පින්වතුනේ, පින්වත් දරුවනේ,

බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වුණේ වයස තිස්පහේ දී. උන් වහන්සේ පිරිනිවන් පා වදාළේ වයස අසූවේ දී. එ් අතරේ වසර හතලිස් පහක කාලයක් උන් වහන්සේ මේ ලෝකයට යම්කිසි දෙයක් ප‍්‍රකාශ කරගෙන ගියා. එ් ප‍්‍රකාශ කරපු දේ මේ සමස්ත ජනතාවගෙන් බුද්ධිමත් මනුෂ්‍යයන් ග‍්‍රහණය කරගත්තා. බුද්ධිමත් දෙවියන්ට, මනුෂ්‍යයන්ට උන් වහන්සේ වදාළ එ් දෙය හොඳින් ගැළපී ගියා. බුදුරජාණන් වහන්සේ වදාළ දෙය මායාවක් වුණේ නෑ. බලාපොරොත්තුවක් වුණෙත් නෑ. පොරොන්දුවක් වුණෙත් නෑ.

උන් වහන්සේ වදාළ දෙය මේ ජීවිත තුළ ම අත්දකින්න පුළුවන් පැහැදිලි සත්‍යයක් වුණා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය හුදෙක් ප‍්‍රාර්ථනාවකින් අවසන් වුණේ නෑ. උන් වහන්සේගේ ධර්මය බලාපොරොත්තු දෙන ධර්මයක් නෙවෙයි. අවබෝධ කරවන ධර්මයක්.

එ්කයි එ් ධර්මයට බුද්ධිමත් මනුෂ්‍යයන් වුවමනා වෙන්නේ. බුද්ධිමත් කෙනෙකුට තමයි අවබෝධ කරන්නට පුළුවන් වෙන්නෙ. සාමාන්‍ය ලෝකයා ඉල්ලන්නෙ ප‍්‍රාර්ථනා කරන්න දෙයක්. සාමාන්‍ය ලෝකයා ඉල්ලන්නේ බලාපොරොත්තුවක්. සාමාන්‍ය ලෝකයා ඉල්ලන විදිහේ ප‍්‍රාර්ථනා කරන්න දෙයක්, බලාපොරොත්තුවක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දුන්නේ. උන් වහන්සේ දුන්නේ අවබෝධ කරන්න දෙයක්. හැසිරෙන්න දෙයක්. අත්දකින්න දෙයක්. බලාපොරොත්තුවක් ඉල්ලන ලෝකයට අවබෝධ කරන්න දෙයක් දෙනවා. පැතුමක් ඉල්ලන ලෝකයට සාක්ෂාත් කරන්න දෙයක් දෙනවා. එතකොට පින්වතුනි, බුද්ධිමත් කෙනා අන්න එ් අර්ථය අල්ල ගන්නවා. එ් ධර්මය තේරුම් ගන්න දක්ෂ වෙනවා.

කුමක්ද බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්න දීපු දේ? බුදුරජාණන් වහන්සේ ප‍්‍රත්‍යක්ෂ කරගන්න දුන් දේ කුමක්ද? එ් තමයි චතුරාර්ය සත්‍යය. යම්කිසි කෙනෙකුට එ් ආර්ය සත්‍යය හතර අවබෝධ කරගන්නට ලැබුණොත් එ් කෙනාගේ එ් දැක්ම නිවැරදියි. එ් කෙනා එ් ලෝකය දකින පිළිවෙළ නිවැරදියි. යම්කිසි කෙනෙකුට එ් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න ලැබුණොත් අපි කියනවා එ් කෙනා ආර්ය සම්මා දිට්ඨියෙන් යුක්තයි කියලා. අපි සම්මා දිට්ඨිය ගැන කතා කරනවා. එ් කියන්නෙ ආලෝකය ගැන කතා කරනවා. ආලෝකය ගැන කතා කරන්නෙ අඳුරක් තියෙන නිසා. අඳුර කියල කියන්නෙ මිථ්‍යාදෘෂ්ටිය. මිථ්‍යාදෘෂ්ටිය කියල කියන්නෙ සම්මා දිට්ඨිය නැතිකම. චතුරාර්ය සත්‍යය නො දන්නාකම.

මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත කෙනා, චතුරාර්ය සත්‍යයට නො පැමිණි කෙනා හැමතිස්සේ ම ආත්මාර්ථකාමීයි. හැමතිස්සේ ම අධික මාන්නයකින් යුක්තයි. හැමතිස්සේ ම නො මඟ යන සුලූයි. හැමතිස්සේ ම මුළාවන සුලූයි. හැමතිස්සේ ම ලෑස්ති වෙන්නෙ තමන්ගේ දෙයක් හුවාදක්වන්නයි. චතුරාර්ය සත්‍යයට නො පැමිණි කෙනා හරි භයානකයි. මොකද එ් කෙනාගෙන් තමයි මිථ්‍යාදෘෂ්ටිය පැතිරෙන්නේ, අධර්මය ඇහෙන්නේ, අසද්ධර්මය ඇහෙන්නේ. චතුරාර්ය සත්‍යාවබෝධයට නො පැමිණිච්ච කෙනා තමන් නො දැනී ම චතුරාර්ය සත්‍යයට විරුද්ධ වෙනවා. චතුරාර්ය සත්‍යය ගැන කතා කරන කෙනාටත් විරුද්ධ වෙනවා. චතුරාර්ය සත්‍යය හෙළා දකිනවා. අන්න එ් කෙනා පිරිහෙන්න පටන් ගන්නවා.

එ් කෙනාගෙ ජීවිතය පිරිහෙන්න පටන් ගන්නවා කිසිකෙනෙකුට වළක්වන්න බෑ. (ධම්මදෙස්සී පරාභවෝ) ධර්මයට ද්වේෂ කරනවා නම් එ් කෙනා පිරිහී යනවා යනවා ම යි. (ධම්මකාමෝ භවං හෝති) දියුණු වෙන එක්කෙනා ධර්මයට කැමති එක්කෙනෙක්. එ් දියුණුව ලබාගන්න නම් ධර්මයට කැමති වෙන්න ඕන. කවර ධර්මයකට ද? චතුරාර්ය සත්‍යය ධර්මයටයි.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය!