තිස්ස හා සුමිත්ත මහරහත්හු පිරිනිවෙති.

පාඨලීපුත්‍රයේ ජීවත් වූ එක්තරා පුරුෂයෙක් වනයේ ඇවිද යද්දී කුන්තකින්නරිය නම් කිඳුරියක දැක ඇය සමඟ හාදකමක් ඇති කරගත්තා. ඔය සම්බන්ධයෙන් ඒ කිඳුරිය පුතුන් දෙදෙනෙක් බිහි කළා. වැඩිමලා තිස්ස. බාලයා සුමිත්ත. මේ දෙදෙනා හරීම පින්වන්තයි. යොවුන් වියේදී ම පැවිදි වූ මේ සොහොයුරන් දෙදෙනා වහන්සේ ඉතා කෙටි කලකින් ම අරහත්වයට පත් වුණා.

අපගේ ධර්මාශෝක නරේන්ද්‍රයා සම්බුදු සසුනේ පහන්ව සිටි ඒ සමයේ පාදයේ ගෝනුස්සෙකු දෂ්ඨ කිරීම නිසා තිස්ස තෙරුන් හට බලවත් වේදනා සහිත තුවාලයක් හටගත්තා. මෙය එන්න එන්නම වැඩි වුණා. වෙදැදුරන් පැවසුවේ සුවපත් වෙන්න නම් හැකි ඉක්මනින් පතක් පමණ ගිතෙල් ඕනෑ කියලයි. ඉතින් තම වැඩිමල් සොයුරු තිස්සයන් වහන්සේට බෙහෙත් පිණිස ගිතෙල් සොයාගෙන සුමිත්ත තෙරුන් නගරයේ පිඬු පිණිස හැසිරුණත් ගිතෙල් පතක්වත් සොයාගන්න බැරුව ගියා.

අවසානයේ රෝගය බලවත්ව උත්සන්න වී තිස්ස මහරහතන් වහන්සේ මහා පෙළහර සහිතව තේජෝ ධාතු සමවතට සමවැදී අහසේදී ම පිරිනිවන් පා වදාළා. මේ ගැන සැළවූ මහරජු ඒ රහතන් වහන්සේගේ ආදාහනය ඉතාම උත්කර්ෂවත් අයරින් සිදු කරනු ලැබුවා.

මා වැනි රජෙකුගේ විජිතයේ එසේ වන්නේ කොහොම ද?

රහතන් වහන්සේගේ ආදාහන කටයුතු නිමා වී ධර්මාශෝක රජු මේ පිරිනිවීමට හේතුව සොයා බැලුවා. බෙහෙත් පිණිස ගිතෙල් පතක් සොයාගත නොහැකි වීමෙන් මෙය සිදු වූ බව දැනගත්තා. “අහෝ! මා වැනි බුදුසසුනේ පහන් වූ රජෙකු සිටියදී අපගේ මහසඟරුවනට මෙසේ ප්‍රත්‍ය හිඟ වන්නේ කෙසේද?” කියා රජු බොහෝ කම්පා වුණා. නගරයේ සතර වාහල්කඩෙහි විශේෂ පොකුණු කරවා ඒවා සංඝ රත්නයේ පරිභෝගය වෙනුවෙන් බෙහෙත් ඔසුවලින් පුරවනු ලැබුවා. දිනපතා ම සංඝයාට අවශ්‍ය කරන අනිකුත් ප්‍රත්‍යයන් ද සොයා බලමින් සම්පාදනය කළා.

මේ හේතුවෙන් සංඝයාට ප්‍රත්‍යලාභය බොහෝ වැඩි වුණා. රජු සංඝයා උදෙසා සත්කාර කරද්දී රටවැසියෝත් බහුලව සත්කාර කළේ සංඝයා වහන්සේලාට යි. අන්‍ය තීර්ථක තාපස, පරිබ්‍රාජක, පාෂාණ්ඩ ආදී පිරිසට ලැබෙමින් තිබූ සත්කාරත්, ප්‍රත්‍යලාභත් නැතිවෙලා ගියා.

ශාසන අර්බුදය ඇරඹේ…

පහසුවෙන් සිව්පසය ලබන අපේක්ෂාවෙන් අන්‍ය තීර්ථකයෝ තම තමන් ම සිවුරු පොරවාගත්තා. හීන්සීරුවේ විහාරයන්ට පැමිණ නිර්මල භික්ෂූන් අතරට එක්වුනා. ඔවුනුත් දානමාන, ධර්මදේශනා ආදියට වඩින්ට පටන් ගත්තා. ඒ අවස්ථාවන්හිදී දහම් කථාව කරද්දී බුද්ධ වචනය නොදත්, ඒ ගැන ප්‍රසාදයක් නැති මේ චීවර වේශධාරියෝ බුද්ධ වචනය මෙයයි කියමින් තම තමන්ගේ ආචාර්ය මත fදාඩවන්ට පටන් ගත්තා. සිවුරු පොරෝගෙනත් තමන් කළින් කරපු ගිනිපිදීම් ආදී දේවලුත් ඒ විදියට ම කරන්න පටන් ගත්තා.

මහා නුවණැති මොග්ගලීපුත්තතිස්ස මහරහතනන් වහන්සේ අනාගතයේ ඉතා බරපතල කරුණක් වන මේ ශාසනික අර්බුදය දැක වදාළා. එහෙත් අටලෝ දහමට නොසැලෙන තාදී ගුණැති ඒ මහරහතන් වහන්සේ මෙම අර්බුදය සංසිඳවීමට අවස්ථාවක් බලාපොරොත්තුවෙන් නිහඬව ම වැඩසිටියා. තමන් වහන්සේගේ යටතේ සිටි භික්ෂු පිරිසව මිහිඳු මහරහතන් වහන්සේට බාර කොට ගංගා නම් මහා ගංගාවට උඩු පැත්තේ පිහිටි අහෝගංග කියන පර්වතයට වැඩම කළ උන්වහන්සේ එහි විවේකීව වැඩ සිටියා.

කෙසේ නම් මේ දුස්සීලයන් හා එක්ව උතුම් සංඝකර්ම කරන්ට ද….

ටික කලක් ගතවෙත් ම සුපේශල භික්ෂූන් අතරේ සිටින අන්‍ය තීර්ථක භික්ෂු වේශධාරියෝ වැඩිවුණා. ගුණදහම් නැති ඒ පිරිස සංඝයාගේ උතුම් අවවාදයන්ට අකීකරු වුණා. තමන්ට හිතු මනාපෙට ජීවත්වෙන්න පටන් ගත්තා. සංඝකර්ම සිදුකොට විනයානුකූල බැහැර කිරීම් සිදුකරන්න බැරි වුණ නිසා උතුම් සංඝයා වහන්සේලා අසරණ වුණා. විනයට ගරු නොකරන දුස්සීලයෝ ආරාමවල පිරී ගියා. මේ හේතුවෙන් දඹදිව සියලු විහාරාරාමවල සත් අවුරුද්දක් පුරා ම පොහොය කර්ම සිදු කෙරුණේ නැහැ.

ධර්මාශෝක රජුට භික්ෂූන්ගේ පොහොය නොකිරීම ගැන සැළවුණා. මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න බලය පවරලා එක් අමාත්‍යයෙක් උතුම් වූ අශෝකාරාමය වෙත පිටත්කොට හැරියා. ඒ ඇමතියා තරමක් නුවණ මඳ පුද්ගලයෙක්. මොහු සියලු භික්ෂු සංඝයා රැස් කරවා ‘නුඹලා දැන් රාජනියෝගයෙන් පොහොය කළ යුත්තේය” කියලා රාජ සන්නස කියෙව්වා. එහි සිටි සුපේශල භික්ෂූන් මෙයට අකමැති වුණා.

“හොරට සිවුරු පොරොවගත්ත මේ දුස්සීලයන් සමඟ අපේ පොහොය කිරීමක් නෑ.” කියලා ඒ භික්ෂූන් වහන්සේලා පිළිතුරු දුන්නා. එතකොට ඒ මෝඩ අමාත්‍යයා කිපුණා. “හොඳයි…. එහෙනම් මං පොහොය කරවන්නම්” කියලා අසිපත ගෙන එහි ඉදිරියෙන් ම සිටි ස්ථවිරයන් වහන්සේලා කිහිප නමකගේ ම හිස ගසා දැම්මා.

මේ සඟපිරිස අතරේ ධර්මාශෝක නිරිඳුන්ගේ සොයුරු තිස්ස මහරහතන් වහන්සේ වැඩ සිටියා. වහා ඉදිරියට පැමිණි උන්වහන්සේ හිසගසාදැමීම පිණිස ඊළඟ අසුනේ වාඩි වුණා.

අහෝ! මේ පව මටත් අයිති ද?

එතකොට ඒ නුවණ මඳ ඇමතියා කිසිවක් කරකියා ගත නොහැකි වෙලා ආපසු හැරී රජමාළිගයට ගියා. මේ ගැන රජුට දැනුම්දුන්නා. පින් පව් ගැන විශ්වාසය ඇති රජුට මෙය අසද්දී ශරීරයේ මහා දාහයක් හටගත්තා. මහත් සේ සසළ වී ගිය සිතින් වහාම භික්ෂූන් හමුවට ගිය රජු “අනේ ස්වාමීනී, මා භික්ෂූන්ව ඝාතනය කිරීම පිණිස කිසිවෙකු එව්වේ නෑ. මේ සිදුවුන දෙයින් මා හටත් බලවත් පාපයක් සිදු වුණේ ද?” කියලා අසා සිටියා.

ඒ භික්ෂු පිරිසේ සිටිය නුවණ මඳ, රජු කෙරෙහි ගැටුණු භික්ෂූන් “මෙයින් තොපට පව් රැස්වුණා.” කියලා කිව්වා. ඇතැම් භික්ෂූන් කිව්වේ “රජුටත්, ඇමතියාටත් දෙදෙනාට ම පව් රැස්වුණා” කියලයි. නමුත් නුවණැති තෙරුන් වහන්සේලා කරුණු විමසලා “චේතනාවක් නොමැති නිසා ඔබට පාපයක් වුණේ නෑ” කියලා දැනුවත් කළා. ඒත් රජුගේ සිතේ ඇතිවුන සැකය සම්පූර්ණයෙන් දුරු වුනේ නැහැ.

මාගේ මේ විමතිය කවරෙක් නම් දුරු කර දේවි ද?…

මේ සිදුවීම රජුගේ හිතට හරියට වේදනා ගෙන දුන්නා. භික්ෂූන් වහන්සේලා හමුවට පැමිණි රජු “ස්වාමීනී, මාගේ මේ විමතිය දුරුකොට හැරීමටත්, මේ අර්බුදය නසා සසුන නඟා සිටුවීමටත් සමත් භික්ෂුවක් වැඩ ඉන්නවා ද?” කියා විමසා සිටියා.

“මහරජ්ජුරුවෙනි, ඔබගේ ඔය සියලු අදහස් සඵල කරදිය හැකි අපගේ මොග්ගලීපුත්තතිස්ස මහා තෙරපාණෝ වැඩ සිටිනවා නොවැ.”

මෙය ඇසෙද්දී ම රජුගේ සිතේ උන්වහන්සේ ගැන විශාල ආදරයක් හටගත්තා. දහස් ගණන් පිරිවර සහිතව තෙරුන් වහන්සේ වැඩම කරවාගෙන ඒමට අහෝගංග පර්වතය වෙත ඇමතිවරුන් සහ භික්ෂූන් පිටත්කොට හැරියා. තෙරුන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළා. රජුගේ ම වචනයෙන් ආරාධනා කළත් තෙරුන් වහන්සේ වැඩියේ නෑ. තුන් වතාවක් ම උත්සහ කරලත් උන්වහන්සේගේ පිළිතුර වුනේ තමන් වහන්සේ නොවඩිනා බවයි.

අප බුදු රජුන්ගේ පිරිහී යන සසුන නඟා සිටුවිය යුතුයි…

එතකොට මහරහතන් වහන්සේගේ වැඩමවීම ගැන අතිශයින්ම අපේක්ෂා ඇති රජු භික්ෂූන් වහන්සේලාගෙන් මෙකරුණ විමසා සිටියා. “ස්වාමීනී, අපගේ තෙරුන් වහන්සේ වැඩමවා ගැනීමට පිළිවෙළක් නැති ද?” එවිට ඒ භික්ෂූන් අපගේ මොග්ගලීපුත්තතිස්ස මහතෙරුන් වහන්සේගේ ශාසනමාමක බව දැන මෙසේ අවවාද කළා.

හෝහි භන්තේ උපත්ථම්භෝ – කාතුං සාසනපග්ගහං
ඉති වුත්තේ මහරාජ – ථේරෝ එස්සති සෝ ඉති.

“ස්වාමීනී, අප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පිරිහීගෙන යයි. ඒ උතුම් බුදුසසුන නඟා සිටුවීම පිණිස අපට උපකාර වුව මැනව” කියා මහරජ්ජුරුවෙනි, ඔය විදියට ඇරයුම් කළෝතින් නම් අපගේ ස්ථවිරෝත්තමයන් වහන්සේ වැඩම කරාවි.”

ඉතාම සතුටු වුන රජ්ජුරුවෝ අපගේ තෙරුන් වහන්සේ වැඩම කරවීමට එක් භික්ෂුවකට භික්ෂූන් දහස බැගින් පිරිවර ඇති ස්ථවිරයන් වහන්සේලා දහසය නමකුත්, එක් අමාත්‍යවරයෙකුට පිරිවර පුරුෂයන් දහසක් වන ලෙසින් ඇමතිවරු දහසය දෙනෙකුත් පිටත් කළා. අපගේ මහතෙරුන් වහන්සේ බොහෝ වයෝවෘද්ධ නිසාත්, සත්වයන් යෙදූ රථවලින් නොවඩිනා නිසාත් උන්වහන්සේව වැඩමකරවාගෙන ඒමට කටයුතු සංවිධානය කළේ ගංගා නම් නදිය හරහා නෞකාවක් යොදා ගනිමිනුයි.

පිරිහී යන බුදු සසුන නඟා සිටුවීමට අපට උපකාර කරන්න කියන වචනය ඇසූ සැණින් උන්වහන්සේ ආසනයෙන් නැඟී සිටියා. නෞකාවේ නැඟී පාඨලීපුත්‍රයට වැඩම කොට වදාළා. ධර්මාශෝක රජු උන්වහන්සේ පිළිගැනීමට පිරිවර සහිතව පෙර මඟට වී සූදානම්ව සිටියා. දණක් පමණ වතුරට බැහැලා රජ්ජුරුවෝ අපගේ තෙරුන් වහන්සේව පිළිගත්තා. අපගේ මහතෙරුන් වහන්සේ තමන් කෙරෙහි මහත් ආදර ගෞරව ඇති රජු කෙරෙහි අනුකම්පාවෙන් ම රජුගේ දකුණු අතෙහි වාරුවෙන් ම නැවෙන් ගොඩට වැඩම කොට වදාළා.

මම ප්‍රාතිහාර්යයක් දකිනු කැමැත්තෙමි.

රජු මහතෙරුන් වහන්සේව රාජ උද්‍යානයට වැඩම කරවා සියතින් ම පයෙහි තෙල් ගල්වා උපස්ථාන කළා. ශාසන අනුග්‍රහය පිණිසත්, තම විමතිය දුරු කිරීම පිණිසත් තෙරුන්ගේ දක්ෂතාවය විමසනු කැමතිව රජු මෙසේ පැවසුවා.

“ස්වාමීනී, මම ප්‍රාතිහාර්යයක් දකිනු කැමැත්තෙමි.”

“මහරජ්ජුරුවෙනි, මොන වගේ ප්‍රාතිහාර්යයක් දකින්නට ද ආසා?”

“ස්වාමීනී, පොළොව සෙළවෙනවා දකින්ටයි ආසා.”

“මහරජ්ජුරුවෙනි, මුළු මහත් පොළොව ම සෙළවෙනවා දකින්ට ද ආසා, එහෙම නැතිනම් එක් ප්‍රදේශයක් සෙළවෙනවා දකින්ට ද?”

“ස්වාමීනී, ඔය දෙකෙන් වඩාත් ම අසීරු කුමක් ද?”

“මහරජ්ජුරුවෙනි, අසීරු ම දේ එක් ප්‍රදේශයක් පමණක් සෙළවෙන්ට සැළැස්වීමයි.”

“එසේ නම් ස්වාමීනී, මා දකින්ට ආසා ප්‍රදේශයක් සෙළවීමයි.”

ඒ මොහොතේ මහා ඉර්ධිමත් අපගේ මොග්ගලීපුත්තතිස්ස ස්ථවිරපාදයන් වහන්සේ යොදුනක ප්‍රමාණයක් සීමා කෙරෙව්වා. ඒ කොටසේ අශ්වයෙක්, රථයක්, මිනිසෙක් සහ මුවවිට තෙක් ජලය පිරවූ බඳුනක් සිව් දිශාවට වෙන්න තැබ්බෙව්වා. ඒ හැම දෙයක ම අඩක් බැඟින් සෙළවෙන සේ යොදුනක ප්‍රදේශය සෙළවෙන්නට සැලැස්සුවා. මේ දුටු රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ ගැන තවදුරටත් ප්‍රසාදයට පත් වුණා.

ශාසනික අර්බුදය දුරලීම

චේතනාව ම කර්මය වන බව ඉස්මතු කරමින් උතුම් බුද්ධ වචනය පහදා දී තෙරුන් වහන්සේ රජුගේ සිතේ තිබූ විමතිය දුරුකළා. අනතුරුව ශාසනික අර්බුදය දුරලීම පිණිස සතියක් පුරා රාජ උද්‍යානයේ වැඩ හිඳිමින් පිවිතුරු දහම් සාකච්ඡාවෙහි නියැලුණා. මේ කල්‍යාණ ඇසුර නිසා රජු තවදුරටත් සම්බුදු සසුනේ පහන් සිතැත්තෙක් බවට පත් වුණා.

ඒ සතිය ඇතුළත ධර්මාශෝක රජු යක්ෂයන් දෙදෙනෙකු පිටත් කරවා දඹදිව සිටි සියලු ධර්මවාදී අධර්මවාදී භික්ෂූන්ව අශෝකාරාමයට රැස් කළා. එදින රම්‍ය වූ අශෝකාරාමය වෙත රජු සමඟ වැඩම කළ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ රජුත්, තමන් වහන්සේත් පමණක් සිටින කඩතුරාවක් ඇතුළත වැඩ සිටියා. භික්ෂූන්ව පිළිවෙළින් එක්නම බැගින් තමන් සමීපයට කැඳවා ගත්තා.

එතකොට රජ්ජුරුවෝ “ස්වාමීනී, සුගත වූ අපගේ බුදුරජාණන් වහන්සේ කවර මතයක් පවසන සේක්ද?” කියා ඒ භික්ෂූන්ගෙන් විමසනවා. ඒ භික්ෂූන් පිළිතුරු ලෙස පවසන දෙය නිවරැදි ද කියා අපගේ මහතෙරුන් වහන්සේගෙන් විමසනවා. ඔය විදියට සිදුකරද්දී අධර්මවාදීන් හඳුනාගත්තා. ඒ පිරිස හැට දහසක්. රජු ඒ සියලු දෙනාව ම සිවුරු හැරෙව්වා. ධර්මාවාදී භික්ෂූන් “රජතුමනි, අප භාග්‍යවතුන් වහන්සේ ස්කන්ධ, ධාතු, ආයතන බෙද බෙදා දක්වන බැවින් විභජ්ජවාදී වන සේක” කියා පැවසුවා. ඒ ක්‍රමයෙන් පිරිසිදු භික්ෂූන්ව හඳුනාගත්තා.

පිරිසිදු සංඝයා දැන් සමඟිව පොහොය කරන සේක්වා!

ශාසනික පිරිසිදුභාවය ගැන ඉතාම සතුටු වූ රජු “ස්වාමීනී, සත් වර්ෂයකින් පොහොය නොකළ බැවින් දැන් භික්ෂූන් වහන්සේලා මේ අශෝකාරාමයේ ම පොහොය කර්මය කරනා සේක්වා!” කියලා ආරාධනා කළා. ඉතිං ඒ මහත් වූ සඟ පිරිස එහි උතුම් ප්‍රාතිමෝක්ෂය උදෙසමින් පොහොය කර්මය සිදු කොට වදාළා.

පොහොය කිරීමෙන් පසු මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ සංඝයා අතර විශාරදභාවයට පත්, සය වැදෑරුම් අභිඥා සහිත, ත්‍රිපිටකධාරී, සතර පටිසම්භිදාලාභී මහරහතන් වහන්සේලා දහස්නමක් තෝරාගනු ලැබුවා. ඒ, උතුම් වූ ශ්‍රී මුඛ බුද්ධ වචනය මේ වන විට අවස්ථා දෙකකදී ම සංගායනා කොට රැක ගත් පරිද්දෙන්ම උතුම් ධර්ම සංගායනාවක් සිදු කිරීම පිණිස යි.

ඒ උතුම් රහතන් වහන්සේලා දහස් නම එක් වී ධර්මාශෝක මහා නරේන්ද්‍රයන්ගේ රාජානුග්‍රහය යටතේ තුන්වැනි ධර්ම සංගායනාව පැළලුප් නුවර අශෝකාරාමයේදී ආරම්භ කරනු ලැබුවා. මේ වන විට නොයෙක් නිකායන්ට බෙදී ගිය භික්ෂූන් තුළ බුද්ධ වචනයට පටහැනි මත රාශියක් පැන නැඟී තිබුණා. අපගේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ තීක්ෂණ ප්‍රඥා කෞෂල්‍යයෙන් ඒ අන්‍ය මත සිඳලමින් අධර්මවාදී මත මර්ධනය කෙරුණා. එයත් තෙවැනි ධර්ම සංගායනාවේදී කථාවත්ථුප්පකරණය නමින් සංග්‍රහ වුණා.

මේ අයුරින් අරඹන ලද ධර්ම සංගායනාව නව මාසයකින් නිමාවට පත් කෙරුණා. ඒ වෙද්දී ධර්මාශෝක රජු අභිෂේක ලබා වසර දාහතකුත්, අපගේ මොග්ගලීපුත්තතිස්ස මහා ස්ථවිරපාදයන් වහන්සේ උපසම්පදාවෙන් වස් හැත්තෑදෙකකුත් ඇතිවයි වැඩසිටියේ. ගෞතම බුදුසසුන චිරාත්කලක් පැවතීම පිණිස පැවතුනු එම සංගායනාව මැනැවින් නිමා වෙද්දී එයට සාධුකාර දෙන්නාක් මෙන් මේ මහපොළොව කම්පාවට පත් වුණා.

ධර්මදූත පිරිවර පිටත්කොට ශ්‍රී සද්ධර්මය ව්‍යාප්ත කරවීම

සසුනේ හිතසුව කැමැති අපගේ මොග්ගලීපුත්තතිස්ස මහතෙරපාණෝ සංගායනාවෙන් පසු සම්බුදු රජුන්ගේ අනුශාසනාව ඉතා දුරු රටවල්වලට ද ව්‍යාප්ත කරවීම ගැන කල්පනා කළා. ඒ අනුව ඉල්මාසයේදී තෝරාගත් ප්‍රදේශවලට උතුම් මහරහතන් වහන්සේලා පිටත් කරවා හැරීමට පියවර ගත්තා.

මේ අනුව කාශ්මීර ගන්ධාර ප්‍රදේශයට මජ්ඣන්තික මහරහතන් වහන්සේ ත්, මහිස මණ්ඩලයට මහාදේව මහරහතන් වහන්සේ ත්, වනවාස ප්‍රදේශයට රක්ඛිත මහරහතන් වහන්සේ ත්, අපරන්ත ප්‍රදේශයට යෝනක ධම්මරක්ඛිත මහරහතන් වහන්සේ ත්, මහාරාෂ්ඨ ප්‍රදේශයට මහා ධම්මරක්ඛිත මහරහතන් වහන්සේ ත්, ග්‍රීක රට හෙවත් යෝනක පුරයට මහාරක්ඛිත මහරහතන් වහන්සේ ත්, හිමාල පෙදෙසට මජ්ක්‍ධිම මහරහතන් වහන්සේ ත්, සුවණ්ණ භූමිය වෙත සෝණ හා උත්තර යන මහරහතන් වහන්සේලාත් පිටත් කොට හැරියා. ඉතා කෙටි කලකින් එම ප්‍රදේශයන්හී සම්බුදු රජුන්ගේ සරණ ලැබූ පිරිසක් බිහි කරවන්නට ඒ උතුම් රහතන් වහන්සේලා දක්ෂ වුණා.

ඒ ධර්මදූත ව්‍යාපාරයේ ඉතා වැදගත් පියවරක් ලෙස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මැනැවින් පිහිටන ලංකාද්වීපය වෙත පිටත් කරවීමට මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ විසින් තෝරාගනු ලැබුවේ මහා මහින්ද මහරහතන් වහන්සේත්, ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන උතුම් රහතන් වහන්සේලාව යි. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඒ උතුමන් මෙහි වැඩම කොට සිදුකළ මෙහෙය අනුපමේය යි.

මහබෝධිය වැඩම වීම….

පොසොන් පොහෝ දිනෙක ලක්දිවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්මදූත පිරිස විසින් නොබෝ කලෙකින් ම මේ දූපතේ මිනිසුන්ව බුදුරජුන්ගේ ශ්‍රාවකයින් බවට පත් කරවනු ලැබුවා. බුදුරජුන්ගේ අදිටන පරිදි ජය ශ්‍රී මහා බෝ රජුන්ගේ දක්ෂිණ ශාඛා වහන්සේ ලක්දිවට වැඩම වීමේ අවශ්‍යතාවය අප අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ධර්මාශෝක නිරිඳුන් හට දූතයන් යවා සැළ කරනු ලැබුවා.

ජීවමාන මුනිඳුන් හා ගරුකරන මහබෝධීන් වහන්සේගේ කොටසක් වෙන් කරගන්නේ කෙසේද කියා ධර්මාශෝක රජුට හිතාගන්න බැරිවුණා. ඒ මොහොතේ තම ආදරණීය මහතෙරපාණන් වන මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි කටයුතු කරලයි මහබෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝ රජුන්ව මහත් වූ හරසර මධ්‍යයේ අප ලක්දෙරණ වෙත වැඩම කරවන කටයුතු සිදු වුණේ.

මෙසේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගෙන් අප සම්බුද්ධ ශාසනයට වූ මෙහෙවර අප්‍රමාණයි. ඒ ගැන සිත් පැහැදවීමට මෙසේ කරුණු බිඳක් ගොනුකළ හැකිමුත්, ඒ මහා මෙහෙවර නම් පවසා නිම කරන්නට බැහැ.
සම්බුද්ධ ශාසනය එකලු කළ යුගපුරුෂයාණ කෙනෙක් වූ මහා ගුණ ඇති මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේට සාදරයෙන් නමස්කාර කරමින් මේ දහම් ලිපි ගතට නැවැත්ම තබන්නට පෙර මහාවංශයේ එන මේ අරුත්බර ගාථාව මෙසේ උපුටා දක්වමි.

හිත්වා සෙට්ඨං බ්‍රහ්මවිමානම්පි මනුඤ්ඤං
ජේගුච්ඡං සෝ සාසනහේතු නරලෝකං
ආගම්මාකා සාසනකිච්චං කතකිච්චෝ
කෝ නාමඤ්ඤෝ සාසනකිච්චම්හි පමජ්ජේති.

ගෞතම සම්බුදු සසුන නගාසිටුවීම එකම කාරණය කොට තිස්ස බ්‍රහ්මරාජයා ඉතා මනෝඥ වූ බ්‍රහ්ම විමානය අත්හැර පිළිකුල් දනවන සුළු මිනිස් ලොවේ අවුත් පිළිසිඳ ගත්තා. තමා විසින් සම්පූර්ණ කළ යුතු නිවන් මග සම්පූර්ණ කොට උතුම් අර්හත්වයට පත් ව සිටි අප තිස්ස තෙරණුවෝ ගෞතම බුදු සසුනෙහි දියුණුව පිණිස හේතු වූ ධර්ම සංගායනාව කොට වදාළා. වෙන කවුරු නම් බුද්ධ ශාසනය තුළ කළ යුතු දේ පිළිබඳ ප්‍රමාද වෙයි ද!

– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි