිතයක තේරුමක් තිබෙනවා ද?

බලන්න අපගේ ශාස්තෘන් වහන්සේගේ පරම පිවිතුරු ජීවිතය දෙස… බලන්න අග්‍ර ශ්‍රාවක වූ සාරිපුත්ත, මහා මොග්ගල්ලාන ආදී නම් ගොත් ඇති මහා ශ්‍රාවක සඟරුවනේ පරම පිවිතුරු ජීවිත දෙස… උන්වහන්සේලා ද ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා සේ ම අලාභ අසත්කාර, නින්දා ගැරහුම් ද ලැබුවා. මහා ජනයා විසින් පිරිවරනු ලැබුවා සේ ම රාජ රාජ මහාමාත්‍යාදී බොහොමයක් විසින් බැහැර කරනු ලැබූ අවස්ථා ද උන්වහන්සේලාගේ ජීවිත කරා එළඹුණා. ලාභ, ප්‍රශංසා, යසස, සැප ඉදිරියේ උදම් වී කම්පා වන ලෝකය අලාභ, නින්දා, අයස, දුක ඉදිරියේ දීන ව ඇද වැටෙනවා වුණත් ඒ උත්තමයන් වහන්සේලා ඒ කිසිවක් ඉදිරියේ වෙනසක් නොවී සම සිතින් වැඩ සිටියා. මොනතරම් නම් ආශ්චර්යයක් ද? ඒ උත්තම ජීවිතවලට නමස්කාර වේවා!

කටු අතර මලක් වෙමු

එකල්හීත් කටු අකුල් තිබුණා… ඒ කටු අකුලට ම එක් වී වන වැදී කටු වවා ගත්තවුන් ද සිටියා… එහෙත්, කෙලෙස් හා නොතැවරී එතෙරට වඩිමින් මුනිවරුන් කටු අකුල මත මල් සේ සුපිපී තුන්ලොව ම සුවඳවත් කොට පිරිනිවී වැඩියා. කටු අකුල් තවම සසරේ ම යි…

නුගුණ ඇති සසර ජීවිත ඉක්මවා යන්නට සුළුවෙන් හෝ වෑයම් කරන කිසිවෙකුටවත් ගරහන්න නම් එපා. එවිට අප මල වටා කටු අකුල් බවට පත් වෙනවා… කටු අකුල් ඔහේ තිබුණදෙන්. ඊට මුහු වීම පහසුයි තමයි. නමුත් අප එයට මුහු විය යුතු නැහැ. දුෂ්කර ව හෝ කළ යුත්තේ කටු අකුලක මලක් වීමට උත්සාහ දැරීම යි. සම්බුද්ධ ශාසනයක පිළිවෙතින් සිදු කරනා මේ වෑයම වඳ බසින්නේ නෑ. හිස් වන්නේ නෑ. ඒකාන්තයෙන් ම නිවන පිණිස හේතු වෙනවා.

කටු අකුලේ වුව ද මල් පූදිනා බව, ධර්මතාවයක්…!

සටහන – උදුලා පද්මාවතී