වරෙක ගිනි අඟුරු වළක් වැනි ඝෝර කටුක දුක් ඇති නිරයත්, වරෙක අසුචි වළක් බඳු තිරිසන් අපායත්, තවත් විටෙක සියලු හරිත වර්ණ පත්‍ර ගිලිහී වැටුණු ගසක් බඳු ප්‍රේත ලෝකයත් ආදී වූ සතර අපාය ම මහගෙදර කර ගත් සංසාරගත සත්වයා ඉතාමත් දුර්ලභ ව, ඉතා සීමිත කාල සීමාවකට මිනිස් ලොව උපත ලබයි.

මෙලෙස ඉතාමත් කෙටි කලකට මිනිස් ලොව උපත ලබන අපි, ජීවිත යථාර්ථයට පිටුපා නොමැරෙන මිනිසුන් ලෙස ජීවත් වන්නෙමු. එවැනි වූ දිවි පැවැත්මක් උදෙසා ඕනෑම අපරාධයක් හෝ බරපතළ අකුසලයක් හෝ කරනු ලබන්නේ දෙවරක් නොසිතා ම ය. මෙවැනි වූ ළාමක ජීවන පැවැත්ම නිසා මෙලොව පරලොව යන දෙලොවින් ම පුද්ගල පරිහානිය සිදු වේ. ඔහු හා ඔහු වටා පවතින සමාජ සංස්ථාව ද සීලාදී ගුණධර්මවලින් ඈත් වීම නිසා අඳුරින් අඳුරට ම වැටෙයි. ඉන් ද නොනැවතී මුළු මහත් රටේ ම පරිහානියට එම තත්ත්වය ඍජු ව ම බලපායි.

මේ ආකාරයෙන් මානව ඉතිහාසයේ පටන් අද දක්වාමත්, මින් මතුවටත් පුද්ගල වශයෙන් මෙලොව පරලොව දෙලොවින් ම පිරිහීමක් වෙයි ද සමාජයීය වශයෙන්, සංස්කෘතිකමය වශයෙන්, ආර්ථිකමය වශයෙන්, සදාචාරාත්මක වශයෙන්, රාජ්‍යමය වශයෙන් යම් පිරිහීමක් වෙයි ද ලේ වැගිරීම්, යුද කෝලාහල, මිනිස් ඝාතන, මංකොල්ලකෑම් ආදී සාහසික අපරාධ සිදුවෙමින් යම් පරිහානියක් කරා යයි ද ඒ සියල්ලට ම මූලික හේතුව වන්නේ සියලු ලෝකයන්ගේ යථා ස්වභාවය අවබෝධ කළ ලෝකවිදූ ගුණයෙන් යුතු තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් යම් දෙයක් නොකළ යුතු යැයි වදාළ සේක් ද ඒ නොකළ යුතු යැයි වදාළ දෙය ම මනුෂ්‍යයා විසින් පුරුදු කිරීම යි. එවැනි යමක් සිදු කළ සෑම අවස්ථාවක ම මිනිසාට වැරදී ඇත, පසුතැවීමක් ඉතිරි වී ඇත. වෙනත් අයුරකින් කියනවා නම් අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පිළිනොගැනීම නිසා ම මනුෂ්‍යයාට මේ සියලු විනාශයන්ට මුහුණ දීමට සිදු වී ඇත.

පුහුදුන් මානසිකත්වයකින් යුතු ඇතැම් පිරිස් රටේ ආරක්ෂාවට, රටේ සෞභාග්‍යයට යැයි පුරසාරම් දොඩමින් දෙවියන් යැයි සිතා මළ යකුන් යක්ෂණියන්ට කන්නලව් කරමින් පුද පූජා පවත්වමින් බාහිරින් පිළිසරණක් පතන්නේ තම තමන්ගේ මුළාවේ තරම තමන්වත් නොදන්නා බැවිනි. අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට පරිබාහිරව කුමක් කරන්න ද? රටක සෞභාග්‍යය උදාවන්නේත්, එහි වෙසෙන ජනයා සුඛිත මුදිත වන්නේත් අන්‍යෝන්‍ය සුහදතාවය – සභ්‍යත්වය රඳා පවතින්නේත්, නිදහස් නිවහල් සමාජ වටපිටාවක් බිහි වන්නේත් බාහිර පිහිටකින් නොව තම තමන් තුළ ඇති කර ගත යුතු සීලාදී ගුණධර්මවලින් යුතු ධර්මානුකූල ප්‍රතිපදාවක් තුළින් බව අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වෙයි.

“මහණෙනි, යම් කලෙක රජවරු අධාර්මික වෙත් ද එසමයෙහි රජුට අනුව කටයුතු කරන්නෝ ද අධාර්මික වෙති. රජුට අනුව කටයුතු කරන්නන් අධාර්මික වූ කල්හී බ්‍රාහ්මණ ගෘහපතිවරු ද අධාර්මික වෙති. බ්‍රාහ්මණ ගෘහපතිවරුන් ද අධාර්මික වූ කල්හී නිගම ජනපදවාසීහු ද අධාර්මික වෙති. නිගම ජනපදවාසීන් ද අධාර්මික වූ කල්හී හිරු සඳු දෙදෙන ද විෂමාකාරයෙන් පායයි. හිරු සඳු දෙදෙන විෂමාකාරයෙන් පායන කල්හී නැකත් තරු ආදිය ද විෂමාකාරයෙන් පායයි. නැකත් තරු ආදිය ද විෂමාකාරයෙන් පායන කල්හි දිවා රාත්‍රී කාලය ද විෂමාකාරයෙන් ගෙවෙයි. දිවා රාත්‍රී කාලය ද විෂම ආකාරයෙන් පවතින විට මාසය, අඩමස ආදිය විෂම ආකාරයෙන් ගෙවෙයි. මාසය, අඩමස ආදිය විෂම ආකාරයෙන් පවතින විට වසරේ ඍතු භේදය ද විෂම ආකාරයට පත් වෙයි. විෂම වූ ඍතු භේදයක් වසර පුරා ඇති කල්හී විෂම අයුරින් සුළං හමයි, නොමගින් සුළං හමයි. විෂම අයුරින් සුළං හමන කල්හී නොමගට සුළං හමන කල්හී දෙවියෝ කිපෙති. දෙවියන් කෝප වූ කල්හී නිසි අයුරින් වැසි දහරා නොවසී. නිසි අයුරින් වැසි දහරා නොවසින කල්හී ගොයම් විෂම අයුරින් පැසෙයි. මහණෙනි, විෂම අයුරින් පැසුණු ගොයමින් ලද ආහාර අනුභව කරන මිනිස්සු අල්ප ආයුෂයෙන් යුතු වෙති. අඳුරු වර්ණ වෙති. දුර්වල වෙති. බොහෝ රෝගාබාධ සහිත වෙති.

මහණෙනි, යම් කලෙක රජවරු ධාර්මික වෙත් ද එසමයෙහි රජුට අනුව කටයුතු කරන්නෝ ද ධාර්මික වෙති. රජුට අනුව කටයුතු කරන්නන් ධාර්මික වූ කල්හී බ්‍රාහ්මණ ගෘහපතිවරු ද ධාර්මික වෙති. බ්‍රාහ්මණ ගෘහපතිවරුවන් ද ධාර්මික වූ කල්හී නිගම ජනපදවාසීහු ද ධාර්මික වෙති. නිගම ජනපදවාසීහු ද ධාර්මික වූ කල්හී හිරු සඳු දෙදෙන ද යහපත් ආකාරයෙන් පායයි. හිරු සඳු දෙදෙන යහපත් ආකාරයෙන් පායන කල්හී නැකත් තරු ආදිය ද යහපත් ආකාරයෙන් පායයි. නැකත් තරු ආදිය ද යහපත් ආකාරයෙන් පායන කල්හි දිවා රාත්‍රී කාලය ද යහපත් ආකාරයෙන් ගෙවෙයි. දිවා රාත්‍රී කාලය ද යහපත් ආකාරයෙන් පවතින විට මාසය, අඩමස ආදිය යහපත් ආකාරයෙන් ගෙවෙයි. මාසය, අඩමස ආදිය යහපත් ආකාරයෙන් පවතින විට වසරේ ඍතු භේදය ද යහපත් ආකාරයට පත් වෙයි. යහපත් වූ ඍතු භේදයක් වසර පුරා ඇති කල්හී යහපත් අයුරින් සුළං හමයි, නිසි මගින් සුළං හමයි. යහපත් අයුරින් සුළං හමන කල්හී, නිසි මගින් සුළං හමන කල්හී දෙවියෝ නොකිපෙති. දෙවියන් කෝප නොවුණු කල්හී නිසි අයුරින් වැසි දහරා වසියි. නිසි අයුරින් වැසි දහරාවන් වසින කල්හී ගොයම් යහපත් අයුරින් පැසෙයි. මහණෙනි, යහපත් අයුරින් පැසුණු ගොයමින් ලද ආහාර අනුභව කරන මිනිස්සු දීර්ඝ ආයුෂයෙන් යුතු වෙති. වර්ණවත් වෙති. බලවත් වෙති. අල්ප රෝගාබාධ සහිත වෙති.

ඒකාන්තයෙන් ම එතෙර වන්නා වූ ගොනුන් අතරින් ප්‍රධාන ගවයා වක්‍ර ව යයි නම් ඒ ප්‍රධාන ගවයා වක්‍ර ව ගිය කල්හී සියලු ගවයෝ වක්‍ර ව යති.

එපරිද්දෙන් ම මිනිසුන් අතරින් යමෙක් ශ්‍රේෂ්ඨ යැයි සම්මත ද ඒ තැනැත්තා අධර්මයෙහි හැසිරෙයි ද අවශේෂ ප්‍රජාව ගැන කතා කිරීමට දෙයක් නැත. රජු අධාර්මික වූ කල්හී මුළු රට ම දුකට පත් වෙයි.

ඒකාන්තයෙන් ම එතෙර වන්නා වූ ගොනුන් අතරින් ප්‍රධාන ගවයා ඍජු ව යයි නම් ඒ ප්‍රධාන ගවයා ඍජු ව ගිය කල්හී සියලු ගවයෝ ඍජු ව යති.

එපරිද්දෙන් ම මිනිසුන් අතරින් යමෙක් ශ්‍රේෂ්ඨ යැයි සම්මත ද ඒ තැනැත්තා ධර්මයෙහි හැසිරෙයි ද අවශේෂ ප්‍රජාව ගැන කතා කිරීමට දෙයක් නැත. රජු ධාර්මික වූ කල්හී මුළු රට ම සැපතට පත් වෙයි.”

(අධම්මික සුත්‍රය – අං. නි. 2)

සම්මා දිට්ඨිය යනු නිවැරදි දැක්ම යැයි උජාරුවෙන් කියන, හම සුදු මිත්‍යා දෘෂ්ටිකයන් ව සරණ ගිය, උන්ගේ ඉගැන්වීම් හිස් මුදුන් දී පිළිගන්නා, උප්පැන්නෙන් පමණක් බෞද්ධ වූ, ලෞකික සම්මා දිට්ඨියවත් නැති ඒ මිත්‍යා දෘෂ්ටිකයන්ට සියල්ල අවබෝධ කළ සම්බුදුරදුන්ගේ මේ අවබෝධය විහිළුවක් විය හැකි ය. නමුත් යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක් ද යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානා සේක් ද ඒ අතර කාලය තුළ දී තථාගතයන් වහන්සේ යමක් පවසන්නාහු ද ප්‍රකාශ කරන්නාහු ද නිර්දේශ කරන්නාහු ද ඒ සියල්ල ම ඒ අයුරින් ම වන්නේ ය. අන් අයුරකින් නොවන්නේ ම ය. ඒ නිසා ද ‘තථාගත’ නම් වූ අප මුනි රජුන් වදාළ මේ දහම් පරියාය ද ඒ අයුරින් ම වන්නේ ය. අන් අයුරකින් නොවන්නේ ම ය.

ඒ නිසා අප තේරුම් ගත යුත්තේ යම් කලක යම් රටක නිසි කලට වැසි නොවසී ද ගොවිතැන් බත් නිසරු වෙයි ද මිනිසුන්ගේ ආයුෂ අඩු වෙයි ද ශරීර වර්ණය දුරුවර්ණ වෙයි ද රෝගාබාධ ඇති වෙයි ද මුළු රට ම දුකින් දුකට පත් වී තිබෙයි ද එයට හේතුව අධාර්මික දිවි පැවැත්ම යි. රටේ නායකයාගේ පටන් රට වැසියා දක්වා ම මිනිසුන් ධර්මයෙන් තොරව දිවි ගෙවීම යි.

අපට සිදු වූයේත් එය ම නො වේ ද? ඉදින් මේ රටේ දියුණුව කැමති, ජනයාගේ සැපය කැමති යම් රජෙක් වේ ද මැති ඇමතිවරුන් වේ ද රටවැසියන් වේ ද ඔවුන් කළ යුතු වන්නේ ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජුන් ම සරණ යමින් ඒ තථාගත ශ්‍රී සද්ධර්මය ම එලෙසින් ම අදහා ගනිමින්, ඒ ශ්‍රී සද්ධර්මය අපට අදටත් කියා දෙන, මේ මව්බිම රැකගැනීමට සෑම විටම මුල් වූ – මුල් වන ඒ මහා සඟරුවනේ ගුණ සිහි කරමින් ධර්මානුකූල ව දිවි ගෙවීම විනා අන් කවරක් ද?

දේවෝ වස්සතු කාලේන
සස්ස සම්පත්ති හෝතු ච
ඵීතෝ භවතු ලෝකෝ ච
රාජා භවතු ධම්මිකෝ

කල් වැසි වසීවා
කෙත්වතු සාර වේවා
සත් සිත් නිවේවා
රජය දැහැමි ව ලොවැඩ වේවා!

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි