highlights of the week
Home » සත්‍ය කතාවක් » තෙවන තට්ටුවෙන් මහ පොළොවට…

තෙවන තට්ටුවෙන් මහ පොළොවට…

සුගතපාල මානවසිංහ වෘත්තියෙන් රජයේ දෙපාර්තමේන්තුවක සහකාර කළමනාකාරවරයෙකි. සිය 21 වන සේවා කාලයට පා තැබූ 2013 වර්ෂය ඔහුගේ ජීවිතය උඩු යටිකුරු කළේ ය. සියලූ අනාගත සැලසුම් එවන් සුළු මොහොතකින් සුණු විසුණු කර දැමේවි යැයි ඔහු සිහිනෙකුදු නො සිතුවේ ය. එහෙත් ජීවිතය හැම විට ම අප ඉල්ලන දේ දීමට සූදානම් නැති බව, ඔහු සැබැවින් ම පිළිගත්තේ එ් සිදුවීමෙන් කලකට පසුවය. එදින එම දෙපාර්තමේන්තුවට ඉතා කාර්යබහුල දිනයකි. මානවසිංහ රාජකාරි කළ සේවා අංශය ද එ් කාර්යබහුලත්වයේ ගිලී තිබුණු අතර කිසියම් කටයුත්තක් උදෙසා ඔහු රාජකාරි ගොඩනැගිල්ලේ තුන්වන මහලට ගොඩවැදුණේ එදින පැවති වෙහෙසකාරී බව ද සමඟිනි. තුන්වන මහලේ කොරිඩෝව දිගේ ඉදිරියට යමින් සිටි මානවසිංහට හදිසියේ ම දැනුණේ තම ගත අප‍්‍රාණික ස්වභාවයකට පත්වනවා පමණි. සුළු මොහොතකින් ඔහු සිටියේ බිම් මහලේ ඉදිරිපිට වැලි පොළොව මත ය. මානවසිංහ සිහිසන් නොමැතිව තෙවැනි මහලින් බිමට පතිත වූ පුවත අසා ඔහුගේ කාර්යාලීය සගයෝ එතැනට දිව එන විටත් ඔහුගේ මුහුණ, අතපය, කොඳු ඇට පෙළ පමණක් නොව සුෂුම්නාව ද බරපතළ ලෙස අනතුරට පත්ව තිබුණි. ඉතා ඉක්මනින් වාහනයක් ගෙන්වා ගත් මානවසිංහගේ මිතුරන් ඔහු වහා ම කොළඹ ප‍්‍රධාන රෝහලකට ඇතුළත් කරන ලදී.

මම අමාරුවෙන් ඇස් දෙක ඇරියෙමි. එහෙත් කිසි දෙයක් පැහැදිලි නැත. විනාඩි කීපයක් ගත විණි. බොඳ වුණ මීදුමක් අතරින් සීලිං ෆෑන් එක කැරකේ. ඊට පසු මට දැනුණේ පුදුමාකාර වේදනාවකි. තියුණු පිහියකින් කපනවා මෙන් මගේ හිසෙන් මහා වේදනාවක් දැනුණි. මුළු ඇඟ පුරාම නැගුණු වේදනාව ටික ටික වැඩි වුණි. වේදනාව වැඩිකමට මම කෑ ගසන්නට හැදුව ද කටින් වචන පිටවුණේ නැත. එ් වේදනාව ටිකින් ටික වැඩිවුණා මිස අඩුවුණේ ද නැත. මගේ දෑසින් උණු කඳුළු කැට කඩාගෙන හැළුණි. මට සිහිය එන විට මා සිටියේ ඇඳක හාන්සි වෙලා මෙන් ය. එය ට්‍රොලියකි. මම නැගිටින්නට උත්සාහ කළෙමි. එ්ත් අත පය සෙලවීමටවත් බැරි ය. එ් සියල්ල මගේ ග‍්‍රහණයෙන් ගිලිහී යමින් තිබුණි. මා කෙමෙන් මරණය කරා යන බවකි මට දැනුණේ. එ් සිතුවිල්ලත් සමඟ ම පෙරටත් වඩා වැඩි වේගයෙන් මගේ දෑසින් උණු කඳුළු කඩා වැටුණි. මගේ සිහියට නැගුණේ දරුවන් ය.
බිරිඳ ය. මා මිය ගිය කල ඔවුනට කාගේ නම් පිහිටක් ද? නිවස සෑදීමට ගත් ණය ද තාම සම්පූර්ණයෙන් ම ගෙවා නැත. වාහනයට ගෙවන ලීසිං වාරික ද තවම එහෙම පිටින් ම ඇත. බිරිඳගේ රත්තරන් බඩු ද උකස් කඩවල ය. මා මිය ගියහොත් එ් සියල්ල වැටෙන්නේ අසරණ බිරිඳගේ කර මතට නො වේ ද? කායික වේදනාව තරම් ම තියුණු සිත් වේදනාවක් මට දැනෙන්නට විය.

මා වහා ම හදිසි අනතුරු එ්කකයට ඇතුල් කරන ලදී. වෛද්‍යවරුන් ද හෙදියන් ද උපස්ථායකයන් ද කඩි ගුලක් ඇවිස්සී ගිය සෙයින් ලහි ලහියේ ප‍්‍රතිකාර දීම ආරම්භ කළහ. දෑතේ – දෙපයේ – මුහුණේ තුවාලවලට ප‍්‍රතිකාර, රුධිරය ගැලීම නැවැත්වීමට එන්නත්, පිටගැස්මට එන්නත්, මුත‍්‍රා පිටවීමට උපකරණ, ඔක්සිජන් ලබාදීමට නාසිකාවරණ, හෘද ස්පන්දනය මැනීම, සේලයින් ලබාදීම වහ වහා සිදුවිය. මෝචරියේ ෙදාර ළඟට ම ගොස් සිටි මා හට නැවතත් ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් ඇතිවූයේ දින ගණනාවක් තිස්සේ හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය දැක්වූ කාරුණික කැපවීම නිසා ය. මට නැවතත් මගේ දරුවන් ද බිරිඳ ද සිහි විය. හදිසි අනතුරු අංශයේ සිටි දින කීපය තුළ මා ඔවුන් කිසිවෙක් දුටුවේ නැත. මගේ පපුව පිච්චී යන සෙයින් අඹු දරු සෙනෙහස මට දැනෙන්නට විය.

”ඔයාට වෙලා තියෙන්නේ ස්නායු අනතුරක්. අපි ඔයාව ස්නායු ශල්‍ය අංශයට මාරු කළා. දැන් බයවෙන්න එපා. ඔයාට ඉක්මනින් සනීප වෙයි.” හදිසි අනතුරු අංශයේ තරුණ වෛද්‍යවරයා මා දෙස බලා එය කීවේ සිත සැනසී යන කරුණාබර ස්වරයකිනි. ටිකට් පත ද එක්ස් කිරණ වාර්තා ද රුධිර, මුත‍්‍රා පරීක්ෂණ වාර්තා ද අනෙකුත් පරීක්ෂණ වාර්තා ද සමඟින් ට්‍රොලියකට නංවා ගත් මා හදිසි අනතුරු අංශයෙන් ස්නායු ශල්‍ය අංශයට මාරු කරනු ලැබී ය. මා ස්නායු ශල්‍ය අංශයේ වාට්ටුවට ඇතුළත් කර වැඩි වෙලාවක් යාමට පෙර මෙතෙක් දිනක් මා නො දුටු මා ආදරණීයයන් පැමිණ මා බදාගෙන හඬන්නට විය. ආදරණීය දරුවන් ද බිරිඳ ද බොහෝ වෙහෙසට පත්ව ඇති බව දුටු මා හට ද හැඬුම් නවතා ගැනීමට නො හැකි විය. සියල්ලෝ ම ශෝකය දුරු වන තෙක් හඬද්දී මාගේ කාර්යාලීය මිතුරන් පිරිස එ් සඳහා ඉඩ හසර සලසා දී පැත්තකට වී බලා සිටින අයුරු මා දුටුවේ ඉන් පසුව ය. එක බත් පත බෙදාගෙන කමින් විසි එක් වසරක් ම මා සමඟ සිටි සගයෝ ද එ් අතර වූහ. ඔවුන් මා වෙත පැමිණෙද්දී මාගේ දෑසින් ගිලිහුණු උණු කඳුළු කැට කම්මුල හරහා නැවත ද රූරා වැටෙන්නට විය.

මා ස්නායු ශල්‍ය අංශයට මාරු කර සතියක් ගෙවී ගියේ ය. දැන් මා අන්ත අසරණ තත්ත්වයකට පත් වූ රෝගියෙකි. තවමත් අතපය සෙලවීමටවත් නො හැකි ය. ශරීරයේ වම් අර්ධයට කිසිවක් දැනෙන්නේ ද නැත. එම අංශය ම අඩපණ වී ඇත. ගෙල වටා දමා තිබූ ඝන කොළරය නිසා හිස හැරවීම ද ලෙහෙසි නො වී ය. වේදනා නාශක නො වන්නට සිරුරෙන් දැනෙන වේදනාව ද ඉවසිය නො හැකි තරම් ය. වතුර පොදක් උගුරෙන් පහළට තල්ලූ කර ගන්නේ ද ඉතා ම ආයාසයකිනි. ඊ ළඟ ගැටළුව මතුවූයේ සේලයින් ලබාදීම නැවතීමත් සමඟ ය. දියර අහරෙන් කෑම දීම ආරම්භ කරන ලෙස වෛද්‍ය උපදෙස් ලැබුණු අතර වතුර පොදක් පවා උගුරෙන් පහළට යවා ගැනීම අපහසු වූ මා හට දියර ආහාර ගිලීම අතිශයින් වේදනා දෙන්නක් විය. මා ප‍්‍රිය බිරිඳ ද දරුවන් ද විසින් එ් අසීරු අභියෝගය බාරගන්නා ලදී. කෙමෙන් කෙමෙන් දියර ආහාර ගැනීමට හුරු වුව ද ඊ ළඟට මතුවූයේ අප‍්‍රියජනක ප‍්‍රශ්නයකි. එනම් වැසිකිළි යාම ය. වැසිකිළියට නොයා ඇඳේ සිට ම වැසිකිළි යන්නට වීම ගැන අසා මම හඬා වැටුනෙමි. මුල් දිනයේ බොහෝ වේලාවක් යනතුරු වැසිකිළි ගියේ නැත. අහෝ..! මිනිසෙක් මේ තරම් අසරණ තත්ත්වයකට පත් වන බවක් මා මින් පෙර අත්විඳි බවක් මට මතක නැත.

ඊ ළඟට මතු වූයේ මුත‍්‍රා යාමේ ප‍්‍රශ්නය යි. මුල දී මුත‍්‍රා පිටවීමට කැතීටරයක් දමා තිබුණු අතර පසුව එය ඉවත් කොට ඇඳේ සිට ම පෝච්චියකට මුත‍්‍රා යැවීම පිළිබඳ ව අත්හදා බලන ලදී. මුල් වකවානුවේ මුත‍්‍රාශය මුත‍්‍රාවලින් පිරුණු පසු මුත‍්‍රා පිටවීමට පෝච්චිය තබන ලද අතර කොතෙක් උත්සාහ කළ ද මුත‍්‍රා පිට නො වී ය. එම නිසා මුත‍්‍රා යාම පහසු කිරීම පිණිස වතුර කරාමයක් ඇර එ් හඬ ඇසෙන්නට සලස්වා, මනසට මුත‍්‍රා යාම පිළිබඳ අදහසක් ඇතුල් කිරීමට උත්සාහ කළ ද එය ද අසාර්ථක විය. මුත‍්‍රා පිට කිරීමට නො හැකි වීම නිසා, කෙමෙන් කෙමෙන් පිරෙන මුත‍්‍රාශය යටි බඩ ද තෙරපාගෙන උඩට මතුවී දරුණු වේදනාවක් ඇති කළේ ය. ඉවසිය නො හැකි එම වේදනාව දැනෙන විට මම මහ හඬින් මොර දුන්නෙමි. එවිට නැවත ද මුත‍්‍රාශය තුළට බටයක් දමා නළයක් මඟින් මුත‍්‍රා පිට කළ විට ය සහනයක් ලැබෙන්නේ.

උදේ වරුවේ ලෙඩුන් බැලීමට මෙම වාට්ටුවේ අවස්ථාවක් නැත. එයට හේතුව මේ වාට්ටුවේ සිටින බොහෝ ලෙඩුන් ශරීරාංග අප‍්‍රාණික ව සිටින්නන් වන අතර ඔවුන්ගේ සියලූ ම කටයුතු කෙරෙන්නේ ඇඳන් මත ය. රෝගීන්ගේ ඇඳන් මත ඇති අසූචි ද මුත‍්‍රා ද ගඳින් මුළු වාට්ටුව දුගඳින් පිරී යයි. එනිසා ඔවුන් පිරිසිදු කිරීමට ඇති නිසා උදෑසන කාලයේ ලෙඩුන් බැලීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.

ඇඳට ම හිර වෙමින් ගතකරන මෙම කාලපරිච්ඡේදය මට ඉතා දුක්බර ම කාලපරිච්ඡේදයකි. තමාගේ සියලූ කටයුතු තව කෙනෙක් විසින් සිදුකර දෙන තෙක් සිටින්නට වීම මා බලවත් පීඩාවට ලක් කළේ ය. දත් මැදීම, මුහුණ සේදීම, රැවුල කැපීම, තෙත රෙදි කඩකින් සිරුර පිස දැමීම, කිලිටි ඇඳුම් හරවා අලූත් ඇඳුම් ඇන්දවීම, කෑම කැවීම, වැසිකිළි ගිය පසු සේදීම ආදි සියල්ල තවකෙක් විසින් කරන තෙක් ඉන්නට වීම ගැන මා අනේක වාරවල දී හඬා ඇත. වැඩිහිටියෙක් මෙවැනි අයුරින් කිරිසප්පයෙකුගේ තත්ත්වයට පත් වීම මට නිතර රිදුම් දෙන වේදනාවක් බවට පත් විය.

මේ අතර මට තවත් ශල්‍යකර්මයකට මුහුණ දීමට සූදානම් වන්නට සිදුවිය. එය ස්නායු සම්බන්ධ ශල්‍යකර්මයකි. එය ඉතා අවදානම් සහගත ශල්‍යකර්මයකි. එය පැය පහක හයක ඉතා දිගු ශල්‍යකර්මයක් වන අතර එය ජීවිතය ද අවදානමට ලක්වන තරමේ වූ අසීරු ශල්‍යකර්මයකි. අවසන එ් සඳහා මම සිත හදාගත්තෙමි. ‘මෙහෙම අබ්බගාතයෙක් වෙලා ඉන්නවට වඩා මැරෙන එක හොඳයි.’ මම මරණය ද බලාපොරොත්තුවෙන් ශල්‍යාගාරයට ඇතුළු වීමි.

එහෙත් කවුරුත් විස්මයට පත් කරමින් එම ශල්‍යකර්මයෙන් පසු තවදුරටත් ජීවත්වීමට මට අවස්ථාව උදා විය. එහෙත් එ් අවස්ථාව උදා වුව ද නැවත කිසිදා ජීවයක් නො ලබන අංශයක් සහිත අර්ධ මිනිසෙක් ලෙස ය මට නැවතත් ජීවියත ලැබුණේ.

අංශයක් ම පණ නැති මා සිරුර දුටු විට ද බොහෝ කටයුතු තවත් අයෙකුගේ උපකාරයක් නොමැතිව කර ගන්නට නො හැකි වීම ද මා දිගු කලක් රෝහලේ නැවතී ප‍්‍රතිකාර ගැනීම නිසා පවුලේ ඇතිවූ තිබූ ගැටලූකාරී තත්ත්වයන් ද මට නිතර නිතර සිහිවන්නට විය. එ් ගැන නො සිතා සිටින්නට උත්සාහ කළ ද නැවත නැවතත් සිහිවූයේ එ් දේ ම ය. මා කායිකව සේ ම බරපතළ මානසික ආතතියකින් පෙළෙන්නෙකු බවට ද පත් විය. තනිකම ද කාන්සිය ද දැනෙන්නට විය. දිගු කලක් ඇඳේ හාන්සි වී සිටීම නිසා පිට කොන්දේ වරින් වර මතුවූ තුවාල ද හිසරදය ද මා කායිකව ද මානසිකව ද අන්ත දුබලයෙක් බවට පත් කරන්නට සමත් විය. එ් අතර, සියදිවි හානි කර ගැනීමට ද සිතුණු වාර බොහෝ විය. ජීවිතය, මිහිපිට අපායක් බවට පත්වෙමින් තිබුණි. මට සියල්ල එපා විය. මේ සියලූ තත්ත්වයන් ද සමඟින් තවත් බලවත් ගැටලූවක් ද මතු වී එන්නට විය. එනම් ඉතා කුඩා කාරණයකට පවා දරුණු ලෙස කේන්ති ගැනීම ය. එවිට මා ඉන්නා තැන ද අමතක ව හැසිරෙන්නේ යක්ෂයෙකු ආරූඪ වූවෙකු පරිද්දෙනි. අධික කෝපය විසින් ද දැන් දැන් මා විනාශ කරමින් සිටින බව සිහිවන විට අහෝ..! මට මා ගැන ම මහා කලකිරීමක් ඇති විය. මරණය…! ඇයි ද නුඹ මා අතහැර යන්නේ…?

දිගු කලක් ඇඳට ම වී ගත කිරීම නිසා මගේ පණ ඇති අංශය ද දැන් අකී‍්‍රය ස්වභාවයට පත්ව ඇත. එ් නිසා දැන් ශාරීරික ව්‍යායාම් ප‍්‍රතිකාර ලබා ගැනීමට යොමු විය යුතු බව වාට්ටුව භාර වෛද්‍යවරයා මට දන්වනු ලැබී ය. ඉන් අනතුරුව, දිනක් මා රෝද පුටුවක නංවාගෙන ‘ෆිසියොතෙරපි’ නොහොත් ‘භෞත චිකිත්සක’ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත කැඳවාගෙන යන ලදී. එම අංශයෙන් ලබාදුන් ශාරීරික ව්‍යායාම් නිසා දැන් මම තනිව ම දත් ද මැදගෙන, රැුවුල ද කපාගෙන මුහුණ ද තනිව ම සෝදා ගනිමි. ඉන් මට යම් සහනයක් ලැබුණි.

එම සහනය නිසා ම මා ඉතා ආශාවෙන් එම ව්‍යායාම් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට යන්නට වීමත්, මා එම ව්‍යායාම් කැමැත්තෙන් කිරීමත් දකින එම උපදේශක මහතුන් මා හට කාරුණිකව උපකාර කිරීමට ඉදිරිපත් වීම මා දිරිගන්වන කාරණයක් විය. ඔය අතර එක්තරා දිනක මට එක්තරා විශේෂ දෙයක් මුණ ගැසුණි. මා මීට පෙර බෞද්ධ පොතපත එතරම් කියවා තිබුණේ නැත. වෙසක්, පොසොන් වැනි විශේෂ පොහොය දිනයක සවස් වරුවක පන්සලට ගොඩ වී විනාඩි පහක් දහයක් ගත කළා මිස මා මින් පෙර ආගමට දහමට එතරම් කැමැත්තක් තිබුණේ නැත. ‘ඔය පොඩි සතෙක් දෙන්නෙක් මැරුවා කියලා, අත යටින් පොඩි සම්තිං (පගාවක්) එකක් ගත්තා කියලා, හවසට මඳ පමණින් පොඞ්ඩක් දැම්මා කියලා අපෙන් ඉතින් කාටවත් කරදරයක් නැති හින්දා ඇත්තටම මම ආගම ඔළුව උඩ තියාගෙන නෑ.’ යන්න මගේ අදහස විය. බුදුරජුන් දෙසූ දහම ගැන එ් නිසා එතරම් මා දැනගෙන හිටියේ නැත. එදා මට උපදෙස් දුන් ව්‍යායාම් භෞත චිකිත්සකවරයා මට බණ පොතක් දුන්නේ ය… ‘‘කියවන්න…” එ් පොතේ නම වූයේ ‘නැසෙන වැනසෙන පිනිබිඳුව’ යන්නයි. ඔහුගේ හිත නරක් කරන්නට හොඳ නැති නිසාවෙන් මම එ් පොත අතට ගත්තෙමි. එ්ත් එ් පොත කියවන්නට වුවමනාවක් තිබුණේ නැත.

නමුත් ඊට දින කිහිපයකට පසු මම එ් පොත අරගෙන නිකමට වගේ කියවන්න පටන් ගත්තෙමි.

‘‘(අප්පකං බ‍්‍රාහ්මණා, ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහුපායාසං) බ‍්‍රාහ්මණවරුනි, මේ ජීවිතය (අප්පකං)  අල්පයි. (අල්පයි කියන්නේ පොඩි කාලය යි.) (පරිත්තං) බොහෝ ම ටිකයි. (ලහුකං) බොහොමත් ම ටිකයි. (බහුදුක්ඛං) මේ ජීවිතය ගොඩක් දුක් සහිතයි. (බහුපායාසං) බොහෝ පීඩා සහිතයි. (මන්තාය බොද්ධබ්බං) ප‍්‍රඥාවෙන් ම යි තේරුම් ගන්න තියෙන්නේ. (කත්තබ්බං කුසලං) එ් නිසා කුසල් කළ යුතුයි. (චරිතබ්බං බ‍්‍රහ්මචරියං) උසස් ජීවිතයක් ගෙවිය යුතුයි. (නත්ථි ජාතස්ස අමරණං) උපන් කෙනාට නො මැරී සිටීමක් නෑ. උපන්න කෙනාට අනිවාර්යයෙන් ම මැරෙන්න සිද්ධ වෙනවා. එ් නිසා කුසල් වඩන්න.

බ‍්‍රාහ්මණවරුනි, තණ අග ඇති පිනි බිඳු හිරු නැගී එද්දී සැණෙකින් මැකී යයි. නැතිවී යයි. චිරාත් කාලයක් පවතින්නේ නෑ. එ් වගේ ම මේ මනුස්ස ජීවිතය තණ අග ඇති පිනි බිඳ වගේ බොහෝ ටික කාලය යි තිබෙන්නේ. බොහෝ දුක් සහිතයි. බොහෝ පීඩා සහිතයි. ප‍්‍රඥාවෙන් තේරුම් ගත යුතුයි. කුසල් කළ යුතුයි. බඹසර හැසිරිය යුතුයි. උපන් කෙනෙකුට නො මැරී සිටීමක් නෑ.

බ‍්‍රාහ්මණවරුනි, වැස්ස වහිද්දී වතුර බින්දු වතුරට වැටෙද්දී දිය බුබුළු හට ගන්නවා. මේ දිය බුබුළු ගොඩාක් වෙලා තියෙන්නේ නෑ. දිය බුබුළු සැණෙකින් නැසී යනවා. බ‍්‍රාහ්මණවරුනි, මේ මනුස්ස ජීවිතයත් හරියට දිය බුබුළක් වගේ. බොහෝ ම ටික කාලය යි තිබෙන්නේ. බොහෝ දුක් සහිතයි. බොහෝ පීඩා සහිතයි. ප‍්‍රඥවෙන් තේරුම් ගත යුතුයි. කුසල් කළ යුතුයි. උපන්න කෙනාට නො මැරී සිටීමක් නෑ.

එක්තරා අවස්ථාවක කොසොල් රජ්ජුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. එ් ආවේ රාජ සීමාව තවත් පළල් කර ගන්න පිරිසක් යවලා. රජතුමා මේ කාරණය බුදුරජාණන් වහන්සේට පැවසූ වෙලාවේ උන්වහන්සේ අහනවා.

‘‘රජතුමනි, ඔබේ විශ්වාසවන්ත ඔත්තුකාරයෝ හතර දෙනෙක් හතර දිශාවෙන් ඇවිල්ලා කියනවා. මහරජතුමනි හරි වැඬේනේ… හතර දිශාවෙන් ම මහා විශාල පර්වත හතරක් පෙරලීගෙන එනවා, සියලූ දේ විනාශ කරගෙන. පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්න කියලා. රජතුමනි, මේ විදිහට පණිවිඩ හතරක් ආවොත් ඔබ මොකද කරන්නේ..?”

‘‘භාග්‍යවතුන් වහන්ස, මට එ් වෙලාවට කරන්න තියෙන්නේ ධර්මය සිහිකිරීමයි, ධර්මයේ හැසිරීම විතරයි.”

‘‘රජතුමනි, එහෙම නම් ඔබට මෙයත් කිව යුතු ම යි. උපන් සත්වයාට ජරා මරණ දෙක තමයි තියෙන්නේ. වෙන මුකුත් නෑ.”

බලන්න, මේ කාලයේ අපට මේ වගේ දේශනාවල් අහන්නට ලැබෙන්නේ නෑනේ. අපට ඇහෙන්නේ ජීවිත රක්ෂණ ගැනනේ. අපට හැම දෙයක් ම පිටට පේන්නේ ආරක්ෂා සහිතව වගේ. නමුත් මුළා වුණ ලෝකයේ ගොදුරු බවට පත් වුණු අපට එ් මුළාව බිඳගෙන යන්නට, ප‍්‍රඥාව ලබන්නට මේක හොඳ දේශනයක්.”

එ් ධර්ම ග‍්‍රන්ථය මම එක හුස්මට කියෙව්වෙමි. පිපාසයෙන් සිටි කෙනෙකුට දිය ලැබුණා වගේ ය. කුසගින්නේ සිටි කෙනෙකුට රසවත් ආහාරයක් ලැබුණා වගේ ය… එ් ධර්මයේ මිහිරි රස මුළු හදවත පුරා ම පැතිරී ගිය සෙයකි. මම නැවත නැවතත් එ් ධර්මය කියෙව්වෙමි. මම ඉස්සර මැරෙන්න හිතාගෙන හිටියේ මේ පීඩාවෙන් මට නිදහස් වෙන්න  ඕන වුණ නිසා ය. මා නිසා මගේ පවුලේ අය විඳින වේදනාවෙන් එ් අය නිදහස් කරන්නට  ඕන වුණ නිසා ය. එ්ත් දැන් මම මරණය ගැන හිතන්නේ එ් විදිහේ ළාමක විදිහට නො වේ. මම දැන් මරණය ගැන හිතන්නේ ආර්ය ශ‍්‍රාවකයෙක් විසින් යම් සේ මරණය ගැන සිහි කළ යුතු ද අන්න එ් විදිහටයි. මම ලෙඩ වීම ගැනත් බුද්ධ දේශනාවෙන් දැනගත්තෙමි. එ් ගැන නුවණින් කල්පනා කළෙමි. රට්ඨපාල මහරහතන් වහන්සේගේ මේ ප‍්‍රකාශය මට නිතර සිහි වේ.

‘‘හොඳ හැටියට ඇට නහර ගළපලා ලස්සනට තිබෙන මේ ශරීරයේ ඇත්ත දිහා බලන්න. අඥාන  ජනයා ආශාවෙන් හිතන්නෙ ම මේ ශරීරය ගැන ම යි. මේ ශරීරය ලෙඩ වෙලා යන දෙයක්. ස්ථිර පැවැත්මක් නැති දෙයක්.”

මේ වෙනකොට මම ද දරුවන්, බිරිඳ, යාන වාහන ආදි කාම ගුණයන් ගැනත් උපේක්ෂාව ඇතිකර ගන්නට මහන්සි වන්නෙමි. එ්වා සියල්ල අනිත්‍ය බව සිහිකරන්නට මහන්සි වෙමි. රට්ඨපාල මහරහතන් වහන්සේගේ මේ උපදේශය මට බොහෝ සෙයින් වටී.

‘‘රජ කෙනෙක් සාගරය පවුර කරගෙන මුළු ලෝකය ම ජය ගත්තත් එයාට තෘප්තියක් නෑ. එයා කැමතියි සාගරයෙන් එතෙර තියෙන රටකත් රජ කරන්න. එ් රජුත් අනෙක් බොහෝ මිනිස්සුත් තණ්හාව සමඟ ම යි මරණයට පත්වන්නේ. ජීවිත අත්හරින්නේ සෑහීමකට පත්වෙලා නො වේ. මේ කාම ලෝකයේ තෘප්තියට පත් වීමක් නම් නෑ ම යි. මං කාමයන් දුටුවේ ගිනි ජාලාවක් වගෙයි. රන් රිදී දැක්කේ අවි ආයුධ වගේ. මවු කුසේ ඉපදීම ඉඳලා නිරය දක්වා ම තියෙන්නෙ මේ දුක නම් වූ මහා බිය යි.”

එ් දුක…, මහා දුක…, මම වසර ගණනාවක් ම අත් වින්දෙමි. මා මුහුණ දුන් හදිසි අනතුරත් සමඟින් මම බොහෝ සෙයින් මානසික ව පසු බැස්සෙමි. පුංචි දේටත් තරහා ගත්තෙමි. කරුණාවෙන් මට උදව් කළ අයට පවා මා තදින් බැණ වැදී තීබේ. අසූචි…, මුත‍්‍රා දුගඳින් පිරුණ එ් අප‍්‍රියජනක ජීවිතයෙන් නිදහස් වෙන්ට, මම දන්න දන්නා හැම දේ ම කළෙමි. එ්ත් උපන්න කෙනාට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලෙඩ වීම නම් වූ ධර්මතාවයට මුහුණදෙන්නට වෙන බව මගේ ජීවිතය තුළින් දකින්න දකින්න මට ඇත්ත තේරුණි. මම ලෙඩ ඇඳේ ඉඳගෙන ම මේ සත්‍යය සිහිකරමි. දැන් මට අමෘතය ලැබී ඇත. බුුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව මගේ හිතේ ඇවිළුනු ගිනි නිවාගන්නට පුළුවන් වෙන දෙයක් තියෙනවා කියා මම නො සිතමි. මේ ධර්මයෙන් ම යි මගේ බලවත් පීඩා නිවි නිවී ගියේ. එ් ධර්මය මට මුණ ගැසුණේ කල්‍යාණ මිත‍්‍රයෙක් නිසාවෙනි. එ් කල්‍යාණ මිත‍්‍ර ඇසුර අද්භූත දෙයක් කියා මට සිතේ. මානවයන්ගේ සැබෑ ම සිංහයා කවුද කියා දැන් මම දන්නෙමි. කල්‍යාණ මිත‍්‍ර ඇසුර සැබෑ ලෙස ම ආශ්චර්යවත් කාරණයක් බව මා කෙසේ නම් නො පවසා සිටින්න ද? මා යම් ධර්මයකින් යම් පිහිටක් සොයා යන්නේ ද… අනේ…! එ් ධර්මය ලොව සැමට ම මුණ ගැසේවා…! එයින් සැනසීම උදා කර ගනිත්වා…!

(සත්‍ය සිද්ධියක් ඇසුරිනි.)

පුණ්‍යානුමෝදනාව – වස්තු බීජය සැපයූ ‘51 වාට්ටුව හෙවත් මරණය අත්විඳීම’ ග‍්‍රන්ථය ලියූ කන්දේගම ශූරීන්ට හා සියලූ කල්‍යාණ මිත‍්‍රයාණන් වහන්සේලාට.

සටහන
කලණ ගංගානාථ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

පිපෙන්නටත් පෙර මිළින වන මල් කැකුළු

"අපි දොස්තර ළඟට යනකොට පිස්සු හැදුණු මගේ වයසේ ගෑනු ළමයෙක් අරන් ඇවිත් හිටියා. එයා පෙන්නලා දොස්තර මහත්තයා කිවුවේ ‘මත්පෙති බීලා මෙහෙම වෙලා තියෙන්නේ. ඔයාටත් වෙන්නේ මේ ටික ම තමයි.’ කියලා"