අභය මහරහතන් වහන්සේ

අපට අනුබුදු කෙනෙක් බඳු වූ, අපගේ පරම පූජනීය කල්‍යාණ මිත්‍ර වූ මිහිඳු මහරහතන් වහන්සේ, අප භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සිංහල ජනතාවට දේශනා කළ සේක. බොහෝ මඟඵලලාභී ශ්‍රාවකයෝ බිහි වූහ. සිය දහස් ගණනින් රහතන් වහන්සේලා බිහි වූහ. කිසිදු පිළිසරණක් නැතිව සිටි සිංහල ජාතියට බුදුරජුන්ගේ සරණ ලැබුණි. ගස්, ගල්, පර්වත, යකුන්, යකිනියන් අදහමින් මිත්‍යාදෘෂ්ටිකව සිටි සිංහල මිනිස්සු තෙරුවන් සරණෙහි පිහිටා මහා සෑයවල්, බෝධීන් වහන්සේලා වැඳ, දන්පැන් පුදා, සිල් ගුණ දම් රැක පින් පුරවා ගන්න ආකාරය දැනගත්හ. ඒ අනුව පින් දහම් කොට සුගති රැකවරණය සලසා ගත්හ. අමා මහ නිවන් අවබෝධ කළහ. ලක්දිව රහත් සඟ පරපුර ආරම්භ වුනේ එලෙස ය. ඒ රහතන් වහන්සේලාගේ ජීවන තොරතුරු පුදුම සහගත ය. උන්වහන්සේලාට රහත් වෙන්නට පින උපකාර වූ අයුරු විස්මිත ය. අද ඔබට දැනගන්නට ලැබෙන්නේ ලක්දිව වැඩසිටි අභය මහරහතන් වහන්සේ පිළිබඳවයි.

උන්වහන්සේ පෙර ජීවිතයේ කළ පිනක් නිසා ගෞතම බුදු සසුනේ පැවිදිව පිළිවෙත් පුරා සසරින් නිදහස් වෙන්න වාසනාව උදා වුනි. ඒ පින මෙසේය; ලංකාද්වීපයේ අනුරාධපුරයේ බටහිර පැත්තට වන්නට මල්වැස්සා වෙහෙර නම් මහා විහාරයක් තිබුණි. ඒ විහාරය සමීපයේ ‘දේව’ නම් ගම ඇමතියෙක් වාසය කළේය. එක් දිනක් මේ අමාත්‍යයා තම කටයුතු සොයා බලා නැවත පැමිණ බඩගිනි නිසා කෑම අනුභවයට ඉඳගෙන උන්නේය. තමාගේ සේවකයන් කෑම භාජන රැගෙනවිත් තැබුවාට පසුව ඒ ආහාර සුවඳට ඉව කළ බල්ලෙක් එතැනට පැමිණියේය. ඒ බල්ලා ඉතාමත් බඩගින්නේ වෙව්ල වෙව්ලා ඔහු ඉදිරියේ සිටගෙන සිටියේය. එම ඇමතියාගේ එක් සේවකයෙක් එම බල්ලාට ගසා පළවා හරින්නට සූදානම් විය. එවිට එම අමාත්‍යයා එය වළක්වා එම බල්ලාගේ අසරණ භාවය දැක කරුණා උපදවා නොයෙක් රස මුසු කොට බත් පිඬක් අනා බල්ලාට දුන්නේය. බල්ලා එම බත් අනුභව කොට ඉතා සතුටුව නඟුට සලමින් මුහුණ බල බලා සිටියේය.

එය දුටු ඇමතියා එම සුනඛයාට දුන් දානයෙහි සිත් පහදවා ගත්තේය. එම පිනෙන් මරණයෙන් පසු නැවත ඒ ගමෙහි ම වෙනත් මවකගේ කුසේ පිළිසිඳගෙන පුතෙක්ව ඉපිද නිසි කලවයසේදී විවාහ වී දරු මල්ලන් ඇතිව ජීවත් විය. අඹු දරුවන්ට සියලු යුතුකම් ඉටු කොට මහළු වයසට පැමිණි පසු මල්වැස්සා වෙහෙරට ගොස් පැවිදි විය. ත්‍රිපිටක ධර්මය හොඳින් ඉගෙන ගෙන අභය මහ තෙරුන් යැයි ප්‍රසිද්ධ විය. කාලයක් ගිය පසු ලංකාවට බැමිණිතියා සාය පැමිණියේය. දොළොස් අවුරුද්දක් වැහි බිඳුවක් නොවුනි. එසේ හෙයින් දුර්භික්ෂ භය, අමනුෂ්‍ය භය, සොර භය ද පැමිණියේය. එකල්හි විහාර සමීපයේ ගම්වල මනුෂ්‍යයෝ තම තමන්ගේ තැන්වල සිට ජීවත් වීමට නොහැකි නිසා ගම් හැරදා ගියේය.

එම මනුෂ්‍යයෝ මහ තෙරුන් වහන්සේ කරා ගොස් “ස්වාමීනී, රටට දුර්භික්ෂයක් හටගත්තේය. මෙහි සිට ජීවත් වීමට බැරිය. එම නිසා අපත් සමඟ වඩිනු මැනවැ”යි කියා සිටියේය. එකල තෙරුන් වහන්සේ කියනුයේ, “පින්වත් උපාසකවරුනි, අප බුදුන්ගේ ශාරීරික ධාතු පිහිටුවා බඳිනා ලද මේ චෛත්‍යය හා බෝධීන් වහන්සේ ද සර්වඥයන් වහන්සේ යැයි සිතාම වත් පිළිවෙත් කරමින් මල් පහන් පුදමින් වාසය කරමි. මම මේ ධාතු චෛත්‍යය සහ බෝධීන් වහන්සේ අතහැර නොයමි. ජීවිතාන්තය දක්වා මෙතැන ම වාසය කරමි. ඔබලා පහසු තැනකට යන්නැ”යි කීවේය.

එබස් අසා මනුෂ්‍යයෝ එතැනින් නික්ම ගියහ. ඉක්බිති තෙරුන් වහන්සේ ආහාරයක් නැතුව පළමු දවස වත් පිළිවෙතින් ම කල් යවා, දෙවෙනි, තුන්වෙනි දවස් ද එසේම කොට එයින් නික්ම සක්මන් මළුවේ වැඩ සිටි සේක. එකල උන්වහන්සේගේ ගුණානුභාවයෙන් මළු කෙළවර කරඳ ගසට අධිගෘහිත දිව්‍යපුත්‍රයා ඉතාමත් දුර්වල ශරීර ඇතිව සිටින තෙරුන් වහන්සේ දැක තමාගේ දිව්‍ය භාර්යාව කැඳවා, “මේ අභය මහ තෙරුන් වහන්සේ මේ දාගැබ, බෝධීන් වහන්සේ හැර දමා අන් තැනකට නොවැඩ බඩගින්නේ වත් පිළිවෙත් කරයි. උපස්ථාන කරයි. මුන්වහන්සේ වෙත සිඟා වඩින තැනකුත් නැත. මුන්වහන්සේ අපවත් වුවහොත් එය හොඳ දෙයක් නොවේ. ඒ නිසා අපි අද උන්වහන්සේට දානයක් දෙමු”යි පවසා සිටියේය. එවිට එම දිව්‍ය ස්ත්‍රිය මෙසේ ඇසුවේය. “ස්වාමීනී, ඔබ එම තෙරුන් වහන්සේට දානයක් දෙම්හ’යි කියයි. උන්වහන්සේ පෙර ජාතියෙහි කළ පින කුමක්දැ”යි අසා සිටියේය.

ඉන් පසුව එම දිව්‍ය පුත්‍රයා අභය තෙරුන් වහන්සේ පෙර ජීවිතයේ ඇමතියෙක්ව සිටි කාලයේ බඩසයින් පීඩිතව සිටි බල්ලෙකුට මහත් බත් පිඬක් දුන් බව ප්‍රකාශ කළේය. දානය නම් ස්වල්ප යැයි නොසිතිය යුතුය. ඉතා පුංචි නුග ඇටයෙන් පැළවෙන විශාල අතුපතර විහිදී ගිය ආකාශය වසා සිටින්නා වූ නුග වෘක්ෂයක් පරිද්දෙන් විපාක දෙන අවස්ථාවෙහි අපමණ විපාක දෙන්නේ වේ යැයි කියා තමාගේ දිව්‍ය ශරීරය හැර දමා මනුෂ්‍ය වේශයක් ගෙන තෙරුන් වහන්සේ වෙත ගොස් වැඳ පාත්‍රය ගෙන දිව්‍ය ආහාර පාන පූජා කොට මෙසේ කීවේය. “ස්වාමීනී, නුඹවහන්සේට ජීවිතාන්තය දක්වා ආහාර දානය දෙමි. නුඹවහන්සේ අප්‍රමාදව මහණ දම් පිරුව මැනව. අර පේන කරඳ ගස මාගේ විමානය යි. සෑම දවසක ම උදෑසනට එතැනට වැඩිය මැනවැයි ආරාධනා කොට තමාගේ විමානයට ගියේය.

එතැන් පටන් මහ තෙරුන් වහන්සේ කරඳ ගස මුලට වඩිනා සේක. දිව්‍යපුත්‍රයා ද නිරන්තරයෙන් ම දිව්‍ය ආහාර දන් දෙමින් වාසය කළේය. මෙම කාලයේ ම සාගතයෙන් පීඩාවට පත් සමහර මනුෂ්‍යයෝ කල්ලි ගැසී මිනිසුන් මරා මස් කන්නට පුරුදුව සිටියෝය. එක් දිනක් මේ මිනිස්සු දිව්‍ය ආහාර වළඳා වැඩුනා වූ ශරීර මාංශ ඇති මහ තෙරුන් වහන්සේ දැක මුන්වහන්සේ මරා මස් කම්හයි දඬු මුගුරු රැගෙන දුව අවුත් වට කොට ගත්හ. මහ තෙරුන් වහන්සේ පෙර ජාතියෙහි ඇමතියෙක්ව සිටි කාලයේ සුනඛයාට ගසනු පිණිස මුගුරක් ගෙන ආවා වූ මිනිසා සුනඛයාට ගැසිය නොදී වැළැක්වූවා වූ පිනෙන් එකෙණෙහි ම විහාරය මැද මහත් වූ පර්වතයක් මතු වුනි. එම ගලෙන් දොරටුක් විවෘත වුනි. එකෙණෙහි ම තෙරුන් වහන්සේ ඒ පර්වතය ඇතුළට පිවිසුනේය. එම මිනීමරුවන්ට තෙරුන් වහන්සේ සොයා ගැනීමට නොහැකි වුනි. මේ නම් සෘද්ධිබලසම්පන්න රහතුන් වහන්සේ නමක් යැයි බියවී පළා ගියෝය.

ඉක්බිති අභය මහ තෙරුන් වහන්සේ දෙවියන්ගේ දිව්‍ය භෝජන වළඳමින් රහත් නොවී දොළොස් අවුරුද්දක් වැඩසිටියේය. පසුව විදර්ශනා වඩා රහත්ව එපරිද්දෙන්ම දොළොස් අවුරුද්දක් එම විහාරයෙහි ම වැඩවිසූ සේක. මෙසේ දිව්‍ය පුත්‍රයා සූවිසි වසක් දිව්‍ය භෝජනයෙන් තෙරුන් වහන්සේට උපස්ථාන කළේය. තෙරුන් වහන්සේ එම විහාරයෙහි ම වැඩ සිට පිරිනිවන් පෑ සේක.

මෙසේ තමන් කළ පිනෙන් දුර්භික්ෂයෙහි දිව්‍ය ආහාරපානත් ලැබ, මරණයෙන් ද ගැලවී, නිර්වාණ සම්පත්තියත් ලබා ගත්තේය. අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් (මනුස්සභූතස්සපි උපකාරානි පුඤ්ඤානි) මනුෂ්‍යයන්ට ද උපකාර වන්නේ පිනයි. (දේවභූතස්සපි උපකාරානි පුඤ්ඤානි) දෙවියන්ට ද උපකාර වන්නේ පිනයි. (පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි) පැවිද්දන්ට ද උපකාර වන්නේ පිනයි” යනුවෙන් වදාරන ලද්දේ එනිසාවෙනි. මේ ලංකාද්වීපයෙහි ද එබඳු පින්වන්තයින්ගේ යුගයක් තිබුණි. දිවි පරදුවට තබා, දුෂ්කර කාලවලදී ද මහණ දම් පුරමින්, සෑ රජාණන් වහන්සේලාට, බෝධීන් වහන්සේලාට උපස්ථාන කොට, අමා මහ නිවන ද අවබෝධ කොටගත් උත්තමයන් වහන්සේලා වැඩසිටියේ අභය තෙරුන් වහන්සේ පමණක් නොව සිය දහස් ගණනිනි. බඩගිනි පිපාසය යටි පතුලෙහි රඳවා, ශාස්තෘ ගෞරවය හිස් මුදුනට ගත්, පෙර කළ පිනෙන් අමා මහ නිවන් අවබෝධ කොට වදාළ අපගේ ලංකාද්වීපයෙහි වැඩ සිටි අභය මහ රහතන් වහන්සේට නමස්කාර වේවා!

– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි