අප වනාහි ඉපදෙමින් මැරෙමින් සුගති, දුගති ඔස්සේ අති දීර්ඝ සංසාර ගමනක යෙදෙන්නවුන් ය. මේ සසර ගමනේ අප නො විඳි කායික පීඩාවක්, මානසික පීඩාවක් කෙසේ නම් සොයන්න ද? එපමණට ම අපි සසර පුරාවට අනන්ත දුක් දොම්නස්වල හිමිකරුවන් වීමු.

පි‍්‍රයයන්ගෙන් වෙන් වීමේ දුක උරුම කරගෙන සිටින අප එයින් බැට නො කන්නට නම් කුමක් කළ යුතු ද? මේ කතාව අප කළ යුතු දේ මැනැවින් පහදා දෙන්නකි.

මම ප‍්‍රබෝද්. මගේ සහෝදරයා කවදාවත් කිසිම කෙනෙකුට කිව්වේ නෑ ඔහුගේ අසනීප තත්ත්වය පිළිබඳ ව. ඔහු තමයි මගේ හොඳ ම මිතුරා. ඔහු මියගිය පසු මගේ මුළු ජීවිතය ම කඩන් වැටුණු බවක් දැණුනා. ඔහු නැති ජීවිතය ගැන මට හිතා ගන්න පවා නො හැකිි වුණා. ඔහු නැති හැම දවසක් ම අඳුරු, දුක් සහිත දවසක් වුණා.

ඔහු මිය යන විට වයස අවුරුදු 19ක තරුණයෙක්. හැම දවසක ම මට ඔහු නැති පාඩුව දැණුනා. ඔහු විඳි වේදනාව, අපිට කිසිම තේරුමක් තිබුණෙ නෑ ඔහුට කෙසේ දැනෙන්න ඇති ද කියා. එම නිසා තත්ත්වය තවත් බරපතළ වුණා. ඔහු සෑම විටක ම සෑම දේකට ම මා සමග සිටියා. අප අතර වයස් පරතරයක් තිබුණත් එය අපට ප‍්‍රශ්නයක් වුණේ නෑ.

ඔහු මගේ වීරයා ලෙසයි මම සිතාගෙන සිටියේ. ඔහු මම ක‍්‍රිකට් සෙල්ලම් කරන හැම විට ම මම සෙල්ලම් කරන විදිය බලන්න පැමිණියා. මගේ ජීවිතයට කොපමණ වෙනසක් වුණිදැයි කියන්න මට අපහසුයි. කොතරම් බලපෑමක් වුණිදැයි කියන්න මට වචන නෑ. මට කියන්න තේරෙන්නේ නෑ මගේ ජීවිතේ කුමක් වෙයි ද කියලා.

මගේ පවුලේ අයටත් මෙම වෙනස ගොඩක් බලපා තිබුණෙ. පෙර සිටි ආකාරයට වඩා වෙනසක් එ් අයගේ ද ඇති වී තිබුණා. එය පැහැදිලි කරන්නට තරම් අපහසු දෙයක්. නමුත් එය සේ ම යි, හැම විට ම!

මෙම බලපෑම මට මානසිකව අහිතකර ලෙස බලපෑවා. නමුත් එය ඇති වීමට හේතුව මගේ සහෝදරයාගේ මරණය බව මට වැටහුණේ නෑ. නමුත් වෛද්‍යවරයා කිව්වේ එයට හේතුව බොහෝ විට හිතට ඇති වූ දැඩි කම්පනයක් නිසා බවයි.

අපිට කිසිම විශේෂඥයෙකුගෙන් උදව්වක් ලැබුණෙ නෑ. එම නිසා එය බොහෝ දුෂ්කර කාලයක් වුණා. මෙම කාලයේ දී මාගේ පාදයටත් අනතුරක් සිදු වණා. ඇත්තෙන් ම එය මේ හැම වේදනාවක් ම විසඳන ආශීර්වාදයක් බවට පත්වුණා කීවොත් ඔබ පුදුම වේවි.

පාදයේ ආබාධය නිසා මම වෛද්‍යවරයෙක් හමු වීමට ගියා. ඔහු භාවනා වැඩසටහන්වලට සහභාගි වන ඉතා ම ධාර්මික වෛද්‍යවරයෙක්. මා පුදුමයට පත් කරවමින් මුල් ම දවසේ ඔහු මට භාවනාවක් ද කියා දුන්නා. මගේ මුළු මහත් ජීවිතයට ම සොඳුරු මාවතක දොරගුලූ විවර වුණේ එ් වෙදැදුරු තෙරුවන් සරණ ගිය ශ‍්‍රාවකයෙක් වූ නිසයි.

ඉතා ම කෙටි කලක දී මාගේ පාදයේ ආබාධය යථා තත්ත්වයට පත් වූ අතර, නැවත ක‍්‍රීඩා කටයුතු සඳහා සම්බන්ධ වීමට ප‍්‍රථම ඔහුගේ උපකාරයෙන් ඔහු භාවනා කටයුතු ඉගෙන ගන්නා ස්වාමීන් වහන්සේ මුණගැසීමට මා හට අවස්ථාවක් ලැබුණා. එහි දී මා ලද ඔවදන් ඉතාමත් ම සුන්දර යි. භයානක අසනීපයකින් පීඩා විඳි අයෙකුට නිට්ටාවට සුවවන ඖෂධයක් ලැබුණා හා සමාන ව මා බලවත් ව ප‍්‍රීතියට පත් වුණා.

ඔබ එ් ශ‍්‍රවණය කළේ, ප‍්‍රබෝද්ගේ කතාව යි. ඔහුගේ ජීවිතය සුවපත් කිරීම පිණිස උපකාරී වූ ධර්මානුශාසනාව ලැබුණේ, ඛුද්දක නිකායේ අඩංගු උරග පේ‍්‍රත වත්ථුව ආශ‍්‍රයෙන් සිදු කළ දහම් අවවාදයක් නිසා ය. මේ දේශනාවට ‘උරග’ යන නම යෙදෙන්නේ සර්ප හැවක උපමාවක් මෙහි දී මුණගැසෙන නිසා ය. සර්පයා හැවක් අත් හරින්නා සේ පැරණි කය අත්හැර මරණයට පත් වී භවයෙන් භවයට ගමන් කරන බව මෙහි දී කියැවේ. සැබැවින් ම ප‍්‍රබොද්ගේත්, ඔහු වැනි තවත් බොහෝ අයගේත් චිත්ත ශාන්තිය පිණිස යි අදත් අපි මේ සටහන තබන්නේ.

බුදුරජාණන් වහන්සේ විසින් ‘පියේ හි විප්පයෝගෝ දුක්ඛෝ..’ යනුවෙන් වදාළේ ප‍්‍රියයන්ගෙන් වෙන් වීම දුකක් යනුවෙනි. ප‍්‍රියයන්ගේ වෙන් වීම දරාගත නො හැකි ව පටාචාරා ද උමතු විය. කිසාගෝතමී ද උමතු විය. එනමුත්, බුදුරදුන්ගේ ප‍්‍රඥා පහන්සිළු දල්වාලන විස්මිත ධර්මයේ තෙදබලෙන් එ් සියලූ මානසික ව්‍යාධීන් සුව වී ඔවුන් අරහත්වයට ද පත් විය. සැබැවින් ම අද අපගේ කථානායකයා ද තම සොයුරාගේ වියෝව නිසා මානසික ව අධික ලෙස දුක් වී, රෝගී ව සිටි අයෙකි. ඔහු අරහත්වයට පත් නො වූවත්, තම සිතේ හටගත් ශෝක ගින්නත්, මානසික කඩාවැටීමත් සුව කරගැනීමට ඔහු ලද එම අනුශාසනාව උපකාරී විය. එබැවින්, ඔබේ ද නුවණැස අවදි කරවන අටියෙන්, උරග පේ‍්‍රත වත්ථුවේ කියැවෙන කතාව මෙයින් සිහිපත් කර සිටින්නෙමු.

බොහෝ ඉස්සර බරණැස් නුවර ධර්මපාල නම් බමුණු ගමක් විය. එහි බොහෝ සතුටින් වාසය කළ සාමාජිකයන් හයදෙනකුගෙන් යුත් පවුලකි. එහි විසූ බ‍්‍රාහ්මණ පියතුමා, මව් බැමිණිය, තමන්ගේ ආදරණීය පුත‍්‍රයා ද දියණිය ද ලේලිය ද සමඟිින් සෙනෙහසින් ජීවත් වූහ. එම නිවසේ විසූ දාසිය ද නිවැසියෙකු සේ ම ඔවුනට ළෙංගතු විය. ඔවුන් සියල්ලන්ගේ ම සතුටුදායක ජීවිත රටාවට හේතු පාදක වූ සුවිශේෂී කරුණක් විය. එනම් ඔවුන් තමන්ගේ ජීවිතයේ සත්‍ය ඉරණම හැමදාම සිහිපත් කිරීම යි. තමනුත්, අන් සියලූ දෙනාත් මරණය උරුම කරගෙන සිටින බව සිහිපත් කරමින් නිරන්තරයෙන් ම මරණානුස්සති භාවනාව වැඞීම එ් හැමදෙනාගේම ජීවිත තුළ හොඳින් පුරුදු පුහුණු වී තිබුණි. එ් වැටහීම කොතරම් දියුණු වී තිබුණා ද යත් ඔවුන් අතුරෙන් අයෙක් නිවසින් පිටට යන විට අන් අයට සිහිපත් කළේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවයයි. එසේ අන් අයට අවවාද කොට හෙතෙම ජීවිතාපේක්ෂාවෙන් තොරව පිට වී යයි.

සුපුරුදු පරිදි එදිනත් බ‍්‍රාහ්මණතුමා තම පුත‍්‍රයා ද කැටුව පිටත් වූයේ සී සෑමේ කටයුතුවල නිරත වීමේ අපේක්ෂාවෙනි. වෙහෙසක් නොමැතිව දෙදෙනා වෙනදා මෙන් යුහුසුළුව තමන්ගේ රාජකාරිවල නිරත වූහ. හිටිහැටියේ තමන්ට නුදුරින් වියළි තණ ගිනිදල්වමින් සිටි තම අදරැුති පුත‍්‍රයා ඇද වැටෙනු දුටු බ‍්‍රාහ්මණතුමා ඉක්මනින් ම එතැනට පැමිණුනි. ගිනි රස්නයෙන් උරණ වූ අසල ගසක සිටි නාගයෙක් තම පුතුට දෂ්ට කොට කැලය දෙසට ඇදෙයි. එ් වන විටත් තම සෙනෙහබර පුත‍්‍රයාගේ හුස්ම රැල්ල නතර වී ඇත. කරන්නට දෙයක් නැත. ඔහු මිය ගොසිනි. ‘සර්පයෙක් දෂ්ට කරලා වුණත් මරණය සිද්ධවෙන්න පුළුවන්’ යැයි තමන් නිරන්තරයෙන් සිහිපත් කළ කරුණ එක්වර ම බ‍්‍රාහ්මණතුමාගේ සිතට නැගුණි. බ‍්‍රාහ්මණතුමාගේ හැසිරීම් රටාවේ කලබල වූ ස්වභාවයක් පෙනෙන්නට නැත. හේ අසල සිටි මිනිසෙකු ඇමතී ය.

‘‘ප‍්‍රිය මිත‍්‍රය, අපේ නිවසට ගොස් බැමිණියට ස්නානය කොට පිරිසිදු ඇඳුම් ඇඳ එක් බත් මුලක් පමණක් රැගෙන එන ලෙසට දන්වන්න.”

ඔහුගේ පණිවුඩයෙන් සිදු වී ඇති දෙය තේරුම්ගත් නිවැසියෝ සියලූ දෙනා ම ඉක්මනින් එතැනට පැමිණෙන්නට වූහ. සිදුවී ඇති විපත දැන් සියලූ දෙනාගේම ඇස් පනාපිට ය. සියල්ලෝ ම සුළු මොහොතක් ගැඹුරු කල්පනාවක නිමග්නව සිටියහ. සිදුවූ විපත ගැන කනගාටුවක් නැත්තේමත් නො වෙයි. නමුත් කිසිවෙකු තුළින් ඉකිබිඳුම් හඬක් නො ඇසිණ.

බ‍්‍රාහ්මණතුමා ජල ස්නානය කොට ආහාර අනුභව කළේ ය. ඉන් අනතුරුව සුවඳ ගැල්වූ මෘත ශරීරය සෑයකට නංවා දරකඩක් මෙන් ගිනි දැල්වී ය. සියල්ලෝ ම හැඩුම් වැළපුම් නැති, එහෙත් කිසියම් සංවේගයකින් එදෙස බලා සිටිති. මියපරලොව යන්නට යෙදුණු බ‍්‍රාහ්මණ තරුණයා රැුස්කරන්නට යෙදුණු පින්වල ආනුභාවය නිසාවෙන් ම එ් වනවිට දෙදෙව්ලොවට අධිපති සක්දෙව් රජව ඉපිද සිටියේ ය. තම ඥාති පිරිස කෙරෙහි උපන් අනුකම්පාවෙන් එ් ක්ෂණයෙහි ම බමුණු වෙස්ගෙන දැවෙන සෑය අභියස පෙනී සිටින්නට විය. හෙතෙම තම පියාණන් ඇමතීය.

‘‘පින්වත්නි, ඔබලා මේ දවන්නේ මුවෙක් ද? මම ද බඩගිනි ඇත්තෙමි. එ් නිසා මට ද කොටසක් ලැබුණොත් යහපති…”

‘‘නැත බමුණ, මේ මුවෙක් නොව මිනිසෙකි…”

‘‘කිම මේ දවන තැනැත්තා ඔබේ සතුරෙක් ද..?”

‘‘නැත බමුණ. මේ අපගේ සතුරෙක් නො වෙයි. මනා ගුණවත් වූ අපගේ එක ම තරුණ පුත‍්‍රයා ය…”

‘‘අහෝ පුදුමයකි! එබඳු ගුණවත් එක ම තරුණ පුතා මළ කල්හි කුමක් නිසා නම් ඔබලා ශෝක නො කරන්නෝ ද…?”

බ‍්‍රාහ්මණ පියතුමාගෙන් එ් සඳහා ලැබුණේ අභිමානවත් පිළිතුරකි.

‘‘සර්පයා කරන්නේ තමන්ගේ හැව දිරල ගිය විට එ්ක ශරීරයෙන් අත් හරින එකයි. අන්න එ් වගේ මේ ශරීරයෙනුත් ප‍්‍රයෝජනයක් ගන්න බැරිවෙන කොට සිරුර අතහැරලා කලූරිය කරනවා.
ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. එ් නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා එ් ගමන ගියා.”

එම පිළිතුරෙන් බොහෝ සෙයින් සතුටට පත් වු බමුණු වෙස් ගත් සක් දෙවිඳු ඉන් අනතුරුව තමන්ගේ පෙර මෑණියන් වහන්සේ වෙත එළඹුණි.

‘‘මෑණියනි, මේ මළ තැනැත්තා ඔබේ කවරෙක් ද..?”

‘‘පින්වත, මේ මම දස මසක් කුස හොවා බිහි කොට ආදරයෙන් කිරි පොවා අත් පා වඩා ලොකු මහත් කරන ලද මගේ එක ම පුත‍්‍රයායි…”

‘‘මෑණියනි, පියා නම් පුරුෂභාවයෙන් නො හඬනවා විය හැකියි. එහෙත් මවකගේ හදවත මෘදු ය. උණු වෙන සුලූ ය. ඉතින් කෙලෙසකින් නම් ඔබ නො හඬා සිටිනවා ද…?”

‘‘පින්වත, එයා පරලොවින් මෙලොවට ආවේ අපි අඬ ගහල නො වෙයි. එයා මෙලොවින් පරලොව ගියෙත් අපේ අවසර අරගෙන නො වෙයි. යම් ආකාරයකට ආවා ද එ් ආකාරයෙන් ම යන්ට ගියා. ඉතින් එහෙම එකේ වැළපීමේ අරුත කුමක් ද..? ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. එ් නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා එ් ගමන ගියා…”

මව් බැමිණියගෙන් ලැබුණේ ද පියාගෙන් ලද පිළිතුරට නො දෙවෙනි ගම්භීර පිළිතුරකි. ඊළඟ පැන විමසීම යොමු වූයේ සොහොයුරියට යි.

‘‘නැගණියනි, මේ මළ තැනැත්තා ඔබේ කවරෙක් ද..?”

‘‘මාගේ එක ම සෙනෙහෙබර සොහොයුරා ය…”

‘‘නැගණියනි, සහෝදරියෝ නම් සහෝදරයන් කෙරෙහි ආදරය ඇත්තාහු ය. සෙනෙහෙවන්තියෝ ය. නමුත් ඔබ ද නො හඬයි. හේතුව කුමක් ද..?”

‘‘ඉතින් මම හඬන්නට ගියොත් වෙන්නේ කෙට්ටු වෙන එක විතරයි. එ් හැඬීමෙන් මට ඇති පලේ මොකක්ද? අපේ නෑදැ හිතමිතුරන්ටත් ඇතිවෙන්නෙ නො ඇල්ම විතරයි. ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. එ් නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා එ් ගමන ගියා…”

ඊළඟ වාරය බිරිඳගේ ය.

‘‘පින්වතිය, මියගිය තැනැත්තා ඔබේ කවරෙක් ද…?”

‘‘පින්වත, එ් මාගේ සෙනෙහෙබර ස්වාමියා ය….”

‘‘සොහොයුරිය, ස්ත‍්‍රීන් නම් තම ස්වාමියා කෙරෙහි ස්නේහ ඇත්තියෝ වෙති. ස්වාමියා මළ කල්හි ඕ තොමෝ වැන්දඹු වන්නී ය. අනාථ වන්නී ය. එසේ තිබියදීත් ඔබවත් නො හඬන්නේ ඇයි..?”

‘‘පොඩි දරුවෙක් සිටියා. එයා ආකාසයේ ගමන් කරනා සඳ ඉල්ලා ඇඬුවා. යමෙක් මියගිය උදවිය උදෙසා අඬනවා නම් එ්කත් අර පොඩි දරුවගෙ හැඬීම වගේ ම එකක්. ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. එ් නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා එ් ගමන ගියා…”

බිරිඳගේ පිළිතුරෙන් ද සතුටට පත් හෙතෙම අවසාන වශයෙන් දාසිය කරා එළැඹුනි.

‘‘නැගණියනි, මිය ගිය තැනැත්තා ඔබේ කවරෙක් ද..?”

‘‘බමුණ, ඔහු මා සේවය කළ නිවසේ ස්වාමියා යි…”

‘‘එසේ නම් ඔබ නො හඬන්නේ මේ නිසා විය යුතු ය.. ‘ඔහු මට දඬුවම් කළා. මා ඔහුට වතාවත් කළා. දැන් එ් දෙකෙන් ම මා නිදහස් වුණා..’ කියා ඔබ සිතනවා ඇති….”

‘‘එසේ නො කියනු මැනව. මගේ ස්වාමියා ඉවසීමෙන් ද මෛත‍්‍රියෙන් ද දයාවෙන් ද යුත් අයෙකි. ඔහු මට මගේ කුසෙන් වැදු දරුවෙක් බඳුයි…”

‘‘එසේ නම් ඇයි ඔබ ශෝක නො කරන්නේ…?”

‘‘පින්වත් බ‍්‍රාහ්මණය, මැටි කළයක් බිඳිල ගිය විට එ්ක ආයෙමත් පැරණි විදිහට ම සකස් කරන්න බෑ. යමෙක් මිය ගිය අය උදෙසා හඬනවා නම් අන්න එ්කත් එ් වගේ දෙයක් තමයි. ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. එ් නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා එ් ගමන ගියා…”

තම ඥාතීන්ගේ ජීවිතාවබෝධය පිළිබඳව බොහෝ සෙයින් සතුටට පත් වූ සක් දෙව් රජ තෙමේ ඔවුන්ට බොහෝ සැප සම්පත් ලබා දී නැවතත් දෙව්ලොවට වැඩියහ. අන් සියලූ දෙනා ම ද මරණානුස්සති භාවනාව වැඞීමේ කුසලයෙන් මරණින් මතු සුගති සැප හිමි කරගත්හ.

මේ ලිපිය කියවන ඔබටත් යම් දිනක තම මව, පියා, ස්වාමියා, බිරිය, දරුවන්, ඥාතීන්, ගුරුවරු යන ඕනැම අයෙකුගේ වියෝවකට මුහුණ දීමට සිදු වනු ඇති… එවන් අවස්ථාවක ඔබ එයට මුහුණ දීමට ශක්තිමත් ද? ඔබ, තවත් පටාචාරාවක් හෝ කිසාගෝතමියක් වේවි ද? සැබැවින් ම එවන් දුකකට පත් නො වීම පිණිස අද අද ම කළ යුතු දේ කරන්න.

මුලින් ම ඔබ සිහිකරන්න… මා හට මාගේ ප‍්‍රියයාගේ වෙන් වීම, මරණය දරාගත හැකි ද කියා. එය ඔබ තේරුම් ගත් පසු, මා විසින් මේ දුක තුනී කිරිම පිණිස, එ් දුකට මුහුණ දීමට ශක්තිය උපදවා ගැනිම පිණිස, මාගේත් අන්‍යයන්ගේත් මරණය ඕනැම මොහොතක සිදුවිය හැකියි යන්න සිහිකරමින් ‘මරණානුස්සති භාවනාව’ වඩමි. මරණානුස්සති භාවනාව සතර ඉරියව්වෙන් ම පුරුදු කරමි. මරණානුස්සති භාවනාව ජීවිතයට සම්බන්ධ කරගනිමි… කියා සිහි කළ යුතුයි. ඉන්පසු පිළිවෙළින් මරණානුස්සති භාවනාව වඩන්න පටන් ගන්න.

ජරා මරණය නම් වූ දුක්ඛ ධර්මතාවය නිසා ප‍්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ඔබට බලවත් වේදනාවක් බවට පත් නො වේවා… ඔබේ සිත සදා සුවපත් වේවා යන්න අපේ පැතුමයි…!

තෙරුවන් සරණයි!

මෙහි සඳහන් නම් ගම් සියල්ල මනඃකල්පිතයි

විශේෂ පුණ්‍යානුමෝ්දනාව – ඛුද්දක නිකායේ පේතවත්ථු ග‍්‍රන්ථ රත්නය සරල සිංහලයට පරිවර්තනය කළ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට

සැකසුම
විශ්වනාත් දේවප‍්‍රිය