ගණනින් කියා නිම කළ නොහෙන අනන්තාපරිමාණ කාලයකට පසුව දෙව් මිනිස් වර්ගයාගේ ජීවිතයට ප‍්‍රඥාව, විද්‍යාව, ආලෝකය පහළ වූයේ මීට අවුරුදු දෙදහස් හය සියයකට ඉහත දී ය. එදා සිට මේ මිහිතලය මත කිසිම මාරයෙකුට, දෙවියෙකුට, බ‍්‍රහ්මයෙකුට ආපසු හැරවිය නො හැකි වූ පරම සත්‍යය; එනම් චතුරාර්ය සත්‍යය මඟින් ප‍්‍රකාශිත ශ‍්‍රී සද්ධර්මය මුළු මහත් දෙව් මිනිසුන්ගේ උභය ලෝකාර්ථ සිද්ධිය සලසමින් ඉර හඳ සේ බැබළී පවත්නේ ය.

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කොට ගත් එ් උතුම් දහම ලෝක සත්වයා හට දේශනා කොට වදාළේ එක් එක් අයගේ දැනුම් වඵසරියට අනුව පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිද්දෙනි. බමුණන්, ක්ෂත‍්‍රීයයන්, උසස් කුලීනයන් භාවිත කළ බස බැහැර කොට පොදු ජනකාය වැහැරූ බස ම දහම් දේශනා සඳහා උපයෝගී කොටගත් බුදුරජාණන් වහන්සේ එදවස ප‍්‍රචලිතව පැවති සමාජ සිරිත් විරිත් පිළිබඳ පුවත්, භාෂා රීතීන්, උපමා, රූපක හා යෙදුම් ද ගැඹුරු ධර්ම කාරණා පැහැදිලි කරදීම සඳහා යොදා ගෙන ඇති අයුරු ත‍්‍රිපිටක ධර්ම ග‍්‍රන්ථ විමසන විට පෙනී යයි. බුද්ධ කාලීන යුගයේ සිට අවුරුදු පන්සියයක් පමණ කාලයක් භාණක භික්ෂූන් වහන්සේලා විසින් කිසිදු වෙනසක් නො කොට, අපමණ සැදැහැයෙන් යුතුව රැකගෙන ආ නිර්මල බුදු දහම පළමුවැනි සියවසේ දී ග‍්‍රන්ථාරූඪ කරන ලද්දේ ශ‍්‍රී ලංකාද්වීපයේ දී වීම භාග්‍යවතුන් වහන්සේගේ ම අදිටනක් මල්ඵල ගැනීමක් ලෙස සැලකිය හැක්කේ ය. එ් සිදුවීම වූ කලි සම්බුද්ධ ධර්මයේ පැවැත්ම මෙන් ම සුරැුකුම ද තහවුරු කරන්නක් විය. එදවස සිට පිළිවෙළින් ලෙන්, සෙල්පුවරු, ටැම් හිස් මත හා තල්පත්හි ලියැවුණු බුදු දහම මහා ධර්ම ග‍්‍රන්ථයන්ට පිවිස සුරැුකුණු පවත ශ‍්‍රී ලාංකික ලේඛන ඉතිහාසයේ දෙදහස් වසරක අවිච්චින්න අසිරිය පළ කරන්නකි.

මෙපරිද්දෙන් ලක්දිව බුදු දහම සුරැුකෙමින් එහි වැසි ජනකායකගේ අධ්‍යාත්ම ශික්ෂණය, විමුක්තිය සැලසෙන අතරතුර සම්බුද්ධ ජාත භූමිය වන භාරතයේ බුදු දහම යටපත් කොට නැඟුණු මිථ්‍යා දෘෂ්ටික ආගම් හා දර්ශනවාද සීඝ‍්‍රයෙන් ප‍්‍රචලිත වන්ට විය. නිර්මල බුදු වදනට පටහැනි දෘෂ්ටිවාද මහායාන වේශයෙන් හිස ඔසවන්නට වූ අතර එය ද පසුකාලය වන විට රණකාමි හින්දු සංස්කෘතිය විසින් යටපත් කෙරිණි. එහි බලපෑම් ලක්දිවට ද ප‍්‍රචණ්ඩ වේශයෙන් කලින් කල කඩා වැදුණු අයුරු ඉතිහාසයේ සටහන් වී තිබේ. එසේ වුව ද බුද්ධ භාෂිත ශ‍්‍රී සද්ධර්මය හා එ් අනුව ජීවිත හැඩගසා ගත් ලක්වැසි ජනකායගේ මාහැඟි උරුමයන් වනසා අකා මකා දැමීමට එ් මිථ්‍යා දෘෂ්ටික ප‍්‍රචණ්ඩ බලවේගයන්ට හැකි වූයේ නැත.

මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මෙරට ස්ථාපිත කොට තහවුරු කරන ලද බුදු සමය අතුරුදන් කිරීමටත්, අනාගත ශාසනෝන්නතිය උදෙසා ලියා තැබූ අනාවැකි මකා දැමීමටත් අසේල රජු දවස පැමිණි ද්‍රවිඩ ආක‍්‍රමණිකයන් හා ඔවුන් ඇවෑමෙන් අනුරාධපුරයේ බලයට පැමිණි එළාර රජුගේ සේනා වෙහෙර විහාර විනාශ කළ අයුරුත්, භික්ෂූන් වහන්සේලාට හිරිහැර ගැහැට පැමිණවූ සැටිත් ඉතිහාසයේ ලියැවී ඇත. එය ශාසන නාශක ක‍්‍රියා පිළිවෙතක ආරම්භය විය. සිවුසාළිස් වසරක් පැතිර පැවති එම ද්‍රවිඩ බලය මැඬලූ ගාමණී අභය මහ රජතුමා මහා ධර්ම සංග‍්‍රාමයකින් පසුව සිිරිලක එක්සේසත් කොට බුද්ධ ශාසනයට මහත් සේවාවක් කළ අයුරු මහාවංශයේ වර්ණිත ය.

අනුරාධපුර යුගයේ දී යළිත් වරක් සම්බුද්ධ ශාසනයට මහා විලෝපනයක් සිදුවූයේ මහසෙන් රජු දවස ය. එකල රජුගේ අනුශාසකයෙකුගේ වේශයෙන් පැමිණි මහායානික භික්ෂුවකගේ මිසදිටු උපදෙස් අනුව ක‍්‍රියා කළ මහසෙන් රජු මහා විහාරස්ථ පූජනීය ස්ථානයන් වනසා දමා අභයගිරිය කේන්ද්‍ර කොටගත් මහායාන ධර්ම මූලස්ථානයක් පිහිටුවී ය. එහි දී රුවන්වැලි මහා ථූපය ඇතුළු මහාමෙවුනා මහා විහාරයේ වෙහෙර විහාර ගිනි තබා විනාශ කොට උඳු වැපිරවූ බව මහාවංශය ඇතුළු වංශකතාවන්හි සඳහන්ව තිබේ. මහා විහාරවාසී භික්ෂූන් වහන්සේලාට පැමිණි ගැහැට හේතුවෙන් අනුරාධපුරය අතහැර කඳුකර ප‍්‍රදේශයකට හා රුහුණට පලා යාමට සිදුවිය. පසුව මේඝවණ්ණාභය ඇමතිවරයාගේ නුවණැති ක‍්‍රියා කලාපය නිසා රජු මහා විහාරය නැවත ගොඩ නඟා භික්ෂූන් වහන්සේලා වැඩම කරවා දේශය යළිත් සසුනට පිදීය. එයින් පසු ගතවූ අවුරුදු හත්සියයක් පමණ කාලයක් අනුරාධපුර රාජ්‍ය සමයේ දී බුදු සසුන බැබළෙමින් තිබිණි.

අනතුරුව ඩ වැනි මහින්ද රජුගේ කාලයේ දී (ව්‍යවහාර වර්ෂ 982-ව්‍යවහාර වර්ෂ 1029) ඉන්දියාවේ බලවත්ව පැවති චෝල අධිරාජ්‍යයෙන් ලක්දිවට එල්ලවූ ආක‍්‍රමණයේ ප‍්‍රතිඵලයක් වශයෙන් අනුරාධපුර රාජ්‍යය බිඳ වැටිණි. රාජරාජ හා රාජේන්ද්‍ර චෝල යන චෝල ආක‍්‍රමණිකයන් සිංහල රාජධානිය අත්පත් කොට ගෙන වෙහෙර විනාශ කොට හින්දු කෝවිල් ගොඩනැඟීම ලක්දිව බුදු සසුනේ පැවැත්මට මහත් බාධක විය. ඔවුහු පොළොන්නරුව අගනුවර වශයෙන් සලකා ජනනාථපුරම්, චෝල මණ්ඩලම් ලෙසින් නම් කළහ. අනුරාධපුරය යළිත් බෞද්ධ රාජ්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස පවත්වාගත නො හැකි තත්ත්වයට පත් විය. මේ අතරතුර දකුණේ කුමාරවරු රජරට සොළී පාලනයට විරුද්ධව නැගී සිටියහ. ඌව වෙල්ලස්සේ උපන් කිත්ති කුමාරයා බලසෙන් පිරිවරා ගොස් සොළී බලය මැඬ අනුරාධපුරය අත්පත් කර ගත් නමුදු එහි පැවති විනාශකාරී පසුබිම මත තවදුරටත් අග පුරවරය ලෙස භාවිත කළ නො හැකි වූ නිසා පොළොන්නරුව ආරක්ෂිත ස්ථානයක් වශයෙන් සලකා එය අගනුවර කර ගත්තේ ය. බුද්ධ ශාසනයේ චිරස්ථිතියට විශාල සේවාවක් සැලසූ එතුමාගෙන් පසු මහා පරාක‍්‍රමබාහු, කීර්ති ශ‍්‍රී නිශ්ශංකමල්ල යන රජවරු පොළොන්නරු යුගයේ දී එම කටයුතු වඩාත් උනන්දුවෙන් සිදුකළහ. පැවිදි මහා පඬිවරුන් වෙත උපරිම අනුග‍්‍රහයන් සලසා දී අනුරාධපුර යුගයෙන් ශේෂ වූ ධර්ම ග‍්‍රන්ථ සියල්ල සංරක්ෂණය කොට අලූතින් දහම් පුස්තක රාශියක් බිහිවීමට ඉඩ ප‍්‍රස්ථා සැලැස්වී ය. ‘පෙදෙන් බුදු සිරිත/ රීතියට අනුව ජාතක කථා පද්‍ය කාව්‍යයන්ට නැඟීම’ ආරම්භ වූයේ මේ කාලයේ දී ය. මුවදෙව්දාවත, සසඳාවත හා ඉන් අනතුරුව දඹදෙණි යුගයේ දී බිහිවූ කවිසිළුමිණ වැනි මහා කාව්‍යයන්ට වස්තු වූයේ ජාතක කථා ය.

පොළොන්නරු යුගයේ ප‍්‍රතාපවත් පාලකයන්ගේ ඇවෑමෙන් පසු ප‍්‍රබල පාලකයෙකු බිහි නො වූ නිසා යළිත් වරක් සම්බුද්ධ ශාසනයට මහත් විපතක් සිදුවුයේ කාලිංග මාඝගේ ආක‍්‍රමණයෙනි. 1215 දී මාරසේනාවක් පරිද්දෙන් ලක්දිවට කඩාවැදුණු මාඝ සේනාව පුස්තකාලයන්හි පැවති ධර්ම ග‍්‍රන්ථ ඇතුළු මහා සාහිත්යික පොත්පත් ඇතුන් ලවා අද්දවා ගිනි තබා විනාශ කළ බව වංශ කතාවල දැක්වෙයි. අනුරාධපුර යුගයේ පුස්තකාලයන්හි පැවති අති විශාල පුස්තක සම්භාරය මෙන් ම පොළොන්නරුව පොත්ගුල් විහාරයේ පැවති වටිනා ග‍්‍රන්ථ දස දහස් ගණනක් මාසයකට අධික කාලයක් තිස්සේ ගිනි ගැනෙමින් විනාශ වූ බව කියැවේ. මාඝගේ ආක‍්‍රමණයත් සමග ම රටේ මහා ඥාන සම්භාරය මෙන් ම එතෙක් වැඩෙමින් පැවති නිර්මල බෞද්ධ සම්ප‍්‍රදායන් ද වැසී ගියෙන් එහි විපාක පසු කාලයේ ලක්දිව සමාජයට තදින් ම බලපෑ ය. බෞද්ධ සාහිත්‍යය පොදු ජනකායගෙන් ඈත්වූ බවට දැක්විය හැකි ප‍්‍රබල ම සාධකය වූ කලි සකු කවිලකර අනුගමනය කොට සස වැනි පැරකුම්බා රජු ලියූ කවිසිළුමිණ මහා කාව්‍යය යි.

මුළු මහත් භූමිය හා රාජ්‍යය දෙවියන් විසින් හා පැරණි රජවරුන් විසින් සිරි සම්බුදු සසුනට පිදූ දේශයක බුදු දහම මොන ම බලවේගයකටවත් යටපත් කරලිය නො හැකි බව ලක් ඉතිහාසය විසින් වරින් වර සනාථ කොට ඇත. දඹදෙණි යුගයේ සිට පොදු ජන හද බැඳ ගත් ධර්ම සාහිත්‍යයක් පහළ වීම එහි ඵලයක් වශයෙන් සිදුවූවකි. ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලිය ධර්ම කීර්ති හිමියන්ගේ සද්ධර්මාලංකාරය, විල්ගම්මුල හිමියන්ගෙන් සඳකිඳුරු ඳා කව ආදි පොදු ජන හද, අධ්‍යාත්මය ධර්ම සංවේගයෙන් පහන් කරවන දහම් පොත පත බිහිවීමත් පන්සිය පනස් ජාතක පොත් වහන්සේ් හෙළ බසට නැඟීමත් මහා පෙළහරක් බඳු විය. මෙම ධර්ම සාහිත්‍යයේ මුදුන් මල්කඩ වූයේ කෝට්ටේ කාලයේ ජන හද විල මැද සුපිපි පියුම් යුගලයක් බදුවූ ‘බුදුගුණාලංකාරයත්, ගුත්තිල කාව්‍යයත්’ ය. දොරින් දොර දිවා රැුය කියවනු පිණිස බුදුගුණ අලංකාරය පහළ වූයේත්, පරසතු මලින් දෙව් පුද ලබන සම්බුදු සිරිපා මුල ගුත්තිල කාව්‍යය වනපස මලක්් වූයේත් ලොව පිස ගෙන හමන දහම් සුළඟක් පරිද්දෙන් සම්බුදු දහම ලක් දෙරණ තුළ පිළිරැුව් නැඟීමේ අසිරිය පළ කරමිනි.

මහාමේඝ 2015 මැදින් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
මාර්ටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති