highlights of the week
Home » සත්‍ය කතාවක් » කල්පනීගේ සිතුවම

කල්පනීගේ සිතුවම

හිස්ව වියැළුණු සිත් අහස – තෙත්ව සුරැකුණු අරුමය අත්විඳි – සොඳුරු මිනිසුන්ගේ හෘද විවරණය…

කයින් ගිලන් වූවෙකු හඳුනාගැනීම අපට අපහසු නැත. කායික රෝගයන් නො කියා සඟවා තබා ගන්නට ද නො හැකි ය. එ් නිසා රෝගියා කැමති වුව ද අකැමති වුව ද රෝගයට පිළියම් යෙදීමේ උත්සාහයන් අන් අයට දරන්නට හැකි ය. එහෙත් මනුෂ්‍යයන් ගිලන් වන්නේ කායිකව පමණක් නො වේ!

සිතක නැගෙන සිතුවිලි හඳුනාගන්නට අනුන්ගේ සිත් දක්නා නුවණ ලද මුනිවරුන්ට මිස අන් අයට නො හැකි ය. සිතක ගිලන් වීම ද සාමාන්‍ය මිනිසුන්ට හඳුනාගැනීම අපහසු ය. නො සිතූ නො විරූ ආකාරයේ අර්බුද ඇති කරවන්නට මානසික ගිලන් භාවයන් සමත්වන්නේ එය උත්සන්න වනතුරු ම බාහිරයට එය හඳුනාගැනීම අපහසු නිසාවෙනි.

එහෙත් කයට සේ ම මනසට ද පිළියම් යොදන්නට හැකි ය. කය සේ ම මනස ද සුවපත් කරන්නට හැකි ය. එසේ නම් කය ගැන සේ ම මනස ගැන ද අප අවදියෙන් සිටිය යුතු ය. මේ මානසික ගිලන් බව පවතින්නේ ඔබේ යහළුවෙකුට විය හැකි ය, නිවැසියෙකුට විය හැකි ය, ඔබට ම වන්නටත් පුළුවන. එය සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයකි. එයින් නිදහස් වීම කළ නො හැක්කක් නො වේ. අති සාර්ථකව එ්වාට පිළියම් යෙදීමෙන් මනසේ සුවපත්භාවය සලසාගන්නට හැකි ය. ඛේදනීය ඉරණමක් කරා ජීවිත තල්ලූ වනතුරු එ් මානසික පසුබැසීම් සඟවා නො සිට, නො සලකා නො සිට තනි තනිවත්, සාමූහිකවත් එයින් මිදෙන්නට වෑයම් කළ යුතු ය… එසේ කිරීමෙන් ජය ලැබූවන් ලෝකයේ හිඟ නැත…!

මනසින් ගිලන්ව අනේක පීඩා විඳ, පසුව එ් සියල්ල පරයා ජයගත් සොඳුරු මිනිසුන් වෙනුවෙන් මෙවර පටන් මහාමේඝයේ ඉඩහසර වෙන් කෙරේ. ඔවුහු ඔවුහු විඳි පීඩනය, එයින් නිදහස් වූ අයුර ආවර්ජනය කොට දක්වති. කල්‍යාණ මිත‍්‍රයාණන් වහන්සේලා මනසින් සුවපත් වන්නට දහම් මඟ පෙන්වා වදාරති. මානසික ගිලන් බව පරදාලූ එ් මිනිසුන්ගේ කතාපුවත් මනස සුවපත් කරගන්නටත්, සියලූ ගිලන් බවින් නිදහස් වන්නටත් අප සියලූ දෙනාට ම මඟ පෙන්වන බව නො අනුමාන ය.
—————————————————————————————————–

මේ හැම දෙයක් ම පටන් ගත්තේ මට වයස අවුරුදු 7ක වගේ ඉඳලා. කනගාටුවයි, පසුතැවීමයි එක්ක මම හැම වෙලේ ම සටන් කළා. එ් හැම දෙයක් ම නිසා මගේ රාත‍්‍රීන් බොහොම දුක්බර වුණා. ඇතැම් අවස්ථාවල මම දහඩිය පිටින් භය වෙලා ඇහැරෙනවා. මට ඉතිරි වෙලා තිබුණ එක ම දේ තනිය ම මේ හැම දුකකට ම මුහුණ දෙන්න යි.

මානසික සුවය ගැන අපිට පාසැලේ දී කියා දුන්නේ නෑ. අපිට ඉගැන්වූයේ මූලික විද්‍යා දැනුම පමණයි. මානසික සෞඛ්‍ය වගේ ම ආතතිය ගැන තොරතුරු ඉගැන්වූ බවක් මට නම් මතක නැහැ. ඇත්තට ම එදා මේ තත්ත්වයට පිළිතුරක් මා දැන සිටියා නම් ලොකු දුකකින් මට ගැලවෙන්න තිබුණා…

මා කුඩා අවධියේ දී මගේ මානසික සුවය, මානසික නීරෝගීකම සහ මනස සුවපත් වන ව්‍යායාමයන් පිළිබඳ ව කිසිවෙකුත් කියා නො දුන් නිසා… මා මුලින් විඳි සුළු මානසික පීඩාවන් පසු කාලයක දී බරපතළ මානසික පීඩාවන් රැසක් බවට වැඩි දියුණු වුණා.

මගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ තුන් වැනි වසරේ දී මේ තත්ත්වය අති උග‍්‍ර මට්ටමට උත්සන්න වුණා. සාමාන්‍ය දේවල් පමණක් නො වේ… මා අධ්‍යාපනය ගැනත් පසු තැවෙන්නට පටන් ගෙන සිටියා. මිනිසුන් මා ගැන කුමක් සිතනු ඇත්දැයි සිතා තව තවත් පසුතැවුණා. විශ්ව විද්‍යාලයේ අවසන් ඇගයීම්වලට මත්තෙන් මා පිළිබඳ සිතීමේ දී මේ සිටින්නේ මා නො වන බවත්, මා හට මා අහිමි වී ගොස් ඇති බවත් මට සිතුණා. මේ තරම් තරුණ කාලයේ දී මේ වගේ මානසික ප‍්‍රශ්නයකට මම මැදි වේවි යැයි මා සිතා සිටියේ නෑ.

කල් යාමේ දී මේ තත්ත්වය උග‍්‍ර වීම නිසා මා කාමරයෙන් පිටට පැමිණීම පවා ප‍්‍රතික්ෂේප කරන්නට පටන් ගත්තා. දවස් ගණන් මම කාමරයේ ම ගත කළා. නිදි යහන මගේ ප‍්‍රියතම වාසස්ථානය බවට පත්වුණා. කිසිම කෙනෙකු හා කතා කළේවත් නෑ. මම මා හට ම වෛර කරන්න පටන් ගත්තා.

‘මම මහා අවාසනාවන්තියක්.. මේ අවාසනාව මගේ මුළු ජීවිත කාලෙ ම තියේවි…’ මගේ පරාජිත මනස මට දුන් එක ම උපදෙස එය යි.

මගේ ජීවිතය ඉතාමත් අඳුරු අගාධයකට ඇද වැටී තිබෙන බව මට දැණුනා. මට ඉතිරි වෙලා තිබුණේ සියදිවි හානි කරගැනීම පමණයි. මට හිතුණේ සියදිවි හානි කරගත්ත ම මේ හැම ප‍්‍රශ්නයක් ම අවසන් වේවි කියලයි…

එදා මම එ් තීරණය නො ගත් නිසා අද මට ලොකු සතුටක් තියෙනවා. මේ තත්ත්වයෙන් ගොඩ එන්න මගේ උත්සාහයත් හේතු වුණා තමයි. එ්ත් මගේ පවුලේ අය, යහළුවන් සියලූ දෙනාගේ සහයෝගය මට නො ලැබෙන්න මම මේ වනවිටත් මේ ජීවිතයෙන් සමු අරගෙන ගොඩක් කල්.

මේ හැම දේකට ම වඩා මට රැකවරණය ලබා දුන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ කියලයි මට හිතෙන්නේ. අද මම හෙළන සුවපහසු හුස්ම පොදකට පවා මම උන්වහන්සේට ණයගැතියි…

* * * * *

‘‘ඇත්තෙන් ම ඇය අපට මුණ ගැහෙන විට… ඇගේ ජීවිතය වත් ඇගේ අතේ තිබුණේ නැහැ. ඇයට ජීවත් වීමේ බලාපොරොත්තුව ලබා දීමට අපිට බොහෝ වෙහෙසක් ගන්නට සිදු වුණා. අවසානයේ දී ඈ බුදුරජාණන් වහන්සේගේ කරුණාව පිළිබඳ ව විශ්වාස කරන්නට පටන් ගත්තා. එය සැබැවින් ම ඇගේ වාසනාවක්. අපි පටන් ගත්තෙ එතැනින්…!”

ඇය පිළිබඳ ව අදහස් දැක්වූ පින්වත් ස්වාමීන් වහන්සේ පැවසුවේ එ් අයුරින් ය.

මෙවන් මානසික මට්ටමක සිටින අයෙකු අසීරුවෙන් හෝ නිවැරදි මාවතට යොමු කරගන්නා ආකාරය පිළිබඳ ව අපි තවදුරටත් කරුණු විමසුවෙමු.

‘‘බුදුරජාණන් වහන්සේ තරම් අපි දක්ෂ නැහැ. බුදුරජාණන් වහන්සේ නම් නම කියල කථා කළත් උමතුභාවයන් සුව වෙනවා. සෑම විට ම නිවැරදි ම උත්තරය කුමක් ද කියා උන්වහන්සේ දැන සිටියා. කිසාගෝතමීගේ උමතුව සුව කළේ අබ මිටකින් කියල ඔබ විශ්වාස කරනවා ද…?

අන්න එ් වගේ අපිත් උත්සාහ කළේ සෑම විට ම නිවැරදි ප‍්‍රතිචාරය ඇය වෙනුවෙන් ලබා දෙන්න යි. මේ වගේ ගැටලූවක දී බොහෝ විට සාර්ථක ප‍්‍රතිඵල ලබා දිය හැකි ක‍්‍රමයක් තමයි අසනීපය හැදුණු මුල් හේතුව සොයා යාම.. ඇය සමග කතා බහ කරන විට ඇය කුඩා කාලයේ සිට ම තමා අවාසනාවන්තියක්, වැරදිකාරියක් ලෙස හංවඩු ගසාගෙන සිටි බව අපට වැටහුණා. නිරන්තරයෙන් ම පුංචි දේටත් පසුතැවීම සහ කනගාටු වීම වැනි තත්ත්වයන්ට ඇය දරුණු ලෙස ගොදුරු වී සිටියා. මේ තත්ත්වය ඉතා සුළු මට්ටමක පවතින විට ඇයට සමීපතමයන්ගෙන් නිසි උපදෙස්, උපකාර නො ලැබීම නිසයි පසුකාලීන ව බරපතළ සිදුවීම් දක්වා මෙය වර්ධනය වූයේ.

මෙලොව වාසය කරන සෑම කෙනෙක් ම ඇය ගැන අපැහැදීමෙන් සිටින බව ඇය තදින් ම විශ්වාස කළා. ඇය ගැන ඇතැමුන් රහසේ අගුණ කියන බව ඇය නිතර සිහි කරන්නට වුණා. මේ තත්ත්වය සමනය කරන්නයි අපි මුලින් ම කරුණු පැවසුවේ.

යමෙක් තව කෙනෙකු ගැන ඇද කුද හොයන්නේ නම්, උසුළු විසුළු කරන්නේ නම් හෝ අනවශ්‍ය ලෙස දුක් ඇති වන සේ නින්දා අපහාස කරන්නේ නම් එ් ඇදකුද හොයන කෙනාගේ හිතේ ලෝභය, ආසාව, ඉරිසියාව, මාන්නය වගේ අකුසල් තියෙන්න ම ඕන. නමුත් බුදුරජාණන් වහන්සේ තුළ එ් කිසිවක් ම තිබුණෙ නෑ. බුදුරජාණන් වහන්සේ බොහෝ කරුණාවන්ත කෙනෙක්. එ් නිසා බුදුරජාණන් වහන්සේ තව කෙනෙක්ට මානසික ව දුක් දුන්නෙ නෑ.

ඇයත්, ඇගේ පියාත්, මවත්, සහෝදරියත් යන සියලූ දෙනා බොහොම සාවධානව එ් සියල්ලට සවන් දුන් බව අපි තේරුම් ගත්තා. ඇයට දෙනෙත් පියාගෙන ඉන්න යැයි පවසා සුනීත නම් වූ කසල ශෝධක තරුණයා ඇවිදගෙන ගිය වීදියකට මනෝ ලෝකයෙන් ඇයව රැගෙන ගියා. සෝපාක නම් වූ දරුවා තනි ව හඬමින් සිටි සොහොන් භූමියට ඇයව රැගෙන ගියා. එ් සියල්ල ඇය සිතෙන් තමයි මවාගත්තේ. අපි කළේ සිදුවීම විස්තර කිරීම පමණයි. නමුත් අවසානයේ දී එය යම් සාර්ථකත්වයක් පෙන්වන්නට වුණා.

කසළ අසූචි කරගසාගෙන නගරවැසියන්ගේ පිළිකුලට භාජනය වී නින්දා ලබමින් ඇවිද ගිය සුනීත සොයාගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කළා. කාරුණික ව කතා කළා. හිස අතගෑවා. තමන් වහන්සේ ළඟ පැවිදි කරගත්තා. තම සුළුපියා විසින් සොහොනකට ගෙන ගිහින් මිනියක ගැටගසා තනි කරදමා සිටි සෝපාක දරුවා සොයාගෙන බුදුරජාණන් වහන්සේ එහි වඩින විට හොඳට ම රෑ බෝ වෙලා. බුදුරජාණන් වහන්සේ තමයි බිමට පාත් වෙලා එ් ගැට සියල්ල ලෙහලා දැම්මේ. ලණුව අයින් කරලා සෝපාක දරුවාව අත් දෙකෙන් ම වඩා ගත්තා. ඊට පස්සෙ තමයි අතින් අල්ලගෙන විහාරයට අරගෙන ගියේ. සෝපාක දරුවාත් බුදු සසුනේ පැවිදි වුණා. මේ තරම් කරුණාවක්… මේ තරම් රැකවරණයක්… මේ අසරණ දරු දෙදෙනාට ලැබුණා නම්, කල්පනීට නො ලැබෙන්න හේතුවක් නෑ. කල්පනී සුනීත වගේ දුක් වින්දෙ නෑ. සෝපාක වගේ සොහොනෙ දාලා ගියෙ නෑ. කල්පනීට හොඳ නිවසක්, හොඳ කාමරයක් මේ හැම දෙයක් ම තියෙනවා. එ් අයට වුණ දේවල් කල්පනීට වුණේ නෑ නේ දැයි අපි එ් සිහින ලෝකෙදි ම ඇගෙන් විමසද්දී ඇගේ මුහුණ සිනහවකින් ආලෝකවත් වී ගියා.

ඇය තදින් ම බුදුරජාණන් වහන්සේට සමීප වෙන්න පටන්ගත්තේ එ් සිදුවීමෙන් පසු යි. ඇය ඉන්පසු නිවසේ සෑම විට ම බුදු ගුණ භාවනාව ඇසෙන්නට සැලැස්වූ බව ඇගේ දෙමාපියන්ගෙන් අපි දැනගත්තා. කාලයක් ම බුදු ගුණ භාවනාව ශ‍්‍රවණය කරමින් සිටින අතරේ ඇගේ සිතට විශාල රැකවරණයක් දැනෙන්න ඇති. තමාට කවුරුන් නැතත් බුදුරජාණන් වහන්සේ සිටිනවා යැයි සිතීම ම කෙනෙක් බිය තැතිගැනීම්වලින් ගලව ගන්නවා. එ් කරුණයි ධජග්ග සූත‍්‍රයේ තියෙන්නේ.

රැකවරණය දැනෙන්න ගත්තා කියන්නේ ඇය සුවපත් වීම වෙත එක් පියවරක් තිබ්බා. ඉන් පසු අපි නිවැසියන් සහ යහළුවන්ගේ උපකාර ලබාගන්න උපදෙස් දුන්නා. සෑම විටක ම ඇය ව ස්වභාවික ව අගය කරන්න පටන් ගන්න එ් අයව පෙළඹෙව්වා. එය ස්වභාවික බව ඇයට දැනෙන්න ඕන. නැත්නම්, තමා රෝගියෙකු බවත් මේ ලැබෙන්නේ රෝගියෙකු සනසන බොළඳ වදන් බවත් ඇයට එ්ත්තු ගියහොත් ඇයව ගොඩ ගන්න එක අපිට සිහිනයක් ම බවට පත්වේවි යැයි අපි පැවසූ කරුණු ඔවුන් හොඳින් තේරුම් ගත් නිසා ම අපිට කටයුතු පහසු වුණා.

ඇය දක්ෂ ලෙස චිත‍්‍ර අඳින්න පුරුදු වී සිටි බව වත් ඇගේ දෙමාපියන් දැන සිටියේ නැහැ. නමුත් ඇගේ අසනීප තත්ත්ව උත්සන්න වෙන්න පෙර කුඩා කාලයේ දී ඇය සිතුවම් ඇඳීමටත්, පාට පෙට්ටිය සමග කල් ගත කිරීමටත් කැමැත්තෙන් සිටි බව අපි දැනගත්තා. ඇගේ දෙමාපියන් වෙත තමාගේ චිත‍්‍රය රැගෙන පැමිණි විට දෙමාපියන් සිටියේ රූපවාහිනියේ ඇස් හිරකරගෙන.. නැත්නම් දුරකථනයේ.., නැත්නම් ව්‍යාපාරික කටයුත්තක. ඉතින් ඇය ව අගය කරන්න කෙනෙක් එ් නිවසේ තවත් නැහැ. ඇගේ මේ මානසික මට්ටම උත්සන්න වුණේ එ් සුළු සුළු කාරණා හේතු කරගෙන යි.

එ් තොරතුරු අනුව, අපි ඇයට ලියන්න කියන්නත් චිත‍්‍ර අඳින්නත් උනන්දු කළා. තමාට චිත‍්‍ර ඇඳීමට නො හැකි යැයි ඇය තදින් ම පවසන්නට වුණා. ඇත්තෙන් ම ඊට හේතුව කුඩා කාලයේ දී ඇගේ හැකියාවන් අගය නො කිරීම යි. නමුත් අපි පසුබට වුණේ නැහැ. අපි ඇයට එක් පැවරුමක් කළා. එ් තමයි බුදුරජාණන් වහන්සේ ගැන සිතේ මැවී ඇති දේ අපි දකින්න කැමතියි, එ් බව සිතුවමකින් පෙන්වන්න කියා.

සතියකට පමණ පසු ඇය දෙමාපියන් සමඟ පැමිණියා. බයෙන් බයෙන් එක්තරා විශාල ප‍්‍රමාණයේ කඩදාසියක් අප වෙත ලබා දුන්නා. එය දිගහැර බලන විට එහි වූයේ බුදුරජාණන් වහන්සේගේ මුහුණ කොටසේ චිත‍්‍රයක්. දෙනෙත් විවර වී තිබුණා. අප දෙස බලා සිටින අයුරින් එ් දෙනෙත් සටහන් ඇය දක්ෂ ලෙස ඇඳ තිබුණා. චිත‍්‍රය අප නරඹන අතරේ ඇය තුළ වූයේ නො සන්සුන්කමක්. ඇය අපේක්ෂා කළේ අප එයට ලබාදෙන පිළිතුර ඇගේ සිත දුකට පත් කරවනු ඇති බව විය හැකියි. බොහෝ කල්පනා කොට එක ම එක පිළිතුරකින් සිතුවමට ප‍්‍රතිචාරයක් දක්වන්නට මා කල්පනා කළා.

‘‘බුදුරජාණන් වහන්සේ ඇසි පිය නො හෙළා මා දිහා බලා සිටින්නේ… මට කිසි ම අනතුරක් නො වේවා!, මා සුවපත් වේවා!, මා දීර්ඝායු ලබත්වා! කියල හිතාගෙන වගේ…. පුදුම කරුණාවක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ව හැබැහින් දැක්කා වගේ…”

ඇය එදා කොයි තරම් ප‍්‍රීතිමත් වුණා ද කියා මා දැනගත්තේ ඊට වර්ෂ දෙකකට පමණ පසු ඇගේ දෙමාපියන් ඇය රැගෙන පැමිණි විට යි. ඇය එ් වනවිට සම්පූර්ණයෙන් ම සුවය ලබා සිටියා. කොළඹ දී ඇගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැවැත්වීමට පවා එ් වනවිට කටයුතු යොදාගෙන තිබුණා. දැන් එ් සියල්ලට ම උදව් කරන්නේ ඇගේ දෙමාපියන්. ඇගේ දෙමාපියන් ඇගේ හැකියාවන් අගය කරමින් ඇයට රැුකවරණය ලබා දෙන්න බොහෝ උත්සාහ ගෙන තිබුණා. එ් චිත‍්‍ර ප‍්‍රදර්ශනයේ ඇගේ ප‍්‍රථම චිත‍්‍රය ලෙස ඇය නම් කොට තිබුණේ, එදා ඇඳ තිබූ බුදුරජාණන් වහන්සේගේ රූපය යි. ඇය මින් පෙර චිත‍්‍ර බොහෝ ඇඳ තිබුණත් ඇගේ නැවත පිබිදීම සමගින් ලද අලූත් ජීවිතයේ ‘පළමු චිත‍්‍රය’ සත්‍ය වශයෙන් ම එය යි. එය තෝරාගැනීමෙන් ම ඇය නැවත ඉපදුණු බවත්, අඳුරු අතීතය අමතක කළ බවත් අපි තේරුම් ගත්තා. අද ඇය බොහෝ සතුටින් ජීවත් වන මනුෂ්‍යයෙක්. මිනිසෙකුට මිනිසත් බව ලැබෙන්න නම් ඔහුගේ හෝ ඇයගේ මනස නීරෝගී ව, අවදි ව පැවතිය යුතු වෙනවා. ඊට උපකාරී වන හොඳ ම ධර්මය බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය යි.”

මේ කතාව වාසනාවන්ත අවසානයකින් නිමා වීමට කල්පනීට උපකාර කළ සියල්ලෝ නිවී සැනසුණ සිත් ඇත්තෝ වෙත්වා…!!!

තෙරුවන් සරණයි!

මෙහි සඳහන් නම් ගම් සියල්ල මනඃකල්පිතයි

සැකසුම
විශ්වනාත් දේවප‍්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

පුතා ලොක්කෙක් කරවා ගෝනිය ඇතුළේ අවසන් ගමන් ගිය අම්මා

වැලිමඩ දුෂ්කර ගමක මේ සිද්ධිය වුණේ....