ධර්ම මාර්ගයේ දියුණුවත්, පිරිහීමත් මුළුමනින් ම රඳා පවතින්නේ ඒ ඒ පුද්ගලයාගේ ගුණධර්මවල දියුණුවත්, පිරිහීමත් මත බව ඉතා පැහැදිලි ය. ඉවසීම, කීකරුකම, නිහතමානීකම, කෙළෙහිගුණ දන්නා බව, මෙත් කරුණා මුදිතා ආදී අනේක ගුණධර්මයන්ගෙන් සුපෝෂිත මනස ජවසම්පන්න ය, නිවනට පමුණුවන ලෝකෝත්තර ධර්මයත් එබඳු සිත තුළ මනා කොට වැඩෙයි. යටකී ගුණයන්ගෙන් හීන වූ සිතක් ඇති පුද්ගලයා ධර්මය පුරුදු කිරීමට ගන්නා වෙහෙස හුදු වෙහෙසක් ම වශයෙන් ශේෂ වනු ඇත. ඇතැම් විට ඔහු භාවනා කිරීමට වෙහෙසෙන්නෙකි. මහ දන් දෙන්නෙකි. බොහෝ කරුණු කාරණා දන්නා කෙනෙකි. නමුත් ඔහු ගුණධර්මයන්ගෙන් හීන නම් ඔහු ධර්මය තුළ ද වැඩෙන්නේ හීන ව ය.

අද අපි කථා කරන්නේ ගුණධර්මයන් නමැති මිණි මුතු අතර වඩාත් සුදිලෙන මාණික්‍යයක් බඳු වූ උතුම් ගුණධර්මයක් දියුණු කර ගන්නා ආකාරයත්, එහි වටිනාකම පිළිබඳවත් ය. ඒ උතුම් ගුණධර්මය නම් අනුන්ගේ දියුණුව යහපත දැක සතුටු වීමත්, ඒ යහපත සතුටින් අනුමෝදන් වීමත් ය, කල් වේලා නොයවා වෙහෙස මහන්සි නො වී, මිල මුදල් වියදම් නොකර රැස්කර ගත හැකි මේ අරුම පුදුම පින් උල්පත ගැන බුද්ධ දේශනා තුළ ඇති විස්තර අපි විමසා බලමු.

අන් අයගේ යහපත දැක සතුටු වූ මුනිරජාණෝ…

ගගන තලයේ පිරිවැරූ අනන්ත තාරකාවන් සේ, අනන්ත මිණිමුතු පිරුණ මහ සයුර සේ, ගුණධර්මයන්ගේ සාර උල්පත වූ, ගුණධර්මයන්ට ආකරයක් බඳු වූ, අනන්ත ව පැතිරුණු ගුණකඳක් දරා අපගේ ශාස්තෘන් වහන්සේ, ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි සේක. ලොවෙහි යහපත දැක සතුටු වූ නිසා උන්වහන්සේට ‘මුදිත’ යන ගුණ නාමයෙන් තම ශ්‍රාවකයන් ඇමතූ සේක. තම ශ්‍රාවක දරුවන්ගේ ගුණ නුවණ දැක සාදුකාර නංවමින් තෙවරක් ම උදම් ඇනුවෝ උන්වහන්සේ ම ය. ඒ ‘මුදිත’ නම් වූ අපගේ ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ අප ද අනුන්ගේ දියුණුවෙන් සතුටුවීමත්, අනුන් කළ පුණ්‍යක්‍රියාවන් සාදුකාර නංවමින් අනුමෝදන් වීමත් සිදු කළ යුතු ය. එමඟින් අපට ද මහ පින් රැස්කර ගත හැකි ය.

ඔබට පින් රැස් කිරීමට කාලයත්, ධනයත් නොමැති ද?

පින් අනුමෝදන් වීම යනු සුන්දර කලාවකි. එය පුහුණු කරගත් කෙනාට බැලූ බැලූ අත පින් උල්පත් ය. මේ සුන්දර රටාව හුරු කර නොගත්තෝ ප්‍රේත ලොව ඉපදුණ ද තම ඥාතීන් දෙන පින් අනුමෝදන් වීමට සූදානම් නැත. අනන්ත දුක් විඳිමින් ම කල් ගෙවත්, මන්ද යත් මිනිස් ලොවේදී ඒ පුරුද්ද හුරු නොකළ නිසා ය. බෞද්ධ රටක ජීවත්වන අපට දිනපතා ම අන්‍යයන් සිදු කරන නොයෙකුත් පින්කම් අසන්නට, දකින්නට ලැබේ. ඒවා අප ඉතා සතුටින් අනුමෝදන් විය යුතු ය. අන් අය පහසුවෙන් සිල් රකින විට, භාවනා කරන විට, හොඳ දහම් දැනුමක් ඇතිකර ගත් විට, ගුණධර්ම දියුණු කරන විට, මහ සෑයන් – මහ බෝධීන් තනන විට, ඒ සඳහා පුද පූජා පවත්වන විට, මේ ආදී නොයෙකුත් පින්කම් දකින විට දුර සිට නමුත් සාදුකාර දී ඒ පින් අනුමෝදන් විය යුතු ය. ඒ සිතේ මසුරුකමට ඉඩ නැත. ගුණමකුකමට ඉඩ නැත. එකට එක කිරීමට ඉඩ නැත. ශ්‍රද්ධාවත්, මෛත්‍රියත්, මුදිතාවත්, ත්‍යාගයත් පෙරටු කර ගත් පින ම ඉස්මතු වනු ඇත.

දන් දීමේදී සැලකිලිමත් වන්න

බොහෝ සැදැහැවත්හු තම දාන වාරය පැමිණෙන තෙක් දින සති මාස ගණන් බලා සිටිති. බොහෝ වියපැහැදම් කොට වෙහෙස මහන්සි වී ප්‍රණීත ලෙස දානය පිළියෙල කරති. මහ සඟරුවන කරා දානය රැගෙන යති. එහිදී ඇතැම් විට තමන් අපේක්ෂා කරන පරිදි දන් බෙදීම සිදු කර ගැනීමට නොහැකි වෙයි. ඇතැම් විට තමා ප්‍රියමනාප දේ අනෙකෙක් බෙදීමට ඉදිරිපත් වෙයි. තමා පිදූ දේ තමා සිතූ පමණින් භික්ෂූන් පිළි නොගනිති. සැදැහැයෙන් දන් පිදීමට ගිය දායකයාගේ සිත තුළ මේ අනපේක්ෂිත සිදුවීම් නිසා නොයෙකුත් අකුසල විතර්ක පැන නගියි. එවැනි මොහොතක තමාට කළ නොහැකි වූ ඒ පින අනෙකා කරන විට එය දැක බලා සතුටු සිතින් අනුමෝදන් වීමට තරම් අප සිත දියුණුකර ගත යුත්තේ ය. එසේ නොමැති වුවහොත් තමාගේ සත්ක්‍රියාවේ නියම ඵල නෙළා ගැනීමට ඔහු අපොහොසත් වනු ඇත.

කවුරුන් කළ ද යහපත අනුමෝදන් විය යුතු ය

ඇතැමුන් මහ සෑයන් උදෙසා, මහ බෝධීන් උදෙසා, ධාතූන් වහන්සේලා උදෙසා, ගුණවත් සංඝයා උදෙසා මලින්, පලතුරුවලින්, භෝජනයෙන්, ආලෝකයෙන්, ධජ පතාකයෙන් ආදී නොයෙකුත් විසිතුරු පූජා පවත්වති. මෙය දකින අසන පිනැත්තෝ සතුටින් අනුමෝදන් විය යුත්තේ ඒ ඔවුන් පුද දෙන්නේ තිලොවග ශාස්තෘන් වහන්සේ නිසා ය, ශ්‍රාවක සඟ රුවන නිසා ය. මේ ලෝකයේ යම් තාක් මුතු මැණික් ආදී සප්ත රත්නයන් ඇද්ද මල් පලතුරු ආදිය ඇද්ද අගනා වටිනා විසිතුරු යම් තාක් දේ ඇද්ද ඒ සෑම දෙයින් ම පිදුම් ලැබිය යුත්තේ තථාගතයන් වහන්සේ නිසා ම ය. ඒ සියලු පූජාවන් පිළිගැනීමට උන්වහන්සේ සුදුසු නිසා ය. එහි දී විශේෂත්වය නම් ඒ පින සිදුකර ගන්නා සේ ම උපකාර කරන්නා ද අනුමෝදන් වන්නා ද මහ පින් රැස්කර ගන්නා බව, ඒ පිනේ කොටස්කරුවන් වන බව ය.

නුවණින් යුතු පුද්ගලයෝ දානයේ අනුසස් දැන මසුරු මළ බැහැර කොට සුදුසු කාලයෙහි දන් දෙති. අටලෝ දහමින් කම්පා නොවන ගුණ ඇති, ඍජු මඟෙහි බැසගත් ආර්යයන් වහන්සේලා කෙරෙහි නිසි කල්හි පහන් සිතින් පුදන දානයක් වෙයි ද ඔහුගේ ඒ දක්ෂිණාව මහත්ඵල ලැබදෙයි.

එහි දී යම් කෙනෙක් ඒ දානය අනුමෝදන් වෙත් ද, වතාවත් හෝ කරත් ද, ඔවුන්ට ඒ දක්ෂිණාව අඩු නොවෙයි. ඔවුහු ද පිනෙහි කොටස්කරුවෝ වෙති.
(කාලදාන සූත්‍රය – අං. නි. 03)

දෙවිවරු පවා සාදු නද දෙන මහ පින්කම

සැදැහැවත් කුල පුත්‍රයෙකුට තථාගත ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළ පසු ස්වභාවයෙන් ම සසරෙන් අත්මිදෙන සිත පහළ වේ. එවිට හේ බඹසර දිවියට බොහෝ හිරිහැර බාධක ඇති ගිහි ගෙය අතහැර අනන්ත අහස සේ නිදහස් අනගාරික බුදු සසුනේ පැවිදි දිවිය පතා යම් දවසක ගිහි ජීවිතය අතහරී ද දෙව් ලොව සිසාරා සියලු දෙවියෝ සාදුකාර නංවමින් ඒ පින අනුමෝදන් වන වග ඛුද්දක නිකායේ දේවසද්ද සූත්‍රයේ විස්තර සඳහන් වේ. එනමුදු වර්තමානයේ තරුණ දරුවකු පැවිදි දිවියට පත් වීමට සූදානම් වෙද්දී ඒ පින අනුමෝදන් වී පින් උල්පත පාදා ගන්නා වාසනාවන්තයන් සිටින්නේ අතලොස්සකි. තරුණ දරුවකු සසුන්ගත වුවහොත් සතර වරිගයක් ම සසරෙන් එතෙර වන බව අප අසා ඇත.

සසර පුරා පින් අපේක්ෂාවෙන් සිටින මියගිය ඥාතීන් ද දෙමාපියන්, ඥාතීන් ගම්වැසියන් රටවැසියන් ලෝවැසියන් පමණක් නොව දෙව් බඹුන් පවා යහපත සැපත ලබන බව සත්‍යක් ම ය. ඒ යහපත දැකීමට අප දක්ෂ විය යුතු ය. තරුණ වයසේ ම කාමයන්ගෙන් වෙන්වී පැවිදි දිවියට තම සිත යොමුකරන්නේ සසරේ පින් ඇතියන් ම ය. එවැනි පිනැතියන්ගේ ගමන් මග නොඅවුරා හැකි පමණ උදව් කළ යුතු ය. සාදුකාර දෙමින් අනුමෝදන් විය යුතු පින්කමක් බව අමතක නො කළ යුතු ය.

අනුරුද්ධ, නන්දිය, කිම්බිල යන ස්වාමීන් වහන්සේලා ගිහිගෙයින් නික්මී පැවිදි බව ලබා නිවන් මග පුරුදු කරනු දැක දීඝ පරජන නම් දිව්‍යරාජයා සතුටු සිත් පහළ කරන විට එය අනුමත කරමින් ශාස්තෘන් වහන්සේ ද මෙසේ වදාළ සේක.

පැවිද්ද අනුමෝදන් වීමේ අනුසස්

“පින්වත් දීඝ, දෙවියන් සහිත ලෝකයා ම, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ-බ්‍රාහ්මණයන් සහිත දෙවිමිනිස් ප්‍රජාව ම මේ පින්වත් දරුවන් තුන්දෙනා ගැන සිත පහදවා ගත්තොත්, සිහි කළොත්, ඒක දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිස් ප්‍රජාවට ම බොහෝ කලක් හිත සුව පිණිස පවතිනවා.
(චූල ගෝසිංග සූත්‍රය – ම. නි. 1)

පින් අනුමෝදන් වීම මෙතරම් බලවත් ද?

පූර්වාරාමය බුදු සසුනට පූජා කළ මොහොතේ විශාඛාවගේ යෙහෙළියක් ඒ පින සතුටින් අනුමෝදන් වූවා ය. ඒ පිනෙන් ම තව්තිසා දෙව්ලොව ඉපදුණ ඈ මෙසේ පැවසුවා ය.

“ස්වාමීනී, සැවැත් නුවර මගේ යෙහෙළියක් හිටියා. ආර්ය සඟරුවන උදෙසා ඇය මහා විහාරයක් කෙරෙව්වා. මං ඒ ගැන ගොඩාක් සතුටු වුණා. මං ඒ පින අනුමෝදන් වුණා. ඒ ප්‍රාසාදය මං දැක්කා. මටත් ඒ සඟරුවන ගැන හරි ප්‍රියක් තියෙන්නේ.

මං මේ පින අනුමෝදන් වුණේ පිරිසිදු සිතින් ම යි. දර්ශනීය වූ මේ පුදුම සහගත දිව්‍ය විමානය පහළ වූයේ ඒ නිසා ම යි. මගේ පුණ්‍ය ඉර්ධියෙන් අහසේ සොළොස් යොදුනක් පුරා මේ විමානය ගමන් කරනවා.”
(විහාර විමානය – විමානවත්ථු පාළි)

පිනට ගැරහීමේ විපාක

මෙය වඩාත් ම ප්‍රවේශම් විය යුතු කාරණයකි. පින් කරන්නා ද ඇත, පිනට උපකාර කරන්නා ද ඇත, පින් අනුමෝදන් වන්නා ද ඇත. ඒ අතර ඒ පිනට ම ගරහා අවමන් කර අපමණ පව් සිදුකර ගන්නෝ ද ඇත. තම ඥාතීන් ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට යෑමට සැරසෙද්දී ඊට ගැරහූ පුද්ගලයෙක් අනන්ත දුක් විඳින විස්තර අපට ධාතුවිවන්තික ප්‍රේතවස්තුවේ හමුවේ. තම පුතණුවන් වන උත්තර දන් දෙන විට ඊට ගැරහූ උත්තර මාතාව ප්‍රේත ලොව ඉපිද දුක් විඳින විස්තර උත්තර මාතු ප්‍රේතවස්තුවේ මුණගැසේ. පිනට ගරහන්නේ බාලයන් ම ය. පින අනුමෝදන් වන්නේ නුවණැතියන් ම ය.

“මසුරුකම් කරන අය කවදාවත් දෙව්ලොව යන්නේ නෑ. අසත්පුරුෂයෝ කවදාවත් දන් දීම ප්‍රශංසා කරන්නේ නෑ. දන් දීමක් අනුමෝදන් වීම වුණත් කරන්නේ ප්‍රඥාවන්තයෙක් තමයි. පරලොව දී සැප ලබන්ට ඔහුට ඒක ම යි හේතු වන්නේ.”
(ධම්ම පදය – ලෝක වර්ගය)

පිනට ගතු කියන්නෝ

අප මහ බෝසතාණන් වහන්සේ වෙස්සන්තර රජ ව උපන් සමයේ අප්‍රමාණ ලෙස දන් දුන්හ. වරක් මිළිඳු රජු ඒ දන් දීමේ මේ මේ දොස් ඇතැයි ඒ දානය පිළිබඳව ගතු කියද්දී තීක්ෂණ බුද්ධි ඇති නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක.

“මහ රජාණෙනි, ඒකාන්තයෙන් ම අප මහා බෝසතාණන් වහන්සේ විසින් දුෂ්කර වූ දෙය කරන ලද හෙයින් උන්වහන්සේගේ කීර්ති රාවය දසදහසක් ලෝකධාතු මුළුල්ලෙහි දෙවි මිනිසුන් අතර ඉතා උස් ව පැන නැංගේ ය. දෙවිවරු තම තමන්ගේ දේව භවනෙහිදී මහා හඬින් ප්‍රශංසා කළාහු ය. අසුරයෝ සිය අසුර භවනෙහිදී ප්‍රශංසා කළාහු ය. ගුරුළෝ ගුරුළු භවනෙහිදී ප්‍රශංසා කළාහු ය. නාගයෝ නාග භවනෙහිදී ප්‍රශංසා කළාහු ය. යක්ෂයෝ යක්ෂ භවනෙහිදී ප්‍රශංසා කළාහු ය. අනුපිළිවෙළින් නැගී ආ මේ කීර්ති ඝෝෂාව අපගේ මේ කාලය දක්වා ම, මේ වර්තමානය දක්වා ම පරම්පරාවෙන් පැමිණියේ ය. එහෙත් ඒ දානය නපුරු කොට දෙන ලද්දක් ද? මැනවින් දෙන ලද්දක් ද? වශයෙන් නොයෙක් අඳෝනා කියමින් අපි දැන් සිටින්නෙමු.”
(මිළිඳු රාජ ප්‍රශ්නය – වෙස්සන්තර රජු පිළිබඳ ප්‍රශ්නය)

ඉහත සඳහන් බුද්ධ භාෂිත, ශ්‍රාවක භාෂිත විමසා බලද්දී අපට පැහැදිලි වන්නේ පින් අනුමෝදන් වීම යනු අනාගත කල්‍යාණ ආයෝජනයක් බව ය. ඒ ආයෝජනයේ ප්‍රතිලාභ නම් මෙලොවදී ම කීර්තියත්, ප්‍රශංසාවත්, සැපයත්, පහසුවත් අත්විඳීමත් පරලොව සුගතියේ සැප ලැබීමත් ය. ඒ නිසා ඉතා පහසුවෙන් නුවණ මෙහෙයවා සිදුකර ගැනීමට හැකි පින් අනුමෝදන් වීම නමැති පින් උල්පත පාදවා ගන්න අප සැමට වාසනාව ලැබේවා…!

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි