highlights of the week
Home » සත්‍ය කතාවක් » ඉවසීමෙන් ජයගත් එම්ග‍්‍රියෙස් අම්මා

ඉවසීමෙන් ජයගත් එම්ග‍්‍රියෙස් අම්මා

මිනිසත් බව දුර්ලභ ය. ලැබූ මිනිසත් බවේ වටිනාකම තේරුම් ගන්නෝ ද ඉතා ම දුර්ලභ ය. මිහිතලය අලංකාර වන්නේ මිනිසත් බවේ වටිනාකම තේරුම් ගනිමින් උතුම් වූ මානුෂීය ගුණධර්ම සිත් තුළ උපදවාගෙන තමාටත්, අන් අයටත් යහපත උදාකරලන සැබෑ ම මිනිසුන් නිසාවෙනි. එ් අතරින් තවත් අතලොස්සක් මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා දිව්‍යමය ගුණ තමන් තුළ උපදවා ගන්නට සමත් වෙති. ඉවසීම, කරුණාව, මෛති‍්‍රය, ත්‍යාගය ආදි එ් උතුම් ගුණ උපදවාගත් අය මරණින් මතු දෙව්ලොව ඉපදීම කිසිවෙකුටත් නවත්වාලිය නො හැක්කේ ම ය.

එදා ව්‍යවහාරික වර්ෂවලින් 2015ක් වූ වර්ෂයේ ඉල් මස පුන් පොහෝ දිනය යි. අසපුවේ රාතී‍්‍ර ධර්ම දේශනාවක් අවසන් වී පුණ්‍යානුමෝදනාව සිදුකරන වේලාව යි. අසපුවේ කටයුත්තකට දුරකතන ඇමතුමක් ගැනීමට පොත් කාර්යාලයට වැඩම කළ අපට මුණගැසුනේ කාර්යාලය ඉදිරිපස ටයිල් පොළව අතුගාමින් එහි රාති‍්‍රය ගත කිරීමට බලාපොරොත්තු වන වයසැති අම්මා කෙනෙකි. අවු 65ත් 70ත් අතර වයස පෙනුම ඇති ඇය සිහින් සිරුරකින් යුතු, තැනින් තැන ඉදුණු කෙස් ඇතියක වූවා ය.

නිදාගැනීමට ධර්මශාලාවේ ප‍්‍රමාණවත් ඉඩ තිබිය දී සීතලේ තනියම කාර්යාලය ඉදිරිපිටට පැමිණියේ ඇයි දැයි දැනගැනීමට අපට සිත් විය.

‘‘අම්මා, මොකද මෙතන කරන්නේ? ධර්මශාලාවේ ඉඩ තියෙනවා නේ ද?”

‘‘නෑ ස්වාමීන් වහන්ස, මට තනියම ඉන්න එක හොඳයි. එකට හිටියොත් එක එක කථාවලට අහුවෙනවා. මම මෙතනට වෙලා තනියම මේ විහාරය ගැන හිත හිත, බුදුගුණ සිහි කරගෙන ඉන්නම්. මෙතන මට හොඳා.”

ඇයත් සමග ටික වෙලාවක් විස්තර කථා කොට අපි ආ කටයුත්ත කිරීමට කාර්යාලයට පිවිස නැවත පිටත් වීමට සූදානම් වුණෙමු. මඳ දුරක් වැඩම කළ අපට නැවත පෙරලා කාර්යාලයට වැඩම කිරීමට සිත් වූයේ ඇය කළ ප‍්‍රකාශයක් සිහි වීමෙනි. අපි නැවත ඇය ළඟට පැමිණියෙමු.

‘‘අම්මේ…අම්මා කිව්වා නේද උපතින් බෞද්ධ නෙවෙයි කියලා. අම්මගෙ අකමැත්තක් නැත්නම් අම්මා බෞද්ධ වුණ හැටි අපට කියන්න පුළුවන් ද? අපි කැමතියි එ් කථාව අහන්න.”

‘‘ස්වාමීන් වහන්ස, එ්ක දිග කථාවක්.” ඇයගේ මුහුණේ පෙණුනේ දීර්ඝ අතීතය ආවර්ජනය කරන බැල්මකි.

‘‘කමක් නෑ අපට අම්මගේ ජීවිත කථාව කියන්නකෝ.”

අසල තිබූ බැම්මේ අසුන්ගත් අප ඉදිරියේ ඇය පැදුර දමා වාඩි වූවා ය.

‘‘මාව ඉතිං ඉස්සෙල්ලා මුල ඉඳන්ම අම්මා දුන්නා මිනුවන්ගොඩට හදාගන්න. නැන්දා ගාවට. එතන ඉඳලා හරීයට දුක් වින්දා. මට ගැහුවා. කරන්න තියෙන හිරිහැර සේරම කෙරුවා. ඇත්තම කියන්නම්, මං ලව්වා එ් අය කුලී වැඩ කෙරුවේ. මං ලව්වා රෙදි මිටි ඇද්දෙව්වා. අලි මිටි. ඔළුවෙ තියාගෙන අදිනවා. පාන්දර නැගිටින්න ඕනි. මට හරියට ගහනවා. පොඩ්ඩ ඇත්නම් ගහනවා. උයන්න දන්නේ නෑ. තනියම උයන්න ඕනැ. එ්ත් ගහනවා. තණකොළ කපන්න ඕනැ හරකුන්ට. තණකොළ කැපුවා. මස් උයන්න ඕනි. කුකුල් මස් උයන්න ඕනි. ඌරු මස් උයන්න ඕනි. මාළු උයන්න ඕනි. දන්නේ නෑ. නිකම් මිරිස් දාලා තම්බනවා. රහට නැතිවුණාම ගහනවා. ඔහොම දුක් වින්දා අවුරුදු 6 ක්.”

‘‘එතකොට අම්මගෙ වයස කීයද?”

‘‘එතකොට දහතුන, දාහතර කාලේ, දහතුන ඉවරයි මයෙ හිතේ. එක දවසක් අම්මා ගියා දිවුලපිටියේ ගමේ අපේ ආගමේ පල්ලියේ මංගල්‍යයට. එතන අම්මා හම්බුණාම අම්මා එක්ක ඇඬුවා. එ්ත් වැඩක් නෑ. ආය ආවා.”

මම අහල පහළ ගෙවල්වලින් කන්නේ. මට කන්න දෙන්නෙ නෑ, එ්ක නිසා අහල පහළින් තමයි කන්නේ. ඇවිල්ලා ගෙදර හිටං ගුටි කනවා. ගෙදරින් එළියේ ගිහිල්ලා අහුවුණොත් ගහනවා. නැන්දාට හිටියා ලොකු පුතෙක්. එයා තමයි ගහන්නේ.” ඇය විස්තර කරන්නට වූවා ය.

ඇයගේ දැන් වයස හා ගළපා සසඳන විට මේ විස්තරය 1963 වර්ෂයේ සිදු වූවකි. මේ සසරේ කර්මානුරූප ව සත්වයා ව බෙදී යන ආකාරය පුදුම සහගත ය. කෙනෙකු කුඩා කළ සිට ම මාපිය සෙවණේ ආදරයෙන් අධ්‍යාපනය ද සියලූ පහසුකම් ද ලබමින් වැඩෙන විට කෙනෙක් මේ කිසිවක් නොමැතිව අනුන්ට බැලමෙහෙවර කරමින් දුකසේ වැඩෙයි. අදත් මෙවැනි දුක් විඳින ළමුන් කොතෙකුත් සිටිත් ද?

‘‘විවාහ ජීවිතයක් එහෙම මගේ හිතකවත් තිබුණේ නෑ. ඔය විදියට දුක් විඳලා මම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා හිටං මම අම්මත් එක්ක ඔහේ එ්වට මේවට උදව් වෙලා හිටියා. ඉන්නකොට ආයතනයක වැඩට ගියා. එහෙම වුණා ම එ් සර් මාව දැම්මා තුල්හිරියේ ශාඛාවකට. අපි රෙදි වැඩ කෙරුවෙ. බොරු කියන්න ඕනි නෑ, ඇත්ත කියන්න එපෑයැ අපේ ස්වාමීන් වහන්සේත් එක්ක. එ් රෙදි මම මදිනවා. එහෙම මැදලා දෙන අතරවාරේ එ් මදින්න ආපු මනුස්සයෙක් කිව්වා මඟුල් ඔත්තුවක් කතා කරන්න කියලා. ඉතින් ඊට පස්සෙ පස්යාලට කථා කෙරුවා. කථා කරලා එහෙම ඉන්නකොට අනේ… මනුස්සයත් එක්ක ආවා. ආපුදා ඉඳන් එ් මනුස්සයා ගහනවා.. ගහනවා.. ගහනවා.. ළමයි හම්බුවෙන්න ඉද්දිත් ගහනවා. ඔහොම විඳවලා විඳවලා… ස්වාමීන් වහන්ස අනන්ත අප‍්‍රමාණ දුක් වින්දා දරුවො හයදෙනෙක් හදලා. විඳපු දුක් නම් මේ මහපොළව මදි කියන්න. ගිජ්ජකූටෙ පර්වතේ මදි කියන්න.”

ඇගේ දෙනෙතින් කඳුළු වැගිරෙන්නට විය. නො සිතූ ලෙස අපටත් සංවේදී කථාවකට සවන්දෙන්නට සිදු විය. මහපොළව, ගිජ්ජකූටේ ඇගේ උපමා කෙසේ වෙතත් අප‍්‍රමාණ දුකක් විඳ දරාගෙන ඇය මේ ගමන පැමිණ ඇත. එක් කාන්තාවක් තම ස්වාමි පුරුෂයාගේ ආදරය මිය ඇදෙන තුරු ම ලබද්දී, තවත් කාන්තාවක් ස්වාමි පුරුෂයා නිසා මිය ඇදෙන තුරු ම දුක් ලබයි. රැුස් කළ කර්මය පසු පස එනවා ම යි. මෙලෙස ස්වාමි පුරුෂයා නිසා දුක් විඳි එක ම කාන්තාව ඇය නො වෙයි. නමුත් මේ අම්මාගේ විශේෂත්වයක් තිබේ. එනම්…
‘‘ඉතින් දැන් ළමයි ලොකු වුණා. ලොකු වෙලා ඉන්නවා. අද උදේ සිල් ගන්න ලෑස්තිවෙලා ඉන්නකොට එ් මනුස්සයා බණිනවා. බොරු සීලෙලූ. හොර සීලෙලූ. බුදු බණ පොත් විසිකරනවා. බුද්ධ කූරු (හඳුන් කූරු) පොළවේ ගහනවා. ඉතිං කොච්චර බාධක තිබුණත්, කොච්චර අවහිර තිබුණත් මම මේ සීලය අත් හරින්නේ නෑ. දැන් මේ අසනීප වෙලා කකුල ඉදිමිලා. එ්ත් එනවා. මහපාරේ වාහනයකට යටවෙලා මළත් කමක් නෑ අද සිල් අරගෙන කියලා මම එනවා.

ඉතිං හරියට දුක් විඳලා දරුවො හය දෙනෙක් හැදුවා. දැන් එක එක තැන්වල ඉන්නවා. එක දුවක් නේවි එකේ. ඔක්කොම කසාද බන්ඳලා දුන්නා. කොච්චර ගුටි කෑවත් විවාහ ජීවිතයට ආපු එකේ දරුවො දාලා ගියේ නෑ. දැන් යන්න තියෙන්නේ වළටනේ කියලා හිතාගෙන හිටියා. දැන් ඉතින් දහමෙ ම තමයි හිත. හැබැයි තාම දුක් විඳිනවා. පාන්දර 4.00ට තමයි අසපුවට එන්න පිටත් වෙන්නේ. තී‍්‍රවීල් එකේ රුපියල් අසූවක දුර පයින් එනවා. එතනින් තමයි බස් එකට නගින්නේ. එ් එන ටිකටත් එක එක හිරිහැර කරලා බණිනවා. එ් බැන්නට මේ කටින් වචනයක් කීවෙ නෑ. ඇයි හේතුව මේ හෝදල මැදල මේ සිල් රෙද්ද මම කරට දාගෙන මේ කටින් පව් පුරවලා වැඩක් නැති හින්දා.”

ඇගේ මේ විස්තරය අසන විට අපට සිතුණේ ඇය දීර්ඝ කලක් ධර්මයේ හැසිරෙමින්, ගුණධර්ම පුරුදු කරපු කෙනෙකු හැටියටයි. නමුත් ඇය බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවිකාවක් බවට පත් වී එපමණ කලක් නැත. හුදෙක් ම ‘ඉවසීම’ යන්න වචනයකට පමණක් ම සීමා නො කොට එම ගුණධර්ම තම ජීවිතය තුළ උපදවාගෙන, එය දියුණු කරමින් එතුළින් ලබන සුන්දර අහිංසක සතුට හුදෙකලාවේ අත් විඳින්නට ඇය පුරුදු වෙමින් සිටී.

ඇය තම පැරණි ආගම අතහැර බෞද්ධ ශ‍්‍රාවිකාවක් බවට පත් වීමේ දුර්ලභ පින මුණගැසුන දීර්ඝ විස්තරය හෙළි කළේ මේ අයුරෙනි.

‘‘මං කොච්චර දුක් වින්දත් ළමයි ටිකට ඉගැන්නුවා. ළමයි ඉස්කෝලවලට භාර දෙනවා. පොත්පත් අරහෙන් මෙහෙන් ඉල්ලගෙන අරන් දෙනවා. එහෙමයි ඉගැන්නුවේ.

මගේ එක පුතෙක් ගියා හමුදාවට. අවුරුදු 18ටත් නෑ. මුලින් අපි පොල් අතු, පොහොර කවර එකතු කරගෙන තමයි ගේ හිටියෙ. බොරු කියන්න ඕනි නෑනේ. ඉතිං ඔය පුතා තමයි දැන් ඉන්න ගේ හැදුවේ. පස්සෙ කාලෙක ආරංචි වුණා ළමයා නෑ කියලා. අලිමංකඩ යුද්ධෙ කාලේ. මුලින් ම නුවරට ගියා. නුවර නෑ කීවා. අඹේපුස්ස කෑම්ප් එකට ගියා. එ්කෙත් නෑ කීවා. පනාගොඩ ගියා පනාගොඩ කෑම්ප් එකෙත් නෑ කීවා. ඊට පස්සෙ මම කොළඹ ගියා, මූලස්ථානයට. එහේ පෙන්නුවා ඇඳවල ලෙඞ්ඩු. තමන්ගෙ දරුවො ඉන්නවා නම් කියන්න කීවා. කකුල් දෙක ම නෑ. අත් දෙක ම නෑ. ඇස් දෙක නෑ. සංසාරේ කලකිරුණා. මම හයියෙන් කෑ ගැහුවා. ළමයා හිටියෙ නෑ. අලිමංකඩ මෙච්චර ගාණක් මැරිලා තියෙනවා එ් ගොල්ලන්ට හරියට ම කියන්න බෑ කීවා.

හැබැයි මට දැණුනා ළමයා ජීවතුන් අතර ඉන්නවා කියලා. රුපියල් පහ දහය එක එක අයගෙන් ඉල්ලගෙන මුළු රටේ ම ගියා ළමයා හොයාගෙන. අත්තනගල්ලෙ පන්සලේ ලොකු හාමුදුරුවො සිරිමාවෝ මැතිණියගේ ඥති මාමා කෙනෙක් ද කොහේෙදා් වෙනවලූ. එහේ ලොකු ස්වාමීන් වහන්සේට මම ඔක්කොම විස්තරේ කීවා ම මට බෝධි පූජා තියන්න කීවා. පූජා වට්ටිය මට එහෙන් හදලා දුන්නා. අත්තනගල්ලේ ඉඳගෙන දවස් හතක් බෝධි පූජාව කළා. හයවෙනි දවසේ ළමයා මට හීනෙන් පෙණුනා. හත් වෙනි දවසේ ළමයා ගෙදර ආවා. මුකුත් වෙලා තිබුණෙ නෑ. ඊට පස්සෙ තමයි. මම ධර්මෙට ආවේ.

මේ ධර්මයට ආවට පස්සෙ තමයි තේරුනේ මං හිටපු ආගම තේරුමක් නෑ කියලා. මේ දණිස් දෙක කළුවෙලා තියෙන්නෙ දණ ගහලා.”

‘‘අම්මා සිල් ගන්න පටන් ගත්තේ කොහේ ඉඳලා ද?”

‘‘සිල් ගන්න පටන්ගත්තේ අනුරාධපුරේ රුවන්වැලි සෑය ගාව. ඊට පස්සේ නොමිලයේ මාව මාසයක් ගාණේ කැලණියේ එක්කං ගියා මහත්තයෙක්. හැම පෝයකට ම අනුරාධපුරයේ යනවා. දැනුත් අනුරාධපුරයේ තමයි යන්නේ. හැබැයි දැන් මෙහේ (අසපුවේ) දහම හුඟාක් හොඳයිනේ. එ්ක හන්දා මෙහෙ ඉන්නෙ දැන්. මෙහේ දහමේ අපිට අකුරක් නෑර පහදලා දෙනවානෙ. එ්ක හන්දා මෙහෙ ධර්මේ ගොඩාක් උතුම් අපට. මුතුගලත් යනවා. වැඩපළ කරනවා. උදව් කරනවා. මෙහෙත් කරනවා.”

‘‘දැන් අම්මා පොත්පත් කියවනවා ද? අකුරු එහෙම කියවන්න පුළුවන් ද?”

‘‘කියවනවා, කියවනවා. පිරුවානා පොත් වහන්සේ හරි උතුම්. මට කෙනෙක් මෙහෙන් අරන් දුන්නා. ‘බුද්ධං සරණං ගච්ඡාමි’ කියන්න මං දන්නෙ නෑ. ‘සබ්බ පාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා, සචිත්තපරියෝදපනං කියන්න දන්නෙ නෑ. මෙහෙන් තමයි ඉගෙන ගත්තේ.

ඉතිං මේ ජීවිත කථාව මං කාත් එක්කවත් කියන්නෙ නෑ, ලැජ්ජයි. දැන් ඉතිං කමක් නෑ. මං පෙර සංසාරෙ ලොකු අකුසලයක් කරලා තියෙනවා. හොඳ ස්වාමි පුරුෂයෙක් ලැබුණේ නෑ මට. අදටත් දුක් විඳිනවා. නමුත් මං කල්පනා කරන්නේ මං එ් මනුස්සයා එක්ක බැණගෙන ගියොත් මට අනන්ත සසරේ දුක් විඳින්න වෙනවා. මට බණින ගාණේ මම හිතනවා වෛර නැත්තෙක් වෙත්වා. තරහා නැත්තෙක් වෙත්වා… කියලා. මේ ලෝකෙ උතුම් ම දේ තමයි ඉවසීම. එක පාරක් මනුස්සයාට අත තියලා නෑ. වචනයක්වත් කියලා නෑ. ඔබ වහන්සේලාට ගොඩාක් පින්. මේ වෙනකම් කවුරුත් මගේ කථාව අහලා නෑ. මට ඇඬෙනවා. මට ආයෙ කියන්න බෑ. ඇය හඬන්නට විය.

‘‘අම්මා පුදුම විදියට ජීවිතේ ඉවසීම පුරුදු කරපු කෙනෙක්නේ. මට කියන්න බලන්න ඉවසීම නිසා අම්මා මොනාද ලැබුවේ කියලා.”

‘‘මම හැමතැනම ඉවසුවා. එ් හැමතැන ම මම ලැබුවෙ පින්. පින තමයි ලැබුවෙ. එහෙමයි මට හිතෙන්නෙ. මම වැරදි ද?”

ඇගේ එම ප‍්‍රශ්නය ඇතුළු තවත් ප‍්‍රශ්න රාශියකට අපි දහම් කරුණු පැහැදිලි කර දුන්නෙමු. ඉමහත් සතුටින් ඇය එම අවවාද අනුමෝදන් වූවා ය. ඊට අමතරව අපට පැවසූ ඇය ජීවිතයේ විවිධ අයුරින් රැස්කරන්නා වූ පින් පිළිබඳ විස්තරය මෙහි සඳහන් කිරීමට නම් ඉඩ ප‍්‍රමාණවත් නො වේවි.

බෞද්ධ නොවන අන්‍යාගමික පරිසරයක ඉපදී අපමණ දුක් කම්කටොලූ විඳිමින් 60 වන වියේ දී ගෞතම බුදුරජුන්ගේ ශ‍්‍රාවිකාවක් වූ ඇය මේ වන විට අවුරුදු පහක කාලයක් ධර්මයේ හැසිරෙන්නී ය. ඇගේ දෑස් තුළින් දිස්වෙන බුදුසමිඳුන් ගැන අහිංසක ශ‍්‍රද්ධාවත්, වදන් තුළින් ඉස්මතුවෙන අව්‍යාජත්වයත්, සිල් සුරැකීමට ඇති අධිෂ්ඨානයත්, පිනට ඇති ලැදියාවත්, පීඩා හමුවේ ඉවසීමත් සියලූ කාන්තාවන්ට මහත් ආදර්ශයකි. තමන්ට සිදුවූ පුංචි අසාධාරණකම් ගැන ලොවට ම චෝදනා කරමින් අකුසල් රැුස්කර ගන්නෝ කොතෙකුත් සිටිත් ද? මුළු ජීවිත කාලය පුරා ම අසුන්දර අත්දැකීම් ලබමින් ගත කරන ඇගේ ජීවිතය මහා අවාසනාවන්ත එකක් යැයි ලොවට පෙණුනත් බුදුරජුන්ගේ ශ‍්‍රාවිකාවක් වී දහමට ම කැපවී අහිංසකව, අප‍්‍රසිද්ධියේ කිසිවෙකුටත් නො කියා ඇය ලබාගත් ගුණධර්ම ඇය ව මිහිපිට දෙවඟනක් බඳු කරවාලන්නට සමත් වී ඇත. ඇගේ නිවසේ භෞතික බුදුමැදුර කඩා විනාශ කළත්, ඇගේ හද මැදුරේ නිර්මිත බුදු මැදුර විනාශ කරන්නට නම් කවරෙකුටවත් නො හැකි වේවි. යම් දිනෙක දෙව්ලොව පිරෙන්නේ මෙවැනි උතුම් ගුණ
දරන්නන්ගෙනි. අප ඇරයුමෙන් තම ජීවිත කතාව අපට කියා දුන් එ් එම්ග‍්‍රියෙස් අම්මාට එ් අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!

මහමෙව්නාව භාවනා අසපුවේ
ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

පිපෙන්නටත් පෙර මිළින වන මල් කැකුළු

"අපි දොස්තර ළඟට යනකොට පිස්සු හැදුණු මගේ වයසේ ගෑනු ළමයෙක් අරන් ඇවිත් හිටියා. එයා පෙන්නලා දොස්තර මහත්තයා කිවුවේ ‘මත්පෙති බීලා මෙහෙම වෙලා තියෙන්නේ. ඔයාටත් වෙන්නේ මේ ටික ම තමයි.’ කියලා"